ඉදිරිදර්ශන

ඉන්දියානු-චීන දේශසීමා ගැටුම සහ ලෝක භූදේශපාලනයේ දහනශීලී තත්වය

මෙම ලිපිය ජූනි 18 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ඉන්දියානු හමුදාවේ සහ චීන  - මහජන විමුක්ති හමුදාවේ භටයන් දුසිම් ගනනක් මිය ගිය, සඳුදා රාත්‍රියේ ඇති වූ ගැටුම ලෝකයේ වඩාත්ම ජනාකීර්න වන සහ ප්‍රතිවාදී න්‍යෂ්ටික බලවතුන් වන රටවල් දෙක අතර පූර්න යුද්ධයක් ඇතිවීමේ හැකියාව මතු වී තිබේ.

ගැටුමත් සමග, ඔවුන්ගේ මතභේදාත්මක දේශ සීමාව ආසන්නයේ දැන් යොදවනු ලැබ ඇති හමුදා ඉවත් කරගනිමින් බෙයිජිං සහ නවදිල්ලිය යන දෙපාර්ශ්වයම ඔවුන්ගේ ප්‍රතිවාදී භෞමික හිමිකම් සඳහා සාමකාමී රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සඳහා යෙදී සිටිති. එහෙත්, වසර 45 ක් තුල ඉන්දියානු හා චීන හමුදා අතර සිදු වූ පලමු මාරාන්තික ගැටුම වන මෙය අනෙත් පාර්ශවය විසින් කල ප්‍රකොපකරනයක් බැවින් ඔවුන් මුලින් පසු බැසිය යුතු යයි මුරන්ඩු ලෙස පවසති.

ඉන්දීය විදේශ ඇමති එස්. ජයිශංකර් සහ චීන විදේශ ඇමති  වැන්ග් යී අතර දුරකථන සංවාදයකින් අනතුරුව නවදිල්ලියේ ප්‍රකාශයක් නිකුත් කරමින් බීජිනය “ප්‍රචන්ඩත්වය හා හානිවලට” වගකිව යුතු බවට චෝදනා කල අතර “මේ මොහොතේ අවශ්‍යතාවය” වන්නේ “චීන පාර්ශවය සිය ක්‍රියාමාර්ග නැවත තක්සේරු කර නිවැරදි කිරීමේ පියවර ගැනීම” යනුවෙන් පැවසිනි.

ඉන්දීය හමුදාවේ “ප්‍රචන්ඩකාරී” සහ “සාහසික” “හැසිරීම්” වලට “වගකිවයුත්තන්ට දැඩි දඬුවම් ලබා දෙන” ලෙසත්, ඔවුන්ගේ “පෙරමුනු භටයන්” “දැඩි ලෙස පාලනය කරන” ලෙසත්, “සියලු ප්‍රකෝපකාරී ක්‍රියා වහාම නතර කරන” ලෙසත් වැන්ග් ඉන්දියාවෙන් ඉල්ලා තිබුනු ප්‍රකාශයක් මගින් බීජිනය ප්‍රතිඋත්තර දුනි. “තම (බීජිනයේ) භෞමික ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා චීනයේ දැඩි අධිෂ්ඨානය, ඉන්දියාව අවතක්සේරු නොකල යුතු.” බව ප්‍රකාශය තව දුරටත් පවසා තිබිනි. 

ඉන්දියාවේ ආරක්ෂක ඇමති සහ ඉහල හමුදා නිලධරය අතර ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව, මතභේදාත්මක චීන දේශ සීමාව දිගේ යොදවා ඇති දස දහස් සංඛ්‍යාත ඉන්දියානු යුද හමුදා සහ ගුවන් හමුදා භටයින්ගේ සූදානම ඉහලම මට්ටමට නංවා ඇත. මේ අතර, චීන යුද නෞකා සහ සබ්මැරීන සමඟ ඇතිවිය හැකි ගැටුම් සඳහා සූදානම් වන ලෙස ඉන්දීය නාවික හමුදාවට උපදෙස් දෙනු ලැබ තිබේ. 

එසේම බදාදා ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික හින්දු අධිපතිවාදී අගමැති නරේන්ද්‍ර මෝදි රූපවාහිනිය අමතමින් “අපගේ සොල්දාදුවන්ගේ පරිත්‍යාගය නිෂ්ඵල නොවනු ඇත… ඉන්දියාවට සාමය අවශ්‍යය, නමුත් ප්‍රකෝපකරනයන්ට ඉන්දියාවට සුදුසු පිලිතුරක් ලබා දිය හැකිය. ” යයි පැවසීය.

ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩු දී අති වාසයට නුසුදුසු හිමාලයානු භූමි ප්‍රදේශය කිලෝමීටර් 3,500 (සැතපුම් 2,175) ක දේශසීමාවක් හරහා දිව යයි. සඳුදා රාත්‍රියේ සටන මුහුදු මට්ටමේ සිට මීටර් 4,260 (අඩි 14,000)ක වඩා පටු කඳු මුදුනක සිදු විය.

කෙසේ වෙතත්, ලෝක ධනවාදයේ පද්ධතිමය බිඳවැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර් අධිරාජ්‍යවාදී හා මහා බල ගැටුමේ උත්සන්නවීම යන කොන්දේසි යටතේ, එහි (එදිරිවාදිකම්වල) පුපුරන සුලු ස්වභාවය තීව්‍ර වෙමින්ද, එහි අතිශයින් ගෝලීය භූ-දේශපාලනික වැදගත්කමක් අත්පත් කරගනිමින්ද, චීන-ඉන්දියානු දේශසීමා ආරවුල ඇමරිකානු-චීන මූලෝපායික එදිරිවාදිකම් සමග පටලැවී ඇත.

ඉන්දියාවේ දීන ධනපති පාලක ප්‍රභූව පසුගිය දශක එකහමාර තුල චීනයට එරෙහි ඇමරිකානු මිලිටරි මූලෝපායික ප්‍රහාරයට අන්තර්ග්‍රහනයවී ඇත. ඇමරිකානු යුද නෞකා සහ යුද ගුවන් යානා සඳහා සිය හමුදා කඳවුරු විවෘත කල  මෝදි තන්ත්‍රය යටතේ ඇති නවදිල්ලිය, වොෂිංටනය සහ එහි ප්‍රධාන ආසියා පැසිෆික් සහචරයින් වන ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ දිනෙන් දින පුලුල් වන ද්විපාර්ශ්වික, ත්‍රෛපාර්ශ්වික හා චතුර්-පාර්ශවික මිලිටරි-ආරක්ෂක සබඳතා ජාලයක් ගොඩනගාගෙන ඇත.

බටහිර චීනයේ සිට පකිස්තානයේ අරාබි මුහුදු වරාය වන ග්වාඩාර් දක්වා නල මාර්ග, දුම්රිය හා ප්‍රවාහන මාර්ග සම්බන්ධතා ඉදිකිරීම ඇතුලුව ඉන්දියාවේ ප්‍රධාන ඓතිහාසික ප්‍රතිමල්ලවයා වන පකිස්තානය සමඟ සිය සමීප ආරක්ෂක හවුල්කාරිත්වය උපයෝගී කර ගැනීම මගින් බීජිනය ප්‍රතිචාර දක්වා තිබේ. බීජිනයේ අරමුන වන්නේ ඉන්දියන් සාගරය සහ දකුනු චීන මුහුදේ මර්මස්ථාන අල්ලා ගැනීමෙන් චීනය ආර්ථික වශයෙන් ගෙල සිර කිරීමේ ඇමරිකානු සැලසුම් වලට ප්‍රතිරෝධය දැක්වීමයි. “චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ගමන් කරන චීනයේ අක්සායි-චින් කලාපය, සඳුදා සටන සිදුවූ ස්ථානයට ආසන්නයේ පවතින අතර, මෝදිගේ භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) රජය පසුගිය අගෝස්තු මාසයේදී එම භූමිභාගයට ප්‍රකෝපකාරී ලෙස ඉන්දියාවේ ඓතිහාසික අයිතිය කියාපෑම් යලිත් ඉදිරිපත් කරන ලදි.

මේ දක්වා, සඳුදා දේශසීමා ගැටුමට [ඇමරිකානු] ට්‍රම්ප් පාලනාධිකාරයේ ප්‍රතිචාරය, ගැටුම සාමකාමීව විසඳීමට සහාය ප්‍රකාශ කරන ඇඟබේරා ගැනීමේ ප්‍රකාශයන්ට සීමා වී ඇත. එහෙත් පසුගිය මාසය තුල වොෂින්ටනය. “ඉන්දියාවට එරෙහි චීන ආක්‍රමන” හෙලාදකිමින් නවදිල්ලිය ප්‍රසිද්ධියේ දිරිගැන්විය.

එපමනක් නොව, එය එසේ කලේ චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ  ප්‍රහාරයන්. ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි-මූලෝපායික යන සෑම පැත්තකින්ම, දැවැන්තව උත්සන්න කිරීමේ කොටසක් ලෙස ය. මෙහි තර්කය වන්නේ අවසානයේදී යුද්ධයයි. මෙයට තවදුරටත් පහත වර්ධනයන්ද එක්වෙයි :

තම රලු නොතැකීම සහ අකාර්යක්ෂමතාවය නිසා කෝවිඩ්-19 රෝගයෙන් ඇමරිකාවේ දැවැන්ත ලෙස ජීවිත හානි සිදුවීම සම්බන්ධයෙන් බීජිනයට දොස් පවරමින්, මහජන කෝපය අවමංගත කිරීමට උත්සාහ දැරීම පමනක් නොව, බීජිනයට එරෙහි සිය ආක්‍රමනශීලිත්වයද සාධාරනීකරනය කිරීමේ අරමුනින්ද වොෂින්ට‍නය ගෙනයන වැඩ පිලිවෙල. 

චීනයේ ප්‍රධාන භූමියට ඔබ්බෙන් වන මුහුදේ ක්‍රියාත්මක වීමට, පසුගිය සතියේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහක නෞකා කන්ඩායම් තුනක් බටහිර පැසිෆික් සාගරයට පිටත් කර යැවීම

ඇමරිකානු සමාගම්වල ක්‍රියාකාරිත්වයන් චීනයෙන් ඉවත් කිරීමට බලපෑම් කිරීමෙන් චීනයෙන් ඇමරිකානු ආර්ථිකය “විඝටනය” කිරීමේ තල්ලුවක් දියත් කිරීම. එජයේ මූලෝපායික එල්ලයන් සඳහා ඉන්දියාව තවදුරටත් යොදා ගැනීමේ අරමුනින් ට්‍රම්ප් සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීනයට එරෙහි විකල්ප ගෝලීය නිෂ්පාදන දාම කේන්ද්‍රස්ථානයක් ලෙස ඉන්දියාව ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කර තිබේ;

චීනයේ ප්‍රමුඛතම අධි තාක්ෂනික සමාගම වන “හුආවේ” (Huawei) ඔවුන්ගේ 5G ජාලයන්ගෙන් වලක්වාලීමට රටවලට බලපෑම් කිරීමට සහ නැතහොත් අධි තාක්ෂනික කර්මාන්තවල තරඟකරුවෙකු ලෙස චීනය ඉස්මතු වීම වලක්වාලීමට ගෙන යන වැඩපිලිවෙල තීව්‍ර කිරීම.

තායිවානයට උසස් තත්වයේ ආයුධ සැපයීම සහ “එක් චීනයක් ප්‍රතිපත්තිය” සඳහා එය (ඇමරිකාව) දක්වන සහයෝගය ප්‍රතික්ෂේප කරන බවට කරන තර්ජනාත්මක ඇඟවීම.

තවද, චීනයට හා රුසියාවට එරෙහිව මෙහෙයවන ලද පියවරක් ලෙස, දැවැන්ත න්‍යෂ්ටික අවි වර්ධනය කිර්‍ර්ම සදහා ඉදිරියට යාම.

මේ සමඟ, වසංගතය මධ්‍යයේ, ට්‍රම්ප් පරිපාලනය ඉරානය සහ වෙනිසියුලාව වෙත සම්බාධක සහ මිලිටරි පීඩනය තීව්‍ර කරමින්, බටහිර ඉවුර සෘජුව ඈඳා ගැනීමේ ඊස්රායලයේ සැලසුම් නිර්දේශ කර තිබේ.

ඉන්දු-චීන දේශසීමා ආරවුල, ඇමරිකානු අක්‍රමනශීලී ප්‍රතිපත්ති මගින්  ගෝලීය පරිමාන යුද්ධ දක්වා වර්ධනය විය හැකි අන්තර් රාජ්‍ය ගැටුම් උසිගන්වා ඇති හෝ උග්‍ර කරනු ලැබ ඇති ගෝලීය ජ්වලන කේන්ද්‍රයන් වලින් එකක් පමනි.

ඇමරිකාරව අර්ථවත් සාකච්ඡාවලට එලඹීම හෝ එහි දන්ඩනීය ආර්ථික සම්බාධක කිසිදු ආකාරයකින් ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත් උතුරු කොරියාව සඳුදා දකුනු කොරියාව සමඟ පැවැති ඒකාබද්ධ සම්බන්ධීකරන කාර්යාලය පුපුරුවා හැරියේය. 

එක්සත් ජනපදයේ අධිරාජ්‍යවාදී ප්‍රතිවාදීන් ද වසංගතයට හා 1930 ගනන්වල අවපාතයෙන් පසු ලෝක ධනවාදයේ විශාලතම ආර්ථික පරිහානියට ප්‍රතිචාර දක්වා ඇත්තේ යුද්ධයට තමන්ගේම සූදානම තීව්‍ර කරමිනි. ජර්මනිය හා ප්‍රන්සය සම්බන්ධයෙන් ගත් කල, මෙයින් අදහස් කරන්නේ අවශ්‍ය විටෙක ඇමරිකාවට එරෙහිවද ස්වාධීනවද වෙලඳපල, ස්වාභාවික සම්පත් සහ මූලෝපායික භූමි ප්‍රදේශ වෙත තම හිමිකම් ප්‍රකාශ කල හැකි යුරෝපීය මිලිටරියක් ප්‍රවර්ධනය කිරීමේ තල්ලුව වේගවත් කිරීමයි. 

පසුගිය සතියේ ඩී වෙල්ට් සඟරාවට ලියමින් යුරෝපීය සංගමයේ විදේශ කටයුතු පිලිබඳ ඉහල නියෝජිත ජොසෙප් බොරෙල් සහ අභ්‍යන්තර වෙලඳපොල පිලිබඳ යුරෝපා සංගම් කොමසාරිස් තියරි බ්‍රිටන් ප්‍රකාශ කලේ “ඇමරිකාව හා චීනය අතර වැඩෙන ආතතීන්” යුරෝපයටද “දැඩි බලයේ” අවශ්‍යතාවය පෙන්නුම් කරන බවත්, එයට “එහි බලපෑම දරා ගැනීමට, ලෝක දෘෂ්ටිය පැනවීමට සහ තමන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීමට” හැකි බවත්ය.

පසුගිය දශක හතර තුල සහ විශේෂයෙන් 2008 සිට ගෝලීය ධනවාදය පුරා පැතිරී ඇති සියලු අක්‍රමිකතා කෝවිඩ්-19 වසංගතය විසින් වේගවත් කරනු ලැබ ඇත. එනම් සමාජ අසමානතාවයේ, මිලිටරිවාදයේ සහ යුද්ධයේ දරුනු වර්ධනයත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලන රූපයන්ගේ කුනුවීමත්, සහ ධනපති ප්‍රභූව අන්ත දක්ෂිනාංශයේ ප්‍රතිගාමිත්වය ප්‍රවර්ධනය කිරීමත් සහ පුනරුත්ථාපනය කිරීමත්ය.

එය ගෝලීය පන්ති අරගලයේ උත්ප්‍රේරකයක් ලෙස ද ක්‍රියා කරයි. වසංගතයේ ආරම්භක අවධියේදී සහ කෝවිඩ්-19 පැතිරීම නැවැත්වීමට සති ගනනාවක් තිස්සේ කිසිවක් නොකල ආන්ඩු විසින්, පසුව කඩිමුඩියේ කිසිදු සැලසුමකින් තොර අගුලු දැමීම් සිදු කල විට, සමාජ විරෝධය අඩුවෙමින් පවතින බවක් පෙනෙන්නට තිබුනි. කෙසේ වෙතත්, ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පොලිස් ඝාතනයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය තුල පුපුරා ගිය හා පසුව ලොව පුරා පැතිර ගිය මහා බහු වාර්ගික හා බහු ජනවාර්ගික උද්ඝෝෂනවලින් අවධාරනය වන්නේ 2018 දී සහ 2019 දී උත්තේජනය වූ වැඩ වර්ජන හා ආන්ඩු විරෝධී මහජන විරෝධතා රැල්ල යනු ගෝලීය කම්කරු පන්තියේ මහජන හා ආරම්භක විප්ලවවාදී ප්‍රතිප්‍රහාරයේ මුල් අවධීන් ය.

වසංගතයට, විශේෂයෙන් උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී රටවල - එනම් සාපරාධී නොසැලකිල්ල, මහජන වත්කම් විශාල වශයෙන් සොරකම් කිරීම සහ කෝවිඩ්-19 දිගටම පවතින විටදී පවා කම්කරුවන්ට නැවත සේවයට යාමට බල කිරීම සඳහා වන ව්‍යාපාරය කෙරෙහි - ධනේශ්වර ප්‍රභූවේ ප්‍රතිචාරය සමාජ ව්‍යසනයක් නිර්මානය කර තිබේ. මිය ඇදෙමින් පවතින ධනේශ්වර පර්යායක ම්ලේච්ඡත්වය, දේශපාලන-දෘෂ්ටිවාදාත්මක බංකොලොත්භාවය සහ දුරාචාරය ද ඔවුහු හෙලිදරව් කර තිබේ.

මෙම තත්වයන් යටතේ, පාලනය කල නොහැකි ආර්ථික හා දේශපාලන ගැටලුවලටද නැගී එන සමාජ විරෝධතාවලටද මුහුන දීමට, ධනපති පාලක ප්‍රභූන් මිලිටරි ගැටුම (යුද්ධ)  මගක් ලෙස දකිනු ඇත. එනම්, උමතු ස්වෝත්තමවාදී දේශප්‍රේමයේත් සහ “යුද්ධයේ අවශ්‍යතාවයක්” ලෙස යුක්තියුක්ත කරන ලද රාජ්‍ය මර්දනයේත් සංකලනයක්, පන්ති අරගලය මැඩපැවැත්වීමේත්, “ජාතික සමගිය” ප්‍රවර්ධනය කිරීමේත් ක්‍රමයක් ලෙස ලෙස යොදා ගැනීමයි.

ඉන්දියාව මීට උදාහරනයකි. වසංගතයට ඉන්දීය ප්‍රභූ පැලැන්තියේ ව්‍යසනකාරී ප්‍රතිචාරය මගින් - එනම්, ප්‍රමානවත් ලෙස නුසූදානම්ව අගුලු දැමීම; මහා පරිමාන පරීක්ෂන වැනි මූලික සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කිරීම; සහ දැන් “ආර්ථිකය යලි විවෘත කිරීම” - මිලියන 120 කගේ රැකියා අහිමිවීමටත් සහ කෝවිඩ්-19 ආසාදන වර්ධන වේගය ලෝකයේ ඉහලම අගයක් සහිත රටක් බවට පත් වීමටත් තුඩු දුනි. ඊයේ, ඉන්දියානු මාධ්‍ය මියගිය ඉන්දීය සොල්දාදුවන් 20 දෙනා ගැන ශෝක ප්‍රකාශ නිකුත් කිරීමට කැපවී සිටියදී, කෝවිඩ්-19 මරන සංඛ්‍යාව නිල වශයෙන් 2,003 කින් හෝ සියයට 20 කට වඩා වැඩි විය.

අපකීර්තියට පත් සහ දුස්සහයට හවුල් විරුද්ධ පක්ෂවල වාසිය ලබා ගනිමින් මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය සමාජ විරෝධය මග හැරවීමටත්, ප්‍රතිගාමිත්වය ඇවිලවීමටත් හා කම්කරු පන්තිය බෙදීමටත් පකිස්තානයට එරෙහිව දැඩි ජාතිවාදය, යුදවාදී ජාතිකවාදය සහ සාහසික “සූක්ෂම ප්‍රහාර” විටින් විට භාවිතා කර ඇත.

එහෙත්, අර්බුද-ග්‍රස්ථ ආන්ඩුවක් සහ පාලක පන්තියක් යුද්ධයට “පෙලඹවීම” පිලිබඳ තර්ජනය ඇමරිකාවට වඩා ප්‍රකට වු  වෙනත් තැනකත් නැත. ඇමරිකානු අධිරාජ්‍යවාදය අද මෙහෙයවනු ලබන්නේ ෆැසිස්ට් මනසක් ඇති කතිපයාධිකාරියක් සහ ඔලමොට්ටල ඒකාධිපතියෙකු වනු ඇත්තකු මගින් වන අතර, එහි දේශපාලන ප්‍රභූව තමන් සමඟම යුද්ධයක පැටලී සිටී, එහි දැවැන්ත මිලිටරිය එහි ප්‍රතිවාදීන්ට වඩා ඉතිරිව ඇති එකම ශක්තිය ලෙස පවතින අතර, අවසාන හා වඩාත්ම වැදගත් ලෙස එය කම්කරු පන්තියේ සටන්කාමී විරුද්ධත්වයට වඩ වඩාත් මුහුන දෙයි.

ගෝලීය ධනේශ්වර අර්බුදය තීව්‍ර වීම සහ පන්ති අරගලය යුද්ධයට එරෙහි අරගලයට තව තවත් හදිසි අවශ්‍යතාවයක් ලබා දෙයි. යුද්ධය නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි. එහෙත් මෙයට අවශ්‍ය වන්නේ එහි අරගලවල වඩ වඩාත් ගෝලීය ස්වභාවය සවිඥානික මූලෝපායක් බවට පත්වීමත්, කම්කරුවන්ගේ බලය සහ සමාජවාදය සඳහා වන අරගලයේ ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය බලමුලු ගැන්වීමත්ය. මෙම අවබෝධය ඇතිව කම්කරු පන්තිය සන්නද්ධ කිරීමේ සටනට අප හා එක්වන ලෙස අපි සියලු ලෝසවෙඅ පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

 

Loading