ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතයේ පැතිරීමෙහි සත්‍ය තත්ත්වය පිරික්සා බැලීමක්

මෙම ලිපිය ජුනි 9 ඉංග්‍රීසි බසින් පලවිය.

සමාජ දුරස්ථකරනය පවත්වා ගැනීම හා අත්‍යවශ්‍ය නො වන නිෂ්පාදන වසා දැමීම හරහා කොරෝනා වෛරස් වසංගතය නරත කිරීම පිලිබඳ කිසිදු මවාපෑමක් පැවතියේ නම්, එක්සත් ජනපදයේ, සමස්ත යුරෝපයේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවේ පාලක ප්‍රභූහු එය අත්හැර දමා ඇත. එහෙත්, වෛරසය ලෝකය පුරා එක දිගට ම පැතිර යයි.

400,000ට අධික මිනිසුන්, ගැහැනුන් හා ලමුන්ට ඔවුන්ගේ ජීවිත අහිමි වී ඇති අතර, අවම වසයෙන් මිලියන 7.1ක් වත් ආසාදනයට ලක් ව ඇත්තේ, එලඹෙන වසර ගනනාවක් පුරා පවතින දිරිය බල සිඳවන බලපෑම්වලට බොහෝ දෙනාට මුහුන පෑමට සිදුකරමිනි. ආසාදන සංඛ්‍යාව එක දිගට ම ඉහල යාම නිසා තවත් මිලියන ගනනකගේ ජීවිත අනතුරට මුහුන දෙයි.

එක්සත් ජනපදයේ තත්ත්වය විශේෂයන් බියකරු ය. ලෝකයේ අන් කිසිදු රටකට වඩා වැඩි සිද්ධි ගනනක් වාර්තා කරමින්, එරටෙහි සෑම ප්‍රාන්තයකින් හා භූමි ප්‍රදේශයකින් ම මිලියන දෙකකට අධික ආසාදන හා මරන 112,000ක් සිදු ව ඇත. දෛනික ව දසදහස් ගනනක් අලුතින් ආසාදනයට ලක්වෙමින් තවත් සිය ගනනක් මිය යන්නේ, එක්සත් ජනපදයේ හා අනෙකුත් රටවල නිල සංඛ්‍යා ලේඛන තුල දැවැන්ත ලෙස යථාර්තය ලඝු කර දක්වද්දී ය. 

නව ආසාදන ඒවායේ විශාලතම දෛනික ඉහල යාම ඉරිදා (ජුනි 7) වාර්තා වූ බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙසෙයුස් ඊයේ වාර්තා කලේ ය. “වසංගතය ඇරඹී මාස හයකට අධික කාලයක් ගත වී ඇති මේ මොහොත, කිසිදු රටකට තිරිංග බුරුල් කිරීමට සුදුසු කාලය නොවේ” යැයි ඔහු කීවේ ය. එහෙත් එවන් උපදෙස් බිහිරි අලින්ට වයන වීනා වැනිය.

නිව් යෝක් ආන්ඩුකාර ඇන්ඩෘ කුවෝමෝ ඊයේ අවධානය යොමුකිරීමට තෝරාගත්තේ නගරයේ 205,000ක් වන ආසාදන හා මරන 22,000 නො ව, එහි අවන්හල්, ව්‍යාපාර හා උමං දුම්රිය මාර්ග දැන් යලි විවෘත කොට පවතින නිසා “අපේ මොහොත යලි පැමින ඇත” යන කරුන ය. අප්‍රේල් මාසය තුල රෝගයේ වසංගතයේ කේන්ද්‍රය වූ නිව් යෝක් නගරයේ පමනක්, ප්‍රවාහන කම්කරුවන් සිය ගනනක් මිය ගොස් තිබේ.

එක්සත් ජනපදයේ ප්‍රාන්ත විසි දෙකක කොරෝනා වෛරස් ආසාදන ඉහල යාම් වාර්තා වෙමින් පවතියි. ෆ්ලොරිඩාවේ නව ආසාදන සංඛ්‍යාව පසුගිය සතියට සාපේක්ෂ ව සියයට 46ක සාමාන්‍යයකින් ඉහල ගොස් ඇත. උටා, අර්කන්සාස් හා ඇරිසෝනා ප්‍රාන්තවල තියුනු ඉහල යාම් පවතී.

ටෙක්සාස් ප්‍රාන්තය වාර්තාගත කොවිඩ්-19 රෝහල්ගතවීම් සංඛ්‍යාවක් වාර්තා කලා පමනි. “ව්‍යාපාර යලි විවෘත කිරීමේ ආන්ඩුකාර ග්‍රෙග් ඇබොට්ගේ සැලසුමෙහි නව අවධියක් සමගින් ටෙක්සාසය ඉදිරියට ඇදෙද්දී, තහවුරු වූ දෛනික කොරෝනා වෛරස් ආසාදන සංඛ්‍යාව අනවරත ව ඉහල නගින රැල්ලක් පෙන්නුම් කරයි... දින 14 ප්‍රවනතා සීමාව, පසුගිය සති දෙක තුල ටෙක්සාස් ප්‍රාන්තයේ නව ආසාදන සංඛ්‍යාව සියයට 71කින් පමන ඉහල ගොස් ඇතැයි පෙන්වා දෙයි” යි ටෙක්සාස් ට්‍රිබියුන් වාර්තා කලේ ය.

ට්‍රම්ප් පරිපාලනය සහ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් විසින්, යථාවත් ව පවතින “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙතක් අනුගමනය කර ඇත. අපේක්ෂාව සාර්ථක වුවහොත්, රටෙහි මිලියන 1.6ක් වන ජනයා අවසානයේ මිය යනු ඇතැයි තක්සේරු කෙරී ඇත. පාලක පන්තියේ පිලිවෙත වන්නේ, සිදුවීමට නියමිත කවරක් වුව ද සිදුවීමට ඉඩහැරීම යි.

වසංගතයේ මාරාන්තික භාවය, එක්සත් ජනපදය පුරා මස් පිරිසැකසුම් කම්හල් තුල තියුනු ලෙස ප්‍රකාශයට පත් ව ඇත. ඝාතකාගාර හා සැකසුම් කම්හල් දිගට ම විවෘත ව තබන ලෙස අප්‍රේල් අග ට්‍රම්ප් නිකුත් කල විධායක නියෝගයේ ප්‍රතිඵලයක් ලෙස, “මස් පිරිසැකසුම් කම්හල්වල කොරෝනා වෛරස් ආසාදන සඛ්‍යාව දෙගුනයකටත් අධික වී ඇත...විමර්ශනාත්මක වාර්තාකරනය පිලිබඳ මැද බටහිර මධ්‍යස්ථානය සොයාගත් පරිදි, ප්‍රාන්ත 33ක කම්හල් 216ක් තුල ආසාදන ගනන 20,400කි. අඩු තරමින් පුද්ගලයන් 74ක් මියගොස් ඇත” යි යූඑස්ඒ ටුඩේ වාර්තා කලේ ය.

තමන් ආන්ඩුව විසින් ආරක්ෂා කරනු ඇතැයි දිරිගැන්වුනු සංගත, මූලික සෞඛ්‍ය හා ආරක්ෂක පියවරයන් නො තකා ක්‍රියාකරමින් සිටී. කම්කරුවන් “මුඛ ආවරන පලඳින්නේ නැති ව සීමිත සමාජ දුරස්ථකරනය පමනක් පවත්වාගෙන ගිය කම්හල් අධීක්ෂනය කල බව හා සමහරුන්ට මෑතක දී කොවිඩ්-19 වැලඳී තිබුනු බව” ප්‍රකාශ කල මධ්‍යම ආන්ඩුවේ මස් පරීක්ෂකවරියකගේ ප්‍රකාශයක් යූඑස්ඒ ටුඩේහි ලිපිය තුල උපුටා දැක්වී ය.

ජාතික දේශසීමාවන්ට නොතකන කොරෝනා වෛරසයෙහි ගෝලීය පැතිරීම සෑම රටකට ම විනාශකාරී විපාක ගෙන දෙනු ඇත.

යුරෝපය ආසන්න වසයෙන් ආසාදන මිලියන 2.1කින් හා 179,000ට අධික මරන ගනනකින් පීඩා විඳ ඇත. ස්පාඤ්ඤය, ඉතාලිය, ජර්මනිය හා ප්‍රන්සය වැනි පූර්ව කේන්ද්‍රයන් තුල වෛරසය තරමක් මර්දනය කරනු ලැබ තිබුන ද එක්සත් රාජධානිය හා නැගෙනහිර යුරෝපය තුල ආසාදන හා මරන දිගට ම ඉහල යමින් පැවතී තිබේ. ආසාදන 476,000ක් හා තහවුරු වූ මරන 5,900ක් සහිත රුසියාවේ, ලෝකයේ නව ආසාදන හා මරන ගනන අතින් ඉහල ම රේට්ටුවක් ඇත.

වසංගතයේ අනෙකුත් කේන්ද්‍රයන් වන්නේ දකුනු ආසියාව හා දකුනු ඇමරිකාව යි. ඉන්දියාවේ දැනට දිනකට නව ආසාදන අවම වසයෙන් 10,000ක් හා මරන 250ක් තිබෙන අතර, සංඛ්‍යාවන් පවතින්නේ ඉහල නගින රැල්ලක ය. එරට දැනට ආසාදන 265,000ක් හා 7,400ක් වාර්තා කර ඇත.

බ්‍රසීලයේ තත්ත්වය වඩාත් නරක වන අතර, පසුගිය දවස් 14 පුරා සෑම දිනක ම නව ආසාදන 15,000ත් 30,000ත් අතර පැවතී ඇත්තේ, දෛනික ව නව මරන 500ත් 1,500ත් අතර සංඛ්‍යාවක් වාර්තා කරමිනි. ෆැසිස්ට්වාදී ජනාධිපති හායර් බොල්සොනාරෝ වාරනය කිරීමට උත්සාහ දරා ඇති නිල ආසාදන සංඛ්‍යාව හා මරන ගනන පිලිවෙලින් 694,000ක් හා 37,000ක් වේ.

මෙක්සිකෝවේ මැකිලාදෝරා කම්හල් මැයි මාසයේ යලි විවෘත කල තැන් පටන් මෝටර් රථ කම්කරුවන් දහස් ගනනකට රෝගය ආසාදනය වී සිය ගනනක් මිය ගොස් ඇත. වෛරසය පැතිර යාම නැවැත්වීම සඳහා එක්සත් රාජධානියට පෙනී යන පරිදි අගුලු දමා තිබුන ද ලන්ඩනයේ ප්‍රවාහන කම්කරුවන් දුසිම් ගනනක් මිය ගොස් තිබේ. ආන්ඩු ආර්ථිකය යලි විවෘත කිරීම සඳහා ගෙන යන මිනීමරු ධාවනයන් දිගට ම කරගෙන යද්දී මෙම භයානක යථාර්ථය වඩා විශද වනු ඇත.

පාලක පන්තියේ පිලිවෙතට, කම්කරු පන්තියේ සංවිධිත විරෝධය හරහා ප්‍රතිචාර දැක්විය යුතු ය. සමාජවාදී සමානතා පක්ෂය, මැයි 21 දින නිකුත් කල ප්‍රකාශයේ සඳහන් කල පරිදි: “ආසාදනය, රෝ බිය හා මරනය වැලැක්වීමට නම්, ආරක්ෂාකාරී ලෙස වැඩ කිරීමේ කොන්දේසි අධීක්ෂනය කරමින් ඒවා ක්‍රියාවට නංවන නව ආකාරයක වැඩපොල සංවිධාන නිර්මානය කිරීම අත්‍යවශ්‍ය වේ.

“එබැවින්, සෑම කම්හලකම, කාර්යාලයකම හා වැඩපොලකම සාමාන්‍ය කම්කරුවන්ගේ ආරක්ෂන කමිටු පිහිටුවන ලෙස සසපය කම්කරුවන්ට දැනුම් දෙයි. කම්කරුවන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය කෙරෙනු ඇති මෙම කමිටු, කම්කරුවන්ගේ ද, ඔවුන්ගේ පවුල්වල ද, පුලුල් ජන සමාජයේ ද ජීවිත ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවර ක්‍රමවත්ව සකසා, එම පියවර ක්‍රියාවට නංවා, එකී ක්‍රියාවලිය අධීක්ෂනය කල යුතුය.” 

එක්සත් ජනපදයේ හා ලෝකය පුරා එවන් සංවිධාන ගොඩනැගීම, කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා වන හදිසි අවශ්‍යතාවකි.

වසංගතයේ ප්‍රසාරනය සිදුවන්නේ, මිලියන ගනන් කම්කරුවන් පෙර නුවූ විරූ සමාජ හා ආර්ථික අර්බුදයකට මුහුන දෙද්දී ය. ආර්ථිකය මහා හඬ නංවමින් ප්‍රකෘතිමත් වෙමින් පවතී ය යන ට්‍රම්ප්ගේ කියාපෑමට විපරීත ව, කෝටි සංඛ්‍යාත දෙනා රැකියාවලින් පිටස්තර ව සිටින්නේ ආපසු යාමට රැකියාවක් රහිත ව ය. ඩිමොක්‍රටිකයන්ගේ හා රිපබ්ලිකානුවන්ගේ සහයෝගය සහිත ව වෝල් වීදියට හා මූල්‍ය වෙලඳපොලවලට පොම්ප කරනු ලැබ ඇති ඩොලර් ට්‍රිලියන ගනනක් හේතුවෙන්, කොටස් වෙලඳපොල වසංගතයට පෙර පැවති මට්ටම් කරා යලි ලඟාවෙමින් තිබේ.

පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ව මරා දැමීම විසින් ලොව පුරා අවුලුවන ලද මහජන විරෝධතාවන්ගේ පුපුරා යාමට යටින් දිවෙන කේන්ද්‍රීය සාධකයක් වන්නේ, වසංගතයට පාලක පන්තිය දක්වා ඇති ප්‍රතිචාරය කෙරෙහි කැකෑරෙන සමාජ කෝපය යි.  ඒ අතර ම, ම්ලේච්ඡ පොලිස් ප්‍රතිචාරය සහ ට්‍රම්ප් පරිපාලනය විසින් මිලිටරි ආඥාදායකත්වයක් පැටවීමට හා මහජන විරෝධය ප්‍රචන්ඩ ලෙස මැඩීමට දරන උත්සාහය ප්‍රේරනය කරනු ලබන්නේ, ඉදිරියේ දී වඩා විශාල සමාජ පිපිරීම්වලට මුහුන දීමට තමන්ට සිදුවන බවට පාලක පන්තිය තුල පවත්නා අවබෝධයක් විසිනි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට හා ආඥාදායකත්වය විරුද්ධ වීම සඳහා වන සටන, අසමානතාවට හා සූරාකෑමට එරෙහි කම්කරුවන්ගේ අරගල සමග බද්ධ කරනු ලැබිය යුතු ය. මානව ප්‍රගතියට සහ මානව විශේෂයන්ගේ පැවැත්මට ම බාධකයක් වන ධනවාදයේ යථාර්ථය හා බංකොලොත් භාවය වසංගතය මගින් හෙලිදරවු කොට තිබේ.

ධනපති පාලක ප්‍රභූන්ගේ මිනීමරු පිලිවෙතට එරෙහි ව, “කම්කරුවන්ගේ ජීවිත වටනේ ය” යන්න කම්කරුවන් විසින් අවධාරනය කල යුතු අතර එසේ කරනු ද ඇත. කොරෝනා වෛරස් වසංගතයෙන් කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීමේ සටන, පාලක පන්තියට හා ධනපති ලාබ පද්ධතියට එරෙහි ව සමස්ත කම්කරු පන්තියේ අරගලයක් සමග වෙන් කල නොහැකි ලෙස බැඳී තිබේ.

Loading