සමාජවාදී සමානතා පක්ෂය, ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය සහ ධනපති ඒකාධිපතිත්වයට එරෙහිව අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

සමාජවාදී සමානතා පක්ෂය ජුනි 14 වන ඉරිදා සවස 3ට “ඇමරිකාවේ ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි අරගල රැල්ල සහ ධනපති පන්තියේ ඒකාධිපති සලසුම්” යන තේමාව යටතේ ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීමක් පැවැත්වීමට නියමිතය. පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව හරහා මෙම රැස්වීම සජීවීව විකාශය කෙරෙනු ඇත.  

සසප රැස්වීම පැවත්වෙන්නේ ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරෝධය පලකරමින් සිය දහස් ගනනක් ජනතාව ඇමරිකාවේ සහ ලෝකය පුරා විරෝධතාවන්ට සහභාගී වෙමින් සිටින තතු තුලයි. මැයි 25 වනදා ෆ්ලොයිඩ් මරාදැමීමේ පටන්, මෙම ලෝක ව්‍යාපාරයේ කේන්ද්‍රස්තානය වූ ඇමරිකාවේ මෙන්ම යුරෝපයේත්, ඔස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, ඉන්දියාවේ, පකිස්තානයේ, ටියුනීසියාවේ සහ මෙක්සිකෝවේ ඇතැම් නගරවලත් දැවැන්ත බහුවාර්ගික සහ බහුසංස්කෘතික විරෝධතා ව්‍යාපාර පැවැත්වුනි. 

මෙම සමාජ නැගිටීමේ ප්‍රේරක සිදුවීම ෆ්ලොයිඩ්ගේ ඝාතනය වුවත් විරෝධතාවල මූල හේතුව ලෙස පැවතියේ මහජනතාව අතර දැවැන්තව වැඩීගිය සමාජ සහ දේශපාලන කෝපයයි. එය දශක ගනන් ඇදී යන නිමක් නැති යුද්ධ, මූලික ප්‍රජාතන්ත්‍ර අයිතීන් කාබාසිනියා කිරීම සහ කොවිඩ්-19 වසංගත තත්වය යටතේ වේගවත් කෙරුනු මූල්‍ය කතිපයාධිකාරයේ තුනී තට්ටුවක් අත ධනය සංකේන්ද්‍රනය වීමට එරෙහි ප්‍රතිචාරයයි.

ඉදිරියට යමින් තිබෙන සමාජ නැගිටීමට ප්‍රතිචාර ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතා මැඩීමට දැඩිව ආයුධ සන්නද්ධ කල පොලිස් බටකායන් යොදා ඇති අතර ඒවා කම්මුතු කර දැමීම සඳහා හමුදා කැඳවන බවට තර්ජනය කර ඇත. ඒ අයුරින් ඔහු උත්සහ කරමින් සිටින්නේ ව්‍යවස්ථාවට පයින් ගසමින්, මිලිටරි ඒකාධිපතිත්වයක් ගොඩනැගීම සඳහා වන කුමන්ත්‍රනයකටයි. 

ඇමරිකාව කේන්ද්‍ර කරගත් මෙම වර්ධනයන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා කම්කරු පන්තියේ හදිසි ගෝලීය මැදිහත්වීමක් ඉල්ලා සිටියි. වැඩෙන අරගලවල ගෝලීය ස්වභාවය විසින් පෙන්වාදී ඇත්තේ එවැනි ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමට සහ රාජ්‍ය මර්දනයේ මූලය වන ධනවාදයට, සමාජ අසමානතාවයට සහ ඒකාධිපතිවාදයට එරෙහි සටනක් සඳහා වෛෂයික කොන්දේසි පවතින බවයි. 

අර්බුද ග්‍රස්ත ධනපති පාලනයක් මත්තෙහි සිටින ලංකාවේ ගෝටාභය රාජපක්ෂ තන්ත්‍රය, ගෝලීය පාලක පන්තීන්ට සමගාමීව මිලිටරි ඒකාධිපතිත්වයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින අතර කම්කරු පන්තියේ සහ පීඩිත මහජනතාවන්ගේ අරගල මෘග ආකාරයෙන් තලා දැමීමට තම සූදානම ප්‍රකාශයට පත්කර ඇත. ලංකාවේ කම්කරු පන්තිය ජාත්‍යන්තර කම්කරු පන්තිය සමඟ අත්වැල් බැඳගත යුතුය.   

මෙම වැදගත් අවස්ථාවට සහභාගී වී එම ජාත්‍යන්තර වැඩපිලිවෙල පිලිබඳව සාකච්ඡා කරන ලෙස කම්කරුවන්ට, තරුනයින්ට, බුද්ධිමතුන්ට සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ට අපි ආරාධනා කරමු.

Loading