යුරෝපය පුරා ලක්ෂ ගනනක් පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාවලට එක් වෙති

මෙම ලිපිය ජූනි 8 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින

පොලීසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් කුරිරු ලෙස ඝාතනය කිරීමට එරෙහිව සහ පොදුවේ පොලිස් ප්‍රචන්ඩත්වයට විරෝධය පල කරමින් යුරෝපය පුරා ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ සහ තරුනයෝ සති අන්තයේ වීදි බැස සිටියහ. විශාලතම පෙලපාලි ජර්මනියේ පැවති අතර, ප්‍රධාන නගර ගනනාවක  අවම වශයෙන් 200,000 ක් පමන ජනතාව සෙනසුරාදා විරෝධතා දැක්වූහ.

කොරෝනා වෛරසය හේතුවෙන් පවතින සමාජ දුරස්ථකරන සීමාවන් නිසා ජර්මනියේ පෙලපාලි සංවිධායකයෝ, සෑම නගරයකම සහභාගී වන්නන් කිහිප සියයක් පමනක් ලියාපදිංචි කලහ. නමුත් ඒවා දශක දෙකකට ආසන්න කාලයක තුල සිදු වූ විශාලතම විරෝධතා අතරට එක් විය. බර්ලිනයේ නිල වශයෙන් ලියාපදිංචි වී සිටි විරෝධතා කරුවන් 1,500 ප්‍රතිරෝධීව  30,000  පමන පිරිසක් පෙලපාලි දැක්වූහ. මියුනිච්හි 200 ක් පමනක් ලියාපදිංචි කර තිබුන ද  තවත් විරෝධතාකරුවන් 30,000 ක් එක්ව සිටියහ.

තරුනයෝ විරෝධතාවල පෙරමුන ගත්හ. හැම්බර්ග් සහ ඩසල්ඩෝෆ්හි අවම වශයෙන් 20,000 ක පිරිසක් පෙලපාලි ගිය අතර, කොලෝන්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ හැම්බර්ග්හි 10,000 කට අධික පිරිසක් උද්ඝෝෂනය කලහ. ස්ටුට්ගාර්ට්, ෆ්‍රීබර්ග්, නියුරම්බර්ග්, ඩ්‍රෙස්ඩන් සහ තවත් බොහෝ නගරවල  තවත් දස දහස් ගනනක් ප්‍රධාන විරෝධතාවලට එක් වූහ. සමස්තයක් ලෙස නගර 25 ක විරෝධතා පැවැත්විනි.

එක්සත් ජනපදයේ සහ වෙනත් තැන්වල විරෝධතාවන්ට සහයෝගය දක්වමින් 2020 ජුනි 7 වන ඉරිදා රෝමයේ මහජන චතුරශ්‍රයේ විරෝධතා පැවැත්වීම. (රොබර්ටෝ මොනාල්ඩෝ / ලැප්‍රෙස් ඒපී හරහා)

ජර්මානු නගරයක් වන හැනාවෝ හි දක්ෂිනාංශික අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන් පිලිබඳව සඳහන් කරමින්, නිහඬ විරෝධතාව (SilentDemo), කලු ජීවිත වටනේය (BlackLivesMatter) හෝ  ඔවුන්ගේ නාමයන් කියනු (SayTheirNames)යන සටන් පාඨ යටතේ විරෝධතා සංවිධානය විය. අන්ත දක්ෂිනාංශයට එරෙහි වීම සහ රාජ්‍ය යාන්ත්‍රනය තුල නව නාසි ව්‍යූහයන් ශක්තිමත් කිරීමට එරෙහි වීම, විරෝධතාවලදී කැපී පෙනුනි.

ඩෙරෙක් චාවින් පොලිස් භටයා ෆ්ලොයිඩ්ගේ ගෙල දන හිසෙන් තද කරගෙන ඔහු මරනයට පත් කල මිනිත්තු 8 යි තත්පර 46 ක කාලයක් බොහෝ පෙලපාලි වල නිහඬතාවයක් පැවැත්වුනි. 

සහභාගී වූ බොහෝ සංක්‍රමනිකයෝ තමන් දෛනිකව මුහුන දෙන ජාතිවාදී පීඩාවන්ගේ අවස්ථාවන් වෙත අවධානය යොමු කලහ. බොහෝ විරෝධතාවල සටන් පුවරුවලින්, පොලිස් අත්අඩංගුවේ සිටියදී 2005 දී සිර මැදිරිය තුල පුලුස්සා මරනයට පත් කල ඔවුරි ජැලෝහ් සිහිපත් කරනු ලැබින. බර්ලින්හි එක් පෙලපාලිකරුවෙක් “සමානාත්මතාවයකින් තොරව සතුට යනු කුමක්ද?” යනුවෙන් සටන් පාඨ කියමින් කෑ ගැසූ අතර කොලෝන් හි  නිර්මානය කරන ලද එක් සංකේතාත්මක කියමනකින් දැක්වූනේ “පැවැත්මට ගෞරව කරනු. නැත්නම් ප්‍රතිවිරෝධය අපේක්ෂා කරනු ” යනුවෙනි.

කොරෝනා වෛරස් සමාජ දුරස්ථකරන සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන්, නගර කිහිපයක උද්ඝෝෂන විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කල ද, අවසානයේ එසේ නොකිරීමට තීරනය කලේය. එක් එක් පුද්ගලයා අතර මීටර් 1.5 ක දුරක් පවත්වා ගෙන යන ලෙස සංවිධායකයින් දිගින් දිගටම විරෝධතාකරුවන්ට ආයාචනා කල ද, විශාල සංඛ්‍යාවක් සහභාගී වූ බැවින් බොහෝ අවස්ථාවන්හිදී, මෙය කල නොහැකි විය.

බොහෝ විරෝධතාකරුවන් රැස්ව සිටි බර්ලිනයේ දී, පොලිසිය ඇලෙක්සැන්ඩර්ප්ලාට්ස් වෙත යන වීදි අවහිර කලේය. බර්ලිනයේ හා හැම්බර්ග්හි සාමකාමී විරෝධතා මර්දනය කිරීමට පොලීසිය මැර බලය යෙදුවේය. ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෝසවෙඅට කියා සිටියේ හැම්බර්ග්හිදී පොලීසිය තරුනයින් වට කර බැටන් ප්‍රහාර එල්ල කල බවයි. චතුරස්‍රයෙන් විරෝධතාකරුවන් පන්නා දැමීමට අධි පීඩන ජල විදින ද භාවිතා කලේය. සංක්‍රමනික ලමුන් සහ තරුනයින් 36 දෙනෙකු රාත්‍රියක් පුරා රඳවා තබාගත් බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ වාර්තා කලහ.

පොලිස් කෘෘරත්වය පිලිබඳව සමාජ මාධ්‍යවල පුලුල් ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර, සෙනසුරාදා දිනය තුල පමනක් කලු ජීවිත වටනේය (BlackLivesMatter)  # සලකුන 400,000 වාරයක් භාවිතා කර ඇත.    “ෆැසිස්ට්වාදය බොහෝ රූපයන් ගනී ... ”, “ඇමරිකා එක්සත් ජනපදය තුල පොලිස් ප්‍රචන්ඩත්වය  සහ ජාතික ආරක්ෂක බලකාය දෙස බැලූ විට, "  “ෆැසිස්ට්වාදයේ රටාව හොදින් සිහිගන්වයි. ” රොබට් යන අය තම ට්විටර් ගිනුමෙහි සදහන් කර ඇත.

බර්ලිනයේ ගැටුම්වලදී   90 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. ට්විටර් හි පුලුල් ලෙස බෙදාහැර ඇති වීඩියෝවක ජර්මානු පොලිසියේ ප්‍රචන්ඩත්වයට උදාහරන දැක්වින. එහි මෙම ප්‍රතිචාරය ඇතුලත් විය. “ජෝර්ජ් ෆ්ලොයිඩ්  ප්‍රමානවත් නොවුවා ද? ”

විශාලතම විරෝධතා ජර්මනියේ සිදු වූ අතර දස දහස් ගනනක්  යුරෝපය පුරා වීදි බැස තිබුනි. පැරීසියේදී 5,000 කට අධික පිරිසක් එක්සත් ජනපද තානාපති කාර්යාලය වැටලීමට  උත්සාහ කල නමුත් බලධාරීන් උද්ඝෝෂනය තහනම් කිරීමෙන් පසුව පොලීසිය එය වලක්වා ගත්තේය. ආරක්ෂක අංශ ලෝහ වැටවල් සහ මාර්ග බාධක යොදා තානාපති කාර්යාලය මුද්‍රා තැබුවේය. බෝඩෝ, ලිලී, රෙනස්, මර්සෙයිල් සහ ලියොන් යන ප්‍රදේශවල ද දහස් ගනනක් සහභාගී වූ ප්‍රධාන විරෝධතා පැවතුනි.

ෆීලික්ස්

 සරනාගතයින්ට උපකාර කරන සමාජ සේවකයෙකු වන ෆීලික්ස් පැරිස් විරෝධතාවයට සහභාගී වීමට උත්සාහ කලේය. ඔහු ලෝසවෙඅට පැවසුවේ, “මම ශාන්ත ලාසරේ හරහා විරෝධතාවයට එක්වීම සඳහා පැමිනියා. සියලු වීදි පොලීසිය විසින් අවහිර කර තිබුනා. සෑම මාර්ගයකම ඔවුන් අප ඈත්කර යැවුවා, කිසිවෙකු විරෝධතාවට සම්බන්ධවීම වැලකෙන පරිදි ඔවුන් එය සැලසුම් කර ඇති බව අපට අවබෝධ වෙනවා.”

“පොලිස් ප්‍රචන්ඩත්වය සහ සුලුතර ජනතාවට එරෙහි පොලිස් මර්දනය පිලිබඳව මම සැලකිලිමත් වෙමි. මෙම විරෝධතා ව්‍යාපාරය එක්සත් ජනපදයේ ආරම්භ වූ අතර මෙහිද එය පැන නැගී ඇත, එය ඉතා හොඳ දෙයකි. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව බොහෝ පිරිසක් එක්සත් වී ඇති බව පෙන්වීම සඳහා එය භාවිතා කිරීමට මට අවශ්‍යයි.”

ප්‍රන්සය තුල රාජ්‍ය සහ වර්ගවාදී ප්‍රචන්ඩත්වය සුලභ දෙයක්, එය විවිධ ආකාරයෙන් සිදු වන නමුත් සෑම අවස්ථාවක ප්‍රතිඵලය සමානයි: “රාජ්‍යය විසින් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරනවා යැයි කියන නමුත් පොලීසිය විසින් රටේ ජනතාවට පහර දී ඔවුන් මරා දමයි. ”

ඔහු වර්තමානයේ පැන නැගී ඇති විරෝධතා සහ  කහ බැනියම් විරෝධතා ව්‍යාපාරය (yellow vest movement) අතර පවතින සම්බන්ධය පිලිබඳවද අදහස් පල කලේය.“මෙම විරෝධතාවයනුත් කහ බැනියම් විරෝධතා ව්‍යාපාරයත් දෙකම පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව සිදු කරන එකම විරෝධතා ව්‍යාපාරයක්. පොලිස් ප්‍රචන්ඩ ක්‍රියා වඩ වඩාත් සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව, පසුගිය කාලය තුලදී අපි දුටුවා . ‘කහ බැනියම් විරෝධතාවේදී’ ඇස්, අත් අහිමි වූ බොහෝ මිනිසුන්, අපි දැක්කා. එය ‘කහ බැනියම් විරෝධතාවේදී’සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබෙනවා.  මේ සියල්ලම එකම සංසිද්ධියක් වන අතර එය ඉතා කනස්සල්ලට කරුනක්. අප එයට එරෙහිව සටන් කල යුතුයි. ”

බ්‍රිතාන්‍යයේ, දස දහස් ගනනක්  ලන්ඩනයේදී විරෝධතා දැක්වූහ. මැන්චෙස්ටර් හි අවම වශයෙන් 15,000 ක පමන පිරිසක් ඒවාට සහභාගිවී සිටි අතර ෂෙෆීල්ඩ් (3,000) සහ කාඩිෆ් (1,000) යන ප්‍රදේශවල ද විශාල උද්ඝෝෂන පැවතුනි.

ලන්ඩනයේ තවත් විරෝධතාවක් සඳහා දහස් ගනනක්  ඊයේ දිනයේදී එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල රැස් වූහ. බොහෝ දෙනෙක්  “වර්ගවාදය වෛරසයකි ” පාඨය සහිත මුහුනු ආවරන පැලඳ සිටියහ. 

නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම්හි දසදහස් ගනනක් සෙනසුරාදා රැස්ව සිටියහ. පෘතුගාලයේ ලිස්බන් හි 5,000 ක් පමන උද්ඝෝෂනයෙහි නිරත විය. පෝලන්තයේ වෝර්සෝ හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල සිය ගනනක් ජනයා විරෝධතාවයේ යෙදුනහ.

ඉතාලියේ ද විරෝධතා පැවතුනි. ජෙනෝවාහි පැවති පාගමනකට දහසක් පමන සෙනසුරාදා සහභාගී වූ අතර සිය ගනනක් නේපල්ස් සහ බාරි හි එක්සත් ජනපද කොන්සල් කාර්යාල අසල උද්ඝෝෂන වලට සම්බන්ධ වූහ.

විවිධ රටවල ඊයේ විරෝධතා දිගටම පැවතුනි. කෝපන්හේගන්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල 5,000 ක පමන පිරිසක් රැස්ව සිටියහ. රෝමයේ හා මැඩ්රිඩ්හි දහස් ගනනක් ජනතාව විරෝධතාවන්ට එක් වූ අතර, “මට හුස්ම ගන්නබෑ” යන ෆ්ලොයිඩ් ගේ අවසන් වචනය කියමින් විරෝධතාකරුවෝ කෑ ගැසූහ. හංගේරියානු අගනුවර වන බුඩාපෙස්ට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අසල 1,000 කට අධික පිරිසක් රැදී සිටි අතර “සෑම තැනකම පොලීසිය සිටියි, යුක්තිය කොතැනකවත් නැත. ” ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කලහ.

ස්වීඩනයේ ගොතන්බර්ග්හිදී ඉරිදා දහවල් දෙදහසකට අධික පිරිසකගේ විරෝධතාව පොලීසිය ප්‍රචන්ඩ ලෙස විසුරුවා හැරියේය. “උද්ඝෝෂනය විශිෂ්ටයි. එය සාමකාමී උද්ඝෝෂනයක් ” යැයි ඊට සහභාගී වූවෙකු වූ අලි ෆදුරීහ් ගෙටෙබර්ග්ස්-පෝස්ටන් වෙත පැවසීය. ස්ටොක්හෝම් නුවර දහසකට අධික පිරිසකගේ විරෝධතාවයකට එරෙහිව දියත් කල ඒ හා සමාන මර්දනයකින් දින හතරකට පසුව ඇති වූ මෙම මර්දනය සාධාරනීකරනය කිරීමට පොලීසිය කියා සිටියේ, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂනය තුල නොවීම එම සිදුවීමට හේතුව වූ බවයි.

සති අන්තයේදී යුරෝපය පුරා  පැවැත් වූ පෙලපාලි අතර, ඔස්ට්‍රියානු අගනුවර වන වියානාහි බ්‍රහස්පතින්දා සවස 50,000 ජනතාවකගේ දැවැන්ත උද්ඝෝෂනයක් පැවතුනි.

ෆ්ලොයිඩ්ගේ  මරනය සම්බන්ධයෙන් වූ විරෝධතා ප්‍රමානය හා පුලුල් ලෙස ව්‍යාප්ත වීම, ලොව පුරා ජාතිවාදය හා පොලිස් ප්‍රචන්ඩත්වය කෙරෙහි පුලුල් මහජන විරෝධය පිලිබිඹු කරයි. මූලිකවම ඔවුන් මෙහෙයවනු ලබන්නේ, කම්කරු පන්තියට සහ සමාජයේ දුප්පත්ම හා වඩාත්ම පීඩිත කොටස්වලට එරෙහිව එල්ල වූ රාජ්‍ය ප්‍රචන්ඩත්වය සහ පෙර නොවූ විරූ ආකාරයේ සමාජ අසමානතාවන් විසිනි.

“කොරෝනා වෛරස් වසංගතය අවධියේ ගනු ලබන පියවර හේතුවෙන්, සමාජයේ ඉහලම අතලොස්සක් අත ධනය විශාල ලෙස සංකේන්ද්‍රනය වීම සහ අතිමහත් බහුතරයේ දරිද්‍රතාව සෑම රටකම වේගවත් වී ඇත. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෑතතදී ලිවූ ඉදිරිදර්ශනයක සඳහන් කල පරිදි, ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය, ‘පැසවමින් ඇති පන්ති ආතතීන් ඉස්මත්තට එන ප්‍රේරක සිදුවීමක් ’ ලෙස ක්‍රියා කර ඇත . ”

Loading