සසප, සෞඛ්‍ය කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප), සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කම්කරුවන් සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තුල ඔන් ලයින් පුවත්හසුනක් (නිව්ස් ලෙටර්) දියත් කිරීමට කටයුතු සූදානම්කොට ඇතිබව සතුටින් දන්වා සිටී. සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ නමින් දියත් කෙරෙන මෙම පුවත්හසුන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අංශ වල සේවකයින් ජාතිකව සහ ජාත්‍යන්තරව සම්බන්ධ කර ගනිමින් ඔවුනගේ අරගල වලට මගපෙන්වනු ඇත.  

කොවිඩ් 19 වසංගතය විසින් ලොව පුරා සෞඛ්‍ය සේවක සේවිකාවන් හට මුන ගස්වා ඇත්තේ මෑත ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත අභියෝගාත්මක තත්වයකි. මේවන විට හැත්තෑ ලක්ෂයක් ඉක්මවා ආසාදනයට පත් කරමින් හා පන් ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් මරනයට පත් කරමින් වසංගතය ලොව පුරා පැතිරී ඇත.

අවප්‍රමානය කල සංඛ්‍යාලේඛන අනුව වුවද ලොව පුරා කොරෝනා වසංගතයට ගොදුරු වී ඇති සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහක් පමන වේ. ඇමරිකාවේ පමනක් එම ප්‍රමානය 62,000 ක් වන අතර ඉන් 600 ක් මරනයට පත්ව ඇත. ලොව පුරා මියගිය හෙදියන් ගනන 600 ක් පමන වෙයි. චීනයේ මියගිය හෙදියන් සංඛ්‍යාව 500 කි. 

කොවිඩ්-19 වසංගතය මේ සා ව්‍යසනයක් ඇතිකලේ දියුනු සහ නොදියුනු සියලු රටවල ධනපති පාලකයන් දශක ගනනාවක් තිස්සේ ගෙනගිය සෞඛ්‍ය කප්පාදුව හේතුවෙනි. මෙම කප්පාදු සිදු කෙරෙන්නේ සියලු රටවල් දැවැන්ත මුදල් සම්භාරයන් මිලිටරිය සඳහා වියදම් කරන පසුබිමකය. ඇමරිකාවේ ට්‍රම්ප් ආන්ඩුව ඩොලර් ට්‍රිලියනයකට අධිකව වාර්ෂිකව මිලිටරියට වියදම් කරයි. 

2019 දී ලංකාවේ අය වැයෙන් ආරක්ෂක හමුදා සඳහා රුපියල් බිලියන 393ක් වෙන් කල අතර, සෞඛ්‍යය සඳහා වෙන් කලේ ඉන් හතරෙන් පංගුවකට ටිකක් වැඩි බිලියන 105 ක සොච්චමකි. 

මේ කප්ප‍ාදුවේ ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ රෝහල් සේවකයන් සඳහා අත්‍යවශ්‍ය ප්‍රමිතිගත පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ) වසංගත තත්වයේදී පවා සම්පාදනය නොකෙරුනි. ලංකාවේ 25,000 ක් පමන වන වෛද්‍යවරුන් හා 35,000 ක් පමන වන හෙද කාර්ය මන්ඩලය ඇතුලු සමස්ත සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා වැනි මූලික අයිතීන්ද කපා හරිමින් වැඩ ගැනීමට පාලකයන් ක්‍රියාත්මක වී තිබේ.

සෞඛ්‍ය කම්කරුවන් මුහුන දෙන මෙම තත්වය ලෝක පරිමාන ප්‍රපංචයකි. වසංගතය මධ්‍යයේම, එයට එරෙහිව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය වැනි රටවල් වල මෙන්ම ලංකාවේද සෞඛ්‍ය සේවක උද්ඝෝෂන හා වර්ජන පැන නැගුනු අතර ඉදිරියේදී වඩාත් උත්සන්න වනු ඇත.

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා හෙද සංගම් ඇතුලු වෘත්තීය සමිති, අනුප්‍රාප්තික ආන්ඩුවල උපාංග ලෙස ක්‍රියාත්මක වෙමින් සෞඛ්‍ය සේවක සේවිකාවන් මත මෙම කප්පාදු පැටවීමේ යෙදී සිටිති.

සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ ඔන් ලයින් පුවත්හසුන, වැටුප්, දීමනා හා වැඩපල කොන්දේසි කප්පාදුවට එරෙහි කම්කරු හඬෙහි වේදිකාවකි. ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීමට අත්‍යවශ්‍ය වන, රෝහල් හා සෙසු වැඩපලවල කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු තනා ගැනීමට අවශ්‍ය සහාය සහ මගපෙන්වීම එමගින් ලබා දෙනු ඇත. 

අතලොස්සක් අත සමාජ ධනය කඳු ගැසීම සඳහා බිලියන සංඛ්‍යාත මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂනය වනසා දමමින් ඔවුන් මරනයට ඇද දමන ගෝලීය ධනපති ක්‍රමය යටතේ තම රැකියා සහ අනෙකුත් අයිතීන් ආරක්ෂා කරගත නොහැකි බව පුවත්හසුන හාත්පසින්ම පෙන්වා දෙනු ඇත.

ධනවාදය අහෝසි කරමින් ජාත්‍යන්තර සමාජවාදය ගොඩ නැගීමේ අවශ්‍යතාව සෞඛ්‍ය සේවකයින් අතර තහවුරු කිරීම සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලෝක දේශපාලන ප්‍රවෘත්ති හා විශ්ලේෂන එහි පල කෙරෙනු ඇත.  

සෞඛ්‍ය කම්කරුවන්ට සසප පනිවිඩ පුවත්හසුන සඳහා තොරතුරු හා අදහස් ලබා දෙමින් එය වර්ධනය කිරීමට දායක වන ලෙසත් රෝහල් ඇතුලු වැඩපල පරිශ්‍රයන් තුල සහෝදර සේවක සේවිකාවන් අතර එය බෙදා හදා ගන්නා ලෙසත් සසප ඉල්ලා සිටී.

Loading