කටුනායක නිදහස් වෙලඳකලාපයේ ස්මාර්ට් ෂර්ට් කම්හල් ජාලයේ තවත් කම්හල් කිහිපයක කම්කරු රැකියා අනතුරේ

                                                                                                 PDF

ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් කිහිපයක සියයක් පමන කම්කරුවෝ, සඳුදා උදය වරුවේ, තම රැකියා අහිමිවීමේ සහ වැටුප් කප්පාදුවේ තර්ජනය හමුවේ, නොසන්සුන්තාවයට පත්වෙමින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිවිසුම් දොරටුව අසලට රැස්වූහ.

පසුගිය සිකුරාදා ද එම සමාගමේ අංක 2, 3 සහ කටානේ පිහිටි අංක 7 කම්හල්වල කම්කරුවන් කන්ඩායමක් තම රැකියාවේ අවිනිශ්චිත තත්වය ගැන දැන ගැනීම සඳහා කලාපයේ පිවිසුම් දොරටුව අසලට රැස්වූහ. 

එහිදී පාලකයින් විසින් කම්කරුවන් තිදෙනෙකු සාකච්ඡාවට කැඳවා පවසා ඇත්තේ කම්හල යලි විවෘත කරන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි බවත්, යලි විවෘත කරන තුරු මූලික වැටුපෙන් අඩක් පමනක්, එනම් රුපියල් 9000 - 10000 ක් අතර, වැටුපක් ගෙවන බවටත්ය. අවම වසයෙන් මූලික වැටුප හෝ ලබාදෙන ලෙස ඉල්ලුවද එය ද ප්‍රතික්ෂේප කර ඇත. පිවිසුම අසල රැස්ව සිටි කම්කරුවෝ එයට විරෝධය දැක්වූහ.

ජුනි මස 3 දිනද ස්මාර්ට් ෂර්ට් සමාගමේ අංක 1 කම්හලේ කම්කරුවෝ පන්සියයකට අධික සංඛ්‍යාවක් මෙම ස්ථානයේ ම රැස් වූ විට පරිපාලනය දක්වා ඇත්තේ එම ප්‍රතිචාරයම ය. 

පසුගිය දිනයක කම්කරුවන් වෙසෙන නේවාසිකාගාර වලට පැමිනි පරිපාලනයේ කිහිප දෙනෙකු, පරිපාලනයට එරෙහි කිසිදු  ක්‍රියාකාරකමකට සම්බන්ධ නොවන ලෙස ඔවුන්ට බලපෑම් කර ඇත. 

තම රැකියා අනතුරේ හෙලා ඇති පාලකයන් සම්බන්ධයෙන් කෝපයෙන් කතා කල කම්කරුවෝ තමා ඇද දමා ඇති දුෂ්කර තත්වය විස්තර කලහ. 

කම්කරුවෙක් මෙසේ පැවසීය: “කොරෝනා නිසා වැඩ නවත්වන තෙක් අන්තිම මොහොත දක්වා රෑ අටහමාර වෙනකම් වැඩ ගත්තා.  දැන් ෆැක්ටරියෙත් මැසේජ් දෙකක් එවල තියෙනවා විවෘත කරන දිනය ඉදිරියේදී දැනුම් දෙන්නම් කියල. තව දුරටත් මෙහෙම ජීවත් වෙන්න බැහැ. මොකද ලමයින්ගෙ ප්‍රශ්නයි, ගෙදර ප්‍රශ්නයි, තියෙනව, ඒව එන්න එන්න එකතු වෙනව.” 

අප්‍රේල් මාසයේ පාරිතෝෂික දීමනා ද ලබා නොදුන් බව පැවසූ ඔහු  මෙසේද කීවේය: “ඒගොල්ල කියනවා වන්දියක් දෙන්න බැහැ කියල. වත්කමක් නැහැ කියල.” 

“අද මෙතැනට සහභාගිත්වය අඩුවෙල තියෙන්නේ කම්කරුවො අසරන වීම නිසා එදා වේල හොයා ගන්න වැඩ කරන නිසා” යැයි තවත් කම්කරුවෙක් පැවසීය.

“අපිට කරන්ට් බිල් ගෙවන්න තියෙනව මාස දෙකකට ගෙවල නැහැ. ලමයි තුන්දෙනක් ඉන්නවා, බෙහෙත් සඳහා මාසෙකට රුපියල් දෙදහස් පන්සියයක් යනවා. දොස්තරව චැනල් කරන්න වෙනම දෙදහස් පන්සියයක් යනවා. ඉතින් කොහොමද මූලික වැටුප රුපියල් 10,000 ක් (වැටුපෙන් අඩක්) අරගෙන ජීවත් වෙන්නෙ, ෆිනෑන්ස් දාල ලෝන් අරන් තියෙනවා ඒවාට පොලී එකතු කරල තියෙනව ගිය මාස තුනේම. අපි ලාභ ලබන්න ෆැක්ටරියට කොච්චර උදව් කරල තියෙනවද?” ඔහු තවදුරටත් පැවසීය.

වැටුප් කැපීම පිලිබඳව තවක් කම්කරුවකු පැවසුවේ ඇඳිරිනීතය අවසන් වූ දින සිට දින හතක් උදේ 7.30 සිට හවස 4.00 වනතුරු වැඩ කලද තමන්ට වැටුප් ගනනය කොට ඇත්තේ දිනකට රු. 400 බැගින් පමනක් බවයි. සමාගම මගින් ලබා දුන් ප්‍රවාහන වෙනුවෙන් ද කම්කරුවන්ගේ වැටුපෙන් කපාගෙන ඇත.

පාලකයන් කම්හල විවෘත කිරීමට නිශ්චිත දිනයක් ප්‍රකාශ නොකර සිටින්නේ තමන් හෙම්බත් කොට ස්වෙච්ඡාවෙන්ම වෙනත් රැකියාවකට යාමට සලසා වන්දි ගෙවීම පැහැර හැරීමට බව කම්කරුවෝ පැවසූහ. 

මෙම කම්හල් ජාලය 1978 සිට ඉතා දීර්ඝ කාලයක් පුරා පැවත ඇත. කෝවිඩ්-19 වසංගතයට පෙර අධික ලෙස ඇනවුම් පැවැති බැවින් කම්කරුවන්ට නිවාඩු පවා නොගෙන එක දිගටම වැඩ කිරීමට සිදු වී තිබේ.

තම කම්හල්වල යන්ත්‍රසූත්‍ර ගලවා වෙනත් ස්ථානවලට ගෙනයාමේ සූදානමක් ඇත්දැයි ඔවුහු සැක පහල කලහ.

කටාන කම්හලේ වසර හයක් සේවය කිරීමෙන් පසු, කලාපයේ අංක 3 කම්හල වෙත මාරු කරන ලද, කාන්තා කම්කරුවකු සමාගම විසින් එවන ලද කෙටි පනිවිඩයක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට පෙන්වීය. 

එහි සඳහන් වී තිබුනේ, “ඔබ සෑම දන්නා පරිදි අපගේ ප්‍රධාන ගැනුම්කරු වන ඇමරිකාවේ ඇති වී ඇති කෝවිඩ්-19 රෝගයේ සීඝ්‍ර ව්‍යාප්තිය හා දැනට ඇතිවී ඇති වාර්ගික ගැටලු හේතු කොටගෙන අප ආයතනය වෙත ලැබෙන ඇනවුම් ප්‍රමානයන් තව දුරටත් ඉතා විශාල ලෙස පහත වැටී ඇති බැවින්,” ආයතනය ජුනි මස අග තෙක් සම්පූර්න වශයෙන් නැවත ආරම්භ නොකරන බවයි. 

කටානේ වැඩ කල විට දී තමන්ට වැටුප රු. 40,000 ක් ලැබුනද දැන් වැටුප රු. 30,000 ක් දක්වා අඩු වී ඇති බවත්, මේ නිසා තමන් සමග කටාන කම්හලේ සිට අංක 3ට මාරු වී පැමිනි කම්කරුවන් 250 ගෙන් 70ක් පමනක් අවසානයේදී ඉතිරි වූ බවත් ඇය පැවසුවාය.

රාජපක්ෂ ආන්ඩුව විසින් කම්කරුවන්ගේ ආරක්ෂාව නොතකා හැරීම ගැන තම විරෝධය පලකල ඇය පැවසුවේ “අපිට කිසිම ආරක්ෂාවකුත් නෑ. කිසිම සහනයක් දීලත් නැහැ” යනුවෙනි. තමාට දරුවෙකු සිටින බවත් තම ස්වාමිපුරුෂයා ආර්ථික ගැටලු නිසා ඩුබායි හි මේසන් වැඩ සඳහා ගොස් ඇති බවත් ඇය ආවේගශීලිව පැවසුවාය.

කෙසේ හෝ සඳුදා කම්කරුවන් රැස් වූ ස්ථානයට පැමිනි, “නැගී සිටිනු ව්‍යාපාරය ( ීඒබා ඹච ඵදඩැපැබඑ ඛ්බන්)” නමැති රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජිතයෙක්, කම්කරු කාර්යාලයට පැමිනිලි කිරීම සඳහා කම්කරුවන් කන්ඩායමක් කැඳවාගෙන ගොස් ඇත. 

එම සංවිධානයේ අරමුන වනුයේ කම්කරුවන් අතර වැඩෙන සටන්කාමිත්වය තවත් වටයකින් වෘත්තීය සමිති වෙත ගාල් කරමින් ඔවුන් අවමංගත කිරීමයි.

ඔවුනගේ වෙබ් අඩවියේ තම “දැක්ම” ලෙස සඳහන් කෙරෙන්නේ    “සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර වන” නව වෘත්තීය සමිතියක් ගොඩනැගීමයි; එනම්, “කම්කරුවන්ගේ සමාජ ආරක්ෂාව වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින වෘත්තීය සමිතියක්” ගොඩනැගීම යි.

එහෙත් සැබවින්ම පැරනි වෘත්තීය සමිති මෙන් මෙයද ස්මාර්ට් ෂර්ට් කම්කරුවන්ට යෝජනා කර ඇත්තේ කම්කරු කාර්යාලයේ පිහිට පැතීමයි. එමගින් ඔවුන් රස්තියාදු කර අධෛර්යට පත් කරවා කම්කරුවන්ගේ සටන්කාමිත්වය දියකර හැරීම ඔවුන්ගේ යටි අරමුනයි. 

එක් වෘත්තීය සමිතියක් අප්‍රසාදයට පත් වූ විට “සම්ප්‍රදායික ක්‍රමවලින් බැහැර” යැයි පවසමින් තවත් වෘත්තීය සමිතියක් ගොඩ නගා කම්කරුවන් මුලා කිරීමේ අත් දැකීම් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරුවන්ට පවතී. 

ඇන්ටන් මාකස්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටුවනු ලැබ ඇති නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේසං) අප්‍රසාදයට පත්වන තතු යටතේ, ජනතා විමුක්ති පෙරමුනේ වෘත්තීය සමිතිය වන අන්තර් සමාගම් සේවක සංගමය බොරු රැඩිකල් බවක් මවා පාමින් 1990 අගදී කලාපය තුල තම ශාඛාවක් පිහිටුවීය. මෙය ඉටු කලේද ආන්ඩු සහ හාම්පුතුන් සමග සම්මුති ගසා කම්කරු අරගල පාවා දීමයි. 

ඇන්ටන් මාකස් මැයි 14 දා වැඩබිම වෙබ් අඩවියට ප්‍රකාශ කලේ, හාම්පුතුන් සහ ආන්ඩුව සමග වෘත්තීය සමිති අත්සන් කල       ත්‍රෛපාර්ශ්වික ගිවිසුම නිසා, “කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්තශාලා සේවකයින්ගේ රැකියා පිලිබඳ මතු වූ අවදානම ඉවත් වූ බවයි.” මෙම ගිවිසුමට  මාකස්ගේ සමිතිය සමග ජවිපෙ සමිතිය ද සම්මාදම් විය.

එහෙත්, කම්කරුවන් පවසන පරිදි, ස්මාර්ට් ෂර්ට් සමාගම් ජාලයේ අංක 1 කම්හලේ සේවයේ නිරතවූ 3,500 ක කම්කරුවන්ගෙන් වැඩ ලැබී ඇත්තේ 200 කට පමනකි. අංක 2 කම්හලේ සිටි 1,500 න් 300 කට පමනක් වැඩ ලබා දී ඇත. අංක 3 කම්හලේ වැඩ නවතා ඇති අතර අංක 7 හි ඉතා සුලු පිරිසක් වැඩෙහි නිරතය.

කම්කරුවන් තම රැකියා රැක ගන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට සිකුරාදා නැවත රැස්වීමට නියමිතය. ඔවුන්, ධනපතියන්ගේ සෘජු උපකරන බවට පත්ව ඇති වෘත්තීය සමිති වලින් සම්පූර්නයෙන් ම ස්වාධීන වී වැඩපොලවල් හා කම්කරු නිවහන් පෙදෙස් කේන්ද්‍ර කරගත් ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමටත් තම රැකියා ඇතුලු අනෙකුත් අයිතීන් රැක ගැනීම සඳහා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමටත් තීන්දු ගත යුතුය. 

Loading