සිරියාවේ ආර්ථිකය කඩා වැටෙද්දී විරෝධතා පුපුරා යයි

ජීන් ෂාවුල්
12 ජූනි 2020

මෙම ලිපිය ජූනි 10 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

දකුනු සිරියානු ස්වීඩා නගරයේදී, සිය දරු පවුල් පෝෂනය කිරීමට නොහැකි වන තරමටම ආහාර මිල ඉහල යෑමට එරෙහිව සිය ගනනක් පීඩිත කම්කරුවෝ සඳුදා දෙවන දිනටත් වීදි බැස විරෝධතා දැක්වූහ. මෙම විරෝධතා පසුගිය මාසයේ පැනනැඟි කුඩා උද්ඝෝෂන වලට පසුව හට ගෙන තිබේ.

තරුනයෝ පෙලපාලි වල පෙරමුන ගත්හ. ඔවුහු සමාජ මාධ්‍ය ඔස්සේ කල ඇමතුම්වල ප්‍රතිඵලයක් ලෙස “අපට අභිමානයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍යයි” යන සටන් පාඨය යටතේ පෙලපාලි වලට සහභාගී වී ඇත. සිය දරුනු ආර්ථික කොන්දේසි ගැන ඔවුහු ආන්ඩුවට දොස් පැවරූහ. සමහරු ජනාධිපති බෂාර් අල් අසාද් ඉවත් කරන ලෙස බල කලහ.

සිරියාව, ලෙබනනය සහ ඊස්රායලය පුරා විසිරී සිටින ඩෲස් ජනවර්ගය බහුලව වෙසෙන ස්වීඩා, වසර නවයක යුද්ධය පුරාවටම අල් අසාද් තන්ත්‍රයට පක්ෂපාතීව සිටියේය. මේ වන තෙක් ආරක්ෂක අංශ මැදිහත්වී නැත.

2011 ආරම්භයේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලරයකට සිරියානු පවුම 50 සිට 3,200 දක්වා පහත වැටීමත්, 2020 ආරම්භයේ සිට එහි වටිනාකමෙන් අඩක් අහිමි වීමත් හේතුවෙන්, ඉතා සුලු පිරිසකට හැර අන් සියල්ලන්ම මූලික අවශ්‍යතා මිලදී ගැනීමටවත් නොහැකි තත්වයකට ඇද වැටී තිබේ. ලෙබනන් ආර්ථික අර්බුදයෙන් පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී, මුදල්වල වටිනාකම වේගයෙන් පහත වැටී ඇති අතර, දැන් සිරියානු ආන්ඩුවට, එහි ආයතනවලට සහ, විශේෂයෙන්ම ඊට සහාය දෙන සියලු කන්ඩායම් හෝ රටවලට නව සම්බාධක පැනවීමට, එක්සත් ජනපදයේ සීසර් පනත මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය පැවරී ඇත.

අධිරාජ්‍යවාදීන් විසින් මැද පෙරදිග බෙදා වෙන් කල පලමුවන ලෝක යුද්ධයේදී, ප්‍රන්සයට පැවරීමට පෙර සිරියාවේ කොටසක් වූ ලෙබනනයේ අගනුවර වන බේරූට්, ඉතිහාසය පුරා සිරියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස පැවතුනි. සිරියානු ව්‍යාපාර පවත්වාගෙන ගිය, ආයෝජනයන් සිදු කල,  අපනයන සඳහා විශාල වෙලඳපොලක් ලෙස පැවති නගරයකි බේරූට්.  2018 දී ඩොලර් මිලියන 132 ක් වටිනා සිරියානු භාන්ඬ මිලදී ගැනීම් මෙන්ම සැලකිය යුතු හොර ජාවාරම් සංඛ්‍යාවක්ද ද සිදු වූ ස්ථානයකි.

සිරියානුවන්ගෙන් සියයට 80 ක පමන කොටසක්, ලෙබනනයේ මුදල් තැන්පත් කර ඇතැයි විශ්වාස කෙරේ.ලෙබනන් බැංකු මුදල් ආපසු ගැනීම සීමා කිරීම ආරම්භ කල විට සහ ලෙබනන් පවුම පහත වැටුනු විට, ඔවුන්ගේ තැන්පතු වල වටිනාකම් වැඩි ප්‍ර මානයක් අහෝසි විය. මෙය සිරියාවේ ප්‍රධාන මූල්‍ය  ප්‍රභවය බිඳ දැමූ අතර, එවක සවුදි ආන්ඩුව සමග පෙලගැසුනු සාද් හරිරි පාලනයේ සහ වොෂිංටනයේ ඔහුගේ ආධාරකරුවන්ගේ එක් අරමුනක් එය වූ බව නිසැකය. ට්‍රම්ප් පරිපාලනයේ නව සම්බාධක මගින් සිරියාවේ අර්බුදය තවදුරටත් උග්‍ර වී ඇත.

වසර හතරකට වැඩි කාලයක් පුරා දරුනු ලෙස ගුවනින් බෝම්බ හෙලමින් වොෂිංටනය විසින් සිදු කරනු ලබන වසර නවයක දීර්ඝ කාලීන බලහත්කාරී යුද්ධය, සිරියාව විනාශ කර ඇත. එහි කලාපීය සහචරයෝ, විවිධ න්‍යායපත්‍ර යන් සහිතව, සිරියානු පාලන තන්ත්‍රයට එරෙහිව හා එකිනෙකා සමඟ  සටන් කිරීම සඳහා අතුරු හමුදාවන් සිය ගනනකට අරමුදල් සපයන ලද අතර කර්මාන්ත, නගර සහ යටිතල පහසුකම් විනාශ කෙරුනි.  2011 සිට සිරියාවේ දල දේශීය නිෂ්පාදිතයේ සමුච්චිත පහත වැටීම ඩොලර් බිලියන 500 කට වඩා ඉහලය. එය යුද්ධයට පෙර එරට දල දේශීය නිෂ්පාදිතයට වඩා හත් ගුනයකටත් වඩා වැඩි අගයකි.

යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ඇස්තමේන්තු ගත සංඛ්‍යාව 385,000 ත් 585,000 ත් අතර වේ. මිලියන තුනක ජනතාවක් සදාකාලිකව ආබාධිත බවට පත් වූහ. යුද්ධයට පෙර සිරියානු ජනගහනයෙන් අඩකට ආසන්න මිලියන 11 ක පමන ජනතාවක්, සිය නිවෙස්වලින් පලා ගොස් ඇත.  තුර්කියේ මිලියන 3.6 ක් ද ඇතුලුව අසල්වැසි රටවල මිලියන 5.6 ක් ජීවත් වන අතර, මිලියන 6.2 ක ජනතාවක් සිරියාව තුල අවතැන්ව සිටිති. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ විශාලතම සරනාගත අර්බුදය සිරියාවේ නිර්මානය වී තිබේ.

යුද්ධයෙන් සිදු කරන ලද විනාශය, නිරන්තරයෙන්, දීර්ඝ කාලීන ජලය හා විදුලිය විසන්ධි කිරීම හා ඉන්ධන හිඟයට තුඩු දී ඇති අතර එය මිනිසුන් ඉමහත් ලෙස පීඩාවට පත්කර තිබේ. පාසල් හා රෝහල් සමතලා කර ඇත. ලමුන් මිලියන 2 ක් පමන පාසල් හැරගොස් ඇති අතර තවත් මිලියන 1.3 ක් පාසැල් හැරයාමේ අවදානමට ලක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඇස්තමේන්තු කර ඇති පරිදි සිරියානුවන්ගෙන් සියයට 83 ක් දරිද්‍රතා රේඛාවට පහලින්, දිනකට ඩොලර් 1.90 ට වඩා අඩු ආදායමක් ලබයි. මිලියන 12 කට ආසන්න පිරිසකට ක්ෂනික මානුෂීය ආධාර අවශ්‍ය  වේ.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිරියාවේ ආර්ථිකය වසා දැමීම සහ ඇඳිරි නීතිය  ක්‍රියාත්මක වීම, කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පැවති දරුනු දුක්ඛිත තත්වය තවදුරටත් නරක අතට හරවා ඇත. බලධාරීන් විසින් රෝගීන් 141 ක් සහ මරන 6 ක් තහවුරු කර ඇති නමුත් මෙය විශාල වශයෙන් අවතක්සේරු කිරීමක් යැයි විශ්වාස කෙරේ. පරීක්ෂන කට්ටල කිහිපයක් පමනක් පවතින අතර රටේ සෞඛ්‍ය  සේවා සුනුවිසුනු වී ඇත.

කෘෂිකර්මාන්තය, යුද්ධයෙන් වැඩිපුරම පහරකෑමට ලක් වූ එක් අංශයකි. විශේෂයෙන් 2019 දී තිරිඟු නිෂ්පාදනය ටොන් මිලියන 2.2 දක්වා පහත වැටී ඇති අතර, එය යුද්ධයට පෙර නිෂ්පාදනය කල ප්‍රමානයෙන් අඩකි. මෙය සිරියාවේ ප්‍රධාන ආහාරයක් වන පාන් වල ප්‍රමානය, ගුනාත්මකභාවය සහ මිලට බලපායි. මෙම තත්වය සිරියාව ශුද්ධ  තිරිඟු ආනයනකරුවෙකු බවට පත් කර ඇති අතර, දැන් බොහෝ දුරට රුසියාවෙන් ආනයනය කරයි. 2018 දී, නියඟය හා යුද්ධය හේතුවෙන් නිෂ්පාදනය ටොන් මිලියන 1.8 දක්වා පහත වැටී ඇති අතර එය දශක ගනනාවකට පසු පැවති අඩුම අගයයි. 2019 දී, උග්‍ර  ආහාර අර්බූදයෙන් දරුනු ලෙස පීඩාවට පත් වූ රටවල් දහයෙන් එකක් බවට සිරියාව පත් වීමට එය හේතු විය.

කෙසේවෙතත්, එහි කෘෂිකාර්මික පරිහානිය යුද්ධයට පෙර සිටම පැවති අතර, 2005 දී අල් අසාද් නිදහස් වෙලඳපොල ප්‍රතිපත්ති වෙත යොමුවීම, වසර ගනනාවක නියඟය හා අඩු අස්වැන්න සමග සමපාත වූ අතර අතලොස්සක් ව්‍යාපාරිකයෝ පොහොසත් වූහ. කෘෂිකාර්මික කම්කරුවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමානයක් ගොවිතැන අතහැර දමා මහා නගර පර්යන්ත කරා ගිය අතර ඔවුන්ගේ දරිද්‍රතාවය 2011 විරෝධතාවලට ප්‍රධාන හේතුවක් විය.

සිරියානු කෘෂිකර්මාන්තය හා එහි යටිතල පහසුකම් විනාශ වීම, විශේෂයෙන් නැගෙනහිර සිරියාවේ යුද්ධයෙන් අවතැන්වූවන් නැවත සිය නිවෙස් කරා ආපසු යාම වලක්වන එක් සාධකයකි.

දැන් අර්ධ ස්වෛයිරී කුර්දි පාලනය යටතේ පවතින සිරියාවේ සාම්ප්‍රදායික පාන් කූඩය වන ඊසානදිග ප්‍රදේශයේ, පසුගිය වසරේ රටේ දේශීය තිරිඟු වලින් අඩක් පමන නිෂ්පාදනය කෙරුනි. මේ වසරේදී සිරියාවේ තිරිඟු වලින් හතරෙන් තුනකට ආසන්න ප්‍රමානයක් එම ප්‍රදේශයේ වගා කර ඇති අතර, එය විශේෂයෙන් අල්-රාකා අවට ඇති වන ගිනි ගැනීමේ  තර්ජනයට යලිත් ලක්ව ඇත. එමගින් තිරිඟු මිල තවත් ඉහල යනු ඇත.

ලෙබනනයේ දේශපාලන නොසන්සුන්තාව, රුසියානු තිරිඟු මිලදී ගැනීමේ ව්යාපෘතිය සම්පූර්න කිරීමට ඩැමස්කස් සතු හැකියාව දුෂ්කර තත්වයකට ඇද දමා ඇත. කඩා වැටීමට ලක්ව ඇති මුදල.  මෑතකදී සිය ධාන්‍ය  අපනයන සලාකය දැනටමත් ඉක්මවා ඇතැයි කියමින් රුසියාව, ජූලි 1දා වනතෙක් සිරියාවට කෙරෙන සියලුම ධාන්‍ය  තොග නැව්ගත කිරීම නවතා දමන ලදී.

 ඉහල යන මිල ගනන් පිලිබඳව ආන්ඩුව, දූෂිත ව්‍යාපාරිකයින්ට චෝදනා කර ඇති අතර, පලාත් ආන්ඩුකාරවරුන් පස් දෙනෙකු සේවයෙන් පහ කර, ඇමතිවරුන් පලවා හැර, දූෂනය මැඩපැවැත්වීමේ මවාපෑමක්  කර ඇත.

ලෝක බැංකු ඇස්තමේන්තු වලට අනුව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් ලැබෙන්නේ සිරියානුවන් රටට එවන විදේශ මුදල් වලිනි. එම මුදල් පරිවර්තනය සදහා, නිල මුදල් පරිවර්තන අනුපාතය භාවිත කරන ලෙස අවධාරනය කිරීමෙන්, කලු සල්ලි හුවමාරු වීම සීමා කිරීමට  උත්සාහ කර තිබේ. සවුදි අරාබිය (සියයට 29), ලෙබනනය (සියයට 17), ජෝර්දානය (සියයට 15) සහ තුර්කිය (සියයට 14) ලෙස ලැබෙන විදේශ මුදල් පරිවර්තනයේදී මෙම පියවර කම්කරුවන්ට හිමිවන වටිනාකම තවත් අඩු කිරීමට හේතු වේ. අගුලු දැමීම් නිසා තවදුරටත් එය උත්සන්නව ඇත.

අසාද්ගේ ඥාති සොහොයුරෙකු වන රමී මක්ලූෆ්ගේ කටයුතු මැඩපවත්වා  ඉන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ආන්ඩුව උත්සාහ කර ඇත. සිරියැටෙල් ජංගම දුරකථන ජාලයේ හිමිකාරීත්වය දරන, සිරියාවේ ධනවත්ම පුද්ගලයා වන මක්ලූෆ්, 2011 දී සිරියාවේ ආර්ථිකයෙන් සියයට 60 ක් දක්වා පාලනය කර ඇති බව වාර්තා විය. ඔහු ඉරානය සමඟ පෙලගැසී සිටින පුද්ගලයෙකි. සිරියාවේ ටෙලිකොම් නියාමන නීතිරීති වලට අනුව, හිඟ ගෙවීම් සිදු කරන ලෙස බලධාරීන් ඔහුට නියෝග කර ඇත. ඔහුගේ වත්කම් අත්පත් කර ගෙන ඇති අතර හිඟ බදු මුදල්ද අය කරගෙන ඇත. ඔහුගේ ප්‍රධාන සේවකයින් ගනනාවක් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට තාවකාලික සංචාරක තහනමක් පනවා,  අධිකරනය භාරයට පත් කර ඇත.

අසාද්, සිය සොහොයුරු මහේර්ගේ කාර්යාංශ ප්‍රධානී ජෙනරාල් ගසන් බිලාල්, හතරවන සේනාංකයේ අනදෙන නිලධාරියා සහ ඉරාන සගයා ද අත්අඩංගුවට ගෙන ඇත.

රුසියානු ගුවන් බලය ද ඉරාන හා හිස්බුල්ලා පාබල හමුදාවන්ගේ ද සහාය ඇතිව සිරියාවේ බොහෝ ප්‍රදේශවල පාලනය ආන්ඩුව නැවත සියතට ගෙන ඇති අතර, සිරියානු මිලිටරිය තවමත් රටේ වයඹ දෙසින් පිහිටි ඉඩ්ලිබ් ප්‍රදේශයේ අල්කයිඩා සංවිධානයට සම්බන්ධ හමුදාවන්ට සහාය දෙන තුර්කි හමුදා සමඟ සටන් කරමින් සිටියි.

ඒ අතරම, ඉරානය හා හිස්බුල්ලා සම්බන්ධිත ඉලක්ක වෙත පසුගිය මාස දෙක තුල අවම වශයෙන් ගුවන් ප්‍රහාර 7 ක් සිදු කර ඇති ඊස්රායලයේ නිරන්තර ප්රහාරයන්ට සිරියාව මුහුන දෙයි. සිරියාවට එරෙහිව සිය ගනනක් ප්රහාර එල්ල කල බව ඊස්රායලය  පිලිගෙන ඇති අතර, රටේ නිරිතදිගින් ඉස්ලාමීය හමුදාවන්ට ආධාර සහ අනුබල දෙයි. ලෙබනන් අග්‍රාමාත්‍ය හසන් ඩයබ් පැවසුවේ, මේ වසරේදී ඊස්රායලය තම රටේ ස්වෛරීභාවය දහස් වතාවකට වඩා උල්ලංඝනය කර ඇති බවයි.

ටෙහෙරානය දරන අනුහස සීමාකිරීමට ඊස්රායලය සිරියාවට පහර දෙන විට රුසියාව අහක බලාගත් අතර,  ඉරානයට එරෙහිව සිය උප කොන්ත්‍රාත්කරු ලෙස වොෂින්ටනය විසින් ඊස්රායලය භාවිතා කරනු දැකීම රුසියාවේ සතුටට කරුනක් බව පෙනී යයි. සිය මිලිටරි වියදම් නැවත ලබා ගැනීමට සහ දේශපාලන හා ආර්ථික වාසි ලබා ගැනීමට උනන්දුවක් දක්වන රුසියාව, ඉරානය පසෙකට කිරීම සඳහා අල් අසාද්ට බලපෑම් කරන බව පෙනී යයි.

තුර්කිය සමඟ අත්සන් කල ඉඩ්ලිබ්හි සටන් විරාම ගිවිසුමෙන් ඉරානය ඉවත්කර තැබීමට මොස්කෝව කටයුතු කර  ඇත. ඊස්රායලය සිරියාව තුල ඉරාන බැඳීම් සීමා කිරීමට පමනක් නොව ඉරානය සම්පූර්නයෙන්ම සිරියාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ඊස්රායලයේ ඉවත්ව යන ආරක්ෂක ඇමති නෆ්තාලි බෙනට් කියා සිටි අතර ඒ පිලිබඳව ද රුසියාව නිහඬව සිටියේය. මක්ලූෆ් පිලිබඳ තීන්දුව ගැනීමේදී රුසියාව ද අල් අසාද්ට බලපෑම් කරන්නට ඇතුවා නිසැකය.  

sril floyd meet