දකුනු ආසියාවේ ආන්ඩු අගුලු දැමීම් නතර කිරීමෙන් පසු කොවිඩ්-19 ආසාදන සිද්ධි පිම්මේ ඉහල යයි

මෙම ලිපිය ජූනි 10 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පුද්ගලයන් බිලියන 1.7 ක පමන වාසස්ථානය වන දකුනු ආසියාවේ ආන්ඩු, මෑත සතිවල දී අගුලු දැමීමේ පියවරයන් ඉවත් කිරීම, කලාපය පුරා කොරෝනා වෛරස ව්‍යාප්තියේ ක්ෂනික වේගවත් වීමට මග පාදා තිබේ. 

මේ මස ආරම්භයේ පටන්, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය යන සියලු රටවල් ආසාදනයන් තියුනු ලෙස ඉහල යාම් අත්දැක ඇත. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව, පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැග්ගේ, දකුනු ආසියානු කලාපය කොවිඩ්-19 වසංගතය ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ප්‍රදේශය බවට පත්කරමිනි. වර්ල්ඩෝමීටර්ස් විසින් නිකුත් කල සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙම රටවල් තුන ඒකාබද්ධ ව ගත් විට 450,000ට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් හා 11,000 ට ආසන්න මරන ගනනක් වාර්තා කර තිබේ. 

පරීක්ෂන දුස්සාධ්‍ය ලෙස හිඟවීම හේතුවෙන් මෙම ගනන් හිලවු අශිෂ්ඨ ලෙස අවතක්සේරු වීමේ හැකියාව ඇත. ඉන්දියානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලයේ දත්ත පෙන්නුම් කරන පරිදි, බිලියන 1.37 ක ජනගහනයක් සිටින ඉන්දියාව ජුනි 9 දා වන විට පරීක්ෂා කර තිබුනේ සාම්පල මිලියන 4.91ක් පමනි.  

අධික ජන ඝනත්වය, මහා පරිමාන දරිද්‍රතාව සහ ගරා වැටුනු සෞඛ්‍යාරක්ෂන පද්ධතිය හේතුවෙන්, දකුනු ආසියාව වේගයෙන් බෝ වන මෙම වෛරසයට විශේෂයෙන් ගොදුරුවනසුලු ය. නාගරික පැල්පත් හා අනෙකුත් කුඩා වාසස්ථානවලට හිර වී සිටින මිලියන ගනන් ජනයාට, සමාජ දුරස්ථකරන උපදෙස් හෝ නිතිපතා දෑත් සේදීම වැනි මූලික සනීපාරක්ෂක නිර්දේශ පිලිපැදීමට අවස්ථාවක් නැත. 

ඉන්දියාව

අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව විසින් කොවිඩ්-19 සීමාවන් ලිහිල් කිරීම, ආසාදිතයන් යෝධ ලෙස ඉහල යාමකට හේතු වී තිබේ.   

අඟහරුවාදා (ජුනි 9) වන විට, වඩාත් ම ගැඹුරු ලෙස බලපෑමට ලක්වූ රටවල් 10 තුලට ඇතුලත් වෙමින් පස්වන ස්ථානය කරා ඉන්දියාව පිම්මේ ඉහල නැග ඇත. ඊයේ නව ආසාදිතයන් 10,000 ට වැඩි සංඛ්‍යාවක් ලේඛනගත විය. පසුගිය දවස් 11 පුරා, 100,000ට අධික නව ආසාදිතයන් ලේඛනගත වී තිබේ. එම කාලසීමාව තුල ම, මරන සංඛ්‍යාව 7,466 කරා ලඟාවෙමින් 2,760කින් ඉහල ගියේ ය. 

ඉන්දියාවේ මූල්‍ය මධ්‍යස්ථානය හා මහාරාෂ්ට්‍රයේ අගනුවර වන මුම්බායි, ලෝකයේ ගැඹුරින් ම බලපෑමට ලක්වූ නගර අතරට අයත්ව ඇත. සඳුදා වන විට තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයන් 50,085ක් වූ මුම්බායි නගරය, වසර ආරම්භයේ දී නව කොරෝනා වෛරසය පලමුව හඳුනා ගන්නා ලද චීන නගරය වන වුහාන්හි නිල ආසාදන සංඛ්‍යාව වන 50,340 අද දින වන විට පරයා යනු ඇති බව නිශ්චිත ය.

රෝහල් ඇඳන් ලබාගැනීම සඳහා වඩාත් ම ආතුර ලෙඩුන් “පොරොත්තු ලේඛනයක” තබන මුම්බායිහි සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමේ අද්දර පවතී. වෛද්‍ය කාර්ය මන්ඩල හිඟයක් හේතුවෙන් මල මිනී වාට්ටු තුල දමා ගොස් තිබේ. වෛරසය හේතුවෙන් බොහෝ වෛද්‍ය කම්කරුවන් රෝගී වී ඇත.

කොවිඩ්-19 මරන 1,280 ක් වාර්තා වන ගුජරාට් ප්‍රාන්තය, ලෝකයේ ඉහල ම මරන අනුපාතයන් පවතින ස්ථානවලින් එකකි; ආසාදිත වී යයි නිල වසයෙන් වාර්තා වන අයගෙන් සියයට 6.22 ට ඔවුන්ගේ ජීවිත අහිමි වී තිබේ.

ඒ අතර ම, ඉන්දියාවේ පදිංචිකරුවන්ගෙන් මිලියනයකට ඉහල ම ආසාදන හා මරන සංඛ්‍යාව සහිත  ජාතික අගනුවර වන දිල්ලියේ (පිලිවෙලින් 1,262 ක් හා 33 කි) රෝහල් ඇඳන්වල තියුනු හිඟයක් පවතී. දිල්ලි මහ ඇමති හා ආම් ආද්මි (පොදු මිනිසාගේ) පක්ෂයේ නායකයා වන අර්වින්ද් කෙජ්රිවාල් මෙම අර්බුදයට ප්‍රතිචාර දක්වා ඇත්තේ වෙනස්කම් කිරීමේ පියවරයන් ගනිමිනි. ඔහු දිල්ලි අගනුවර වපසරියේ රාජ්‍ය හා පුද්ගලික යන දෙඅංශයේ ම රෝහල්වලට ප්‍රවේශ වීම දිල්ලියේ නො වන වැසියන්ට තහනම් කලේ ය. එහෙත් මධ්‍යම ආන්ඩුව විසින් පත්කර ඇති ආන්ඩුකාර-ලුතිනන් විසින් එම නියෝගය පසුව අවලංගු කලේ ය. 

ඉහල යන ආසාදන සංඛ්‍යාවන් හා අධික ධන (පොසිටිව්) පරීක්ෂන අනුපාතයන් (සෙනසුරාදා පරීක්ෂාවට බඳුන් කල අයගෙන් සියයට 37.83ක් ආසාදිත බව පෙන්වනු ලැබී ය) නො තකා, පරීක්ෂන සංඛ්‍යාව ඉහල දැමීමට දිල්ලි බලධාරීහු අසමත් ව ඇත. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සමග ස්පර්ශ වී ඇති රෝග ලක්ෂන නො පෙන්වන්නන් පරීක්ෂාවට බඳුන් කිරීම ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. 

බොහෝ අපනයන උත්පාදනය කරන කර්මාන්තයන්ට යලි මෙහෙයුම් ඇරඹීමට අවසර දුන් අප්‍රේල් අග පටන්, ඉන්දියාව එහි අගුලු දැමීමේ පියවරයන් ලිහිල් කරමින් සිටී. මැයි මස අග දී, රට එහි “අගුලු විවර කිරීමේ පලමු අවධිය” කරා සංක්‍රාමනය වෙමින් සිටින බව මෝදි නිවේදනය කලේ ය. මෙම පිලිවෙත සමග එකපෙලට සිටිමින්, සාප්පු මධ්‍යස්ථාන, ආගමික ස්ථාන, අවන්හල් හා කාර්යාල ජුනි 8 දා සිට යලි විවෘත කිරීමට අවසර දෙනු ලැබී ය. 

ආසාදන හා මරන ඉහල යමින් පවතිද්දී පවා ආර්ථිකය යලි විවෘත කිරීම මගින් මෝදි හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ආන්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ, කම්කරුවන්ගේ ජීවිත තමන්ගේ ලාබ ඉපැයීමට බාධාවක් නො විය යුතු යයි දෘඪ ලෙස අවධාරනය කරන මහ ව්‍යාපාරිකයේ නියෝගයන්ට අනුව ය. මේ සඳහා වෛරසයට එහි කාලසීමාව අවසන් වන තෙක් මහජනයා අතර පැතිරීමට ඉඩ ලබාදෙන, “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙතක් මෝදි ආන්ඩුව විසින් අනුගමනය කර ඇත. 

වසංගත විද්‍යාව පිලිබඳ ජාතික ආයතනයේ විද්‍යාත්මක උපදේශක සභාවෙහි සභාපති ජයප්‍රකාශ් මුලියිල් වැනි ආන්ඩුවේ උපදේශකයන් විසින් මෙය මහා පරිමාන මරනවලට තුඩු දෙනු ඇතැයි පිලිගෙන ඇත. ආන්ඩුව දැන් කරන පරිදි අගුලු දැමීම ක්ෂනික ව අවසන් කරන්නේ නම්, “අවම වසයෙන් මරන මිලියන දෙකක් වත් ඉන්දියාව දැකගනු ඇත” යි තමන්ගේ ආදර්ශනය පෙන්නුම් කරන බව, “පොකුරු ප්‍රතිශක්තියේ” උද්‍යෝගීමත් යෝජකයෙක් වන මුලියිල් පවසා ඇත.

මෙම මිනීමරු පිලිවෙත ඉදිරියට ගෙන යෑමේ දී, ආන්ඩුවේ ඛේදජනක හා සූදානම් රහිත අගුලු දැමීම හරහා විශේෂයෙන් ම සංක්‍රමනික කම්කරුවන්, අනෙකුත් දෛනික කම්කරුවන් සහ “ස්වයං-රැකියා කරන” සංචාරක වෙලෙන්ඳන් හා කාර්මික ශිල්පීන් ඇතුලු වැඩකරන ජනයා මත පනවනු ලබන දැවැන්ත පීඩනය, මෝදි හා ඉන්දීය ප්‍රභූව විසින් ලජ්ජා විරහිත ව ගසාකමින් සිටී.

මාර්තු 25 දා, පැය හතරකට අඩු දැනුම් දීමකින් අගුලු දැමීම බලාත්මක කල විට, මිලියන 120 ට අධික කම්කරුවන්ට එක් රැයකින් ම පාහේ ඔවුන්ගේ රැකියා අහිමි විය. මෙම කම්කරුවන් සහ මිලියන ගනනක් වන අනෙකුත් ඉන්දියානුවන් ව ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින් ම සලසා ගැනීමට අතහැර දමනු ලැබිනි. ප්‍රමාද වීමෙන් පසුව පමනක් ආන්ඩුව හිගන සහනාධාර වැඩසටහන් නිවේදනය කල අතර, බොහෝ දෙනා ඒ සඳහා සුදුසුකම් නො ලැබී ය.

ආසාදනයන්ගේ වර්ධනය අවධාරනය කරන පරිදි, වඩාත් ම පටු වෛද්‍ය ඉදිරිදර්ශනයකින් ගත් කල පවා, අගුලු දැමීම අසාර්ථක එකක් විය. මහා පරිමාන පරීක්ෂන හා ස්පර්ශ වූවන් හඳුනාගැනීම ක්‍රියාවට දැමීම සඳහා සති නවයක් පුරා පැවති අගුලු දැමීම යොදාගැනීමට මෝදි ආන්ඩුව අසමත් විය. කොවිඩ්-19 පැතිර යාම වැලැක්වීම පිනිස, මිලියන ගනනක් වන සංක්‍රමනික කම්කරුවන් ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට ප්‍රථම අභ්‍යන්තර සරනාගත කඳවුරුවල සති ගනනක් රඳවාගනු ලැබ සිටි ආන්ඩුව, ඔවුන් පරීක්ෂනවලට බඳුන් කිරීම හෝ ප්‍රතිකාර කිරීම කලේ ද නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, සෞඛ්‍ය සේවාවන් තථ්‍ය වසයෙන් නො පවතින ග්‍රාමීය ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදන ඉහල යමින් පවතී. 

කම්කරු පන්තිය මත තීව්‍ර කරන ලද ප්‍රහාරයක පෙරමුනු සාධකය වන්නේ, ආන්ඩුව විසින් පොකුරු ප්‍රතිශක්තිය වැලඳ ගැනීම යි. කම්කරු නීති අහෝසි කිරීම හා රජයට අයත් ව්‍යවසායයන් වේගයෙන් විකුනා දැමීම ඇතුලු ආයෝජක-හිතවාදී ප්‍රතිසංස්කරනවල “ක්ෂනික පිම්මක්” සඳහා මෝදි පොරොන්දු වී ඇත.   

පකිස්තානය

පලමු කොට අගමැති ඉම්රාන් කාන්ගේ ආන්ඩුව අකමැත්තෙන් පමනක් ක්‍රියාවට දැමූ අගුලු දැමීමේ පියවරයන් ඉවත් කිරීමට ඔහු තීරනය කල තැන් පටන්, පකිස්තානයේ වසංගතය පැතිර යාම වේගවත්  වී තිබේ. රටෙහි විශාලතම නගරය වන කරච්චියේ රෝහල්වල ඇඳන්, රෝගීන්ට ප්‍රතිකාර කල නො හැකි මට්ටමට අප්‍රමානවත් වේ.

මෙය ලියන මොහොත වන විට, නිල කොවිඩ්-19 මරන සංඛ්‍යාව 2,200ට යන්තම් පහලින් ද පවතිමින් වාර්තාගත ආසාදන 110,000 ක් වන්නේ, පරීක්ෂනවල හිඟකම හේතුවෙන් මෙම සංඛ්‍යා ලේඛන නිසැකයෙන් ම අවතක්සේරු කිරීම්වලින් යුක්ත වෙද්දී ය.

කුඩා සමීක්ෂනයක් මත පදනම් ව පන්ජාබ් ආන්ඩුවේ සෞඛ්‍ය අධිකාරිය ඉදිරිපත් කරන වාර්තාවක්, මිලියන 11 ක ජනකායක් වෙසෙන ලාහෝරයේ පමනක් කොරෝනා වෛරස ආසාදන 670,800 ක් තිබෙන බවට තක්සේරු කලේ ය. අගුලු දැමීම ඉවත් කිරීම ඉදිරියට කරගෙන යාමට අවසර දීම පිනිස, මැයි 15 දා නිකුත් කල මෙම වාර්තාව ප්‍රාදේශීය ආන්ඩුව විසින් සති දෙකකට වැඩි කාලයක් යටගසනු ලැබී ය. ඉදිරිපත් කරන ලද ව්‍යාජ නිමිත්ත වූයේ ශ්‍රේෂ්ඨාධිකරනය අගුලු දැමීම ඉවත් කිරීමට නියෝග කර ඇති බව යි. එම විමසීමේ දී ම ශ්‍රේෂ්ඨාධිකරනය ප්‍රකාශ කලේ, කොරෝනා වෛරසය “පකිස්තානය තුල වසංගතයක් නො වන බව” යි.

කිසිදු අගුලු දැමීමේ පියවරකට එරෙහි වඩාත් ම ඝෝෂාකාරී විරුද්ධවාදියා වී ඇත්තේ කාන් ය. ජාතික පරිමාන අගුලු දැමීමක් සඳහා ප්‍රාදේශීය ආන්ඩු හා මිලිටරිය විසින් ඔහුට බලකරනු ලැබිමෙන් පසුව පවා, පකිස්තානයට අගුලු දැමීමක් “දරාගත නො හැකි” බවත් “මහජනයා කුසගින්නේ මිය යනු ඇති” බවත් ඔහු දිගට ම අවධාරනය කලේ ය. පසුගිය සතියේ “වෛරසය සමග ජීවත් වන්නැයි” මහජනයාගෙන් ඉල්ලීම තෙක් කාන් ඉදිරියට ගියේ, මරන අනුපාතය ඉහල යන හා සෞඛ්‍ය පහසුකම් පිම්මේ එහි සම්පූර්න ධාරිතාව කරා ලඟාවීමේ කොන්දේසි යටතේ පවා, ආන්ඩුව කිසිවක් නො කරන බව පැහැදිලි කරමිනි.

මධ්‍යස්ථ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, වසංගතය හේතුවෙන් දරිද්‍රතාව සියයට 24.3 සිට 33.5 දක්වා ඉහල ගොස් ඇත. දල දේශීය නිෂ්පාදිතය (දදේනි) මේ වසරේ සියයට 1.5 න් හැකිලෙනු ඇතැයි තක්සේරු කෙරෙන්නේ, අයවැය පරතරය දදේනි න් සියයට 9.4 ක් දක්වා නගිනු ඇතැයි පුරෝකථනය කරනු ලබද්දී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමග එකඟ වී ඇති ප්‍රතිසංස්කරන ක්‍රියාවට දමන බව ආන්ඩුව දිගට ම අවධාරනය කරන අතර, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ රැකියා හා කම්කරුවන්ගේ වේතන මත ප්‍රධාන ප්‍රහාරයන් ය. සාරභූත ව, වසංගතයෙහි ආර්ථික ඛාදනයේ සමස්ත බර වැඩකරන ජනයා මත පැටවීමට, කාන් ආන්ඩුව ජාමූඅ සමග කුමන්ත්‍රනය කරමින් සිටී. 

බංග්ලාදේශය 

බංග්ලාදේශයේ පලමු කොවිඩ්-19 ආසාදන වාර්තා වූයේ මාර්තු 8 දාය. තුන් මසකට පසුව, රටෙහි තහවුරු වූ ආසාදන 71,675 ක් හා මරන 975 ක් වී තිබේ.

අඟහරුවාදා සිදු වූ මරන 45, වසංගතය ආරම්භ වුනු තැන් පටන් එක් දිනක සිදු වූ ඉහල ම සංඛ්‍යාව ය. ඒ හා සමාන ව, ගෙවුනු පැය 24 තුල වාර්තා වූ ආසාදන 3,171 ක, දෛනික වාර්තාවක් විය. සෑම සතියක් ම ආසාදනයන්ගේ තියුනු නැගීමක් දැකගෙන ඇත. පලමු සිද්ධියේ පටන්, පසුගිය සෙනසුරාදා අවසන් වූ 13 වන සතියේ මරන 236 ක් හා නව ආසාදන 18,418ක් වාර්තා වුනි. 12 වන සතිය තුල මරන 158 ක් හා ආසාදන 12,530 ක් වාර්තා වූ අතර, 11 වන සතියේ මරන 138 ක් හා ආසාදන 11,083 ක් වාර්තා වුනි.

එහෙත් අප්‍රමානවත් පරීක්ෂන මට්ටම් නිසා මෙම සංඛ්‍යා ලේඛන සතුව ඇත්තේ අඩු විශ්වාසවන්ත කමකි. ඩකා නගරයේ පමනක් ආසාදන 750,000 ක් ඇතැයි දි එකොනොමික් ටයිම්ස් තක්සේරු කර තිබේ.

සෞඛ්‍ය විශේෂඥයන්ගේ අනතුරු ඇඟවිම් නො තකා, අගමැතිනි ෂීක් හසීනාගේ ආන්ඩුව මැයි 30 දා අගුලු දැමීම ඉවත් කොට ආර්ථිකය යලි විවෘත කලේ ය. මෙය විශේෂයෙන් ම අපනයන-පාදිත කර්මාන්තවල කම්කරුවන්ගේ තත්ත්වය වඩාත් නරක් කලේ ය. මාධ්‍ය වාර්තාවන්ට අනුව, කාර්මික පුරවර හයෙහි කම්හල් 129 ක කම්කරුවන් 251 ක් දෙනාට රෝගය ආසාදනය වී ඇතැයි ජුනි 3 දා සොයාගනු ලැබී ය.

උපකරන, ඇඳන් හා කාර්ය මන්ඩලවල හිඟයන් හේතුවෙන් බොහෝ “කොවිඩ්-19 වැනි රෝග ලක්ෂන සහිත රෝගීන්ට මෙන් ම කොවිඩ්-19 නො වන රෝගීන්ට” ප්‍රතිකාර කිරීම රෝහල් විසින් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

“දරුනු රෝග ලක්ෂන සහිත රෝගීන්ට පමනක් ප්‍රතිකාර කිරීමට” රෝහල්වලට අවසර දෙමින්, හසීනාගේ පාලනය සෞඛ්‍ය සම්මුතීන් සංශෝධනය කර ඇත. මෙය බොහෝ රෝගීන් ව උපස්ථාන රහිත ව අතහැර දමනු ලැබ තිබෙන අතර, බොහෝ දෙනා නිවසේ දී මිය යති. පලමු ආසාදනය වාර්තා වූ මාර්තු 18 දා සිට “ප්‍රතිකාර දිම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අවම වසයෙන් මරන 122 ක් සිදු වී” ඇති බවට චෝදනා කරන මානව හිමිකම් කන්ඩායමක් ජුනි 7 දා නිව් ඒජ් තුල උපුටා දක්වනු ලැබී ය. කොවිඩ්-19 හා සමාන රෝග ලක්ෂන පෙන්නුම් කරන ජනයාගේ මරන පිලිබඳ ව නිල සංඛ්‍යා ලේඛන පැහැදිලි නැති අතර, ඩකා විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් මැයි මැද සිදු වූ එවන් මරන ගනන 1,010ක් යයි තක්සේරු කලේ ය.

හෙද ආරක්ෂාව හා අයිතීන් සඳහා වන සංවිධානයට අනුව, පුද්ගල ආරක්ෂක උපකරන (පීපීඊ) නැති කම නිසා අවම වසයෙන් හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් 866 ක් දෙනාට වෛරසය ආසාදනය වී ඇත. තව ද වෛද්‍යවරුන් 73 ක් ආසාදනයට ලක්ව ඉන් 18 ක් මිය ගොස් තිබේ. 

Loading