ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව පුලුල්ව ක්‍රියාවට දැමෙයි

ඇඟලුම්  කර්මාන්තකරුවන් විසින් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව පුලුල් පරිමාවකින් ක්‍රියාවට දමා ඇත. මෙම සිදු කෙරෙන්නේ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය. කම්කරු ඇමති, හාම්පුතුන් සහ වෘත්තීය සමිති අතර මැයි මාසයේ අත්සන් කෙරුන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමෙන්, “රැකියා රැක ගැනීමේ” ව්‍යාජ කඩතුරාව යටතේ  ඇඟලුම් සේවකයන්ගේ රැකියා  සහ වැටුප්  කප්පාදුවට  වෘත්තීය සමිති එකඟ වුහ. ඉන් දිරිමත් වූ ඇඟලුම් කර්මාන්ත හිමියන් විසින් මේ වනවිට ලක්ෂ ගනනක් කම්කරුවන්ගේ රැකියා අහෝසි කර ඇති අතර වැටුප් සහ අතිකාල ඇතුළු දීමනා බරපතල ලෙස කප්පාදු කරනු ලැබ ඇත.  

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය (ලවෙකාපොසේස), ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය(ශ්‍රීලනිසේස), එක්සත්  කම්කරු සම්මේලනය (එකස),  නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාර්ස්  ශ්‍රී ලංකා (එන්එස්යූඑස්) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කර නු  ලබන  අන්තර් සමාගම සේවක සංගමය (අසසේස) ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ පාර්ශ්වකරුවෝ වෙති.  

මෙම ප්‍රහාරයට එරෙහිව ඇඟලුම් කම්කරුවන්ගේ අයිතීන් රැකීමේ අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප කර ඇති වෘත්තීය සමිති ඒ වෙනුවට රැකියා සහ වැටුප් කප්පාදුවට විරුද්ධව පියවරක් ගන්නා ලෙස කන්නලව් කරමින් කම්කරු ඇමති දිනේෂ් ගුනවර්ධන සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් වෙත ජුනි 16 දා  දෙවන වරටත්   ලිපියක් යවා තිබේ.  ලිපිය යවා ඇත්තේ නිවෙකපොසේසේස, ලවෙකාපොසේස, ශ්‍රීලනිසේස, එකස සහ එන්එස්යූඑස්  විසිනි.  

"කෝවිඩ් 19 වසංගතය බලපෑම මත යයි කියමින් ආයතනවල ක්‍රියාකාරිත්වය නිසා පහත නම් සඳහන් ආයතනවල සේවයන්ට තම රැකියාව පිලිබඳව පැනනැගී ඇති බරපතල තත්වය පිලිබඳව පරීක්ෂනයක් පවත්වා අදාල පියවර ගන්නා" ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත. 

ලිපියට අනුව  රැකියා සහ වැටුප් කප්පාදුකර තිබෙන කම්හල්  කිහිපයක තත්වය මෙසේය:

* සීමා සහිත හසලක සුමිත්‍රා පුද්ගලික සමාගමට අයත් නිට්ටඹුව රන්පොකුනුගම පිහිටි කම්හලේ කම්කරුවන් 800 න් 400 ක් දොට්ට දමා ඇත. මාර්තු මාසයේ එහි ගෙවා ඇත්තේ මුලික වැටුප පමනයි. අතිකාල සේවයේ යෙදුන යෙදුන කම්කරුවන්ට අතිකාල ගෙවීම් කර නැත. අප්‍රේල් මාසයේ වැටුප් වශයෙන් ගෙවා  ඇත්තේ වැටුප් මට්ටම් වලට අනුව රුපියල් 1,0000 හෝ 11,000 බැගිනි. අවුරුදු නිවාඩුවට හිලව්වට මාර්තු මාසයේ දින හතරක් පඩි රහිතව වැඩ ගෙන තිබේ. යලි වැඩ ආරම්භ කිරීමෙන් පසු අප්‍රේල් 01 දිනට වසරකට අඩු සේවාකාලයක් සහිත හා වසර 50 ඉක්මවූ කම්කරුවන් සේවයෙන් ඉවත් කර ඇත. 

* පන්නල යක්විල සීමා සහිත සැම්සු ලංකා සමාගමේ සේවකයන් ට මාර්තු මාසයේ වැටුප් ගෙවා නැත. අප්‍රේල් මාසයේ වැටුපෙන් ගෙවා ඇත්තේ අඩක් පමනි. මැයි මාසයේ වැඩකල දින ගනනට පමනක් වැටුප් ගෙවා ඇති අතර ජුනි මාසය අවසානයේ කම්හල වසන බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ.

* කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ස්මාර්ට් ෂර්ට් සමාගමට අයත් කම්හල් හතරේ 3,500 ක් පමන වන සේවකයන්ගෙන් වැඩට කැඳවා ඇත්තේ සුලු පිරිසකි. අංක 1 කම්හල විවෘත කිරීමෙන් පසු මාසයක් වැඩ කල  සේවකයන්ට ගෙවා ඇත්තේ නියමිත වැටුපෙන් අඩකි.  කම්හලේ මැෂින් ගලවා ඉවත් කරන බව සේවකයන් පවසා ඇත. කොග්ගල අපනයන ප්‍රවර්ධන කලාපයේ එස්කුවෙල් කම්හලේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අනුව රුපියල් 14,500 දක්වා කප්පාදුකර තිබෙන වැටුපෙන් අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදල්වලට කැපීමෙන් පසු සේවකයන් අතට ලැබෙන්නේ රුපියල් 7,000 හෝ 8,000 කි. වැටුප් ගනනය කිරීම දෛනික පදනම මත සිදු කෙරෙන අතර දින 13 ට අඩුවෙන් වැඩ කලොත් වැටුපෙන් (14,500) සියයට 50 ක් කැපෙයි.

මෙම සමිති විසින් මීට පෙරාතුව කම්කරු කොමසාරිස් ජෙනරාල් සහ කම්කරු ඇමති වෙත යවන ලද ලිපියක, ගිවිසුම කඩකරමින් කම්හල් 35 ක් කම්කරුවන්ගේ  රැකියා සහ වැටුප් කප්පාදු කිරීම ගැන පැමිනිලි කර තිබුනි. දෙවන ලිපිය යවා ඇත්තේ  මැයි 29 වෙනිදා යවන ලද පලමු  ලිපියට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන සමිති නායකයන් නහයෙන් අඬමින් ය. ගිවිසුම  කම්හල් හිමියන් විසින් කඩකිරීම ගැන  ආන්ඩුවට සහ කම්කරු කොමසාරිස්ට   කන්පින්දම් කියන මෙම සමිති නායකයෝ ජුනි 2  වෙනිදා පැවති මාධ්‍ය හමුවක දී ගිවිසුම දිගටම ආරක්ෂා කරන බවට ආන්ඩුවට සහ හාම්පුතුන්ට සහතික වුහ.

රැකියා සහ වැටුප් කප්පාදුව, කොරෝනා වසංගතය විසින් ගැඹුරු කෙරී ඇති ඇඟලුම් කර්මාන්ත අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමකි. රාජ්‍ය ආයතන සහ සෙසු පුද්ගලික ව්‍යවසායන් තුල ද ක්‍රියාවට දමා ඇති මෙම ප්‍රහාරය  ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහි ගෝලීය ප්‍රහාරයක  කොටසකි. කොරෝනා වසංගතය ව්‍යාප්තවීම මධ්‍යයේ ධනපති සංගත වල ලාබ අවශ්‍යතාවයන් සඳහා කම්කරුවන් "ආපසු වැඩට" තල්ලු කිරීමත් සමග සෑම රටක් තුල ම කම්කරුවන් මුහුන දී සිටින්නේ එක සමාන ප්‍රහාරයකට ය.  

ආර්ථිකය "යලි විවෘත කිරීම" යටතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට හා පුද්ගලික ව්‍යවසායන්හි හි හිමිකරුවන්ට කම්කරුවන් සේවයේ යෙදවීම සහ ආයතන පවත්වාගෙන යාමේ  දී තමන්ට  අභිමත පරිදී ක්‍රියාකිරීමේ බලය රාජපක්ෂ ආන්ඩුව විසින් පවරා තිබේ. ඇඟලුම් කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව ක්රියාවටක්‍රියාවට දැමෙන්නේ ඒ අනුවය. රාජපක්ෂ ආන්ඩුව,  එහි කම්කරු ඇමති සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ඇතුළු කම්කරු අමාත්‍යංශ බලධාරීන් ක්‍රියාත්මක වන්නේ කම්කරුවන්ගේ අයිතීන් රැකීම පිනිස නොව, ධනපති ව්‍යවසායකයන්ගේ ලාබ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමටය. වෘත්තීය සමිති ඒ සඳහා කැප වූ සංවිධානයෝ වෙති.

කතුවරයා පහත ලිපි නිර්දේශ කරයි.

*පුද්ගලික අංශයේ වෘත්තීය සමිති මාධ්‍ය හමුව: ධනපති හාම්පුතුන්ගේ හා ආන්ඩුවේ ප්‍රහාර සඳහා දිගටම සහාය දෙන බවට සහතිකයක් ( 5/6 /2020 )

* පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුවට වෘත්තීය සමිති එකඟ වෙති (19/5/2020)

Loading