සසප, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප), ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයන් සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තුල පුවත්හසුනක් දියත් කිරීමට පියවර ගෙන ඇත. 

අධ්‍යාපන සේවකයන්ට සසප පනිවිඩ නම්වූ මෙම පුවත්හසුනේ සමහර පිටපත් මුද්‍රිත ආකාරයෙන්ද නිකුත් කිරීමට සසප බලාපොරොත්තු වෙයි.

ලංකාව තුලත් ජාත්‍යන්තරවත්, ධනපති ආන්ඩු විසින් මූල්‍ය   ප්‍රාග්ධනයේ අවශ්‍යතාව මත සිදු කරගෙන යන අධ්‍යාපන කප්පාදුවලට එරෙහිව, ගුරුවරුන්ගේ, දෙමාපියන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල මාලාවක් පැන නගිමින් පවතී.

එම අරගල සඳහා අවශ්‍ය කම්කරු පන්තික දේශපාලන ඉදිරිදර්ශනයන් සාකච්ඡා කෙරෙන වේදිකාවක් අප පුවත්හසුනෙන් සම්පාදනය කෙරෙනු ඇත. වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම පක්ෂ විසින් කම්කරු පන්තිය තුල එවන් සාකච්ඡාවන් මුලුමනින්ම අහුරා තිබෙන තත්වයක දී අව්‍යාජ කම්කරු පන්තික වේදිකාවක් දැවෙන අවශ්‍යතාවයක් ලෙස පවතී. 

අධ්‍යාපන සේවකයන්ට සසප පනිවිඩ පුවත්හසුනට, ඔබේ අදහස් හා පුවත් යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු.  ඔබගේ විද්‍යුත් තැපෑල මගින් එය ලබාගැනීමට දායක විය හැකි ය. 

අන් රටවල ආන්ඩු මෙන්ම රාජපක්ෂ තන්ත්‍රය කොරෝනා වසංගතය මගින් පැනනංවා තිබෙන අනාරක්ෂිත කොන්දේසි යටතේම පාසල් යලි විවෘත කරන්නේ, ලමුන්ගේ ආරක්ෂාව මුලුමනින්ම ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පවරමිනි.    

පාසල් යලි ආරම්භ කිරීමේ දී සමස්ත පාසල් ප්‍රජාවම, ජලය හා වැසිකිලි වැනි මූලික සනීපාරක්ෂක පහසුකම්වල    ඌනතාවයට මුහුන දෙනු ඇත. තදබදයෙන් යුත් පන්ති කාමරවල කායික දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඉගැන්වීම් කටයුතු කරගෙන යෑම කිසිසේත්ම කල නොහැක්කකි. 

විශාල සම්පත් හිඟයකට මුහුන දෙන පාසල් පද්ධතිය ගුනාත්මක මට්ටමකින් පවත්වාගෙන යාමට විශාල ප්‍රතිපාදන අවශ්‍ය කෙරී පැවතුන ද ගුරුවරු සහ ශිෂ්‍යයන් අත්දකිමින් සිටින්නේ අධ්‍යාපන වියදම් කප්පාදු කොට එම බර දෙමාපියන් මත පැටවීමේ ධනපති ආන්ඩුවල අඛන්ඩ පිලිවෙතයි. 

කොරෝනා වසංගතය හමුවේ ලංකාවේ ආන්ඩුවේ ආර්ථික අර්බූදය තවත් උග්‍ර කොට ඇත. ඒ තත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) විධානයෙන් අධ්‍යාපන, සෞඛ්‍යය වැනි සුභසාධන සඳහා දරන වියදම් දැවැන්තව කප්පාදු කිරීම හැර රාජපක්ෂ ආන්ඩුවට අන් විකල්පයක් නැත. 

රාජ්‍ය අංශයේ පහලම තලයක වැටුප් ලබන පාසල් ගුරුවරුන්ගේ වැටුප් අරගල, ආන්ඩුවල බොරු පොරොන්දු මත වෘත්තීය සමිති විසින් නැවත නැවතත් පාවා දෙමින් පවතී. ගුරුවරුන්ගේ වැටුප් අරගලය ඇතුලු අවශේෂ කම්කරුවන්ගේ අරගල කිසිවක් ආන්ඩුවට බලපෑම් දැමීමේ  සීමාව යටතේ ඉදිරියට ගෙන යා නො හැක. 

කම්කරුවන්ට තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට නව සංවිධානයක් සහ නව වැඩපිලිවෙලක් අවශ්‍ය ය. වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගුරු-සිසු-දෙමාපිය කමිටු පාසල් හා නිවහන් ප්‍රදේශ ආශ්‍රිතව ගොඩනගා ගත යුතු යයි සසප අවධාරනය කරයි. 

එම කමිටු ගොඩ නැගීමට අවශ්‍ය සංවිධාන කටයුතු සහ     ක්‍රියාමාර්ගික සාකච්ඡාවන් සඳහා අප පුවත්හසුන යොදාගත හැකිවනු ඇත. ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන සේවකයන්ගේ අරගල, ලංකාවේ අවශේෂ කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරුවන්ගේ අරගල සමග ඒකාබද්ධ කිරීමට අධ්‍යාපන සේවකයන්ට සසප පනිවිඩ නිරන්තරව සටන් වදිනු ඇත.    

සෑම ලමයෙකුටම ගුනාත්මක අධ්‍යාපන අවස්ථාවන් සලසාලීමට, ගුරුවරුන් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයන්ට ශිෂ්ඨ සම්පන්නව ජීවත්වීමට සරිලන වැටුප් ලබා දීමට බිලියන සංඛ්‍යාත මුදල් වෙන්කල යුතුවෙයි. අර්බුදයෙන් වෙලුනු ධනපති ආන්ඩු වලට එය කල නොහැක්කකි.  

මෙය කල හැක්කේ, සියලු ධනපති කර්මාන්ත, බැංකු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන එමින්, අතලොස්සක් ධනපතීන්ගේ ලාභ සඳහා නොව, කම්කරු පන්තිය ඇතුලු පීඩිත මහජනතාවගේ  අවශ්‍යතාවයන් සැපිරීමට, විද්‍යාත්මක ලෙස, සමාජවාදී පදනමක් මත ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම මගින් පමනි. 

මේ පිලිබඳව සාකච්ඡාවන් පුලුල් කිරීමට, අධ්‍යාපන සේවකයන්ට සසප පනිවිඩ  පුවත්හසුන හා ඒකාබද්ධ වන්නැයි, හිතන මතන ගුරුවරුන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් සහ අවශේෂ කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිමු. 

අන්තර්ජාල රැස්වීම