1960 ගනන්වල ෂෝන්-ලූ ගොඩාගේ චිත්‍රපටවල රඟ පෑ ඇනා කැරිනා 79 වෙනි වියේ දී මිය යයි

මෙම ලිපිය 2019 දෙසැම්බර් 17 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ප‍්‍රන්ස-සුවිස් අධ්‍යක්ෂක ෂෝන්-ලූ ගොඩාගේ මුල් චිත‍්‍රපටවල රඟපෑම ගැන වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූ ඇනා කැරිනා නමැති ඩෙන්මාර්කයේ උපන් නිලිය, පසුගිය දෙසැම්බර් 14 වෙනි දා, පිලිකා රෝගයෙන්, පැරීසියේ ආරෝග්‍ය ශාලාවක දී මියගියා ය.

විවා ස වී (1962)

1960 සහ 1966 අතර කාලය තුල, චිත‍්‍රපට සංග‍්‍රහයක එක්කොටසක ඇතුලු ගොඩාගේ වෘත්තාන්ත චිත‍්‍රපට හතක ඇය රඟපෑවා ය. ඒවායින් ප‍්‍රමුඛ වූයේ 1960 රූගත කර, 1963 ප‍්‍රදර්ශනය කරන ලද, ල පෙටී සොල්දා (Le Petit Soldat, පුංචි සොල්දාදුවා), විවා ස වී (My Life to Live, ගෙවිය යුතු මා දිවිය, 1962) , ඇල්ෆවීයේ (Alphaville, 1965) සහ පියෙරෝ ල ෆූ (Pierrot le Fou, පියෙරෝ  නම් උම්මත්තකයා, 1965) යන චිත‍්‍රපට ය. කැරිනා පිරිමි රූපන ශිල්පීන් කිහිප දෙනෙක් ම සමග රඟපෑ අතර එම චිත‍්‍රපටවල (සමහර විට පියෙරෝ ල ෆූ චිත‍්‍රපටයේ හැර) ඇගේ සැබෑ සම-තාරකාව වූයේ අන් කිසිවකු නොව ගොඩා ය.

ෂෝන්-ලුක් ගොඩා, 1968 (ස්තුතිය: ගැරී ස්ටීවන්ස්)

20 වෙනි ශතවර්ෂයේ අවසන් තුනෙන් පංගුවේ දී සමාජ විප්ලවය මුහුන දුන් ඉරනම මගින් බොහෝ දුරට තීන්දු  කෙරුනු ගොඩාගේ පසුකාලීන පරිනාමය කුමක් වෙතත්, කැරිනා සමග ඔහු නිර්මානය කරන ලද චිත‍්‍රපට පශ්චාත්-යුද සමයේ චමත්කාර ජනක (රොමෑන්තික) හැඟුම් අවදි කිරීම අතින් ඉතාමත් බුද්ධිමය ලෙස භාවගීතමය වූ ඒවා වන්නේ ය. 

1940 සැප්තැම්බර් 22 දා, හැනී කැරින් බ්ලාකි බේයර් ලෙස කෝපන්හේගන්හි දී කැරීනා උපත ලැබුවා ය. නෞකා කපිතන්වරයකු වූ ඇගේ පියා, ඇය ලදරු අවදියේ දී ම පවුල අත්හැර ගියේ ය. මවගේ දෙමාපියන් සමග ඇය සොවින් හා අසහනයෙන් වැඩුනා ය. ඇගේ 18 වෙනි උපන් දිනට පෙර දී, ඇය පැරීසිය බලා පිටත් වී ගියේ නිලියක වීමේ අපේක්ෂාවෙනි. 

විලාසිතා නිරූපන රැකියා කිහිපයකට පසු ඇය ගොඩාගේ අවධානයට යොමු වූවා ය. ඔහු ඇය පාමොලිව් සබන් ප‍්‍රචාරන දැන්වීමක දැක තිබුනි. ඔහු තම ප‍්‍රථම වෘත්තාන්ත චිත‍්‍රපටය වූ බ්‍රෙත්ලස්හි (1959) කුඩා චරිතයක් සඳහා ඇය ව යොදා ගැනීමට උත්සාහ ගත්තේ ය. යෝජිත චිත‍්‍රපටය සඳහා, සිය වස්ත‍්‍ර උනා දැමීම අවශ්‍ය බව දැන ගත් අවස්ථාවේ දී, අභිලාෂවත් නිලිය කෝපයෙන් යුතුව කල් ඇතිව එය ප‍්‍රතික්ෂේප කරන ලද බැවින් එම උත්සාහය අසාර්ථක විය. පසුව 1959 දී, ගොඩා ඇයට තම ඊලඟ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයකට ආරාධනා කලේ ය. මෙහි ඇතුලත් වීඩියෝවේ  දී කැරිනා ප‍්‍රන්සයේ ඇගේ මුල් අත්දැකීම් විස්තර කරයි. 

නව-යටත්විජිතවාදී ඇල්ජීරියානු යුද්ධ කාලයේ දී ප‍්‍රන්ස බුද්ධි සේවාවේ කටයුතු කිරීමට බලෙන් නම්මා ගන්නා තරුන මිනිසකු (මයිකල් සුබෝ) පිලිබඳ පුවතක් සහිත ඔහුගේ “ල පෙටී සොල්දා” චිත‍්‍රපටයේ රඟපාන්නට ඔහු පසුව කැරිනා පොලඹවා ගත්තේ ය. වෙරෝනිකා ඩ්‍රියර් (ප‍්‍රකට ඩෙන්මාර්ක් අධ්‍යක්ෂක කාල් ඩ්‍රියර්ට උපහාර වශයෙන් තැබූ නමකි, නිලිය කැරීනා ය) හමු වන ඒ තරුන මනුෂ්‍යයා, ඇල්ජීරියානු ජාතික විමුක්ති පෙරමුනට සහාය දක්වන්නා වූ ඇය සමග ප්‍රේමයෙන් වෙලෙයි. ප‍්‍රන්ස බලධාරීහු මියයන තෙක් වෙරෝනිකාට වධ දීමෙන් තම කටයුතු නිමා කරයි. මේ කෘතියේ දේශපාලනය අපැහැදිලි ව පැවතුනත් එය ප‍්‍රදර්ශනය සඳහා නිදහස් කිරීම ප‍්‍රංශ රජය විසින් තුන් වසරක් ප‍්‍රමාද කලේ ය. 

ෂෝන්-ලුක් ගොඩාගේ විවා ස වීහි රඟපාන ඇනා කැරීනා (1962)

 

දරුවකු ලබන්නට වුවමනාකම ඇති, විචිත‍්‍රවත් නර්තන ශිල්පිනියක පිලිබඳ නොගැඹුරු අර්ධ-සංගීතමය චිත‍්‍රපටයක් වූ ගැහැනිය ගැහැනියකි  (A Woman Is a Woman, Une femme est une femme, 1961) ගොඩාගේ හා කැරිනාගේ (දැන් ඔවුන් යුවලකි) දෙවෙනි චිත‍්‍රපටය විය. මේ චිත‍්‍රපටය ස්ත‍්‍රීත්වය වෙනුවෙන් (විචාරක ඇන්ඩෲ සාරිස්ගේ ප‍්‍රශංසාත්මක ව්‍යවහාරයට අනුව “ස්ත‍්‍රියකගේ සෘජු අනෙකාගේ තත්ත්වය”) සම්පාදනය කරන ලද ඉහවහ ගිය අවිවේචනාත්මක අභිනන්දනයක් සහ කැරිනා කෙරෙහි වූ ගොඩාගේ අතිශයින් ප‍්‍රබල හැගීම්වල විදාරනයකි. එය වුවමනාවට වඩා පැහිච්ච කමින් පීඩාවට පත් වී ඇත.  

විවා ස වී චිත‍්‍රපටය සමහර විට ගොඩා සහ කැරිනා අතර ඉතාමත් වැදගත් හවුල්කාරී නිර්මානය ලෙස නැගී සිටියි. පසුව ගනිකා වෘත්තියට වැටෙන, සංගීත තැටි සාප්පුවක ලිපිකාරිනියක් මෙන් ම නැගී දිලෙන්නට වුවමනා නිලියක වූ නානා ලෙස කැරිනා එහි රඟපායි. මේ කලු-සහ-සුදු කෘතිය ලුහුඬු පරිච්ඡේද 12කින් තම සෝබර කථාව පවසයි.

මෙහි දී කැරිනාගේ මුහුන සහ අංගෝපාංග වඩාත් විශාල හේතු කාරනාවක්, එනම් සමකාලීන පැරීසියේ ගනිකා වෘත්තිය පිලිබඳ ව සානුකම්පික ව පවසනු ලබන අධම කථාවක් වෙනුවෙන් යටත් කරනු ලැබේ. නානා සහ කථකයා අතර දෙබසක දී, ජීවිතය පිලිබඳ ව විස්තර මතු වෙයි.: “මට කාමරයක් තියෙනවා ද?” “සාමාන්‍යයෙන් හෝටල්වලින් මාරු කරන්නේ තුවා පමනයි, ඇඳ රෙදි මාරු කරන්නේ නැහැ. නිතරම ඇඳන් පිලියෙල කරලා තියෙන්නේ නිකං යට ඇතිරිල්ලෙන් පමනයි.” “පොලීසිය?” “ඔවුන් වැටලීම්, ප‍්‍රශ්න කිරීම් කරනවා. රෙගුලාසි කඩ කරන කෙනෙක් ඉන්නවා නම් වෛද්‍ය පරීක්ෂනයට යවනවා.” “මට කැෆෙ එකේ දී මත්පැන් පානය කරන්න අවසර තියෙනවා ද?” “ගනිකාවක් වුනහම  අපට වගකීමක් තියනවා. ඇය කලබල ඇති කරන්නියක නිසා ඒක කරදරයක්.” “මම ගැබිනි නම්?” ” මිනිස්සු සිතන්නේ ගනිකාවක් නිතරම ගබ්සා කරනවා කියලයි. ඇත්ත ඒක නොවෙයි. ඔවුන් රසායානික විධිවලින් හෝ වෙනත් මාර්ගවලින් ගැබ් ගැනීම වලක්වනවා. නමුත් ගැබ් අරගෙන කියලා සනාථ වුනු අවස්ථාවල ගබ්සා කිරීම සිදු වන්නේ කලාතුරකින්.” “මට  ඕනෑම කෙනෙක් පිලිගන්න අවසර තියෙනවා ද?” “ ගනිකාව නිතරම ගනුදෙනුකරුවාගේ කැමැත්තට එකඟ විය යුතුයි. අරයව ... මෙයාව ...” කියල මුදල් ගෙවන  ඕනෑම කෙනෙක් ව එයා පිලිගත යුතුයි. “ගනුදෙනුකරුවන් නිතිපතා එනවා ද?” “පහල ශ්‍රේනියේ ගනිකාවකට සාමාන්‍යයෙන් දවසකට පහේ සිට අටක්,” යනාදි වශයෙනි. 

එමිල් සෝලා, එඩ්ගා ඇලන් පෝ, ජී. ඩබ්ලියු. පැබ්ස්ට්ගේ පැන්ඩොරාස් බොක්ස් (1929) චිත්‍රපටයේ රඟන නිලිය වන ලූයී බෲක්ස්, ඩි‍්‍රයර්ගේ පැෂන් ඔෆ් ජෝන් ඔෆ් ආක්  (1928) සහ මැර කල්ලි චිත‍්‍රපටි ගැන කරන සඳහන් කිරීම් හා විස්තෘත දර්ශනයක් තුල ප‍්‍රන්ස දාර්ශනික බ්‍රීස් පරා ඇතුලත් කිරීම යන මේ සියල්ල, එම කෘතියේ දුර්වල, ස්ව-සවිඥානක අංශය වෙනුවෙන් දායක වී ඇත. කෙසේ වෙතත්, විවා ස වී චිත‍්‍රපටයේ නිර්ව්‍යාජ, සිත් කාවදින හා සිත් සසල කරවන අංග සහ මනෝ විද්‍යාත්මක සංයුක්තතාවන් බොහෝ දුරට රජ කරයි. පහත දැක්වෙන දර්ශන මාලාව ඒ ගැන අදහසක් ලබා දෙනු ඇත. 

https://www.youtube.com/watch?v=Zq_ytGRD5do and

https://www.youtube.com/watch?v=2n_r_5RXobM and

https://www.youtube.com/watch?v=-C9x131Iof0.

ඇල්ෆවීයේ  සහ පියෙරෝ ල ෆූ ද වටිනාකමින් හෙබි, සුන්දර කොටස්  බොහොමයකින් සමන්විත වූ කෘති වන අතර ඒවා ද ස්ව-සවිඥානක හා අනගි අවස්ථාවලින් තොර නොවේ.

ඇල්පවීයේහි රඟපාන ඇනා කැරීනා (1965)

ගොඩා-කැරිනා සිනමාපට කාරනා කිහිපයක් එකවර සටහන් කරයි: තමාගේ ම බුද්ධිමය, සංස්කෘතිකමය හා මනෝවිද්‍යාත්මක ආකාරයකට ජීවිතය පවත්වා ගන්නට අදිටන් කරන ලද පශ්චාත්-යුද මධ්‍යම පන්තික තරුන පරපුරක සජීවිත්වය; එම පරපුර බොහෝ දුරට සූදානම් වී නොසිටි ඇල්ජීරියානු හා වියට්නාම් යුද්ධ සහ ඉන් අනතුරුව ඇති වුනු 1968 මැයි-ජුනි සිද්ධීන් වැනි නොවැලැක්විය හැකි මට්ටමේ දේවල්වල පවා පැනනැගීම සහ දේශපාලන සංසිද්ධීන්ගේ පුපුරා යාම.  

1960 ගනන්වල සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය සහ වැඩෙන සමාජ ආතතීන් මගින් ඔවුන් මත ඇති කරන ලද අසංඛ්‍ය පීඩනයේ කොටසක් ලෙස 1960 ගනන්වල මැද කාලය වන විට කැරීනා හා ගොඩාගේ විවාහය වේදනාකාරී ලෙස දෙදරා ගියේ ය. මා ඕවාදය සොයා ගනිමින් පමනක් නොව ට්‍රොට්ස්කිවාදය සමග ද ආල බස් දොඩමින්, ගොඩා වාමාංශය වෙතට හැරෙන කාලය වන විට ඔවුන්ගේ සම්බන්ධතාව දිය වී ගොස් තිබුනි.

ප‍්‍රන්ස බුද්ධිමතුන් බොහෝ දෙනෙකු කර ගත් පරිදි, ගොඩා ද සිය ඇද වැටීම සනාථ කර ගත්තේ කම්කරු පන්තියේ විප්ලවීය විභවය බලසම්පන්න ලෙස  ප‍්‍රදර්ශනය කරන ලද 1968 මහා වැඩවර්ජනය මගින්, අඩු වැඩි වශයෙන්  වටවංගු සහිත වූ හා දිගට ඇදෙන්නා වූ නන්විධ මංමාවත් ඔස්සේ ය. “ප‍්‍රති-ධනේශ්වර” උද්ඝෝෂනාත්මක සහ ප‍්‍රචාරක චිත‍්‍රපටි කිරීමට දැරූ ඔහුගේ නොමග ගිය ප‍්‍රයත්නයන් අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනු අතර ඔහුගේ වඩාත් මෑත කෘතීන් ව්‍යාධියක් තරමට උග‍්‍ර වූ ආත්ම ධෛර්ය කඩාවැටීමක් සහ මංමුලාවක් පෙන්නුම් කරන නමුත් ඒවා වෙනත් ලිපියකට විෂයය විය යුතු මාතෘකාවන් ය.

පියෙරෝ ල ෆූහි රඟපාන ෂෝන්-පෝල් බෙල්මොන්දෝ හා ඇනා කැරීනා (1965)

ලූචිනෝ විස්කොන්ති, වෝල්කර් ෂොලන්ඩෝෆ්, ජෝර්ජ් කූකො, ටෝනි රිචර්ඩ්සන්, ආන්ද්‍ර ඩෙල්වො, රයින වර්නර් ෆාස්බයින්ඩර්, රාවුල් රුයි, ජැක් රිවෙට් සහ ජොනතන් ඩෙමී ආදීන් සමග චිත‍්‍රපට තනන්නට ගිය කැරිනා විසින් ම චිත‍්‍රපට දෙකක් ද අධ්‍යක්ෂනය කරන ලද නමුත්, ඇය ගොඩා සමග එකතු වී කල චිත‍්‍රපටවල ඇගේ රගපෑම් වඩාත් කල් පවත්නා බව ගැන කිසිවකු විවාදයකට නොඑලඹෙන තරම් ය. 

කැරිනා සමග එකතු වී ගොඩා නිර්මානය කල චිත‍්‍රපට බුද්ධිමය බැරෑරුම්භාවය, විස්මය ජනක කුතුහලය රැගත් සාහිත්‍ය හා චිත‍්‍රපට ආභාස, සැලකිය යුතු හාස්‍යය, ග‍්‍රස්තිය සහිත පවා වන තරමේ සවිමත් හැගීම් සහ දෘශ්‍ය හා වාචික කාව්‍යය එකට එකතු කරයි. 1964 දී අ වුමන් ඊස් අ වුමන් චිත‍්‍රපටය ගැන ලියමින් සාරිස් තර්ක කරන්නේ එම චිත‍්‍රපටය “ද්විලිංගික ආලයේ විචිත‍්‍ර අතිදුක්ඛය ප‍්‍රකාශ කරන්නට සිනමාවේ සියලු සම්පත් යොදා ගැනීම” සිදු කරන බව යි. මේ චිත‍්‍රපටය  ඒවායේ ප්‍රේක්ෂකයින් මත කල් පවතින අන්දමේ බලපෑමක් ඇති කලේය. ෆාස්බයින්ඩර් වරක් සඳහන් කලේ ගොඩාගේ චිත‍්‍රපට, හුදෙක් විනෝදය ජනනය කිරීමට වැඩි දෙයක් චිත‍්‍රපටි මගින් කල හැකි බව හෙලිදරව් කරන්නට අදහස් කරන ලද  ඔහුගේ පරපුර දුටු මුල් ඒවා බව ය. 

1960 ගනන්වල ඇති වුනු දේශපාලන උද්ගතයන් අබිමුව ගොඩා-කැරිනා සිනමා හවුල්කාරිත්වය බිඳ වැටීම, සාහිත්‍යය හා විප්ලවය කෘතියේ දී ව්ලැදිමීර් මායාකොව්ස්කි කවියා පිලිබඳ ව ලියොන් ට්‍රොට්ස්කි සඳහන් කල කාරනයෙන් බිඳක් සිහිපත් කර දෙයි. ට්‍රොට්ස්කි සඳහන් කලේ මායාකොව්ස්කිගේ පූර්ව-විප්ලවීය කවි “කලාත්මක අතින් ඔහුගේ ඉතා වැදගත්, නිර්මානාත්මක ලෙස ඔහුගේ නිර්භීතතම හා ඉතාමත් අපේක්ෂා සහගත කෘතීන්” බව ය.  ඔහු “විප්ලවයේ කක්ෂයට ප‍්‍රවිෂ්ට වන්නට” උත්සාහ කල විට කවියාගේ ප‍්‍රයත්න පීඩාවට පත් විය. සැබැවින් ම, ට්‍රොට්ස්කි තර්ක කලේ, කොයි හැටි වෙතත් භව්‍යතාවක් නො වන දෙයක් වන,  කලාකරුවන් දේශපාලන සිද්ධීන් නොතකා දුරින් සිටිය යුතු බව නොවේ. ඔහු කලේ සුළු ධනේශ්වර බොහිමියානුවන් තම “බුද්ධි ප‍්‍රජාවේ වැසුනු ලෝකය” අත්හරින විට මුහුන දෙන වැලැක්විය නොහැකි දුෂ්කරතාවන් වෙත ඇඟිල්ල දිගු කර පෙන්වීම යි. 

1960 ගනන්වල මුල් යුගයේ ගොඩා-කැරිනා චිත‍්‍රපට නැරඹීම අනිවාර්ය වන ඒවා වේ.

Loading