ඉදිරිදර්ශන

පොලිස් ප්‍රචන්ඩත්වය හා පන්ති පාලනය

මෙම ලිපිය ජූනි 17 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

අනුස්මරන දින ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ  ඝාාතනයට පසු, එක්සත් ජනපදය පුරා සහ ලොව වටා මහජන විරෝධතා ආරම්භ වී දැන් සති තුනකට වැඩි කාලයක් ගත වී ඇත. පාලක පන්තියේ දේශපාලන නියෝජිතයින් එක් අතකින් ම්ලේච්ඡ බලය සහ මිලිටරි මර්දනයේ තර්ජනය සමග ප්‍රතිචාර දක්වා ඇති අතර, අනෙක් අතට “ප්‍රතිසංස්කරන” සහ “වගවීම” සඳහා ප්‍රතිඥා දී තිබේ.

ට්‍රම්ප් ඊයේ විධායක නියෝගයකට අත්සන් තැබු අතර, එය වැඩිපුර සමාජ සේවකයින් සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් පොලීසියට ඇතුලත් කරනු ඇත. අධික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් සේවයෙන් පහ කරන ලද හෝ වැරදිකරුවන් වූ නිලධාරීන් සොයා ගැනීම සඳහා ජාතික දත්ත ගබඩාවක් නිර්මානය කරනු ඇති අතර, ජනාධිපති පැහැදිලි කල පරිදි,  “නිලධාරියෙකුගේ ජීවිතය අවදානමට ලක් වූ අවස්ථාවක” හැර ගෙල හිර කිරීම තහනම් කරනු ඇත.

ට්‍රම්ප් තම විධායක නියෝගය ප්‍රකාශයට පත් කලේ, පොලිස් නිලධාරීන් ඉදිරියේ කල  “නීතිය හා සාමය” සඳහා වූ ඉල්ලීම් සහ විරෝධතාකරුවන් හෙලාදැකීම්වලින් පිරී ගිය කතාවක දී ය. තමන් දරුනු ලෙස යමෙකුට තුවාල සිදු කරන විට හෝ මරා දමන විට තමන්ට බිය දැනෙන බව පොලිස් භටයින් පුරුද්දක් ලෙස කියන බැවින්, ගෙල හිර කිරීම පිලිබඳ ට්‍රම්ප්ගේ තහනම, මෙම මාරාන්තික භාවිතය ඉදිරියට ගෙන යාමට දොර ඇර තබයි. 

විශාල වසයෙන් ට්‍රම්ප්ගේ බෙල්ල හිර කිරීම තහනම් කිරීම හා අපයෝජනකාරී නිලධාරීන්ගේ ජාතික දත්ත ගබඩාවක් නිර්මානය කිරීම සඳහා ඩිමොක්‍රටිකයින් තමන්ගේ ම බොරු ඔපයෙන් යුත් වෙනස්කම් ඉදිරිපත් කර ඇත්තේ, විරෝධතාකරුවන් අතර ජනප්‍රිය පොලීසියට “මුදල් වෙන් නොකරනු”යි යන ඉල්ලීම පැහැදිලිව ම ප්‍රතික්ෂේප කරන අතර ය. ඩිමොක්‍රටිකයන්ගේ අනුමාන ජනාධිපති අපේක්ෂක, හිටපු උප ජනාධිපති ජෝ බිඩෙන්, රට පුරා පොලිස් දෙපාර්තමේන්තු නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 300 ක අතිරේක මධ්‍යම ආන්ඩු අරමුදල් ඉල්ලා ඇති අතර, සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් පවසා ඇත්තේ පොලිසියට ඉහල වැටුප් ගෙවිය යුතු බව යි.

එවැනි පියවර කමකට නැත. ඔවුන් පොලිස් නිල ඇඳුමේ වර්නය වෙනස් කිරීමට  යෝජනා කිරීමට ඉඩ ඇත. අනිවාර්යයෙන් ම පාලක පන්තියේ මෙම නියෝජිතයින්ගේ “ප්‍රතිසංස්කරන” අවසන් වනු ඇත්තේ,  රාජ්‍යයේ පීඩාකාරී උපකරනයක් ලෙස පොලීසිය ශක්තිමත් කිරීමෙනි.

පාලක පන්තිය, උග්‍ර ප්‍රචන්ඩත්වයට විසඳුමක් ලෙස පොලිස් ප්‍රතිසංස්කරන පිලිබඳ පොරොන්දුව   නැවත නැවතත් ඉදිරිපත් කර තිබේ. 1960 ගනන්වල නාගරික කැරැල්ලෙන් ඉක්බිතිව ඩෙමොක්‍රටිකයින් ප්‍රකාශ කලේ, පහර දීමට වඩ වඩා කලු පොලිස් නිලධාරීන්,  අධීක්ෂනය කිරීමට  තවත් කලු පොලිස් ප්‍රධානීන් සහ තව තවත් කලු නගරාධිපතිවරුන් පත්කිරීමෙන් මෙම ගැටලුව විසඳෙනු ඇති බවයි.

අඩ සියවසකට පසු අප්‍රිකානු ඇමරිකානුවන් පොලිස් නිලධාරීන්ගෙන් සියයට 13 කට වඩා වැඩි ප්‍රමානයක් වන අතර,  සමස්ත ජනගහනය හා සසඳන කල එය අධික නියෝජනයකි. රට පුරා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කලු පොලිස් ප්‍රධානීන් ද විශාල හා කුඩා නගර කලු නගරාධිපතිවරුන් ද තෝරා පත් කර ගෙන තිබේ. පසුගිය දශකය තුල පොලිස් වාහනවල පාලන පුවරු වලට කැමරා සහ බඳ කැමරා හඳුන්වා දීම තවත් වෙනසක් ලෙස ඉදිරිපත් කර තිබේ.

එහෙත් ඝාාතනය සහ අපයෝජනය දිගට ම පවතින අතර ඇත්ත වශයෙන්ම එය උත්සන්න වී තිබේ.

පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ සියලු මාධ්‍ය විවරනයන්හි පොලීසිය යනු කුමක්ද හා ධනේශ්වර  සමාජයට ඔවුන්ගේ සම්බන්ධතාවය කුමක් ද යන්න පිලිබඳ මොනයම් හෝ විභාග කිරීමක් නො මැත. ධනේශ්වර දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිලිබඳ කියනුම කවරේ ද. 

වර්ගවාදයේ ප්‍රකාශනයක් ලෙස පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ ඒකාකාරී විස්තර කථන කිසිවක් පැහැදිලි කිරීමට අපොහොසත් වේ. ඇත්ත වශයෙන් ම, පොලිසියේ ජාතිවාදය තිබේ. පොලිස් බලකායට බඳවා ගන්නා ස්ථර අතර ෆැසිස්ට් මනෝගතීන් සෑම තැන ම පවතී. කෙසේ වෙතත් පොලිස් ප්‍රචන්ඩත්වයට ගොදුරු වන්නෝ, සියලු වර්ගවල දුගීහු හා පීඩිතයෝ ය. විරෝධතා දිග හැරෙමින් තිබිය දී ත් ඝාතනය කරන ලද, ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි රේෂාඩ් බෘක්ස්, කලු ජාතිකයෙක් වන අතර,  මිසෝරි ප්‍රාන්තයේ සෙඩාලියා හි හැනා ෆයිසර් සුදු ජාතිකය.

පොලිසිය ක්‍රියාත්මක වන්නේ වාර්ගික පීඩනයේ මෙවලමක් ලෙස නො ව, පන්ති පාලනයේ මෙවලමක් ලෙස ය. ෆ්ලොයිඩ් මිනියාපොලිස්හි දී ඝාතනය කෙරුනු අතර, මීට අවුරුදු අසූ හයකට පෙර ,1934 මිනියාපොලිස් මහා වැඩ වර්ජනයට සහභාගී වූවන්ට පහර දීමේ දී පොලිසියේ ඉටුකල කාර්යභාරය සිහිපත් කිරීම වටී.

මෙය බොහෝ සිදුවීම්වලින් එක් උදාහරනයක් පමනි. 1877 මහා දුම්රිය වැඩ වර්ජනය හා 1886 හේමාකට් සංහාරයේ සිට 1968 චිකාගෝහි පැවති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමුලුවේ කුප්‍රකට පොලිස් කැරැල්ල හා 1977-78 ජාතික ගල් අඟුරු වැඩ වර්ජනය දක්වා ඇමරිකාවේ සෑම ප්‍රධාන පන්ති සටනක හා සමාජ ගැටුමක දීම කම්කරුවන්ට පොලීසිය හමුවී ඇත්තේ, පාලක පන්තියේ “නීත්‍යානුකූලභාවය” බලාත්මක කිරීමේ මෙවලම්  ලෙසය .

දැඩි ලෙස ආයුධ සන්නද්ධ ඇරිසෝනා ප්‍රාන්ත පොලිසිය 1984 සැප්තැම්බර් මාසයේදී ෆෙල්ප්ස් ඩොජ් වැඩ වර්ජකයන්ට කඳුලු ගෑස් සහ රබර් උන්ඩ යොදා වෙඩි තැබීය [ඡායාරූප ස්තූතිය: ඩේවිඩ් නෝර්ත්]

පසුගිය දශක හතර තුල සමාජ අසමානතාව හා පන්ති ආතතීන් වර්ධනය වී ඇති තත්වය තුල, පොලිසියේ ප්‍රමානය හා අරමුදල් සමානුපාතිකව වර්ධනය වී තිබේ. එක්සත් ජනපදයේ ප්‍රධාන නගරවල අයවැය ලේඛනවල තෝරාගත් අරමුදල්වලින් සියයට 20ත් 45ත් අතර ප්‍රමානයක් පොලීසියට වෙන් කෙරේ. සමස්තයක් ලෙස ගත් කල වියදම, වසර හතලිහකට පෙර පැවති ඩොලර් බිලියන 42, උද්ධමන ගැලපුම් කොන්දේසි යටතේ, ඩොලර් බිලියන 115ක් දක්වා ඉහල ගොස් ඇත.

එම කාලය තුල එෆ්බීඅයි මෙන්ම ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පොලිස් ආයතනවලට ලබා දෙන ප්‍රදානයන් ද ඇතුලුව මධ්‍යම ආන්ඩුවේ පොලිස් අරමුදල් සැපයුම පස් ගුනයකින් වැඩි වී තිබේ. 1980 දී පොලීසිය හා ඒ ආශ්‍රිත ආයතන සඳහා වන සමස්ත වියදම් ජාතික ආදායමෙන් සියයට 1 සිට සියයට 2 දක්වා ඉහල ගිය අතර සුභසාධන වැඩසටහන් සඳහා වන වියදම් සියයට 1 සිට සියයට 0.8 දක්වා පහත වැටුනි

එපමනක් නො ව, ඇමරිකානු අධිරාජ්‍යවාදී ආධිපත්‍යයේ විදේශයන්හි මෙවලම වන මිලිටරිය සමඟ පොලිසිය වැඩි වැඩියෙන් ඒකාබද්ධ කෙරේ. පසුගිය දශක දෙක තුල ඩොලර් බිලියන 7ක මිලිටරි උපකරන, ප්‍රාදේශීය පොලිස් බලකායන් වෙත මාරු කර ඇත. ට්‍රම්ප්, විරෝධතාකරුවන් “ගෘහස්ථ ත්‍රස්තවාදීන්” ලෙස හඳුන්වන විට හුදෙක් ඔහු  කරන්නේ, එක්සත් ජනපදය තුල ඇති විරුද්ධවාදිකම්, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” පිලිබඳ තර්කනය දක්වා දිගු කිරීම යි. විරෝධතාකරුවන්ට මුහුන දීම සඳහා, ප්‍රහාරක රයිෆල් ගෙන, සන්නද්ධ වාහන පදවන, විශේෂ ආයුධ දරන උපක්‍රම කන්ඩායම් වැනි පැරා මිලිටරි  කන්ඩායම්වල දර්ශන,  වාඩිලාගෙන සිටින හමුදාවල සියලු ලක්ෂන ගැබ්කර ගනියි. 

එක්සත් ජනපදයේ පොලිස් ඝාතන පරිමාව දියුනු රටවල් අතර අද්විතීය වන අතර, පොලිස්  ප්‍රචන්ඩත්වය විශ්වීය ප්‍රපංචයකි.

රටේ දුගී දුප්පත්කම තුලින් දූෂිත පොලිස් කඩාපැනීම් වලට ලක්වන බ්‍රසීලය, සෑම වසරක ම දහස් ගනනක් ඝාතනය කරමින්, පොලිස් ම්ලේච්ඡත්වයේ දී හුරුපුරුදු ලෙස ලෝකයේ පෙරමුන ගනී. පිලිපීනයේ දුප්පත් කම්කරුවන් දහස් ගනනක් ෆැසිස්ට් ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේගේ “මතට එරෙහි යුද්ධයට” ගොදුරු වී ඇත.

අතිබහුතරයක් සුදු ජාතිකයින් සම්බන්ධ ප්‍රන්සයේ “යෙලෝ වෙස්ට්” විරෝධතාකරුවන් මෙන් ම සමානතාව වෙනුවෙන් විරෝධය දක්වන අප්‍රිකානු සංක්‍රමනිකයන් මත රාජ්‍යයේ පූර්න බලය මුදා හැර තිබේ. තවත් නැගෙනහිර දෙසින් හංගේරියාවේ පොලීසිය, සෑම වසරක ම අසාධාරන  බලහත්කාරම් පැමිනිලි දහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රස්තුතය වන නමුත් වරදකරන නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු සැලකිය යුතු දඬුවමක් නැත.

පොලිස් කන්ඩායම් කුප්‍රකට ලෙස ම්ලේච්ඡ, කෙන්යාව, ඝානාව, නයිජීරියාව සහ දකුනු අප්‍රිකාව යන රටවල, පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහිව හා  ජෝර්ජ් ෆ්ලොයිඩ්ට සහයෝගය දක්වන සැලකිය යුතු විරෝධතා පුපුරා ගොස් ඇත. සෑම රටක ම රාජ්‍ය ආරක්ෂක අංශ විසින් සෑම වසරක ම සිය ගනනක් මරා දමනු ලැබේ. අප්‍රේල් මාසයේ බීබීසී නිවුස් හි එක් වාර්තාවකට අනුව, “ආරක්ෂක අංශ කොවිඩ්-19ට  වඩා නයිජීරියානුවන් මරා දමති.”

පසුගිය වසරේ නයිජීරියාව තුල අවම වශයෙන් පුද්ගලයින් 1,476 දෙනෙකු රාජ්‍ය ක්‍රියාකාරීන් විසින් ඝාතනය කර ඇති බව විදේශ සබඳතා කවුන්සිලය පවසයි. නයිජීරියාවේ කොරෝනා වෛරස් අගුලු දැමීමේ කාල පරිච්ඡේදය පිලිබඳ සිය වාර්තාවේ, එන්එච්ආර්සී නම් රජයේ ආයතනයක් කියා සිටියේ තමන්, “මරන18ට තුඩුදී ඇති, එකිනෙකට වෙනස් නීති විරෝධී මිනීමැරුම් සිද්ධීන් 8ක් ” සොයා ගත් බව යි.

මෙය ජාතිවාදය මගින් පැහැදිලි කරන්නේ කෙසේ ද? පොලිස් ප්‍රචන්ඩත්වයේ ජාත්‍යන්තර ස්වභාවය,  කලු පොලිස් ප්‍රධානීන් සහ කලු නගරාධිපතිවරුන් විසින් අධීක්ෂනය කරනු ලබන නගරවල මෙවැනි පොලිස් ප්‍රචන්ඩත්වය ව්‍යාප්ත වීම සමග, එක්සත් ජනපදයේ සිදු වන්නේ,  “සුදු ඇමරිකාව” විසින් “කලු ඇමරිකාවට”  පීඩා කිරීම යැයි කියනු ලබන, ජාතිවාදී ආඛ්‍යානය ප්‍රතික්ෂේප වෙයි. 

පොලිස් ප්‍රචන්ඩත්වය ධනේශ්වර සමාජයේ ස්වභාවය සමඟ බැඳී ඇත. ඇමරිකා එක්සත් ජනපද පොලීසියේ සුවිශේෂී ම්ලේච්ඡත්වය පැහැදිලි කල යුත්තේ, අසමානතාවේ දේශය හා මූල්‍ය කතිපයාධිකාරයේ නිවහන වන, ඇමරිකාවේ පන්ති සබඳතා මගිනි.

1884 දී ලියන ලද ‘පවුල, පෞද්ගලික දේපල හා රාජ්‍යයේ සම්භවය‘ යන තම කෘතියේ   ෆ්‍රෙඩ්රික් එංගල්ස්,  රාජ්‍යය පිලිබඳ සම්භාව්‍ය මාක්ස්වාදී පැහැදිලි කිරීම කරන ලදී. රාජ්‍යය, “කිසිසේත් පිටතින් සමාජයට එල්ල කරන බලපෑමක් නො වේ…” යයි ඔහු සඳහන් කලේ ය.

ඒ වෙනුවට එය, සංවර්ධනයේ එක්තරා අවධියක සමාජයේ නිෂ්පාදනයකි; මෙම සමාජය එය තුලින් ම විසඳාගත නො හැකි ප්‍රතිඝතිිතාවක පැටලී ඇති බවත්, අහෝසි කිරීමට එය අසමත්, නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධතා වලට බෙදී ඇති බවත්, පිලිගන්නා තත්වයකි..

එංගල්ස් තවදුරටත් කියා සිටියේ, රාජ්‍යයේ කේන්ද්‍රීය, කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ, “මහජන බලය” පිහිටුවීමයි. එය “හුදෙක් සන්නද්ධ මිනිසුන්ගෙන් පමනක් නො ව, ද්‍රව්‍යමය අනුබද්ධතා, බන්ධනාගාර හා සියලු වර්ගවල බලහත්කාරී ආයතනවලින් සමන්විත වේ… ..රාජ්‍ය තුල පන්ති ප්‍රතිවිරෝධතා වඩාත් තීව්‍ර වෙද්දී හා යාබද රාජ්‍යයන් වඩා විශාල හා ජනගහනය වැඩි වෙද්දී, එය [මහජන බලය] වඩාත් ශක්තිමත් ව වැඩේ, සමානුපාතිකව ශක්තිමත් වේ. ”

එනම්, රාජ්‍යය මධ්‍යස්ථ බේරුම්කරුවෙකු නො වේ. එය හා එය සමග පැනනැඟෙන “සියලු වර්ගවල බලහත්කාරී   ආයතන” යනු පාලක පන්තියේ දේශපාලන මෙවලම් වන අතර ඒවා පැන නගින්නේ පන්ති අවශ්‍යතාවන්හි නො ගැලපීම හේතුවෙනි.

සමාජවාදී සමානතා පක්ෂය පොලිසිය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටී. නමුත් පොලීසිය අහෝසි කිරීම පන්ති සමාජය අහෝසි කිරීම හා බැඳී පවතී. පොලිස් භටයාගේ සමේ පැහැය හෝ නගර බලධාරීන්ගේ වාර්ගික පසුබිම හෝ සිදුකෙරෙන සංකේත ප්‍රතිසංස්කරන සමඟ කිසිවක් වෙනස් නො වේ.

පොලිස් ප්‍රචන්ඩත්වය අවසන් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා, ධනේශ්වර රාජ්‍ය තුරන් කිරිම, පාලක කතිපයාධිකාරි අස්වාමික කිරීම හා පුද්ගලික ලාභය නො ව සමාජ අවශ්‍යතා මත, ආර්ථික ජීවිතය තුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපිත කිරීම සඳහා  එක්සත් ජනපද හා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්විම අවශ්‍ය ය. එනම් එය සමාජවාදී විප්ලවය ඉල්ලා සිටී.

Loading