ඕඊසීඩී වාර්තාව වසංගතයේ දිගුකාලීන බලපෑම පෙන්වා දෙයි

මෙම ලිපිය ජූනි 16 දින ඉංග්‍රීසියෙන් පලවිය

COVID-19 වසංගතයේ ප්‍රතිපලයක් ලෙස පනවා ඇති සීමාවන් ඉවත් කර ඇති හෙයින් ප්‍රධාන ආර්ථිකයන් සහ සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය ආශ්චර්යමත් V හැඩැති ප්‍රකෘතියක් අත්විඳිනු ඇතැයි යන ඕනෑම ප්‍රකාශයක් ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී)  විසින් මේ මස මුලදීනිකුත් කරන ලද වාර්තාවක් මගින් පසෙකට දමා ඇත. 

වසංගතය, මහා අවපාතයෙන් පසුව වඩාත් දරුනු හැකිලීමකට තුඩු දී ඇති බවත් එහි ප්‍රතිපල දිගු කල් පවතිනු ඇති බවත් වාර්තාව පැහැදිලි කරයි. ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන අංශ ගනනාවක, වසංගතය ඇතිවීමට පෙරමත් පැහැදිලිව හඳුනා ගැනුනු විශේෂයෙන් වෙලඳාම, ආයෝජන සහ ව්‍යාපාරික නය ක්ෂේත්‍රවල හැකිලීමේ ප්‍රවනතා උග්‍ර කර ඇති බව එහි සටහන් වේ.

වාර්තාව පිලිබඳ අදහස් දක්වමින් ඕඊසීඩී ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ලෝරන්ස් බූන් පැවසුවේ “ඕඊසීඩී සමහර රටවල අගුලු දැමීමේ කාලය තුල ආර්ථික කටයුතු සියයට 20 ත් 30 ත් අතර ප්‍රමානයකින් බිඳ වැටී ඇත. එය අසාමාන්‍ය කම්පනයකි.”

ප්‍රධාන ආර්ථිකයන් 33 ක් ආවරනය කරන ඕඊසීඩී සිය දෘෂ්ටිය සැකසීමේදී, අවස්ථා දෙකක් සලකා බලයි: ඉන් එකක් වෛරසය පසු බැස පාලනය කර ගත හැකි රටවල් හා දෙක, දෙවන රැල්ල මේ වසර අගදී පුපුරා යනු ඇතැයි සැලකෙන රටවල්ය.

බූන් මෙසේ ලියයි. “අවස්ථා දෙකම මධ්‍යස්ථය, ආර්ථික කටයුතු මේ තතු තුල යථා තත්ත්වයට පත් විය නොහැකි අතර යථා තත්ත්වයට පත් නොවනු ඇත. 

ආර්ථික දැක්ම “සුවිශේෂී ලෙසම අවිනිශ්චිත” බව වාර්තාව පවසයි. එහි සඳහන් වන්නේ ඕනෑම ප්‍රකෘතියක් “දෙගිඩියා සහගත” වන අතර “ඉලක්ක කර තිබෙන ආරක්ෂක ක්‍රියාමාර්ග, විශේෂයෙන් පරීක්‍ෂනය, සොයා යෑම් සහ හඳුනාගැනීම්” ක්‍රියාත්මක නොකලේ නම් හෝ පලදායී නොවූයේ නම්, තවත් රැල්ලකින්  බාධා ඇතිවිය හැකි බවයි.

“ පහර දෙකක” තත්වයක් තුල, ගෝලීය දල දේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 7.1 කින් පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, “තනි පහරක්” තුල හැකිලීම මේ වසරේදී සියයට 6 ක් වනු ඇත. අර්බුදයට පෙර මට්ටම කරා පැමිනෙනු ඇත්තේ 2021වසර අවසානයේදීය.

එහෙත් සාපේක්ෂව සුභවාදී මෙම දෙවන වාතාවරනය යටතේ වුව ද, “බොහෝ දියුනු ආර්ථිකයන්හි, පස් වසරක හෝ ඊටත් වැඩි කාලයක ඒක පුද්ගල සැබෑ ආදායම් වර්ධනය, වසර 2021 වන විට අහිමි විය හැකිය.”

“අර්බුදය, ලෝකය හා ඕඊසීඩී ආර්ථිකයන් මත දිගු සෙවනැල්ලක් ඇති කරනු ඇත” යනුවෙන් වාර්තාව පවසයි. “2021 වන විට එය ඕඊසීඩී ආර්ථිකයන්ගෙන් බහුතරයක සැබෑ ඒක පුද්ගල ආදායම පහර දෙකක තත්ත්වය තුල 2013 මට්ටමට ද එක් පහරක් නම් 2016  මට්ටමට ද ගෙන යනු ඇත.”

එපමනක් නොව එය, “ඉහල බංකොලොත් වීමේ හැකියාව සහිත ප්‍රාග්ධනය අකාලයේ අවලංගු කිරීම  සහ ඉහල විරැකියා මට්ටම්වල අහිතකර දිගු කාලීන බලපෑම් හේතුවෙන් විභව නිමැවුම් ස්ථිරවම අඩු කල හැකිය”.

වසංගතය පැතිරීම වඩාත් ඉක්මනින් අවසන් කිරීමට සහ ගෝලීය ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීමට මෙන්ම නැගී එන වෙලඳපල ආර්ථිකයන්ට සිදුවන හානිය වලක්වා ගැනීමට “ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක්” අවශ්‍ය බව වාර්තාව සඳහන් කරයි.

“වසංගතයෙන් ඇති වන අභියෝගයන්ට මුහුන දීම සඳහා දැනුම, වෛද්‍ය සහ මූල්‍ය සම්පත් හුවමාරු කර ගැනීම සහ වෙලඳාමට හානිකර තහනම් අඩු කිරීම, විශේෂයෙන් සෞඛ්‍ය සේවා නිෂ්පාදනවල, අත්‍යවශ්‍ය වේ.

නමුත් සිදුවෙමින් ඇත්තේ, ප්‍රතිවිරුද්ධ දෙයයි. අතිරේක වෙලඳ හා ආයෝජන සීමා කිරීම් සමඟ වසංගතය, “මහා ඒකාබද්ධතාවයේ” සිට “මහා ඛන්ඩනය” වෙත මාරුවීම වේගවත් කර ඇති බව බූන් සටහන් කරයි.

ට්‍රම්ප් පරිපාලනය සහ අනෙකුත් ප්‍රධාන බලවතුන්, වෛරසය ගෝලීයව පැතිරවීම පිලිබඳ ඔවුන්ගේ චීන විරෝධී උද්ඝෝෂනය වේගවත් කර ඇති බැවින්, මෙම ක්‍රියාවලිය ආර්ථික ක්ෂේත්‍රයට පමනක් සීමා නොවනු ඇත.

සේවා නියුක්තිය සම්බන්ධයෙන් ගත් කල, වඩාත්ම පීඩාවට පත් ක්ෂේත්‍ර වන්නේ විවේකය, විනෝදාස්වාදය සහ සංචාරක කර්මාන්තයයි. එහෙත් ඒ හා සමානවම, කල් පවත්නා පාරිභෝගික වියදම් ක්ෂේත්‍රෙය්  පිරිහීම ද කැපී පෙනේ. 2019 මාසික සාමාන්‍යයට සාපේක්ෂව මාර්තු සහ අප්‍රේල් මාසවල ගෝලීය මෝටර් රථ අලෙවිය සියයට 37 න් පහත වැටී තිබේ.

දිගු කාලීන ආර්ථික වර්ධනය සඳහා තීරනාත්මක සාධකයක් වන ආයෝජන වියදම් ද තියුනු ලෙස පහත වැටී ඇත. ප්‍රධාන දියුනු ආර්ථිකයන්හි ප්‍රාග්ධන භාන්ඬ නිෂ්පාදනය 2020 පලමු කාර්තුවේදී සියයට 12 කින් පමන පහත වැටුනි. මේ සම්බන්ධයෙන් ගත් කල,   2019 අග භාගයේදී පැහැදිලිව පෙනෙන ප්‍රවනතාවක් වූ ආයෝජන පහත වැටීම, වසංගතය මඟින් වේගවත් කිරීමට පටන් ගෙන තිබේ.

තවත් දිගු කාලීන දර්ශකයක් වන්නේ ගෝලීය වෙලඳාමේ පහත වැටීමයි. ඕඊසීඩී වාර්තා කරන්නේ එය 2020 “මුල් මාස තුන තුල සියයට 4 කින් පමන පහත වැටීමත් සමඟ“ තියුනු ලෙස හැකිලෙමින් පවතින ” බවයි. එනම්, අගුලු දැමීමේ පියවරයන්හි පූර්න බලපෑමට පෙරය. ගුවන් මගින් ජාත්‍යන්තර භාන්ඬ ප්‍රවාහනය අප්‍රේල් මාසයේදී , පෙර වසරේ එම කාලයම හා සසඳන කල සියයට 30 න් පහත වැටී තිබේ.

“ගෝලීය අපනයන ඇනවුම් අප්‍රේල් මාසයේදී වාර්තා වූ අවම මට්ටමට වැටී ඇති අතර සියලු රටවල් සැලකිය යුතු පිරිහීමක් වාර්තා කරද්දී, මැයි මාසයේදී සුවිශේෂී ලෙස දුර්වල මට්ටමක පැවතුනි.

ආයෝජන පිලිබඳව මෙන්ම වසංගතය, ගෝලීය මූල්‍ය අර්බුදය හමුවේ ආරම්භ වූ යටින් පවතින ප්‍රවනතා දැඩි ලෙස උග්‍ර කර තිබේ. මෑත වසරවලදී, ලෝක වෙලඳාම ගෝලීය නිෂ්පාදනයේ වැඩිවීමට වඩා සුළු වේගයකින් පමනක් ඉහල ගොස් ඇති අතර 2008 ට පෙර වර්ෂවලදී එය ගෝලීය දල දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය මෙන් දෙගුනයකින් ඉහල ගොස් තිබේ.

ඕඊසීඩී අනාවැකි පල කරන්නේ, 2020 දී ගෝලීය වෙලඳාම පහර දෙකක තත්ත්වයක් යටතේ සියයට 11.5 කින් පහත වැටෙනු ඇති අතර තනි පහරක් එල්ල වුවහොත් සියයට 9.5 කින් පහත වැටෙනු ඇති බවයි.

විරැකියාව පිලිබඳ එහි පුරෝකථනය වසංගතයේ දිගුකාලීන බලපෑම් කෙරෙහි ද අවධානය යොමු කරයි. ඕඊසීඩී කලාපයේ විරැකියාව ශතවර්ෂ කාලක් තුල ඉහලම මට්ටම් කරා ලඟා වී ඇති අතර සෙමෙන් ලිහිල් වනු ඇත්තේ 2021 දී පමනි.

වාර්තාවේ මෙසේ සඳහන් වේ: “රැකියා අහිමිවීමෙන් ඇති වන බලපෑම්, විශේෂයෙන් තරුන කම්කරුවන්ට සහ අඩු නිපුනතා ඇති කම්කරුවන්ට දැනෙනු ඇත. බොහෝ පුද්ගලයින්ගේ රැකියා විරහිත අවදානම දීර්ඝ කාලයක් තිස්සේ පවතිනු ඇත.”

ඕඊසීඩී සඳහන් කරන්නේ, මූල්‍ය පෙරමුනේදී වසංගතය, “මූල්‍ය වත්කම් මිලෙහි දැවැන්ත පහත වැටීමක් සහ අස්ථාවරත්වය ඉහල නැංවීමට හේතු වූ අතර, සමහර වෙලඳපොලවල් නිසි ලෙස ක්‍රියාත්මක නොවන” බවයි. 1987 පසුව ඇතිවූ  විශාලතම කඩාවැටීම නිසා බොහෝ රටවල කොටස් වෙලඳපොලවල සියයට 30 ත් 50 ත් අතර බිඳවැටීමක් සිදුවිය.

එක්සත් ජනපදයේ සහ ලොව පුරා මහ බැංකු වල දැවැන්ත මැදිහත්වීමක ප්‍රතිපලයක් ලෙස වෙලඳපොල කැලඹීම් සමනය විය. නමුත් මෙම මැදිහත්වීම දිගටම කරගෙන යාමට සිදුවනු ඇත. පොලී අනුපාත පහතින් තබාගැනීම  සඳහා මහ බැංකුවලට, ප්‍රතිලාභ වක්‍රය පාලනය කිරීමට සිදුවිය හැකි බව ඕඊසීඩී තරයේ කියා සිටී. ජපානය දැනටමත් අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙයයි. එහිදී අඩු පොලී අනුපාතයක් පවත්වා ගැනීම සඳහා මහ බැංකුව අත්‍යවශ්‍යයෙන්ම රජයේ නය මිලට ගනී.

එවැනි පාලන තන්ත්‍රයක් කොටස් මිල ඉහල නංවන අතර, එය ආර්ථිකයේ වෙනත් අංශවල ගැටලු ඇති කරයි. මන්දයත්, අඩු පොලී අනුපාත දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යාමෙන්, “විශ්‍රාම වැටුප් අරමුදල් සහ රක්ෂන සමාගම්වල පැවැත්මට අභියෝගයක් වන නිසාය.”

මූල්‍ය නොවන සමාගම්වල තත්වය පිලිබඳ සවිස්තරාත්මක දත්ත එහි නොමැති අතර, “තෝරාගත් විශාල සමාගම්වල තොරතුරු වලින් පෙනී යන්නේ, නිමැවුම බිඳවැටීමේ සෘනාත්මක බලපෑම ඉතා විශාල වනු ඇති” බවයි.

මෙහි දී නැවතත්,  යටින් පවතින දුර්වලතාවන්හි තත්වය යටතේ වසංගතයේ බලපෑම මතුවීමට පටන්ගෙන තිබෙන අතර, 2019 අවසානයේ දී සමාගම්වලින් සියයට 25 කට පමන “2020 ගෙවීමට ඇති සියලු නය  පියවීමට ප්‍රමානවත් මුදල් නොතිබූ” බව ඕඊසීඩී සඳහන් කලේය.

“ව්‍යාපාර අකර්මන්‍ය වීම හා බංකොලොත්කම ඉහල යාම, ව්‍යාපාර බැඳුම්කර වෙලඳපොලවල සෘනාත්මක ප්‍රතිලබ්ධි බලපෑම්” වලට තුඩු දිය හැකි බව එහි සඳහන් වන අතර, “වාර්තාගත [ව්‍යාපාර] නය ප්‍රමානයක් මෑත මාසවලදී අබලන් තත්වයට වැටී ඇත,” එනම් , ආයෝජන මට්ටමට වඩා පහලින් ශ්‍රේනිගත කර ඇත.

මෙය සමාගම් තම මූල්‍ය කටයුතු සඳහා එක්සත් ජනපදයට වඩා බැංකු මත යැපෙන යුරෝපයේ, විශේෂයෙන් “බැංකුවලට ඇති අභියෝගය“ වැඩිකල හැකිය.  අර්බුදයේ මූල බැංකු නොවූ අතර, 2008 ට වඩා ඉහල ද්‍රවශීලතා බෆරයන් ඒවා සතුවන අතර, වාර්තාව පවසන්නේ, “ව්‍යාපාර හා ගෘහස්ථ නය පැහැර හැරීම් වැඩිවීම සහ දුර්වල ඉල්ලුම නිසා, ඒවාට සෘනාත්මක ලෙස බලපානු ඇති” බවයි.

Loading