බලපිටිය රෝහල් කම්කරුවන් ඇරඹූ අඛන්ඩ වැඩ වර්ජනය ඇල්පිටිය සහ තිස්සමහාරාම රෝහල් වලටද ව්යාප්ත වෙයි

දකුනු පලාත් සභාවෙන් පාලනය වන රජයේ රෝහල්වල සේවකයන්ගේ අප්‍රේල් අතිකාල දීමනා නො ගෙවීමට එරෙහිව බලපිටිය මූලික රෝහලේ කම්කරුවෝ පසුගිය 11 දා සිට  අඛන්ඩ වර්ජනයක් දියත් කලහ.  එහි සේවයේ නිරත සෞඛ්‍ය සහායක කාර්ය මන්ඩලයේ කම්කරුවන් 197 ක් ඇතුලු එම ශ්‍රේනියේ සියලු ම කම්කරුවෝ මෙම අරගලයට සහභාගි වෙති. 

ඇල්පිටිය මූලික රෝහලේ කම්කරුවෝ ද අද උදෑසන පිකට් කිරීම

ඇල්පිටිය සහ තිස්සමහාරාම මූලික රෝහල්වල කම්කරුවෝ ද අද උදෑසන පිකට් කිරීමක් සිදු කරමින් එම වැඩ වර්ජනයට එක් වූහ.

මැයි 22 දා බලපිටිය සහ වලස්මුල්ල මූලික රෝහල්වල කම්කරුවන්  අතිකාල දීමනා නොගෙවීමට එරෙහිව සිය වැටුප්  උද්ඝෝෂනය ආරම්භ කල අතර එම කම්කරුවන්ගෙන් වැඩි දෙනෙකු සාමාජිකත්වය ලබා සිටින ජනරජ සේවා සංගමය එම අරගලය සෙසු කම්කරුවන්ගෙන් හුදකලා කොට පැය දෙකක පිකට් කිරීමකට සීමා  කලේ ය. 

ලැබෙන තොරතුරුවලට අනුව දකුනු පලාත් සභාවට සෞඛ්‍යය සේවකයන්ගේ අප්‍රේල් මාසයේ හිඟ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය වන මුදල දල වශයෙන් රුපියල් මිලියන 230කි.

රාජපක්ෂ ආන්ඩුවේ නියෝජිතයෙකු වන ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ජුනි පලවෙනිදාට පෙර රෝහල් කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට කටයුතු කරන බවට පොරොන්දු දී තිබිනි.

ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ බලපිටිය ශාඛාවේ ලේකම් ගයානි කන්ඩම්බි ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග කියා සිටියේ පොරොන්දුව කඩ කිරීම පිලිබඳ චන්දිම වීරක්කොඩි ගෙන් විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බව ය. 

කම්කරුවන් යලි අරගලයට පිවිසීමත් සමග රාජපක්ෂ ආන්ඩුවේ ඇමතියකු වන රමේෂ් පතිරන හා එම පක්ෂයේ තවත් නියෝජිතයකු වූ වන මොහාන් ද සිල්වා විසඳුමක් රැගෙන කම්කරුවන් හමුවීමට පොරොන්දු වී සිටි අතර ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු හෝ මෙතෙක් පැමින නැති අතර, ඉදිරි දිනක විසඳුම් ලබා දෙන බව, ඔවුන්ගේ නියෝජිතයකු හරහා කම්කරුවන්ට දැනුම් දී ඇත.

දකුනු පලාත් සෞඛ්‍ය ලේකම් සමන් කොඩිතුවක්කු සහ පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් ද  ඉදිරි දිනක විසඳුම් ලබා දීම නිවේදනය කර ඇත. ඇමතියන්ගේ මග හැරීම සහ මෙම ව්‍යාජ නිවේදන කම්කරුවන්ගේ වැටුප් ලබා දීමට පරිපාලනයේ නුසූදානම හා අසමත් බව ගැන පැහැදිලි ඇඟවුම්ය.

කම්කරුවෝ මෙම ප්‍රෝඩාව තරයේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් කියා සිටින්නේ හිඟ වැටුප් ගෙවන තෙක් අරගලය අත් නො හරින බව ය.

බලපිටිය රෝහලේ කම්කරුවන්ගේ පිකට්වැට

බලපිටිය රෝහලේ සෞඛ්‍ය සහායක සේවිකාවක් වන මාදම්පේ දයානි, ධීවරයකු වන තම සැමියාට මාස එක හමාරක පමන කාලයක් නිසි රැකියාවක් නො ලැබුනු බවත් දරු දෙදෙනාත් තම මවත් සමග ඉතා අරපිරිමැස්මෙන් ගෙන ගිය ජීවිතය දැන් නයතුරුස් නිසා හිර වී ඇති බවත් කෝපයෙන් කීවාය.  “අපේ රුපියල් දහදාහ අපට ලොකුයි. අපේ සල්ලි ලැබෙන කම් සටන් කිරීම හැර වෙන මාවතක් නෑ” යැයි ඇය තවදුරටත් පැවසුවාය.

තවත් කම්කරුවකු වන ප්‍රේමරත්න “මාධ්‍ය වලින් අපේ ප්‍රශ්නය සම්පූර්නයෙන් යටගහගෙන ඉන්නේ. වෘත්තීය සමිති වලිනුත් වැඩේ කෙරෙන්නෙ නැති බව මම පිලිගන්නව. අපි පටන් ගත්තා. අනිත් කම්කරුවෝ අපිව අනුගමනය කරයි කියා හිතනවා.”

ජනරජ සෞඛ්‍ය සේවා සංගම් නායකත්වය විසින් කම්කරුවන්ගේ විරෝධය දියකර හැරීමේ අරමුනෙන් වර්ජනය කල් දැමීමට යත්න දැරූබවත්, බලපිටිය කම්කරුවන් නායකත්වයට පිටින් වර්ජනයට පැමින ඇති බවත්,  සමිතියේ ශාඛා ලේකම් කන්ඩම්බි ලෝක  සමාජවාදී වෙබි අඩවියේ වාර්තාකරුවන්ට කල කල ප්‍රකාශයෙන් පැහැදිලි විය.  “අනික් පලාත් වලින් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඉදිරි දිනයක උද්ඝෝෂනයකට යන්න මව් සමිතිය පොරොන්දු වුනා. නමුත් අපේ කට්ටියට ඕන වුනා අද ම පටන් ගන්න.”

මෙය බලපිටියට හෝ දකුනු පලාතට සීමා වූ තත්වයක් නොවේ. බස්නාහිර පලාත් සභාවද  මැයි මස වැටුප් පිලියෙල කිරීමේ දී අතිකාල දීමනා නිල ඇඳුම් දීමනා සහ හිඟ වැටුප් ඇතුලත් නො කරන ලෙස අදාල බලධාරින්ට දැනුම් දී තිබිනි. එය දැඩි ආර්ථික අර්බුදයක වෙලී සිටින ආන්ඩුව  පොදුවේ ගෙනයන වියදම් කප්පාදු වැඩපිලිවෙලෙහි කොටසකි.

ඓතිහාසික වසයෙන් බංකොලොත් වෘත්තීය සමිති මේ තත්ත්වයට  මුලුමනින් ම අනුගත වී සිටී. ජන රජ සෞඛ්‍ය සේවා සංගමය පලාත් සභාවේ බලධාරීන්ට යොමු කලා යැයි කියන ලිපි වලට පිලිතුරක් හෝ ලැබී නැත. වෘත්තීය සමිතියේ පිලිවෙත වනුයේ කම්කරුවන්ගේ අරගලය හුදකලා කොට විසුරුවා හරිමින් ධනපති ආන්ඩුවට සහයෝගය දීම ය.

අනෙකුත් සමිති රෝහල් කම්කරුවන්ගේ අරගලයට පිටුපස හරවා සිටීම ගසා කමින්,  සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය මෙම අරගලය මැදට පැන බලපිටිය සහ ඇල්පිටිය රෝහල්ලේවල ශාඛාවන් අටවා ඇත. නමුත් එහි වැඩපිලිවෙල ද ධනපති ආන්ඩුවට කන්නලව් කිරීම හැර අනෙකක් නොවේ. ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අයත් සමස්ත ලංකාව සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති චමින්ද නිලන්ත මෙසේ කියයි. “බලධාරීන් මැදිහත් වී වහා ම විසඳුමක් දිය යුතුයි.  එසේ නූනොත් දැඩි වෘත්තීය වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගැනීම අපට වැලැක්විය නොහැකියි. ......පැය හතරක් වැඩ වරා පිකට් කිරීම අදත් හෙටත් දින දෙකක් කරනවා. බදාදා වෙනකොට පිලිතුරක් නොලැබුනොත් ආන්ඩුකාරයා ඉදිරියේ උද්ඝෝෂනයක් කරනවා. "

පෙසප සමිතියේ මෙම පූච්චානම් ආන්ඩුවට බලපෑම් දැමීමෙන් ඔබ්බට නොයයි. රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන මෙම ප්‍රහාරයන් ධනපති ක්‍රමයේ ඓතිහාසික නොහැකියාවේ ප්‍රතිඵලයකි. එබැවින් එම ප්‍රහාර පරාජය කල හැක්කේ ධනවාදය අහෝසි කිරීම එල්ල කරගත් දේශපාලනික අරගලයකිනි.  

ධනපති ක්‍රමයට තදින් බැඳුනු වෘත්තීය සමිති එවන් අරගලයකට ඉඳුරාම සතුරුය.  

ධනවාදයට සහ ධනපති ආන්ඩුවලට එරෙහි දේශපාලන සටනක් දියත් කලහැකි නව සංවිධාන රූපයන් කම්කරුවන් විසින් ගොඩනගාගත යුතුය. වෘත්තීය සමිති වලින් බිඳී තමන්ගේ ම ඡන්දයෙන් පත් කර ගන්නා ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමට කම්කරුවන් වහා පියවර ගත යුත්තේ එබැවිනි

Loading