දීමනා සහ රැකියා කප්පාදුවට එරෙහිව තැපැල් සේවකයන් අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක්

දීමනා හා රැකියා කප්පාදුවට විරුද්ධව තැපැල් සේවකයන් ජුනි 8 වෙනිදා සිට අකුරට වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක් ආරම්භ කර ඇත.  තැපැල් දෙපාර්තමේන්තුවේ 26,000 ක් පමන වන සියලුම සේවකයෝ ඊට සම්බන්ධ වී සිටිති. 

වැඩ දිනය පැය අටකට සීමා කොට අතිකාල හා දීමනා කප්පාදුවක් තැපැල් දෙපාර්තමේන්තුව තුල ක්‍රියාවට දමා ඇති අතර  සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමට ද ආන්ඩුව තීරනය කර තිබේ. එක් සෙනසුරාදා දිනයක් සඳහා වැටුප් සහ දීමනා වෙනුවෙන් වැයවන රුපියල් මිලියන 20 ක මුදල එමගින් ඉතිරිකල හැකි බව ආන්ඩුව පවසයි.  

අකුරට වැඩ කිරීමේ විරෝධතාව සංවිධානය කර ඇත්තේ තැපැල් වෘත්තීය සමිති පෙරමුන විසිනි.  

වසර  ගනනාවක් තුල පූරනය නොකල පුරප්පාඩු සංඛ්‍යාව 1,500 කට අධික බව ද  කාර්ය මන්ඩලයේ අඩුව නිසා  අතිකාල සේවයෙන් තොරව සේවා කටයුතු සම්පූර්න කල නොහැකි බව ද ඔවුහු පවසති. එමෙන්ම, තැපැල් කාර්යාල වල සියලු කවුලු විවෘත කර ඇති හෙයින් කොටස් වශයෙන් සේවයට කැඳවන සේවක සංඛ්‍යා ව ප්‍රමානවත් නොවන බව ද සේවකයෝ කියති. සමහර අවස්ථාවල තනි සේවකයෙකුට කවුලු කිහිපයක වැඩ කිරීමට සිදුවේ.

තැපැල් ඇමති බන්දුල ගුනවර්ධන, තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන්   හා වෘත්තීය සමිති අතර මැයි  22, ජුනි 2 සහ ජුනි 9 වෙනිදා පැවති සියලු සාකච්ඡාවල දී  අතිකාල හා දීමනා ගෙවීම සඳහා මුදල් නොමැති බව ගුනවර්ධන යලියලිත් අවධාරනය කර තිබේ. හැකිනම් ලාභ උපයා දී දීමනා හා අතිකාල ලබාගන්නා ලෙස ඔහු එහිදී පැවසූ බව සේවකයෝ කියති. 

තැපැල් සේවකයන්ට එරෙහිව ක්‍රියාවට දමා ඇති  කප්පාදු පිලිවෙත කොරෝනා වසංගතය තුලින් ගැඹුරු වෙමින් පවතින ලෝක ධනපති අර්බුදය තුල පාලක පන්තීන් විසින් සෑම රටක් තුල ම කම්කරු පන්තියට එරෙහිව ක්‍රියාවට දමා ඇති  පලල් ප්‍රහාරයක කොටසකි.

තැපැල් දෙපාර්තමේන්තුවෙන් වසරකට රුපියල් කෝටි 500 ක් අලාභ වන බව පවසන ආන්ඩුව එමගින් සේවකයන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව සාධාරනීකරනය කිරීමට උත්සාහ කරයි. තැපැල් දෙපාර්තමේන්තුව ආරම්භ කෙරුනේ මහජන සුබසාධන සේවාවක් ලෙස මිස ලාභ ලැබීමේ ව්‍යවසායක් ලෙස නොවේ.  

කෙසේ නමුත් අලාබයක් සිදු වන්නේ නම් එයට සේවකයන් වගකිවයුතු නැත. එය, ලාභය සඳහා වූ ධනවාදී ආර්ථික ක්‍රමය බිඳ වැටීමට පිලියමක් ලෙස,  ජාත්‍යන්තර  මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයෙන්, රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමට අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය වැඩකටයුතු තුල, තැපැල් සේවයේ බොහෝ අංශ පුද්ගලික අංශයට පැවරීමේ ප්‍රතිවිපාකයකි.  

වෘත්තීය සමිතිවලට  විරෝධතා උද්ඝෝෂනයක් කැඳවීමට බල කෙරී ඇත්තේ රැකියා සහ වැටුප් කප්පාදුව කෙරෙහි තැපැල් සේවකයන් අතර පවතින බරපතල විරුද්ධත්වය නිසාවෙනි. සාකච්ඡා වලින් විසඳුමක් නොලැබුනොත් “දැඩි” ක්‍රියාමාර්ගයකට යාමට සිදු වන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුනේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මාධ්‍යයට පවසා ඇත. 

එහෙත් පුරප්පාඩු පූරනය කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, ඇතුලු ඉල්ලීම් මත පසුගිය වසර කිහිපය තුල තැපැල් සේවකයන් ආරම්භ කල වර්ජන හා විරෝධතා උද්ඝෝෂන අවසන් කෙරුනේ එම අරගල වෘත්තීය සමිති විසින්  හුදකලා කිරීමෙන් සහ අවසානයේ ආන්ඩුවේ  සහ තැපැල් බලධාරීන්ගේ පොරොන්දු වලට යටත් කොට පාවාදීමෙනි. 

රාජපක්ෂ ආන්ඩුව “ආර්ථිකය යලි විවෘත කිරීමත්” සමග කොරෝනා වසංගතයෙන් තව දුරටත් ගැඹුරු  වී ඇති රටේ ආර්ථික අර්බුදයේ බර වැඩකරන ජනතාව මත පැටවීම සඳහා  රාජ්‍ය සහ පුද්ගලික දෙඅංශයේ ම කම්කරුවන්ගේ  රැකියා, වැටුප් සහ සමාජ අයිතීන් කප්පාදු කිරීමේ පිලිවෙතක්  ක්‍රියාවට දමා තිබේ.

වසංගතයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේදයක් යැයි කියමින් සේවයට  කැඳවනු ලබන්නේ ආයතනයක සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක පමන පිරිසකි. රාජ්‍ය අංශයේ වැටුප් කප්පාදුව ක්‍රියාවට දමා ඇත්තේ අතිකාල ඇතුලු දීමනා අත්හිටුවීම  තුලිනි.  

එයාර් ලංකා වැනි සමහර ආයතන වල වැටුප්  ගෙවීම මාස  ගනන් ප්‍රමාද කරනු ලැබ  ඇත. එමෙන් ම  එහි සේවකයන් 400 ගේ රැකියා අහෝසි කර තිබේ. දීමනා නොගෙවීම, ප්‍රවාහන පහසුකම් අත්හිටුවීම සහ සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් ප්‍රමානවත් තරම් සම්පාදනය නොකිරීමට විරුද්ධව පසුගිය දිනවල රෝහල් සේවකයෝ  උද්ඝෝෂන වල නිරත වූහ.

පුද්ගලික අංශයේ දීමනා කප්පාදුවට  අමතරව මුලික වැටුපෙන් සියයට 5 සිට 60 දක්වා ඍජු වැටුප් කැපීමක් ක්‍රියාවට දමා තිබේ. මේ වන විටත් පුද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් අවම වශයෙන් සියයට 50 කට පමන රැකියා අහිමි වී ඇත. ඇඟලුම් කම්කරුවන් 300,000 පමන ඒ අතර සිටිති. වතු කම්කරුවන්ගේ සතියේ වැඩ දින ගනන 3-4 ට සීමා කිරීමක් සමග වැටුප් කැපීමක් ද සිදුවේ. 

විදේශ ආදායම තියුනු ලෙස පහත වැටීම, නය ගැතිකම ඉහල යාම  හා අයවැය පරතරය පුලුල්වීම මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියට  එරෙහි මෙම ප්‍රහාරයන් තවතවත් තියුනු කරනු ඇත.

කියවන්න:කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි (ජුනි 2)

Loading