ඉදිරිදර්ශන

වසංගතය උත්සන්න වෙද්දී ධවල මන්දිරය වැඩට යාමේ උද්ඝෝෂනය ඔස්සේ පෙරටම යයි

මෙම ලිපිය අප්‍රේල් 13දා ඉංග්‍රීසි බසින් පලවිය.

ධවල මන්දිරය සහ ප්‍රධාන සමාගම් විසින් නිසිකලට පෙර ව්‍යාපාර නැවත විවෘත කිරීම සඳහා කරන ලද උද්ඝෝෂනය එක්සත් ජනපදය පුරා කෝවිඩ්-19 ආසාදන වැඩිවීමට හේතු වී ඇති බව දැන් අවිවාදිත ය

රෝග මර්දන මධ්‍යස්ථාන මගින් පිට වූ වාර්තාවකට අනුව, ජුනි 6 සිට 9 දක්වා කාලය තුල එක්සත් ජනපදයේ නව රෝගීන් සංඛ්‍යාවේ සාමාන්‍යය තුල සියයට 36 ක වැඩිවීමක් දක්නට ලැබී තිබේ. මැයි 21 න් පසු වැඩිම නව රෝගීන් සංඛ්‍යාවක් ලෙස පසුගිය ජූනි 12 වන දා 27,221 ක ආසාදිතයන් වාර්තා විය. ගෝලීය වශයෙන්, නව රෝගීන් සංඛ්‍යාව 140,000 ඉක්මවා යමින් වාර්තාගත මට්ටමකට නැගී ඇත.

ඇරිසෝනා, ෆ්ලොරිඩා, ටෙක්සාස්, උටා, උතුරු කැරොලිනා සහ කැලිෆෝනියාවේ තියුනු වැඩිවීම් ද ඇතුලුව ප්‍රාන්ත 21 ක් තුල මේ සතියේ නව රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කර තිබේ. දැනටමත්, ඇරිසෝනා හි රෝහල්වල ධාරිතාවය ඉක්මවා යන්නට ආසන්න ය.

දිනකට 1000 ක මට්ටමේ උච්චාවචනය වත්මන් මරන රේට්ටුව අනුව බලතොත් ගිම්හානය අවසන් වන විට රට තුල කොරෝනා වෛරස් මරන 200,000 ක් පමන සිදුවනු ඇත.

කෙසේ වෙතත්, රෝගීන් වැඩිවීම නොවැලැක්විය හැකි ලෙස ම මරන සංඛ්‍යාව වැඩි කරනු ඇත. වසංගතයට ධවල මන්දිරයේ ප්‍රමාද වූ ප්‍රතිචාරය, එක් අධ්‍යයනයකට අනුව, ජීවිත 50,000 කට අධික සංඛ්‍යාවක් අහිමිවීමට හේතු වූවා සේ ම, නිසිකලට පෙර රැකියාවන්ට යලි කැඳවීම සහ රෝගය පාලනය කිරීම සඳහා වන සියලු උත්සාහයන් අතහැර දැමීම තවත් දස දහස් හෝ සිය දහස් ගනනක් අතිරේක මරන සඳහා හේතු වනු ඇත.

රට පුරා සහ ජාත්‍යන්තරව වසංගතයේ ව්‍යසනකාරී ඉහලයාම තිබියදීත් ධවල මන්දිරය, ආන්ඩුකාරවරුන් සහ ව්‍යාපාරික විධායකයින් අවධාරනය කරන්නේ රෝගය පාලනය කිරීම සඳහා හදිසි පියවරයන් වෙත ආපසු හැරීමක් නැති බවයි. 

එක්සත් ජනපදයට “නැවත ආර්ථිකය වසා දැමිය නොහැක” යැයි භාන්ඩාගාර ලේකම් නුචින් ජූනි 11 වන බ්‍රහස්පතින්දා ප්‍රකාශ කලේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ කල ප්‍රකාශය එනම් “එය උමතුවක් හෝ ගිනි ජාලාවක් වේවා… අපි අපේ රට වසා දමන්නේ නැත” යි යන්න ප්‍රතිරාවය කරමිනි.

ඇරිසෝනා ආන්ඩුකාර, රිපබ්ලිකන් පාක්ෂික, ඩග් ඩියුසි ප්‍රකාශ කලේ දෙවන හදිසි අගුලු දැමීමක් “සාකච්ඡාවට භාජනය නොවන” බවයි. ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු වන කැලිෆෝනියාවේ ආන්ඩුකාර ගැවින් නිව්සෝම්, “සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩි වීමක් අපේක්ෂා කලත්” ආර්ථිකය නැවත විවෘත කිරීම දිගට ම කරගෙන යාමට පොරොන්දු විය.

කෝවිඩ්-19 අසාදිත වී රෝහල් ගත කර ඇති රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තාගත මට්ටමට අඛන්ඩව දින තුනක් ඉහල ගිය  බවට පසුගිය සතියේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා විය. ජූනි 12 වන සිකුරාදා අවන්හල්වලට ඔවුන්ගේ කෑම ශාලා සම්පූර්න ධාරිතාවයට ආසන්නව පුලුල් කිරීමට අවසර ලබා දෙන ලදී. ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් පැහැදිලි කර සිටියේ ව්‍යාපාරික සීමාවන් නැවත පැනවීමට තමාට කිසිදු අදහසක් නොමැති බවයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජූනි 12 වන සිකුරාදා වාර්තා කරනු ලැබුවේ කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 1,902 ක් වාර්තා වී ඇති බවයි. මෙම සංඛ්‍යා මෙසේ තිබියදීත්, ආන්ඩුකාර රොන් ඩෙසැන්ටිස් විසින් එය නො සලකා රජයේ පාසල් “පූර්න ධාරිතාවයෙන්” නැවත ආරම්භ කිරීමේ සැලසුමක් එලිදක්වන ලදී.

මෙම ප්‍රකාශ පුවත්පත් තුල ප්‍රතිරාව නැංවේ. ජූනි 12 වන සිකුරාදා කතුවැකියක දී, වෝල් ස්ට්‍රීට් ජර්නලය සෘජුවම ප්‍රකාශ කර සිටියේ, “ප්‍රාන්ත නැවත විවෘත වන විට ආසාදන තවත් වැඩි වීම නො වැලැක්විය හැකි ය” යි ද නමුත් “විවෘත කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි” ද යන්නයි.

එය පැහැදිලිව ප්‍රතික්ෂේප කරමින් ජාතික ආර්ථික කවුන්සිලයේ (එන්ඊසී) අධ්‍යක්ෂක ලැරී කුඩ්ලොව් සිකුරාදා අවධාරනය කලේ, “හදිසි අවස්ථාවක් නැත. දෙවන රැල්ලක් නැත” යනුවෙනි. එක්සත් ජනපදය වසංගතය “ව්‍යාප්ත වන්නට ඉඩ නොදී ආන්ඩුමට්ටු කරගත්තේ යැයි” කියූ මේ මිනිසාගේ එවැනි ප්‍රකාශ අරුත් සුන්ය.

කුඩ්ලෝ සහ නුචින්ගේ ප්‍රකාශයන්ට ඇත්තේ එක් අරමුනක් පමනි: කුමක් වුවත්, වැඩට යාමේ ව්‍යාපාරයට කිසිදු බාධාවක් සිදු නොවන බවත්, සේවකයින්ට වැඩට යාමට සිදුවීමට හෝ සේවයෙන් පහ කිරීමට මුහුන දීමට සිදුවන බවත් වෝල් වීදියට යලි යලිත් සහතික කිරීම යි.

වසංගතය ආරම්භයේ සිටම පාලක පන්තිය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක් ම වෝල් වීදියේ අවශ්‍යතා අනුව නියාමනය වී තිබේ. ජනගහනයේ ජීවිත ආරක්ෂා කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ට්‍රම්ප් පරිපාලනය, සමස්ත දේශපාලන සංස්ථාපිතයේ ම පිටුබලය ඇතිව,  ධනවතුන් වෙනුවෙන් ඉතිහාසයේ විශාලතම ආන්ඩුවෙන් ඇපදී ගලවා ගැනීම සැලසුම් කලේය.

ට්‍රිලියන ගනනක් මුදල් සංගත සහ බැංකු වෙත හරවා ඇති අතර, ඇමරිකානු මහ බැංකුව පැහැදිලි කර ඇත්තේ මුදල් කරාමය දින නියමයක් නොමැතිව විවෘතව පවතින බවයි.

කොටස් වෙලඳපොල තුලට මුදල් ගැලීම සඳහා කම්කරු පන්තියෙන් අතිරික්ත වටිනාකම වෙන කවරදාටත් වඩා උකහා ගැනීම අවශ්‍ය වේ. ඇපදීම සුරක්‍ෂිත වූ පසු, වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා වන අගුලු දැමීමේ සිට සේවා ස්ථානවල අනිවාර්ය සමාජ දුරස්ථ පියවර දක්වා, සියලු ක්‍රියාමාර්ග ලාභ ඉපැයීමේ අවහිරතා ලෙස හුදෙක්ම අතහැර දමා ඇත.

නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට බල කිරීමේ උද්ඝෝෂනය, මස් ඇසුරුම් කිරීමේ කම්හල්, ආහාර සැකසුම් මධ්‍යස්ථාන සහ වෙනත් නිෂ්පාදන ස්ථාන වැනි වැඩබිම් රෝගය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථාන ලෙස ඉස්මතු වීමට හේතු වී ඇති අතර, නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට දැඩි තීන්දු ගෙන සිටින සමාගම් සමඟ කම්කරුවන් ගැටුම්කාරී මාවතකට යොමුව ඇත.

එහෙත් මෙම අනාරක්ෂිත තත්වයන්ට එරෙහිව කම්කරුවන්ගේ විරෝධය රට පුරා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. උටා ප්‍රාන්තයේ ලෝගන් නගරයේ මස් ඇසුරුම් කම්කරුවන් සිය ගනනක් ජූනි 10 වන බදාදා පස්වරුවේ ඔවුන්ගේ කම්හල් වසා දමන ලෙස ඉල්ලා සිටි අතර එහි දී මුලු  ශ්‍රම බලකායෙන් සියයට 20 කට වැඩි ප්‍රමානයක් රෝගයෙන් ආසාදිත බව සොයාගෙන තිබිනි. ෆිලඩෙල්ෆියා සනීපාරක්ෂක කම්කරුවන් ජූනි 9 වන අඟහරුවාදා උදෑසන නගර ශාලාව ඉදිරිපිට විරෝධතා දැක්වූයේ ආරක්ෂක උපකරන, කෝවිඩ්-19 සඳහා නිරන්තර පරීක්ෂන සඳහා ප්‍රවේශය සහ උපද්‍රව වැටුප් ප්‍රසාද දීමනා ඉල්ලා සිටිමිනි.

පන්ති සබඳතා ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සූරාකෑම වැඩි කිරීම සඳහා පාලක පන්තිය අර්බුදය භාවිතා කිරීමට උත්සාහ කරද්දී, නැවත වැඩට යාමේ ව්‍යාපාරයේ බලපෑම මහපරිමාන විරැකියාව හා කප්පාදුව මගින් ඇති කරන දැවැන්ත සමාජ අර්බුදය සමඟ අන්තර්ඡේදනය වනු ඇත.

කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්‍රතිරෝධය පාලක පන්තියේ පිලිවෙතට එදිරි විය යුතුය. මේ සඳහා කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අධීක්ෂනය කිරීම සහ බලාත්මක කිරීම සඳහා සෑම වැඩබිමක ම ස්වාධීන ආරක්ෂක ක්‍රියාකාරි කමිටු පිහිටුවීම අවශ්‍ය වේ.

එවැනි සංවිධානවල වර්ධනය ට්‍රම්ප් ආන්ඩුවට එරෙහිව සමස්ත කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හා සම්බන්ධ කල යුතුය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මැයි 22 දා ලියා ඇති පරිදි, “වසංගතයට එරෙහි සටන වෛද්‍ය විද්‍යාත්මක පෙරමුනේ පමනක් නොව දේශපාලන පෙරමුනෙහි ද දියත් කල යුතුය. කෝවිඩ්-19 ට එරෙහි අරගලය ට්‍රම්ප් ආන්ඩුවේ සහ එහි ඩිමොක්‍රටික් පාක්ෂික මන්දෝත්සාහී පන්දම්කාරයින්ගේ සාපරාධී ප්‍රතිපත්තිවලට එරෙහි විය හැකි පුලුල් ම සටනෙන් වෙන් කල නොහැකි ය. ”

මෙම සාපරාධී ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක දැන් රට පුරා මතුවෙමින් තිබේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් තනි පුද්ගලයෙකුගේ අමානුෂික පොලිස් ඝාතනයට විරෝධය දැක්වීම සඳහා පසුගිය සති දෙක තුල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙලපාලි ගොස් ඇත. දස දහස් ගනනකගේ මරනවලට ට්‍රම්ප් පරිපාලනය වගකිව යුතු අතර තවත් සිය දහස් ගනනකගේ මරනවලට වගකිව යුතු වනු ඇත. පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි සටන මෙන් ම, වසංගතයට එරෙහි සටන ද මුල්‍ය කතිපයාධිකාරයට හා ධනේශ්වර ලාභ ක්‍රමයට එරෙහි සමස්ත කම්කරු පන්තියේ ම සටනකි. 

Loading