උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පුද්ගලික අංශයේ ගුරුවරුන් යොදා ගැනීමේ තීරනයට එරෙහි වෙමින් ලංගුස කම්කරු පන්ති එකමුතුවට වලකපයි

උසස්පෙල සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඇතුලු ආන්ඩුවේ තරග විභාග වල උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ගුරුවරු කැඳවීම තීරනය කර ඇති බවට විභාග කොමසාරිස් සනත් පූජිත විසින් ජුනි 15 වනදා කල නිවේදනයට විරෝධය පලකරමින්  ලංකා ගුරු සංගමයේ (ලංගුස) ලේකම් ජෝසප් ස්ටැලින් නිවේදනයක් නිකුත් කර තිබේ.

“රජයේ පාසල්වල ගුරුවරු බඳවා ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාග පවත්වා විධිමත් ක්‍රමවේදයක් යටතේ” බවත්, “එවැනි විධිමත් ආකාරයකට බඳවා නොගන්නා ගුරුවරු කන්ඩායමක් උත්තර පත්‍ර ඇගයීම් කටයුතුවලට යොදා ගැනීමෙන් සිසුන්ට බරපතල අසාධාරනයක් සිදු විය හැකි” බවත් එහි සඳහන්ය.

“ආන්ඩුවේ තීරනය ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල ක්‍රියාකාරිත්වය රට තුල නීතිගත කරමින් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට මුලපිරීමක්” බවත්, “එය හකුලා නොගතහොත් අනෙකුත් ගුරු සංගම්ද ඒකාබද්ධ කරගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්න වන” බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කෙරී ඇත.

ලංකාවේ සීමිතව හෝ පැවති නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ධනපති ආන්ඩු “මුලපුරා” දශක ගනනාවක් ගතව ඇති අතර, දැන් එය විනාශයේ මාවතේ බොහෝ දුර ගෙනගොස්, මරනය අභිමුවට පමුනුවා ඇත. එම තතු තුල, “නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට මුලපිරීමක්” ලෙස මෙම තීරනය හැඳින්වීමමත්, සිදුකොට ඇති විනාශය දැනුවත්ව වසන් කිරීමකි.

ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන් මත මෙහෙයවෙන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන්ට අනුව නිදහස් අධ්‍යාපනයේ ඉතිරිපහදු ද වහා විනාශ කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට බලකෙරී ඇත. අධ්‍යාපනය පමනක් නොව සෞඛ්‍යය ද ඇතුලු සමස්ත ශුභසාධන ක්ෂේත්‍රයම අතුගා දැමීමට නියමිතය. 

කොරෝනා වසංගතයෙන් ගැඔුරු කෙරී ඇති ලෝක ආර්ථික අර්බුදය විසින්, රාජපක්ෂ ආන්ඩුව, එය මුහුන දී සිටි ගැඹුරු මුල්‍ය අර්බුදයේ පතුලටම ගිල්වා ඇති තතු යටතේ, ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජීවන කොන්දේසි වලට පෙරනොවූවිරූ ප්‍රහාරයන් එල්ල කරමින් ද, පුද්ගලික සහ රාජ්‍ය යන දෙඅංශයන්හි ම දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහෝසි කරමින් ද, අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම එය දැනටමත් අරඹා ඇත. 

අවශ්‍ය වන්නේ, ප්‍රහාරයේ මූලය වන ධනපති ක්‍රමයට සහ එම ප්‍රහාර ක්‍රියාවට නංවන ධනපති ආන්ඩුවට එරෙහිව, රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම කම්කරුවන් ඒකාබද්ධ කරගත්, ස්වාධීන දේශපාලන අරගලයකි.

ලංගුස නිවේදනය, එවන් පන්ති එකමුතුවකට එරෙහිව, රජයේ සහ පෞද්ගලික අංශයේ ගුරුවරුන් අතර විසකුරු භේදකරනයක් ඇවිලවීම අරමුනුකර ගත්තකි. 

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල  බඳවාගැනීමේ පටිපාටිය අනුව ගුරුවරුන් වෙන්කර දැක්වීමට ගුරු සංගම් නායකයා යත්න දරයි. නිසි අධ්‍යාපන සුදුසුකම් සම්පූර්න කර ඇති ලංකාවේ දහස් ගනන් තරුන තරුනියෝ විරැකියාවෙන් මිරිකී සිටිති. සොච්චම් වැටුප් ලබමින් පෞද්ගලික පාසල්වල සේවය කිරීමට බොහොමයක් උපාධිධාරීන්ට බලකෙරී ඇත. තම කුටුම්භයන් හි මුහුනදෙන ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රජයේ පාසල්වලින් විශ්‍රාම යාමෙන් පසුව පවා ඇතැම් ගුරුවරු පෞද්ගලික අංශයේ අධ්‍යාපන ආයතන වල සේවය කරති. 

මේ හා සමාන ප්‍රශ්න ගැටලු ගොන්නකට මුහුනදී සිටින රජයේ පාසල් ගුරුවරුන් සහ පෞද්ගලික අංශයේ ගුරුවරුන් ඇතුලු සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තුලම පවත්නා සියලු ගැටලු ධනපති කප්පාදුවේ ප්‍රතිඵලයන් වන අතර, ඊට එරෙහිව සටන් කිරීමේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කම්කරුවන්ගේ එකමුතුව අතිමූලික අවශ්‍යතාවයක් ලෙස පවතියි. වෘත්තීය සමිති කම්කරු පන්තියේ එවන් එකමුතුවට අශමනීය ලෙස සතුරු බව ලගුසේස නිවේදනයෙන් යලිත් සනාථ කෙරී ඇත.

තමන් මුහුන දෙන ගැටලු වල පවත්නා පොදුභාවය වටහා ගනිමින් සෑම අංශයකම කම්කරුවන් ඒකාබද්ධ අරගලයකට ප්‍රවිෂ්ට වනු ඇතැයි ද, ඒ හරහා ඔවුන් වෘත්තීය සමිතිවල ග්‍රහනයෙන් ගැලවී ධනපති පන්ති පාලනයට එරෙහිව ස්වාධීනව සටන් වදිනු ඇතැයිද සමිති නායකයෝ බියට පත්ව සිටිති.  කම්කරුවන් බෙදීම සඳහා ඔවුන් පෙරට පනින්නේ එබැවිනි.   

ධනපති ආන්ඩුවල අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ගුරුවරුන්ගේ අරගල පාවාදීමේ ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටුකර ඇති ලංගුස “නිදහස් අධ්‍යාපනයේ ආරක්ෂකයින්”ලෙස පෙනී සිටීමට දරන මෙම උත්සාහය ප්‍රෝඩාකාරීය. ගුරුවරුන්ගේ අරගල ආපසු හරවමින් ධනපති ආන්ඩුවලට  කප්පාදුව දිගින් දිගටම කරගෙන යාමට අවකාශ සැලසීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීය සමිති චෝදනා ලබයි.

ආන්ඩුවේ පාසල් ගුරුවරුන් පසුගිය කාලය තුල තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙරට එද්දී ඔවුන් වෘත්තීය සමිති මට්ටමින් භේදකරවා වෙන වනම විරෝධතා වලට සම්බන්ධ කරවීමට තරම් පරිහානිගත අන්තයන්ට සේන්දු වූ මෙම සමිති නායකයන් මෙවර පෞද්ගලික අංශයේ ගුරුවරුන් පිලිබඳ සතුරු ආකල්පයක් ගනිමින් තම ප්‍රතිගාමීත්වය වඩාත් හෙලිදරව් කර ඇත.

ලංකාව තුල ධනපති ක්‍රමයේ සිදුවූ ප්‍රසාරනය සහ පශ්චාත් යුදකාලීන උත්පාතයේ බලපෑම යටතේ වඩාත් අධ්‍යාපනික ශ්‍රම බලකායක අවශ්‍යතාව පැන නැගීමත්, අධ්‍යාපන අයිතිය දිනාගැනීම සඳහා ලංකාවේ කම්කරු පන්තිය ගෙනගිය අරගලයත් හේතුවෙන්, මෙරට තුල සීමිතව හෝ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මකවීම ඇරඹුනි. 

එහෙත් වර්තමාන ලෝක පර්යාය තුල තත්වය ඊට හාත්පසින් වෙනස්ය. 2008 ගෝලීය මුල්‍ය අර්බුදයෙන් පසු සීඝ්‍රයෙන් ගැඹුරු වූ ධනපති ක්‍රමයේ අර්බුදයට ප්‍රතිචාරී ලෙසින් අධ්‍යාපනය සහ සෞඛ්‍යය ඇතුලු සුබසාධන සේවා සමතලා කිරීම කරා පාලක පන්තීන් හැරී ඇත. මෙම පද්ධතිගත අර්බුදය ප්‍රතික්ෂේප කරමින්, ධනපති ආන්ඩුවලට බලපෑම් යෙදීම හරහා නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගත හැකිය යන ප්‍රලාපය බංකොලොත් වෘත්තීය සමිතිවාදියෝ තොරොම්බල් කරති.

අධ්‍යාපන අයිතීන් ඇතුලු සියලු සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂා කරගත හැකිවන්නේ, ධනපති ලාභ පද්ධතිය පෙරලා දැමීම එල්ලකරගත්, ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත දියත් කෙරෙන  කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයකින් පමනි.  

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් දියත් කරනු ලබන අධ්‍යාපන සේවකයන්ට සසප පනිවිඩ පුවත්හසුන එම ඒකාබද්ධතාවය වර්ධනය කරගැනීමටත්, සමාජවාදී ඉදිරිදර්ශනයෙන් සන්නද්ධ වීමටත් කම්කරුවන්ට මගපෙන්වනු ඇත. ඊට දායක වන ලෙසත්, එයට ඔබේ අදහස් හා පුවත් යොමු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.  

Loading