ඉදිරිදර්ශන

වෝල් වීදියේ නැගීමේ පරස්වාචකය

මෙම ලිපිය ජූනි 10 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කැපී පෙනෙන පරස්වාචකයක් ලෙස පෙනෙන දෙයක මතුවීම පසුගිය සඳුදා දක්නට ලැබුනි.  එක්සත් ජනපදය මහා ආර්ථික අවපාතයෙන් පසු ප්‍රබලම අර්බුදයකට මුහුනපා ඇති බව ජාතික ආර්ථික පර්යේෂන කාර්යාංශය එදින ප්‍රකාශ කල අතර, වෝල් වීදියේ දර්ශක වසර ආරම්භයේ දී තිබුන මට්ටම් කරා ඉහල ගියේ ය. 

එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව මූල්‍ය වෙලඳපොලවල්  මුලුමනින්ම ඇනහිටි මාර්තු මාසයේ කඩාවැටීමෙන් පසු, වෝල් වීදිය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබේ. මාර්තු 23 සිට ඩව් ජෝන්ස් සියයට 48 න් ද අධි තාක්‍ෂනික නාස්ඩැක් සියයට 45 න් එනම්, මේ වසර ආරම්භයට වඩා ඒ්කක 1000න් ද ඉහල ගොස් ඇති අතර, එස් ඇන්ඩ් පී 5000 ද සියයට 45 න් ඉහල නැඟුනි. එය කොවිඩ්-19 වසංගතය කඩාවැදීමට පෙර පැවති මට්ටමට ලඟාවී තිබේ. 

කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතය සහ මරන සංඛ්‍යාව එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව අඛන්ඩව ඉහල යාමත් සමග, ශතවර්ෂයක් තුල ඇති වූ විශාලතම සෞඛ්‍ය අර්බුදය මධ්‍යයේ සිදුවෙමින් ඇති වෙලඳපලෙහි නැගීම, යටින් පවතින සැබෑ ආර්ථිකයට වඩා හාත්පසින්ම වෙනස් ය.

2020 මාර්තු 3 වන අඟහරුවාදා හොංකොං හි දේශීය බැංකුවකින් පිටත හොංකොං කොටස් දර්ශකය පෙන්වන විද්‍යුත් පුවරුවක් පසුකරමින් මිනිසුන් ගමන් කරයි. (AP ඡායාරූපය / කිං චියුන්ග්)

ආර්ථිකය තුල “පුපුරන සුලු නැඟීමක්” ඇති වන බවට එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් හා වෙනත් අය  කරන ප්‍රකාශයන්ට පටහැනිව, පසුගිය සතියේ එක්සත් ජනපද කොන්ග්‍රස් අයවැය කාර්යාලය අනතුරු ඇඟවූයේ, වසංගතයේ අඛන්ඩ බලපෑම් අව ම වශයෙන් දශකයක් වත් පවතිනු ඇති බවට යි.

විශාලතම යුරෝපීය ආර්ථිකයන් පහේ වසංගත බලපෑම පිලිබඳ ඇස්තමේන්තු අනුව, එක්සත් රාජධානියේ හැකිලීම සියයට 14 ක්, ස්පාඤ්ඤයේ  සියයට 11.6ක්, ප්‍රන්සයේ සියයට 10.3ක්, ඉතාලියේ සියයට9.2ක් හා ජර්මනියේ සියයට 6.1ක් වනු ඇත. මේ වසරේ ගෝලීය දල දේශීය නිෂ්පාදිතය සියයට 5.2 කින් හැකිලෙනු ඇතැ යි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

මෙම තත්වයන් යටතේ, කොටස් මිල තීරනය කිරීමට ඉපැයීම් අනුපාත මිල ගනන් වැනි, පසෙකට  දමනු ලබන සාම්ප්‍රදායිකව යොදාගන්නා ප්‍රමිති , පාඩු වාර්තා කරන හෝ වසංගතය හේතුවෙන් ආදායම පිලිබඳ ඉදිරි තක්සේරුවක් ලබා දිය නො හැකි සමාගම්වල කොටස් තක්සේරු කිරීමට යොදා ගනී.

මරන , රැකියා මිලියන ගනනක් විනාශ කිරීම හා වෙන කවරදාටත් වඩා වැඩ කරන බහුතරයක් ජනතාවගේ නැඟෙන දරිද්‍රතාව මධ්‍යයේ මෙම සමපේක්ෂන උමතුවට හේතුව කුමක් ද?

පිලිතුර සොයා ගත හැක්කේ වසංගතය පිලිබඳ පාලක පන්තියේ ප්‍රතිචාරය තුලිනි. ආරම්භයේ සිට ම එය කොවිඩ් -19 සලකනු ලැබුවේ, විද්‍යාත්මකව පදනම් වූ පියවරයන් මගින් කටයුතු කල යුතු සෞඛ්‍ය අර්බුදයක් ලෙස නො ව, ලාභ සමුච්චයට පහරක් ලෙස ය. ඒ අනුව ඔවුහු ක්‍රියා කලෝ ය.

ට්‍රම්ප් පරිපාලනය, සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ම සහාය ඇතිව, කෙයාස් පනත යටතේ සංගතවලට ඩොලර් ට්‍රිලියන 3ට වැඩි ඇපදීමක් සංවිධානය කල අතර, ෆෙඩරල් මහ බැංකුව ඩොලර් ට්‍රිලියන ගනනක් නිදහස් මුදල් මූල්‍ය වෙලඳපොලට පොම්ප කිරීමට පියවර ගත්තේ ය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු දැනටමත් එහි මූල්‍ය වත්කම් ඩොලර් බිලියන 800 සිට ඩොලර් ට්‍රිලියන 4 දක්වා වැඩි කර ගත්තේය. එය දැන් ඩොලර් ට්‍රිලියන 7 දක්වා සිය වත්කම් තවදුරටත් ඉහල නංවා ගෙන ඇත. මෙය ඩොලර් ට්‍රිලියන 9 දක්වා ඉහල යනු ඇතැ යි  අපේක්‍ෂා කෙරේ. සම්පූර්න මූල්‍ය වෙලඳපොල සඳහා ඇපකරු ලෙස මහ බැංකුව කටයුතු කරන බැවින්, මහ බැංකුවේ සභාපති ජෙරොම් පවෙල් සිය ක්‍රියාවලට “සීමාවක්” නොමැති බව පැහැදිලි කර තිබේ.

එහි ක්‍රියා ලොව පුරා ප්‍රතිනිර්මානය කෙරෙමින් තිබේ. ජාත්‍යන්තර බේරුම්කාර බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියකට අනුව, ලෝකයේ ප්‍රධාන මහබැංකු පහේ ක්‍රියාවන්හි ඒකාබද්ධ ප්‍රතිඵලයේ අර්ථය ,  2008 අර්බුදයෙන් පසු සියයට 10 ක නැගීම හා සසඳන විට,  2020 අවසන් වීමට පෙර ඔවුන්ගේ ශේෂ පත්‍ර, දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 23 ක් දක්වා වර්ධනය වීමත්, දින නියමයක් නොමැතිව එය ඓතිහාසිකව පෙර නොවූ විරූ මට්ටම්වලම ‌‌පවතිනු ඇති බවත් ය.

ලාස්වේගාස්හි එකවර-නතරකිරීම වෘත්තීය මධ්‍යස්ථානයේ විරැකියා ප්‍රතිලාභ සඳහා ජනතාව පෙලගැසී සිටිති. (AP ඡායාරූපය / ජෝන්ලොචර්)

වෝල් වීදියේ මූල්‍ය ආයතන හා සමපේක්ෂකයින්ගේ දෘෂ්ටි කෝනයෙන් ගත් විට වසංගතය, සියල්ලන්ට ම ජයග්‍රාහී තත්වයක් වී තිබේ. ආපසු වැඩට දැක්කීමේ  මාරාන්තික තල්ලුව හා සංගත ආදායම්වල ප්‍රමුඛතාව ද කම්කරුවන්ගේ ජීවිතවලට වඩා ලාභය මුල්තැනට ගන්නා  දේශපාලන සංස්ථාපිතයක පූර්න සහයෝගය ඔවුන්ට ඇතැ යි යන අවබෝධය නිසා ඔවුන් ධෛර්යමත් වී ඇත.

කොටස් වෙලඳපොලේ සැලකිය යුතු පහත වැටීමක් සිදුවුවහොත් තව දුරටත් ලාභ මුදල් ලබා දීමට  මහ බැංකුව මැදිහත් වන බව ද ඔවුහු දනිති.

ඊට අමතරව ආර්ථික විනාශයෙන් ඉමහත් වාසි අත්කර ගත හැකි බව ඔවුහු දනිති. විශාල සමාගම්වලට බංකොලොත් සමාගම් ගිල දැමීමටත්, ඒ් මගින් නො නැසී පවතින  සමාගම්වල ප්‍රමානය හා ලාභය වැඩි කර ගැනීමටත් එය කොන්දේසි සපයයි.

ඒ් අතරම සිය මෙහෙයුම් ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග, නව තාක්ෂනය භාවිතා කරමින් අඩු වැටුපකට අඩු සංඛ්‍යාවක් සේවකයින් යොදවා‍ගෙන  කම්කරුවන්ගේ වැටුප් හා සේවා කොන්දේසි පහත හෙලීම සඳහා, විරැකියා මටටම් පශ්චාත් යුද කාලයේ පැවති මට්ටම් දක්වා ඉහල යාම, ඔවුන්ට කුලුගෙඩියක් ලෙස යොදාගත හැකි වේ.

කෙටියෙන් කිවහොත්, කොරෝනා වෛරසය සමඟ ජීවත් වීමට පමනක් නො ව, එයින් සමෘද්ධිමත් වී ලාභ ලැබිය හැකි බව පාලක සංගත හා මූල්‍ය කතිපයාධිකාරීහූ ඉගෙන ගනිමින් සිටිති.

කෙසේ වෙතත්, සමපේක්ෂනයේ මධුපානොත්සවයට වෛෂයික සීමාවන් තිබේ. පරිගනක බොත්තමක් එබීමෙන් මුදල් එන්නත් කිරීම මගින් නිර්මානය කරන ලද ව්‍යාජ ප්‍රාග්ධන කන්ද, සැබෑ වටිනාකමක් ඇති නො කරයි. උද්ධමනය වූ කොටස් වටිනාකම් ඇතුලුව මූල්‍ය වත්කම්, කම්කරු පන්තියේ ශ්‍රමයෙන් උකහා ගත යුතු අනාගත වටිනාකම පිලිබඳ හිමිකම් පෑමක් නියෝජනය කරයි.

මේ සඳහා පෙර නො වූ විරූ මට්ටම් වලින් කම්කරු පන්තිය සූරාකෑම තීව්‍ර කිරීම අවශ්‍ය වේ. එක්සත් ජනපදයේ හා ලොව පුරා පාලක පන්තීන් දැවැන්ත පන්ති ගැටුම සඳහා සූදානම් වන්නේ මේ අවබෝධයෙනි.

මිලිටරි-පොලිස් ආඥාදාදායකත්වයක් ස්ථාපිත කිරීම හා ව්‍යවස්ථාමය සම්මතයන් අහෝසි කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් දරනු ලබන ව්‍යායාමයේ මූලික හා අභිප්‍රේරන බලය මෙය යි. ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් මාක් එස්පර්ගේ වචන යොදා ගන්නේ නම්, ලාභ සමුච්චය කිරීමේ ක්‍රියාවලිය ධනේශ්වර රාජ්‍යය බලය “ආධිපත්‍යය” දැරිය යුතු “යුද අවකාශය” වන්නේ ය.

පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහි විරෝධතා පුපුරා යාම, ඊටත් වඩා විශාල පන්ති ගැටුම්වල පූර්ව දර්ශනයකි. “මට හුස්ම ගන්න බැහැ” යනුවෙන් ඔහු පැවසූ අවසාන වචන, එක්සත් ජනපදය පුරා හා ජාත්‍යන්තරව පැතිර යන්නේ, සෑම තැනක ම කම්කරුවන් මුහුන දෙන තත්වය එයින් අනුනාදවන බැවිනි.

දැරීමට සිදුවන පිරිවැය කුමක් වුවත් පාලක පන්ති, කුමනාකාරයකින් හෝ ඔවුන්ගේ ලාභ පද්ධතිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන බැවින්, “හුස්ම ගැනීම” එනම් ධනේශ්වර පද්ධතිය යටතේ ජීවත් වීම වඩ වඩාත් දුෂ්කර වෙමින් තිබේ.

කම්කරු පන්තිය මුහුන දෙන දැවෙන ගැටලුව වන්නේ, ඔවුන් දැන් මුහුන දී සිටින තත්වයේ වෛෂයික තර්කනය සහ මිනීමරු හා ආඥාාදායක පාලක පන්තියකට එරෙහිව දැනටමත් යෙදී සිටින අරගලයේ ස්වභාවය දැනුවත්ව වටහා ගැනීමයි.

ජීවත්වීමට ඇති අන්සතු කල නො හැකි අයිතිය මුලින් ම සඳහන් කලේ ඇමරිකානු නිදහස් ප්‍රකාශනයයි. අද එම අයිතිය සාක්ෂාත් කරගත හැක්කේ දේශපාලන බලය සඳහා වූ සවිඥානක අරගලයක් හරහා ය. එනම් සමාජවාදී පදනම් මත ආර්ථිකය ප්‍රතිනිර්මානය කිරීමේ පලමු හා තීරනාත්මක පියවර ලෙස, ලාභ පද්ධතිය  පෙරලා දැමීම හා කම්කරු රාජ්‍යයක් පිහිටුවීම යි.

Loading