වසර 100 කට පෙර: කූ ක්ලක්ස් ක්ලෑන් (Ku Klux Klan - KKK) බඳවා ගැනීම් ආරම්භ කරයි

මෙම ලිපිය ජූනි 1 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කූ ක්ලක්ස් ක්ලෑන් සංවිධානයේ නායක - අධිරාජ්‍ය විශාරද - විලියම් සිමන්ස්

1920 ජුනි 7 වන දින, ෆැසිස්ට් KKK සංවිධානයේ නායක - අධිරාජ්‍ය විශාරද (Imperial Wizard*) - විලියම් සිමන්ස් විසින් සංවිධානයට නව සාමාජිකයින් බඳවා ගැනීමේ ක්‍රමානුකූල මෙහෙයුමක් ආරම්භ කලේය. එම කාර්යය සඳහා ඔහු මහජන සම්බන්ධිකරන කටයුතු වල නියැලෙන  දක්ෂින ප්‍රචාරක එකමුතුව (Southern Publicity Association - SPA) නම් ප්‍රතිගාමී සමාගම කුලියට ගත්තේය. එම සමාගමේ හිමිකරුවන් වූයේ KKK සාමාජික එඩ්වඩ් යන්ග් ක්ලාක් සහ එහි කාන්තා සංවිධානය වන ඇමරිකාවේ දියනියෝ (Daughters of America) සංවිධානයේ සාමාජිකාවක වන මේරී එලිසබෙත් ටයිලර් ය. 

SPA හි මඟ පෙන්වීම යටතේ KKK ප්‍රචාරනය, “සියයට සීයක්ම ඇමරිකානුවාදය” වෙනුවෙන් පෙනී සිටි අතර, කලු ජාතිකයින්, යුදෙව්වන්, කතෝලිකයන්, සංක්‍රමනිකයන් සහ සමාජවාදීන් ඔවුන්ගේ ආක්‍රමනශීලී ඉලක්ක කරගත්තේය. SPAය විසින් සංවිධායකයින් බඳවා ගැනුනු අතර ආරම්භක ගාස්තුව වන ඩොලර් 10න් කොටසක් එම සමාගමට ලැබුනි. මාස හයක් තුල KKK සාමාජික සංඛ්‍යාව 85,000 ක් දක්වා වර්ධනය විය. 1920 ගනන්වල මැද භාගය වන විට එහි සාමාජික සංඛ්‍යාව මිලියන 4-5ක් විය. 

ඩී.ඩබ්. ග්රිෆිත්ගේ Birth of a Nation (ජාතියක උපත) නම් චිත්‍රපටය තුලින් ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසු ප්‍රතිසංස්කරන කාලපරිච්ඡේදයේ දී "පලමු පරපුර" (First Klan*) වීර වික්‍රමාන්විත ලෙස ක්‍රියාත්මක වූ බවක් නිරූපනය කල අතර 1915 දී එය නැරඹීමෙන් පසු සිමන්ස් විසින් “දෙවන පරපුර” (Second Klan*) ආරම්භ කරන ලදී. එම චිත්‍රපටයේ පදනම වූයේ සුදු අධිපතිවාදී කතුවරයෙක් වන තෝමස් ඩික්සන් විසින් රචිත The Leopard’s Spots (1902), The Clansman (1905) සහ The Traitor (1907) යන ප්‍රතිසංස්කරන කාලපරිච්ඡේදය වටා ගෙතුනු නවකතා ය. එම  නවකතාවල එන නිරූපන හා දෘෂ්ටිවාදය සිමන්ස් විසින් භාවිතා කරන ලදී. ඩික්සන් සමාජවාදය කෙරෙහි දැඩි විරෝධයක් දක්වන්නෙක් ද වන අතර ඔහු 1919 දී චිත්‍රපටයක් බවට පත් වූ  Bolshevism on Trial නමින් නවකතාවක් ද ලිවීය. 

KKK සංවිධානය වර්ධනය වන්නේ, පලවන ලෝක යුද්ධයෙන් පසු 1919 දී ඇති වූ මහා ගල් අඟුරු සහ වානේ වැඩ වර්ජන, 1917 රුසියානු විප්ලවයෙන් ආශ්වාදය ලැබ කොමියුනිස්ට් පක්ෂය ගොඩනැගීම වැනි කම්කරු පන්තියේ දැවැන්ත අරගලයන්ට පාලක පන්තිය සහ පහල මධ්‍යම පන්තියේ කොටස් දැක්වූ ප්‍රතිචාරයේ ප්‍රතිපලය ලෙස ය.  

කම්කරු පන්තියට එරෙහි කුලු ගෙඩියක් සේ KKK සංවිධානය ක්‍රියාත්මක වූයේ, ෆෙඩරල් ආන්ඩුවේ නිහඬ  දිරිගැන්වීම තුලය. පලමුවන ලෝක සංග්‍රාමය අවධියේ රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතිකවාදී ප්‍රචාරනයන්හි යෙදීමත් කම්කරු පන්තිය මර්දනය කිරීමට ආන්ඩුව ගත් උත්සාහයන්ට, විශේෂයෙන් 1919 න් පසු නීතිපති ඒ. මිචෙල් ක්‍රියාත්මක කල සමාජවාදීන්ට, කොමියුනිස්ට්වාදීන්ට සහ අරාජකවාදීන්ට එරෙහි පහරදීම් වලට KKK සංවිධානය සම්බන්ධ විය. 

Loading