ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව ඩැහැගනිමින් ජනාධිපති රාජපක්ෂ ආඥාදායක සැලසුම් තීව්ර කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරන කොමිසම (මැකො) විසින් මහ මැතිවරනය පැවැත්වීමේ දින නියම කිරීම යන කරුනු  අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුනු නඩු විභාග කිරීම,  ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරනය, මේ මස මුල දී ප්‍රතික්ෂේප කලේය. ශ්‍රේෂ්ඨාධිකරනයේ මෙම තීරනය ආඥාදායක පාලනයක් තහවුරු කරගැනීමට   ජනාධිපතිවරයා ගෙනයන වැඩපිලිවෙලට කොල එලිය දැමීමකි.  

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු පස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ල පෙත්සම් පිලිබඳ පූර්න නඩු විභාගයකට අවසර දීම ඒකමතිකව ප්‍රතික්ෂේප කලේ ඊට කිසිදු හේතුවක් ඉදිරිපත් නොකරමිනි. එම තීරනය ප්‍රකාශ කලේ දින දහයක අඛන්ඩ නඩු විභාගයකින් පසුව ය. මෙසේ හේතු නොදැක්වීම, නඩුවේ ඉදිරියට යාමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කෙරෙන නඩු බහුතරයක දී  ශ්‍රේෂ්ඨාධිකරනය විසින් අනුගමනය කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි.

අධිකරනය විසින් මූලිකව සලකා බැලුනේ, එක්සත් ජාතික පක්ෂයෙන් (යූඑන්පී)  කැඩී වෙන්වූ කන්ඩායම වන සමගි ජන බලවේගයේ (සජබ) මහලේකම්, සිංහල ස්වෝත්තමවාදී ජාතික හෙල උරුමයේ (ජාහෙඋ) නායක හා පැවති එජාප ආන්ඩුවේ ඇමතිවරයෙකු ද වූ චම්පික රනවක,  තවත් පුද්ගලයන් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇතුලු අට දෙනෙකු ඉදිරිපත් කල පෙත්සම් ය.  

මැකො හි සභාපති සහ අනෙකුත් සාමාජිකයන්, ජනාධිපති ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති යන අය පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුනි.

පෙත්සම් ගොනු කිරීමෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නන් ලෙස පෙනී සිටීමට සජබ සහ ජාහෙඋ  දරන ලද උත්සාහය මුලුමනින්ම ව්‍යාජ ය. මෙම පක්ෂ දෙකම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යටපත් කර කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කල අතීත පාලන තන්ත්‍රයන්හි හිටපු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් ගෙන් සමන්විත ය.

කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාව වන විට, සජබ නායක සජිත් ප්‍රේමදාස සහ රනවක, එජප නායක රනිල් වික්‍රමසිංහ, මුස්ලිම් හා දමිල පක්ෂ නායකයන් සමග එක්ව ජනාධිපතිට ලියමින් පාර්ලිමේන්තුව නැවත කැඳවන⁣ ලෙස ආයාචනය කලේ, රාජපක්ෂගේ ව්‍යවස්ථා විරෝධි කටයුතු නීත්‍යානුකූල කර දීම සඳහා, තම “වගකීම් සහගත සහයෝගය” ඔහුට ලබා දෙන බවට පොරොන්දුවෙමිනි. මෙය, මිලිටරීකරන සහ ඒකාධිපති පාලනයක් තහවුරු කරගැනීමට රාජපක්ෂ ගෙනයමින් සිටින වැඩපිලිවෙලට සහයෝගය ප්‍රකාශ කිරීමකි.

පෙත්සම්කරුවන්ගේ සැබෑ පරමාර්ථය වූයේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ අධිකරන පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමේ කොන්දේසි තුල මහජන අතෘප්තිය වෙනතකට යොමු කර වැඩෙන පන්ති පිපිරීම් පසුපසට තල්ලු කර හැරීම යි.

අටවැනි පාර්ලිමේන්තුවේ ආයු කාලය අවසන් වීමට මාස හයකට පෙර, මාර්තු 2 වන දින එය විසුරුවා හැරීමට රාජපක්ෂ විසින් ව්‍යවස්ථානුකූලව තමන්ට ලැබුනු පලමු අවස්ථාවම ප්‍රයෝජනයට ගත්තේය.  විධායක ජනාධිපතිට ආඥාදායක බලතල භාවිතා කිරීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පැනවී ඇති නීතිමය බාධක අහෝසි කරමින් ව්‍යවස්ථාව නැවත ලිවීම පිනිස සිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ට තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම තහවුරු කරගැනීමේ එල්ලය ඇතිව ඉක්මන් මහ මැතිවරනයක් පැවැත්වීමේ අභිප්‍රාය ඔහු නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ. කෙසේ වතුදු, රාජපක්ෂ ක්‍රියා කරමින් සිටින්නේ, පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාව නොතකා අත්තනෝමතික වය.  

මැතිවරනය අප්‍රේල් 25 වන දිනටත්, නවවන පාර්ලිමේන්තුව මැයි 14 වනදා කැඳවීමටත් නියමිතව පැවතිනි. වසංගතය රට තුල මතුවෙමින් තිබියදී, එය වැලැක්වීමේ පියවරක් වශයෙන් අගුලු දැමීම් පැනවීමට ඉල්ලීම් ඉදිරිපත් කෙරුනද, මැකො විසින් දේශපාලන පක්ෂවල මැතිවරන නාමයෝජනා ලබාගෙන අවසන් කරන ලද මාර්තු 19 දින තෙක් රාජපක්ෂ දිවයින පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කලේය.  

එක් මතභේදාත්මක කරුනක් වූයේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින් ජුනි 2 න් ඔබ්බට මැතිවරනය කල් දැමීමයි.  ශ්‍රී ලංකා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය අනුව මහ මැතිවරන පවත්වා, පාර්ලිමේන්තුව විසුරුවා හරින දින සිට මාස තුනක් ඇතුලත නව පාර්ලිමේන්තුව රැස්විය යුතුය.  පාර්ලිමේන්තුව නැවත කැඳවීම සඳහා කෙරුනු ඉල්ලීම් ද, නව මැතිවරන දිනයක් තීරනය කිරිම පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස මැකො විසින් කරන ලද ඉල්ලීම ද රාජපක්ෂය තරයේ ප්‍රතික්ෂේප කලේය.

පෙත්සම්කරුවන් තර්ක කලේ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නියමිත කාලසීමාවට පෙර පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වීමට රජය අපොහොසත් වී ඇති හෙයින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති ප‍්‍රකාශය අහෝසි වී ඇති බවයි.  ඊට අදාල අධිකරන ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා තිබිනි. මෙහි නෛතික ප්‍රතිඵලය නම් පැවති පාර්ලිමේන්තුව විසුරුවා නොහල සේ සලකා නැවත අසුන් ගැනීමට හැකි වීමයි.

නව දිනය පිලිබඳ මැතිවරන කොමසාරිස්වරයාගේ නිවේදනය ව්‍යවස්ථා විරෝධී යැයි ද  තර්ක කල පෙත්සම්කරුවෝ, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් ද, නව දිනය ප්‍රකාශයට පත් කරන ගැසට් පත්‍රය අවලංගු කරන නියෝගයක් ද ඉල්ලා සිටියෝය.

වසංගතය හේතුවෙන්, මැතිවරනයක් පැවැත්වීම සඳහා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා කාලසීමාව සපුරාලීමට ඇති නොහැකියාව සැලකිල්ලට ගෙන පෙත්සම්කරුවන් කියා සිටියේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (7) ව්‍යවස්ථාව යටතේ තම බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු වු  බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නිලධාරියා ඊට ප්‍රතිචාර දක්වමින්  කියා සිටියේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත  “අභිමතානුසාරී බලය” ක්‍රියාත්මක කරන ලෙස කිසිවෙකුටත් - අධිකරනය ද අඟවමින්  -  උපදෙස් දිය නොහැකි බවයි. මින් ප්‍රකාශයට පත්වන්නේ ව්‍යවස්ථාව ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයකට අර්ථකථනය කල හැකි ලියවිල්ලක් ය යන්න පමනක් නොව, ප්‍රතිගාමී රාජ්‍ය නිලධාරීන් ඕනෑම ප්‍රජාතන්ත්‍ර විරෝධී අර්ථ නිරූපනයකට සූදානම් බවය. 

දීර්ඝ නඩු විභාගයෙන් පසුව කිසිදු නීතිමය කාරනයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනය තීන්දු කලේ නැත.  තාක්‍ෂනික කරුනු කිහිපයක් සම්බන්ධව වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතා කිහිපයක් එය ප්‍රතික්ෂේප කලේය.  නඩු ඉදිරියට යාමට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ දී අධිකරනය විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවත්නා පරස්පරයක් පිලිගෙන ඇත: එනම් නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු මාස තුනක ව්‍යවස්ථාමය කාලසීමාව, පාර්ලිමේන්තුව විසුරුවා හරින ජනාධිපති ප්‍රකාශයක වලංගුභාවය සඳහා පූර්ව කොන්දේසියක් නොවන බව යි.

අධිකරන තීන්දුව, ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් නව පාර්ලිමේන්තුව රැස්විය යුතු ලෙස නියම කර ඇති කාල සීමාවෙන් ඔබ්බට ද, ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් මගින් අධීක්ෂනය කිරීමකින් තොරව, රාජපක්ෂ ගෙන යාමට නියමිත විධායක පාලනයට නීත්‍යානුකූලභාවයක් ලබා දෙයි.  රාජ්‍ය නායකයා මෙන්ම, මිලිටරියේ සහ ආන්ඩුවේ ප්‍රධානියා වශයෙන් රාජපක්ෂගේ අට මසක පාලනය,  නීතියේ ආධිපත්‍යය අවඥාසහගත ලෙස නොසලකා හරිමින්,  ඒකාධිපති හා ව්‍යවස්ථා විරෝධී ලෙස ගෙන යන ලද්දකි. දිවයිනේ අධිකරනය, ව්‍යවස්ථාදායකය හා රාජ්‍ය නිලධරය  විධායකයට “බාධාකාරී නොවිය යුතු” බව ජනාධිපති අවධාරනය කර තිබේ.

ජනාධිපතිගේ වැඩිමහල් සොහොයුරා වන අගමැති මහින්ද රාජපක්ෂ, අධිකරන තීන්දුව වහාම ඩැහැගත්තේ ඉන්  ආන්ඩුවේ ආස්ථානය සාධාරනීකරනය කර ඇති බව ප්‍රකාශ කරමිනි.

"මෙම තීරනයෙන් අදහස් කෙරුනේ යුක්තිය ඉටුවී ඇති බවත්, නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙමින් පවතින බවත්" යැයි අගමැති මාධ්‍යය ඉදිරියේ කයිවාරු ගැසුවේය. තම රජය කිසි විටෙකත් මැතිවරනය කල් නොදැමූ බවත් එය ප්‍රමාද කිරීමට අවශ්‍ය වූයේ විපක්ෂයට බවත් ඔහු පැවසීය.  ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තෙකු ලෙස මහින්ද රාජපක්ෂගේ ව්‍යාජ ප්‍රකාශ විපක්ෂයේ කියාපෑම් මෙන් ම නරුම ය. ඔහුගේ පෙර රජය කුරිරු යුද්ධයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යටපත් කිරීම හේතුවෙන් අපකීර්තියට පත් විය. ශ්‍රීලංපොපෙට පාර්ලිමේන්තු බහුතරයක් ලැබුනහොත්, එය ද යොදා ගැනෙනු ඇත්තේ ජනාධිපති ආඥාදායකත්වයක් ශක්තිමත් කිරීම සඳහා ය.

ජනාධිපති විසින් ඇඳිරි නීතිය පැනවීම සහ ජනාධිපති මාධ්‍ය අංශ නිවේදන මගින් අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශ කිරීම නීති විරෝධී ය. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදන මගින් ඇඳිරි නීතිය පැනවීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව, බෙලහීන, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවා ජුනි 13 දා ප්‍රකාශයක් මගින් පිලිගෙන තිබේ.

ඔහු පත් වූ දා සිට, රාජපක්ෂ තම බලතල උපයෝගී කරගනිමින් යුද අපරාධ චෝදනා ලබා ඇති ඔහුගේම සහෝදරයන් සහ හමුදා නිලධාරීන් ඇතුලු ඥාති මිත්‍රාදීන්ගේ සමීපතම කන්ඩායමක් තුල තම බලය තහවුරු කර ගත්තේ ය. අමාත්‍යාංශවල සහ රජයේ දෙපාර්තමේන්තු වල ඉහල තනතුරු සඳහා විශ්‍රාමික හෝ තනතුරේ සිටින හමුදා නිලධාරීන් පත් කරමින් සිවිල් පරිපාලනය වැඩි වැඩියෙන් මිලිටරීකරනයට ලක් කලේ ය.

විශාල නය අර්බුදයකට හා මුදල් හිඟයට හිර වූ රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මගින් නිර්දේශිත කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කරමින් සිටියේ පාර්ලිමේන්තු විපක්ෂයේ අනුග්‍රහයෙනි. මේ සියලු ප්‍රහාරයන්ට තැපැල්, පරිපාලන, සෞඛ්‍ය, වතු හා දුම්රිය කම්කරුවන්, තරුනයින් සහ සිසුන් බරපතල විරුද්ධත්වයක් දැක්වීය.

අධිකරන තීන්දුව දුන් දින රාත්‍රියේදී ම තීන්දුවේ සැබෑ අර්ථය පෙන්නුම් කරමින් රාජපක්ෂ විසින් මිලිටරි, බුද්ධි අංශ සහ පොලිස් ප්‍රධානීන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් (පීටීඑෆ්) පිහිටුවමින් ගැසට් දෙකක් නිකුත් කිරීම විශේෂත්වයකි.  ඉන් එක් බලකායක් පිහිටුවා ඇත්තේ “සුරක්ෂිත රටක්, විනයගරුක, ගුනගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම” ට ය. එය සමස්ත සිවිල් සේවය,  කැබිනට් මන්ඩලය සහ පාර්ලිමේන්තුව මිලිටරියට යටත් කරමින් සමාන්තර පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කලේය.  නිර්වචනය නොකල “සමාජ විරෝධී ක්‍රියාකාරකම්” වලක්වා ගැනීමේ මුවාවෙන් කම්කරු පන්තිය, මාධ්‍ය සහ අනෙකුත් “සමාජ කන්ඩායම්” වලට එරෙහිව යාන්ත්‍රනය ක්‍රියාත්මක වනු ඇත. [සබැඳිය: ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මිලිටරි කාර්ය සාධක බලකාය පිහිටුවයි: ආඥාදායකත්වයට තවත් පියවරක්, 2020 ජූනි 9].

වසංගතය නොතකා ආර්ථිකය නැවත විවෘත කර කම්කරුවන්ට වැඩට යාමට බල කර ඇති රාජපක්ෂ, කම්හල් හා සාප්පු හිමියන්ට කම්කරුවන් දොට්ට දැමීම් පිලිබඳව තීරනය කල හැකි බවටත් ශ්‍රම සූරාකෑම වැඩි කිරීම සඳහා අවශ්‍ය නිදහස ලැබෙනු ඇති බවටත් සහතික වී ඇත.  ව්‍යවස්ථා විරෝධී ලෙස සහ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, “සාමය පවත්වා ගැනීම” සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා දිගේලි කිරීම සෑම මසකම දීර්ඝ කෙරෙයි.  

රාජපක්ෂ බලයට ආවේ පෙර පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව දෙපලු කර දැමීමට තුඩුදුන් කම්කරුවන්ගේ අරගල හා සිසුන්ගේ හා ගම්බද ජනයාගේ විරෝධතා වැඩෙමින් පැවති තත්වයක, “ශක්තිමත්, ස්ථාවර ආන්ඩුවක්” හදන බවට මහා ව්‍යාපාරිකයන්ට පොරොන්දුවෙමිනි. ශක්තිමත්, ස්ථාවර ආන්ඩුවක් යන සුත්‍රය ඒකාධිපති පාලනයක් පිලිබඳ සංඥාවකි.

ගෝලීය වසංගතයෙන් අර්බුදය තවත් ඔද්දල්වී ඇති තත්වයක අනාරක්ෂිත සෞඛ්‍ය කොන්දේසි තුල වැඩටයාමට බල කිරීම ද , රැකියා, වැටුප් හා සේවා තත්වයන් රුදුරුලෙස කප්පාදු කර සූරාකෑම උග්‍රකිරීම ද නිසා කම්කරුවන්ගේ බරපතල අරගල පුපුරා  ඒමේ  කොන්දේසි මෝරමින් පවතී. රාජපක්ෂ සූදානම් වන්නේ මේ කම්කරුවන් මතට කඩා පැනීමටයි. මහා ව්‍යාපාරිකයන්ගේ සැලකිය යුතු කන්ඩායමක් ඊට සහයෝගය දෙති.

අධිකරනයේ හැසිරීම කම්කරුවන් වටහා ගතයුත්තේ මෙම තත්වය තුලය. එය. අපක්ෂපාතිත්වයේ සංකේතය, ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් මුරපොල ආදී වසයෙන් ධනපතියන් හා සුලු ධනපති කන්ඩායම් විසින් හඳුන්වනු ලබයි. ගැඹුරුවන දේශපාලන අර්බුදය තුල, ධනපති රාජ්‍ය යන්ත්‍රයේ කොටසක් වන අධිකරනය, එහි සැබෑ භූමිකාව පෙන්නුම් කරමින් කොල එලිය දමා ඇත්තේ රාජපක්ෂ නියෝජනය කරන පාලක පන්තියේ අවශ්‍යතාවටයි.

Loading