ඉදිරිදර්ශන

ධවල මන්දිරය සතියකට ඩොලර් 600ක් වන හදිසි විරැකියා දීමනාව නතර කරන ලෙස ඉල්ලයි

මෙම ලිපිය ජුනි 16 ඉංග්‍රීසි බසින් පලවිය.

කොවිඩ්-19 වසංගතය සමයේ දොට්ට දමන ලද කම්කරුවන්ට ගෙවන හදිසි විරැකියා ආධාර දිගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය අවසර නො දෙනු ඇති බව ධවල මන්දිරයේ ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ ඉරිදා (ජුනි 14) පැහැදිලි කලේ ය.

“අපි වැඩ නොකිරීම වෙනුවෙන් ජනයාට ගෙවමින් සිටිමු” යැයි වෝල් වීදියේ හිටපු විධායකයා ප්‍රකාශ කලේ ය. අතිරේක විරැකියා සහනාධාරය, “යථාර්ථයේ දී,” මහජනයා ආපසු වැඩට යාම දුර්මුඛ කරවන්නක් බව “සියලු ම ව්‍යාපාර පාහේ” අවබෝධ කරගන්නා බව ඔහු කීවේ ය.

මාස තුනකට පෙර, කොංග්‍රසය කෙයාස් පනත සම්මත කලේ ය. මහ ව්‍යාපාරිකයට යෝධ අරමුදල් ප්‍රදානය කරන අතර, උදාහරනයක් ලෙස මිචිගන්හි දී ආසන්න වසයෙන් සතියකට ඩොලර් 350කට සීමා කර තිබෙන ඉතා අඩු රාජ්‍ය විරැකියා සහනාධාරවලට ඌන පූරන වසයෙන් මධ්‍යම ආන්ඩුව විසින් සතියකට ගෙවන ඩොලර් 600ක දීමනාවක් එයට ඇතුලත් විය.

ආසන්න වසයෙන් පුද්ගලයන් මිලියන 36.5ක් හෙවත් එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් සියයට 20ක අධික පිරිසක්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියාවලින් ඉවතට ඇද දමා තිබේ.

ඇමරිකාවේ අලුතින් විරැකියාවට පත් නිවහන් ප්‍රදේශවල මිලියන ගනන් ජනයාට, ඩොලර් 600 අතිරේක දීමනාව කුසගින්නෙන් හා නිවාස නැති කමින් වැලකීමට හැකියාව ලබා දෙන නැතිව ම බැරි දීමනාවක් වී ඇත.

මිලියන ගනන් කම්කරුවන්ට කිසි දා ලැබී නැති මෙම දීමනාව සමගින් පවා, රට පුරා ආහාර ගබඩාවන් ආහාර හිඟ වී යාම වාර්තා කරද්දී, ආහාර සුරක්ෂිතතාව රහිත නිවහන් සංඛ්‍යාව සියයට 22 හා 38 අතර මට්ටමකට ලඟාවෙමින් දෙගුනයකටත් වඩා වැඩි වී ඇත. තව ද පවුල් මිලියන ගනනක් උකස් සින්න වීමට හා නිවාස වලින්ඉවත් කරනු ලැබීමට මුහුන දෙති.

කම්කරුවන්ට කිසිදා ඔවුන්ගේ රැකියා අහිමි නො වී නම්, ඩොලර් 600 හා රාජ්‍ය විරැකියා ප්‍රතිලාභ “ඔවුන්ගේ වැටුප්වලට වඩා හොඳ” යයි කුඩ්ලෝ කනිපින්දම් කීවේ ය. එහෙත්, මෙය වනාහි ආන්ඩුවේ නො මසුරු භාවය පිලිබඳ ප්‍රකාශනයක් නො ව, එක්සත් ජනපදයේ මිලියන ගනන් කම්කරුවන්ගේ වැටුප් කොතරම් පහල දැයි පෙන්වන එක් පිලිබිඹුවකි. 

අහිමි වූ රැකියාවලින් සියයට 42ක් ආපසු නො ලැබෙන බව තක්සේරු කිරීමට හේතු වූ වසංගතය විසින් ප්‍රේරනය කරන ලද මහා පරිමාන දොට්ට දැමීම් හා සංගත තර කිරීම් මධ්‍යයේ, හදිසි විරැකියා සහනාධාර දීර්ඝ කිරීම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කිරීමෙහි අර්ථය වනු ඇත්තේ බොහෝ කම්කරු පන්තික ජනයා අන්ත දුගී බවට ඇද දැමීමයි.

කුඩ්ලෝගේ අරමුන විවෘත හා ම්ලේච්ඡ වේ. එනම්, කොවිඩ්-19 රෝගය රටෙහි විශාල කොටසක වසංගතය යලි හිස එසවීමක මධ්‍යයේ පවතින තතු යටතේ පවා, එය සම්ප්‍රේෂනය වන තෝතැනි බවට පත් ව තිබෙන කම්හල් කරා ආපසු යාමට කම්කරුවන්ට බලකිරීම යි. 

ජාතික පරිමාන ව, මස් ඇසුරුම් කම්හල් තුල පමනක් 24,000ට අධික ජනකායකට කොවිඩ්-19 වැලඳී ඇත්තේ, අවම වසයෙන් 87 දෙනෙකු මරනයට පත්කරමිනි. කන්සාස් ප්‍රාන්තයේ මස් ඇසුරුම් කම්කරුවන් 3,000ක් පමන ආසාදනයට බඳුන් ව තිබෙන්නේ, ආසන්න වසයෙන් ප්‍රාන්තයෙහි සමස්ත ආසාදන ගනනින් තුනෙන් පංගුවකට වගකියමිනි.

ඒ හා සමාන ව, කොතරම් කම්කරුවන් සංඛ්‍යාවක් රෝගී වන්නේ ද යන්න සමාගම් විසින් ප්‍රසිද්ධ කිරීම නො තකා, මෝටර් රථ කම්හල් වෛරසය පතුරුවන ස්ථාන වේ. ජීඑම්, ෆෝඩ්, එෆ්සීඒ, ටොයෝටා හා ටෙස්ලා ඇතුලු සෑම ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ම, ඔවුන්ගේ කම්හල් තුල ආසාදන නිවේදනය නො කිරීමේ පිලිවෙතක් පවත්වාගෙන යයි. එහෙත්, කම්කරුවන්ගෙන් ලැබෙන නිර්නාමික තොරතුරු මත පදනම් ව ඉඳහිට පලවන මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෝටර් රථ කම්හල් තුල ආසාදන සිද්ධි දුසිම් ගනනක් තිබේ.

කම්කරුවන් පස්දෙනෙකුට කොවිඩ්-19 වැලඳී ඇති බවත්, තවත් 20 දෙනෙක් පරීක්ෂන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින බවත් වාර්තා කිරීම සඳහා, ඔහියෝහි ස්ප්‍රින්ෆීල්ඩ් නැවිස්ටාර් ට්‍රක් රථ කම්හලේ එක් කම්කරුවෙක් ලෝසවෙඅ මෝටර් කම්කරු හසුන්පතට සඳුදා ලීවේ ය. නැවිස්ටාර් සමාගම මාසයකට ඉහත දී කම්හලේ නිෂ්පාදන යලි ඇරඹී ය. 

කාල් මාක්ස්ගේ වචනවලින් කියතොත්, කර්මාන්තශාලා, ඕනෑම වෙනසක අර්ථය මරන දඬුවමක් විය හැකි “ත්‍රස්තයේ නිවාස” බවට පත් ව ඇත.

වාර්තා වන සිද්ධි රහිත කම්හල් තුල කොන්දේසි ද දරාගත නො හැකි ය. සමාජ දුරස්ථකරනය සඳහා ඉඩ දීම පිනිස පේලිවල වේගයන් අඩුකරනවා වෙනුවට, වාතය සංසරනය වීම වැලැක්වීම සඳහා හාම්පුත්තු විදුලි පංකාවන් නිවා දමන බව කම්කරුවෝ වාර්තා කර තිබේ. ගිම්හානය මැද දී, විදුලි පංකා නො මැති ව හා මුඛ ආවරන පැලඳීමට බලකරනු ලැබ උනුසුම් යන්ත්‍ර විසින් වටකෙරෙන කම්කරුවෝ, කම්හල් තුලදී අධික වෙහෙස හෝ හුස්ම හිරවීම හේතුවෙන් සිහි මුර්ඡා වෙමින් සිටී.

බොහෝ කම්කරුවෝ වැඩට ඒම ප්‍රතික්ෂේප කරන්නේ, ඔවුන් හෝ ඔවුන්ගේ ආදරනීයයන්ගේ මරනයට හේතු විය හැකි කොන්දේසි යටතේ වැඩ කිරීමට අකමැති නිසාය. එක්සත් ආහාර හා වානිජ කම්කරු සමිතියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය සතිය තුල මස් ඇසුරුම් කම්කරුවන්ගෙන් සියයට 30 සිට 50 දක්වා පිරිසක් වැඩට පැමිනියේ නැත. ඕනෑම දිනයක් ගත් කල, සමහර මෝටර් රථ කම්හල්වල කම්කරුවන්ගෙන් සියයට 25ට අධික පිරිසක් සේවයට නො පැමිනෙති.

කම්කරු නො පැමිනීම්, උපරිම ධාරිතාව කරා යලි පැමිනීමේ සංගතවල උත්සාහයන්ට බාධා කර ඇත. මෙය හිලවු කරගැනීමට සංගත උත්සාහ දරා ඇත්තේ, අලුතින් බඳවාගත් හා තාවකාලික කම්කරුවන්ට සතියකට පැය 60ක් හෝ ඊටත් වැඩියෙන් වැඩිපුර වැඩකරන ලෙස බලකරමිනි. එහෙත්, මෙම කම්කරුවන් අතර, නිෂ්පාදන ඉලක්ක ලඟා කරගැනීම සඳහා සියලු ආරක්ෂක පියවරයන් අතහැර දැමීමේ උත්සාහයන් කෙරෙහි විරෝධය වැඩෙමින් පවතී.

කුඩ්ලෝගේ සම්මුඛ සාකච්ඡාවෙන් යන්තම් දිනකට පසුව, එනම් සඳුදා, සංගත බැඳුම්කර ඍජු ව මිලට ගන්නා බවට එය කලින් නිවේදනය කල සැලසුම මේ සතියේ ආරම්භ කරන බව, ඇමරිකානු මහ බංකුව නිවේදනය කලේ ය. ඩොලර් බිලියන සිය ගනනක බදු ගෙවන්නන්ගේ මුදල් සංගත ශේෂ පත්‍රවලට තව දුරටත් ඇතුල් කිරීමක අපේක්ෂාව මත, මෙම නිවේදනය කොටස් වටිනාකම් පිම්බුවේ ය.

පනිවුඩය පැහැදිලි විය. බිලියනපති මූල්‍ය කතිපයාධිකාරයට ඇප දී ගලවා ගැනීම සලකද්දී, කිසිදු වියදමක් නො කර සිටින්නේ නැත. එහෙත් කුසගින්නට ඇද වැටීමෙන් හෝ ඉවත් කිරීමෙන් කම්කරුවන් ව වලක්වා ගැනීම සලකද්දී, ආන්ඩුවේ ආධාර වනාහි නිෂ්පාදනය ඉහල නැංවීම “අධෛර්යයට” පත්කරන හා ලාබ ඉපැයීමට බාධාකරන දෙයකි.

බියර් ස්ටියන්ස් නමැති ආයෝජන බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වන බහු-මිලියනපති කුඩ්ලෝ කතාකරමින් සිටින්නේ, වෝල් වීදියේ හා ප්‍රධාන සංගතවල තොරොම්බල්කරුවා ලෙස ය. වසංගතය දිගට ම ඉහල යන කොන්දේසි යටතේ කම්කරු යලි වැඩට දැක්කීම, මහා පරිමාන ආසාදන හා මහා පරිමාන මරන සඳහා හේතුවනු ඇති බව ඔවුහු දනිති. අභ්‍යන්තර ව, ට්‍රම්ප් ආන්ඩුව ගනනය කරමින් සිටින්නේ, එහි පිලිවෙත්වලින් මිලියන ගනන් වන තවත් පුද්ගලයන් කොතරම් ගනනක් මිය යනු ඇද්ද යන්න යි. සංගතවලට ඒවායේ වැඩපොලවල ආසාදනයන් සඳහා වගකීමෙන් මුක්තිය ලබා දිය යුතු බවට ධවල මන්දිරය තල්ලුව දෙමින් සිටින්නේ එබැවිනි.

ධනවාදයේ සියලු ආර්ථික විද්‍යාඥයන්, විශේෂඥයන් හා පන්ඩිතයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන එහි මහා රහස වන්නේ, සංගත වෙත ආන්ඩුව මගින් කොතරම් ඩොලර් ට්‍රිලියන ගනනක් ප්‍රදානය කල ද, මූල්‍ය කතිපයාධිකාරයේ ලාබ උපදවනු ලැබෙන්නේ කම්කරු පන්තිය සූරාකනු ලැබීම හරහා පමනක් බව යි.

මහ බැංකු විසින් අසීමාන්තික ව මුදල් මුද්‍රනය කිරීමෙන් වසර දොලහකට පසුව, කොටස් වෙලඳපොලේ සංගත තක්සේරු යෝධ ලෙස ප්‍රසාරනය වී ඇත්තේ, සංගත නය ප්‍රසාරනය හරහා මූල්‍ය කතිපයාධිකාරයෙහි ධනවත් වීමට ඉන්ධන සපයමිනි. එහෙත් මෙම නය ගෙවීම සඳහා, ඔවුන්ගේ කම්කරුවන්ගෙන් අතිරික්ත වටිනාකම නිර්බාධිත ව උකහා ගැනීම සංගත විසින් තහවුරු කිරීම අවශ්‍ය කරයි..

විධායකයන්ට ගෙවීම සඳහා සෑම වසරක ම මිලියන සිය ගනනක් වැය කරන යෝධ සංගතවලට, ඒවායේ නය ගෙවීම සඳහා කම්කරුවන් ඔවුන්ගේ ජීවිත පරදුවට තැබිය යුතු ය යන්න, මුග්ධ හා අතාර්කික වේ.

ධනවාදයේ රාමුව ඇතුලත දැරිය හැක්කේ හා නො හැක්කේ කුමක් ද යන්න පිලිබඳ සියලු කියාපෑම් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය. ආරක්ෂිත වැඩ පරිසරවලට ගෙවීමට හෝ ආර්ථිකය වසාදැමීම මගින් බලපෑමට ලක්වන්නන්ට සහයෝගය සම්පාදනය කිරීමට “මුදල් නැත” යන හමාර පදය, වෝල් වීදියට ඩොලර් ට්‍රිලියන 4ක් ප්‍රදානය කිරීම මගින් විසුනු කරනු ලබයි.

සංගත වල සිට, වෘත්තීය සමිති තුල ඒවායේ “හවුල්කරුවන්” මෙන්ම ට්‍රම්ප් ආන්ඩුව සහ මහ ව්‍යාපාරික පක්ෂ දෙක දක්වා වන සමාජයේ සෑම ආයතනයක් ම, මූල්‍ය ප්‍රභූව ධනවත් කිරීමේ ඉලක්කය සහිතව,  කම්කරුවන්ට මර උගුල් වන කම්හල් තුලට ඔවුන් ව ආපසු යැවීමට උත්සාහ කරමින්, කම්කරුවන්ට එරෙහි ව පෙලගැසී සිටී.

කොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂනය වීම වලකා ජීවිත රැක ගැනීමට සාමාන්‍ය කම්කරුවන්ගේ කම්හල් හා වැඩපොල කමිටු පිහිටුවනු  නමැති ප්‍රකාශය තුල සමාජවාදී සමානතා පක්ෂය ලියූ පරිදි:

කම්කරුවන්ට තමාගේම සංවිධාන අවශ්‍ය වන්නේ මේ නිසාය. සෑම කම්හලකම, වැඩපොලකම හා කාර්යාලයකම කම්කරුවන් සංවිධානය වෙමින් තමන් නියෝජනය කිරීම සඳහා තම විශ්වාසය හා ගෞරවය දිනා ගත් කම්කරුවන් තෝරා ගත යුතුය. ඔවුන් තම ක්‍රියාකාරීත්වයන් සමායෝජනය කර ගැනීම හා තොරතුරු බෙදා ගැනීම සඳහා තම කර්මාන්තය පුරා ම ද, අනෙකුත් අංශ තුල ද, සිටින කම්කරුවන් ඇමතීමට සමාජ මාධ්‍ය ද ඇතුලුව, යොදා ගත හැකි  සියලු ආම්පන්න වැඩට යොදා ගත යුතුය.   

රට පුරා කොවිඩ්-19 ආසාදන ඉහල යද්දී, කම්කරුවන් ඔවුන්ගේ ම වැඩපොලවල් මත පාලනය තහවුරු කිරීම සියල්ලටත් වඩා තීරනාත්මක ය. පේලි වේගයන් හා සමාජ දුරස්ථකරනය මත පාලනය ස්ථාපිත කිරීම සඳහා කම්කරුවෝ ක්‍රියාකාරී ආරක්ෂක කමිටු තනාගත යුතු ය. කොවිඩ්-19 පැතිර යමින් පවතින කම්හල්වල දී, මෙම කමිටු වහා ම නිෂ්පාදනය නැවැත්විය යුතු ය.

අර්බුදය විසින් විරැකියා භාවයට ඇද හෙලූ කම්කරුවන්ට සුරක්ෂිත ජීවිතයක් සඳහා වැටුපක් සහ වසංගතය හේතුවෙන් ඔවුන් ඔවුන්ගේ ආදායම් කිසිදු අයුරකින් අහිමි කරගැනීමක් කර නො ගන්නා බව තහවුරු කිරීමේ සටන, ආරක්ෂිත වැඩපොලවල් සඳහා වන ඉල්ලීමෙන් වෙන් කල නො හැක.

ආරක්ෂිත වැඩපොලවල් සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම්, රෝගය වැලැක්වීම සඳහා ගැඹුරු පියවර ගන්නා ලෙස විද්‍යාඥයන් හා වෘත්තිකයන් විසින් කරන කැඳවුම සමග සුසංගත වේ. කොවිඩ්-19ට තාර්කික, විද්‍යාත්මක ප්‍රතිචාරයක් දැක්වීමේ අරගලයට, ධනපති පද්ධතියට හා සමාජය මත මූල්‍ය කතිපයාධිකාරයේ ආඥාදායකත්වයට එරෙහි සටනක් අවශ්‍ය කරයි.

Loading