බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කලමනාකරනය, සාත්තු නිවාසවලදී වැඩිහිටියන්ට මිය යාමට සිදුවනු ඇතැයි පවසයි

මෙම ලිපිය මැයි 19වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

ජොන්සන් රජයේ මිනීමරු ප්‍රතිපත්ති දහස් ගනනක් වූ සාත්තු නිවාස වාසීන්ගේ මරනවලට මග පෑදූ බව සහතික කරන කම්පන සහගත සාක්ෂි ඉස්මතු වෙමින් පවතී.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ඕඑන්එස්) පෙන්වා දෙන පරිදි එක්සත් රාජධානියේ සාත්තු නිවාසවල දී 12,000ක් පමන මියගොස් ඇත. නියම සංඛ්‍යාව මෙයට වඩා ඉහල අගයකි—ද ෆයිනෑන්ෂියල් ටයිම්ස් සහ ද ටයිම්ස් පුවත්පත් අනුව එය අවම වශයෙන් 20,000 කි.

ලන්ඩන් ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනයේ (එල්එස්ඊ) සත්කාර ප්‍රතිපත්ති සහ ඇගයීම් මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ එංගලන්තයේ සහ වේල්සයේ සාත්තු නිවාසවාසී 22,000 ක පමන පිරිසක් කෝවිඩ්-19 යේ සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස මියගොස් තිබීමට ඉඩ ඇති බවයි.  පසුගිය සති කිහිපයේ එංගලන්තයේ සහ වේල්සයේ සාත්තු නිවාස ආශ්‍රිතව වාර්තා වූ දහයකින් හතරක් වන (සියයට 41.6) “අතිරික්ත මරන” ප්‍රමානයකට දායක වන වසංගතයේ සැබෑ බලපෑම, වෛරසයට සම්බන්ධ සාත්තු නිවාස මරන බවට පෙන්වා දෙන ඕඑන්එස් දත්ත මගින් අවතක්සේරු කරන බව එල්එස්ඊ හඳුනාගෙන ඇත.

ඔවුන් සඳහන් කරන ආකාරයට, “දෙසැම්බර 28 සිට සාත්තු නිවාසවල ඇති වූ අතිරික්ත මරන සංඛ්‍යාවේ එකතුව ගෙන, සියයට 15 ක් වන සාත්තු නිවාසවාසීන් රෝහල්වල දී මියයන බවට උපකල්පනය කර, එය ඉහත අගයට ගැලපූ විට, මැයි 1 දිනට අතිරික්ත මරන 22,000ක් කෝවිඩ්-19 වසංගත කාලය ඇතුලත එංගලන්තයේ සහ වේල්සයේ  සිදු වී ඇති බව පෙනේ—එය සමස්ත අතිරික්ත මරන සංඛ්‍යාවෙන් සියයට 54 කි”,

ආන්ඩුවට තම අපරාධවල ප්‍රමානය වසන් කිරීමට නො හැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

පසුගිය සිකුරාදා දින, සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක් ප්‍රකාශකර සිටියේ ආන්ඩුව කොරෝනා පැතිරීම “ආරම්භයේ සිටම” සාත්තු නිවාස “ආවරනය කරමින් ආරක්ෂක වලල්ලක් දැමීමට උත්සාහ කල”බවයි.

ඇත්ත වශයෙන්ම සිදුවූයේ ආන්ඩුව එංගලන්තයේ 400,000 කට වැඩි වසස්ගත සහ අනතුරට භාජනය විය හැකි පුද්ගලයන්ට සෙවන දුන් සාත්තු නිවාස 20,000 ක් ඝාතන භූමීන් බවට පත් කිරීමයි. 

ටෝරීන්ගේ ඉතාම සාහසික අපරාධ අතර එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවයෙහි උපදෙස් පරිදි මාර්තු මාසයේ දී රෝහල් ඇඳන්වලින් රෝගීන් ඉවත්කොට, බොහෝ අය සාත්තු නිවාසවල ඔවුනගේ මරන මංචකයට යැවීම ද වේ. පසුගිය දශක කිහිපයේ දී කාර්ය මන්ඩල ඉවත් කිරීම සහ බිලියන ගනනින් අය-වැය ප්‍රතිපාදන කපා හැරීම මගින් දන ගැස්වූ  ජාතික සෞඛ්‍ය සේවය, කොරෝනා වෛරස්  රෝගීන්ගේ ගලා ඒමකට මුහුන දීමට එයට හැකියාවක් නොමැති වනු ඇතැයි බියපත් විය. ඉතාලියේ මෙන් රෝහල් කොරිඩෝරවල මියයන කෝවිඩ්-19 රෝගීන්ගේ ඡායාරූප හා වීඩියෝ දර්ශන නොමැති තත්ත්වයක් තහවුරු කිරීමට ගත් උත්සාහය තුල දහස් ගනන් වැඩිහිටි ජනයා, බොහෝ දෙනකු ආසාදනයට ලක් වී ඇත්ද යන්න පවා පරීක්ෂා නො කොට, රෝහල්වලින් නෙරපා හරින ලදි. 

පෞද්ගලික සාත්තු නිවාසයක හිමිකරුවෙක්, “නිරිතදිග එංගලන්තයේ දී ඇඳන් 500 ප්‍රදානය කිරීම” යන හිිසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් හෙලිකලේ, “මාර්තු 17 දින, ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රධාන විධායක නිලධාරී, සර් සයිමන් ස්ටීවන්ස්, රෝහල්වල ඇඳන් 90,000ක් හිස් කල යුතු බැවින් පුද්ගලයන් 30,000ක් ඉවත් කල යුතුයයි පැවසූ  බව යි. එබැවින්, ඔවුහු රෝගීන් පරීක්ෂාවකින් තොරව ම සාත්තු නිවාස වෙත යවන ලදි. අපිට පරීක්ෂන අවශ්‍ය නැත—ඔබ ඔවුන් බාර ගැනීම අවශ්‍යයි: ඔවුහු පැවසූහ”.

සියලු ජාතික සෞඛ්‍ය සේවයේ රෝහල් අමතමින් ස්ටීවන්ස් යොමුකල ලිපිය මගින් ඉල්ලා ඇති පරිදි ඔවුහු, “වෛද්‍ය විද්‍යාත්මකව ඉවත යාමට යෝග්‍ය මට්ටමේ සිටින සියලුු රෝහල්ගත රෝගීන් ඉතා ඉක්මනින් රෝහල්වලින් පිටමන් කල යුතුය.”

එම හිමිකරු තව දුරටත් පැවසූ පරිදි, “මා හට දැන් කෝවිඩ්-19 සහිත (සාත්තු) නිවාස දෙකක් ඇත. අපට එය හඳුනාගත හැකිය. නිවාස දෙකෙහි ම, රෝහල්වලින් වෛරසය රැගෙන ආ අයගෙන් එය (රෝගය) පැමිනියේ ය. එබැවින්,  මා හට අයත් වෙනත් නිවාසයක කලමනාකරු දුරකථනයෙන් මා අමතා ඔහු (රෝගීන් බාර ගැනීම) ප්‍රතික්ෂේප කල බව පැවසූ විට, ‘ඉතා හොඳයි’ යනුවෙන් මම නිශ්චිත හඬින් පැවසීමි. එම නිවාසයේ ඇඳන් 90ක් ඇති අතර, අද වනතෙක් එය කෝවිඩ්වලින් නිදහස්ය.” 

“ආන්ඩුව ජාතික සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා කෙතරම් හොඳින් ක්‍රියා කලේ ද යන්න සම්බන්ධව පුරසාරම් දොඩමින් සිටී, නමුත් ඇත්ත නම් සාත්තු නිවාසවල මරන සිදුවීමයි,” ඔහු තව දුරටත් සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සාත්තු නිවාසවාසීන්ට රෝහල් බිම් තහනම් ප්‍රදේශ බවට ප්‍රකාශ කරන ලදි—කාර්මික පරිමානයේ සමාජ මිනීමැරීම එහි ප්‍රතිඵලය විය. සාත්තු නිවාස හිමිකරු පැවසූ පරිදි, “මාර්තු 13 දින පොදු සෞඛ්‍ය ලිපියක් අප වෙත එවන ලද අතර එහි සඳහන් පරිදි, අපගේ නේවාසිකයන් කිසිවකු හෝ සැලකිය යුතු මට්ටමකින් අසනීප වුවහොත්, ඔවුනට රෝහල්වලට ඇතුලුවීමට අවසර නො ලැබෙන අතර, ඔවුනට (සාත්තු) නිවාසවල ම මිය යාමට සිදුවනු ඇත. අපි කිසිදු දිනෙක මෙවැනි දෙයක් කියවා නොමැත.”

ආන්ඩුවේ බොරු සහ ප්‍රචාරන ව්‍යාපාරය සම්බන්ධව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් විවේචනාත්මකව අදහස් දක්වා ඇත. බීබීසී සේවයේ වැඩසටහනක් වන ‘ඇන්ඩෲ මා(ර්) ෂෝ’ හි අදහස් දක්වමින් ඩචි ලැන්කැස්ට(ර්) හි චාන්සලර් මයිකල් ගෝව්, වසංගත සමයේ සාත්තු නිවාස සඳහා ප්‍රමානවත් රැකවරනයක් ලබා දුන් බවට කර තිබූ ප්‍රකාශයට විරෝධය පල කරමින්, එක් වෛද්‍යවරයකු ට්විටර් පනිඩුඩයක් යවමින්, “මම නිතර දේශපාලන ට්වීට් යොමු නො කල ද, මා(ර්)  ෂෝ හි මයිකල් ගෝව් ගේ අදහස් නැරඹු පසු, මා මෙය පැවසිය යුතුය: මම බලාගත් සාත්තු නිවාසයේ ‌රෝහල්වලින් පිටමං කල කෝවිඩ් වැලඳුනු නේවාසිකයෝ සිටියහ. කාර්ය මන්ඩලයට ප්‍රමානවත් තරම් පුද්ගල ආරක්ෂන උපකරන නො තිබුනි. ප්‍රතිඵලය ලෙස, අනෙකුත් නේවාසිකයෝ ඉහල සංඛ්‍යාවලින් මිය ගිය” බව සටහන් වෙයි.

පසුගිය මාසයේ දී, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විද්‍යා උපදේශක වන සර් පැට්‍රික් වැලන්ස් තවත් ජ්‍යේෂ්‍ඨ විද්‍යාඥයන් සමග එක්ව, සාත්තු නිවාසවලට කෝවිඩ්-19 මගින් ඇතිකල හැකි අවදානම සම්බන්ධව “ඉතා කල් ඇතිව ම” දේශපාලනඥයන් වෙත අනතුරු ඇඟවීම් කල බව වාර්තා විය. හදිසි අවස්ථා සම්බන්ධ විද්‍යාත්මක උපදේශක කන්ඩායම (සේජ්) ජනවාරි 22 දින පැවැත්වූ තම පලමු කොරෝනා ව‍ෛරස් රැස්වීමේ සිට, සතියකට දෙවතාවක් බැගින් ආන්ඩුවට උපදෙස් සපයමින් සිටී.

වාර්තාවලට අනුව, වසංගතය ආරම්භයේ දී ම සාත්තු නිවාසවල සහ රෝහල්වල රෝගය පැතිරීමට ඇති අවදානම සම්බන්ධව වැලන්ස් සංඥා කර ඇත. ආන්ඩුව තම නරුම  “ජාතික සෞඛ්‍යා සේවය රැකගනිමු” ව්‍යාපාරය දියත් කරන අවස්ථාව වන විට, මුල් පෙල හෙදියන්ට පුද්ගල ආරක්ෂක උපකරන ප්‍රමානවත්ව නොමැතිව හෝ කිසිසේත් නොමැතිව මාරාන්තික වෛරසය සමග සටන් කිරීමට සිදුව තිබූ තත්ත්වයක් යටතේ, හෙද නිවාස ඒවායෙහි ඉරනම වෙත තල්ලුකර දමා තිබුනි.

මාර්තු මස 12 තරම් මෑතක—පෙබරවාරි 25 දිනට පසුදාතම කරමින්— සාත්තු නිවාසවාසීන් උදෙසා ආන්ඩුවේ එකම මග පෙන්වීම වූ, “සාත්තු නිවාසවල රැකවරනය ලබන අයට රෝගය වැලඳීමට ඇති අවස්ථාව “ඉතා සීමිතය” යන්න නොවෙනස්ව පවතී” යන්න ඉදිරිපත් විය.

මෙම මග පෙන්වීම මාර්තු මස 13 දින වන තෙක්, එනම්, ප්‍රධාන වෛද්‍ය නිලධාරී, සර් ක්‍රිස් විටී ප්‍රජා පැතිරීම ආරම්භ වී තිබීමට ඉතා ඉහල ඉඩක් ඇති බව සහ එබැවින් ආයතන මෙම උපකල්පනය මත ක්‍රියා කල යුතු බවත් ප්‍රසිද්ධියේ තහවුරු කොට සතියකටත් වඩා ඉක්ම යන තෙක්, පැවතුනි. කෙසේ වුවද, ප්‍රජා පැතිරීම සම්බන්ධව දැනුවත්ව දින අටක් ගත වූ පසුව ද, අදාල මගපෙන්වීම් දිගින් දිගටම ප්‍රකාශ කලේ සාත්තු නිවාසවල සිදුවීම් සඳහා ඇති ඉඩ “ඉතා සීමිත” බවයි. 

ආන්ඩුවේ “පොකුරු ප්‍රතිශක්ති” උපායමාර්ගය හේතුවෙන් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසයේ ඉදිරි සති තෙක් සමස්ත ජනගහනය පුරාම රෝගය සීඝ්‍රයෙන් පැතිර ගියේ ය. පසුගිය සතියේ දී, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂන කන්ඩායමක් විසින් නගරයේ ඇඩෙන්බෲක්ස් රෝහලේ පැවැත්වූ සමීක්ෂනයක ප්‍රතිඵල අනුව, දහස් ගනනක් වූ හෙදියන්, වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්යමන්ඩල තමාට රෝගය වැලඳී ඇති බවට අවබෝධයෙන් තොරව සහ, බොහෝ අවස්ථාවල, කිසිදු රෝග ලක්ෂනයක් නො පෙන්වමින් රෝගය පතුරවමින් සිටීමට ඉඩ-කඩ ඇති බව සොයාගෙන ඇත.

අප්‍රේල් 02 දින, සාත්තු නිවාස කරා යොමු කිරීම සඳහා රෝහල්වලින් රෝගීන් ඉවත් කිරීමේ දී කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු කෙරෙන වාර්තා අවශ්‍ය නොවන බවට වෙනත් මගපෙන්වීමක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කලේ ය. අදාල ලේඛනය සාත්තුකිරීම්වල ගුනාත්මක බව පිලිබඳ කොමිසම (සීක්‍යුසී), ජාතික සෞඛ්‍ය සේවය සහ එංගලන්ත පොදු සෞඛ්‍ය ආයතන විසින් ඒකාබද්ධව අත්සන් ලබා තිබුනි.

මේ වන විට සාත්තුකිරීම්වල ගුනාත්මක බව පිලිබඳ සීක්‍යුසී, බොහෝ රෝහල් සැක කිරීමකින් තොරව ම—හෝ දැනුවත්වම පවා— ජනතාව සාත්තු නිවාස වෙත හරවා යැවූ බවට වන චෝදනා සම්බන්ධව විමර්ශන පවත්වමින් සිටී.

කාර්යමන්ඩල සේවයට වාර්තා නො කිරීමේ අනුපාතය අහස උසට නැගීම මගින් මෙම අර්බුදය වඩාත් නරක අතට හරවන ලදි. ද ගාඩියන් පුවත්පතට අනුව “සියයට 10 සිට සියයට 20 ක් දක්වා ප්‍රමානයක කාර්යමන්ඩල නොපැමිනීම් අනුපාතයක් යටතේ සාත්තු නිවාස පවත්වාගෙන යමින් ද, බොහෝ (සාත්තු) නිවාස ආසාදනය පැතිරීම වලක්වනු වස් පදිංචිකරුවන් තම කාමරවල හුදකලා කොට තැබීමට උත්සාහ දරමින් ද සිටින නමුත්, මෙම තත්ත්වය ඔවුනගේ සාමාන්‍ය සාත්තුව වඩා අපහසු කරන අතර ම ඔවුනගේ අවශ්‍යතා දෘෂ්‍යමාන විම අඩු කරයී”.

ඇතැම් නිවාසවල නොපැමිනීමේ අනුපාතය ඉතා ඉහල ය. වයඔ එංගලන්තයේ එක් සාත්තු නිවාස කලමනාකරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූයේ වසංගත සමයේ දී සියයට 70 ක් දක්වා වන කාර්යමන්ඩලයක් නො පැමිනි බවයි. “එය මුලුමනින්ම ව්‍යාකූල තත්ත්වයක් විය. එය සුලිසුලඟක් මෙන් විය. කාර්ය මන්ඩලය, නැවත කිසි දිනෙක දක්නට නො ලැබෙන සේ, පිටව යමින් සිටී. කාර්ය මන්ඩල ප්‍රමානයේ බලපෑමත් සමග එය (වෛරසය) මත වැස්මක් දැමීමට හැකියාවක් නොමැත. (මානසික) ශක්තිය නොමැති නමුත් කිසිදු රෝග ලක්ෂනයක්  නො පෙන්වන පදිංචිකරුවෝ ශාලාවල සහ දිවා කාමරවල ඇවිදින විට වෛරසය පැතිරවීමට හැකියාව ඇත.”

හැන්කොක්ගේ මුසාවාදයන්ට පිලිතුරු දෙමින්, ස්වාධීන සමාජ සත්කාර සේවාවන් සඳහා වූ විශාලතම නියෝජිත ආයතනය වන කෙයා ඉන්ග්ලන්ඩ් හි ප්‍රධාන විධායක මාර්ටින් ග්‍රීන් පැවසූ පරිදි ඔහුට අවශ්‍ය වූයේ, “ඇත්ත වශයෙන්ම ආරක්ෂිත වලල්ලට ඇතුලත් වූයේ මොනවා ද යන්නට අදාල සාධක සොයා ගැනීමට” වේ. “ඒ අයගෙන් අහන්න, එසේනම් ඇයි ආන්ඩුව පෙබරවාරි මාසයේ දී සාත්තු නිවාසවලට ප්‍රමුඛතාවය දෙමින් හිටියේ කියලා, අපි මරන හා සම්බන්ධ කිසිදු දත්තයක් දැක්කේ නෑ”, ඔහු පැවසීය.

සඳුදා දින, ද ගාඩියන් බටහිර ලන්ඩනයේ සාත්තු හා හෙද නිවාසවල අලුතින් කෝවිඩ්-19 ව්‍යාප්තියක් පිලිබඳ වාර්තා කලේ ය. එය පෞද්ගලික හෙද නිවාස 15 කට අයත් නේවාසිකයන් 1,000 කගේ නම් තම ලේඛනවල ඇතුලත් සාමාන්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රධානියකු වන වෛද්‍ය ඈන් ඩවුන් උපුටා දක්වයි. “අපි උමගය කෙලවර ආලෝකය ඇතැයි සිතන විටම, පසුගිය පැය 48 ඇතුලත අලුත් හෝ වඩා දරුනු ව්‍යාප්ති දෙකක් සාත්තු නිවාසවල”, ඩවුන් පැවසීය.

එක් නිවාසයක, කෝවිඩ්-19 යැයි සනාථ කල හෝ සැකසහිත 27 දෙනකු මේ වන විටත් මරනයට පත් වී ඇත. “පසුගිය සති දෙකක කාලය ඇතුලත නව සිදුවීම් වාර්තා වී නොමැති,  මෙම නිවාසයේ, පරීක්ෂන පැවැත්වීමේ දී එහි එක් ඒකකයක වසන පුද්ගලයන් 22 කින් 8 දෙනකු වෛරසය සහිතව හඳුනාගෙන ඇත. පසුගිය දින කිහිපයේ දී නේවාසිකයන් පස් දෙනකු රෝහල්ගත කර ඇත.”

Loading