ඇමරිකානු නාවික හමුදාව ගුවන් යානා හාරක නැව් තුනක් චීනයට එරෙහිව පැසිෆික් සාගරයට යවයි

මෙම ලිපිය ජූනි 13 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

වසර තුනකට පසු ප්‍රථම වතාවට ඇමරිකානු නාවික හමුදාව, චීනයට එරෙහිව ප්‍රකෝපකාරී මිලිටරි තරකිරීමේ කොටසක් ලෙස ගුවන් යානා හාරක ප්‍රහාරක නැව් කන්ඩායම් තුනක් පැසිෆික් සාගරයේ බලමුලු ගන්වා ඇත. පෙන්ටගනය ඊනියා “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ ” සිට මහා බල තරඟයකට මාරුවීම, න්‍යෂ්ටික බලවතුන් අතර ගැටුමේ අන්තරාය ඉහල නැංවීම සලකුනු කරයි.

 න්‍යෂ්ටික ගුවන් යානා ප්‍රවාහන යානා සහ ඒවාට සම්බන්ධ විනාශකාරී යාත්‍රා සහ  යුද නැව් විශාල සංඛ්‍යාවක්, ශක්තිය ප්‍රදර්ශනය කරමින් බ්‍රහස්පතින්දා වන විට සාගරය තුල යොදවා ඇත.  ඔවුන්ගේ සැලසුම්ගත පියවර හා අභ්‍යාස පිලිබඳ විස්තර නොමැති අතර, චීන ප්‍රධාන භූමියෙන් පිටත බටහිර පැසිෆික් සාගරයේ මූලෝපායිකව සංවේදී ප්‍රදේශ තුල ඒ කටයුතු සිදුවනු ඇත.

දකුනු චීන මුහුදේදී ඇමරිකානු නාවික හමුදාවේ යූඑස්එස් රොනල්ඩ් රේගන් නෞකාව තුල එෆ් ඒ 18 සුපිරි හෝනට් ප්‍රහාරක ගුවන් යානාවක් නවතා ඇති අයුරු, 2018, අනුග්‍රහය, ඒපී ෆොටෝ-කින් චෙවුන්

කොවිඩ් 19 වෛරසය සීග්‍ර ලෙස පැතිරීමෙන්  පසු, ගුවාම් හි පසෙකට කර තිබූනු යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට්, දැන් ගුවාම් වලින් ඔබ්බේ මුහුදේ යොදවා ඇත. යූඑස්එස් නිමිට්ස් හා එහි ප්‍රහාරක බලඇනිය මේ සතිය මුලදී එක්සත් ජනපද බටහිර වෙරල තීරයෙන් ඉවත්ව ගිය අතර, යූඑස්එස් රොනල්ඩ් රේගන් සහ එහි ප්‍රහාරක බලඇනිය ජපානයේ සිය කඳවුරෙන් පිටව ගොස් දැනට පිලිපීන මුහුදේ රඳවා ඇත.

ඇමරිකාවේ, ඉන්දු-පැසිෆික් අනදෙන නිලධාරී මෙහෙයුම් අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ස්ටීවන් කොහෙලර්,මෙම පියවරයන් පිලිබඳව ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ, විශේෂයෙන් චීනය තම ප්‍රධාන ඉලක්කය වන බවයි. බීජිනය, දකුනු චීන මුහුදේ මිලිටරි නිරීක්ෂන මධ්‍යස්ථාන සෙමින් හා විධිමත්ව ගොඩනඟා මිසයිල හා ඉලෙක්ට්‍රොනික මිලිටරි පද්ධති එහි දූපත්වල  ස්ථාගත කර තිබෙන බවට ඔහු චෝදනා කලේය.

කොහෙලර්, “ඇමරිකාවේ, ශක්තිමත් ලෙස පෙනී සිටීමේ හැකියාව තරගයේම කොටසක් ... ඔබ තරඟ වැදී සිටියදී එයින් දිනීමට නම් තරගයට සහභාගි විය යුතුය” යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේය. ඉන්පසු ඔහු, “විශාල ලෙස දිස්වෙන ගුවන් යානා හාරක නැව් හා කන්ඬායම් ඇමරිකානු නාවික බලය විදහා දක්වන අතිවිශිෂ්ට සංකේතයි. දැනටමත් අප ඒවායින් තුනක් ස්ථානගත කර ඇති බව දැක මම සතුටින් ඉපිල ගියෙමි ” යයි කයිවාරු ගැසුවේය.

ට්‍රම්ප් පරිපාලනය, කොවිඩ්-19 ගෝලීය වසංගතය පැතිරීම පිලිබඳව චීනයට දොස් පවරමින් හිතාමතාම බීජිනය සමඟ ආතතීන් අවුලුවාලීමත් සමඟ, ගුවන් යානා ප්‍රවාහන නෞකා  කන්ඬායම් තුනක් චීනයට ආසන්න මුහුදේ බලමුලුගන්වා තිබේ. කිසිදු සාක්ෂියක් නොමැතිව ට්‍රම්ප්, චීනය වෛරසය පැතිරීම වසන් කල බවට චෝදනා කර ඇති අතර, වෛරසය චීන රසායනාගාරයකින් නිපදවූවක් බවට වන අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රන න්‍යායන්ට විශ්වාසයක් ලබා දී ඇත.

 වසංගතය සමඟ කටයුතු කිරීමේදී ගනු ලැබූ පියවර තුල තමන්ගේ ම සාපරාධී නොතකා හැරීම් වසංකර අවධානය වෙනතක හැරවීමට ට්‍රම්ප් උත්සාහ කරයි. ජනාධිපති ඔබාමා යටතේ ආරම්භ කල, බීජිනය කොටුකිරීමේ හා ඊට වලකැපීමේ “ආසියාවට හැරීම” යන ආක්‍රමනික වැඩසටහනේම කොටසකි, චීනය බිල්ලට ගැනීමේ ව්‍යායාමය. සිය ඓතිහාසික පරිහානිය නතර කර ගෝලීය ආධිපත්යය යලි තහවුරු කර ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඇති ප්‍රධාන බාධකය චීනය ලෙස ඇමරිකානු මූලෝපායඥයෝ සලකති.

ජනාධිපති ඔබාමා යටතේ පෙන්ටගනය, “නැවත සමතුලිත වීම ” පිනිස ඉන්දු-පැසිෆික් කලාපය තුල  2020 වන විට සිය නාවික බලඇනි හා යුද ගුවන් යානා වලින් සියයට 60 ක් බලමුලු ගැන්වීම සඳහා පියවර ගත්තේය . මෙම මූලෝපායේ කොටසක් ලෙස ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තුල මිලිටරි සන්ධාන සහ මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම ඇතුලුව, ජපානය, දකුනු කොරියාව සහ ගුවාම් කලාපය පුරා මූලික ගිවිසුම් ඇති කර ගනිමින් සිය පුලුල් කඳවුරු ප්‍රතිව්‍යූහගත කරමින් සිටී.

ට්‍රම්ප් පරිපාලනය, චීනය සමග ඇති වත්මන් අර්බුදයේ දී මතභේදාත්මක ඉන්දීය-චීන දේශ සීමාව දිගේ පවතින භයානක ගැටුමට ඉන්දියාව දිරිමත් කර ඇත. දෙපාර්ශ්වයම තම කඳුකර මායිම් ප්‍රදේශයන්හි එකිනෙකා මුනගැසෙන ස්ථාන ගනනාවකට දහස් ගනන් හමුදා බලමුලු ගන්වා ඇත. කලාපීය න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා වන ඉන්දියාව සහ චීනය, 1962 දී දේශසීමා යුද්ධයක පැටලුන අතර දේශසීමා ආරවුල් කිසි විටෙකත් විසඳී නැත.

ගුවන් යානා හාරක නෞකා ප්‍රහාරක බලඇනි යෙදවීම  බටහිර පැසිෆික් සාගරයේ ඇමරිකානු මිලිටරි බලය ගොඩනැගීමේ කොටසක් පමනි. ෆොක්ස් නිවුස් මේ සතියේ වාර්තා කලේ, ඇමරිකානු ගුවන් හමුදාව පසුගිය මාසයේ න්‍යෂ්ටික හැකියාව සහිත බී -1 බී ලාන්සර් බෝම්බ හෙලන යානා ගුවාම්හි බලමුලු ගන්වා ඇති බවත්, ඒවා දකුනු චීන මුහුදේ මෙ‍ෙහයුම් සිදු කර ඇති බවත්ය. ගුවන් හමුදාව බටහිර පැසිෆික් සාගරයේ නිරීක්ෂන කටයුතු සඳහා ජපානයට, දිගු දුර, ඉහල උන්නතාංශ ග්ලෝබල් හෝක් ඩ්රෝන සපයා ඇත.

ට්‍රම්ප් පරිපාලනය යටතේ, ඇමරිකානු නාවික හමුදාව, චීනය හිමිකම් කියන දකුනු චීන මුහුදේ චීනයට අයත් දූපත් වටා සමුද්‍ර සීමාවන් හිතාමතාම උල්ලංඝනය කරන ඊනියා “නාවික නිදහස ” මෙහෙයුම් වේගවත් කර ඇත. අප්‍රේල්  අග දී නාවික හමුදාව  දකුනු චීන මුහුදේ දින 7 ක් පුරා මෙහෙයුම් දෙකක් සිදු කල අතර තවත් මෙහෙයුමක් මැයි 7 වන දින සිදු කලේය. මැයි 28 වන දින ගයිඩඩ් මිසයිල නාශක යූඑස්එස් මුස්ටින්, දශක ගනනාවක් තිස්සේ චීනය විසින් අත්පත් කරගෙන සිටින පැරසෙල් දූපත් සමූහයට අයත් වුඩි දූපතේ නාවික සැතපුම් 12 ක භෞමික සීමාව තුල ගමන් කලේය. 

වොෂින්ටනය හුදෙක් අවධාරනය කරන “නාවික ගමනාගමනයේ නිදහස” යන්න වංචාවකි.  යුද්ධයකදී චීන හමුදා කඳවුරු වලට දැවැන්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා පෙන්ටගනයේ ගුවන්සමුද්‍ර සටන් සැලසුම් වලදී ඉතා තීරනාත්මක දකුනු චීන මුහුදේ, ඇමරිකානු නාවික හමුදාව සිය බලය පවත්වා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටී. හයිනාන් දූපතේ න්‍යෂ්ටික සබ්මැරීන ඇතුලු සූක්ෂම චීන මිලිටරි කඳවුරු වලට යාබදව දකුනු චීන මුහුද පිහිටා ඇත.

 ඇමරිකානු නාවික හමුදාව චීන ප්‍රධාන භූමිය සහ තායිවානය අතර පිහිටා ඇති තායිවාන් සමුද්‍ර සන්ධියේ සිය සංක්‍රමන වැඩි කර ඇත. චීනය එම කොටස තම රටට අයත් කලාපයක් බව කියා සිටියි. ජුනි 5 වන දින, ගයිඩඩ් මිසයිල නාශක නෞකාවක් වන යූඑස්එස් රසල්  පටු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කලේය . සති තුනක් තුල එවැන්නක් සිදු කල දෙවන ඇමරිකානු යුද නෞකාව එය වන අතර මේ වසරට එසේ යාත්‍රා කල හත් වන යුද නැවයි. චීන ආන්ඩුවේ මාධ්‍ය මගින් මෙම සංක්‍රමන “තවත් ප්‍රකෝපකාරී පියවරක්” ලෙස හංවඩු ගැසීය.

ට්‍රම්ප් පරිපාලනය හිතාමතාම ගිනි අවුලුවන තවත්  සූක්ෂම ස්ථානයක් වන්නේ තායිවානයයි. තායිවානය ඇතුලු මුලු චීනයේම නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිලිගන්නා  “එක් චීනයක්” ප්‍රතිපත්තිය නිල වශයෙන් අවලංගු නොකලත්  ට්‍රම්ප්, තායිපේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා මූලෝපායික සබඳතා එක දිගටම ශක්තිමත් කරගනිමින් සිටියි. ට්‍රම්ප් තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්ට සහාය දක්වයි. ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය  තායිවානය චීනයෙන් වඩාත් ස්වාධීන වීමේ පිලිවෙතක් වෙනුවෙන් පෙනී සිටියි.

තායිවානයේ ආරක්ෂක අමාත්‍යංශය, ඇමරිකානු නාවික හමුදා උපකරන ප්‍රවාහන ගුවන් යානයකට ඔකිනාවා සිට තායිලන්තය බලා යන ගමනේදී තායිවානයේ ගුවන් අවකාශය හරහා පෙර නොවූ විරූ ගුවන් ගමනක් යාමට අවසර ලබා දීමත් සමඟ ඇමරිකාව හා චීනය අතර ආතතීන් තවදුරටත් උග්‍ර විය. ඒ ප්‍රහාරක නෞකා බලඇනියක් යෙදීමට අමතරවය. බීජිනය, ඊට ප්‍රතිචාර දක්වමින් එය “ප්‍රකෝපකාරී” සිදුවීමක් ලෙස හෙලා දුටුවේය. 

කොවිඩ්-19 වසංගතය මගින් ධනවාදයේ ගෝලීය අර්බුදය හෙලිදරව් වී වේගවත් වීමත් සමඟ චීනය සමඟ මිලිටරි ආතතීන් බිහිසුනු ‍ලෙස උත්සන්න කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටී. ලොව පුරා සිටින ඔහුගේ සගයන් මෙන් ට්‍රම්ප් ද කම්කරු පන්තියට එරෙහිව පන්ති යුද්ධය සූදානම් කරනවා පමනක් නොව, ආර්ථික අර්බුදයේ බර සිය එදිරිවාදී බලවතුන්ගේ කර මත පැටවීමේ උත්සාහයක ද නිරතව සිටී. 

චීනයේ ප්‍රධාන මූලෝපායික වැදගත්කමක් ඇති ක්ෂේත්‍රයන්හි නොසැලකිලිමත් ඇමරිකානු මිලිටරි මැදිහත්වීම්, අහම්බෙන් හෝ සැලසුම් සහිතව සිදු කල ද, එය පාලනය කල නොහැකි විනාශකාරී යුද්ධයකට ලෝකයම ඇද ගන්නා ගැටුමක අවදානම දරයි.

Loading