ඇමරිකාව වෙලඳ හා ආර්ථික ගැටුම් උත්සන්න කරයි

නික් බීම්ස්
24 ජූනි 2020

මෙම ලිපිය ජූනි 19 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොවිඩ්-19 වසංගතය හේතු‍වෙන්, ලෝක ආර්ථිකය එහි ගැඹුරුම කඩා වැටීමට මුහුනදුන් මහා ආර්ථික අවපාතෙයන් පසුව, වෙලඳ හා ආර්ථික යුද්ධයේදී  තම ප්‍රතිවාදීන්ට නැඟිටීමට  කිසිදු ඉඩක් ලබා නොදෙන බවට ඇමරිකාව සංඥා කර ඇත.

ඇමරිකානු භාන්ඬාගාර ලේකම් ස්ටීවන් මුන්චින්, ප්‍රධාන අන්තර්ජාල හා තාක්ෂන සමාගම් ආවරනය කරන ගෝලීය බදු ක්‍රමයක් පිලිබඳ සාකච්ඡා වලින් ඇමරිකාව ඉවත් වන බව, පසුගිය සිකුරාදා යුරෝපීය රටවල් හතරකට යවන ලද ලිපියක සටහන් කල බව බදාදා හෙලි විය. 

එදිනම ඇමරිකානු වෙලඳ නියෝජිත රොබට් ලයිට්සයිසර් කොන්ග්රස් මන්ඬල සාකච්ඡාවකදී, ලෝක වෙලඳ සංවිධානයට (WTO) එරෙහිව පුලුල් ලෙස කරුනු ඉදිරිපත් කල අතර, වෙලඳ ගනුදෙනු සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් යුරෝපා සංඟමය සමග සිදු නොවන බව සදහන් කලේය.

Trucks haulingසියැටල් හි වරාය දූපතේ පර්යන්තයක නැව් බහාලුම් රැගෙන යන ට්‍රක් රථ, උසට ගොඩගසා ඇති බහාලුම් පහක් අසලින් ධාවනය වේ (ඡායාරූපය ඒ පී ඡායාරූප/ ඉලේන් තොම්සන්)

ඇමරිකානු ගැති ප්‍රන්සය, ඉතාලිය සහ ස්පාඤ්ඤයට ලිපි යවමින් මුන්චින් කියා සිටියේ, ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානය (ඕඊසීඩී) හරහා සංවිධානය කරන ලද ඩිජිටල් සමාගම් සඳහා වන බදු පියවර පිලිබඳ සාකච්ඡා “අවුල් ජාලයක” පැටලී ඇති බවත්, තාවකාලික ගෝලීය බදු නීති වෙනස්කම් වලටවත්  ඇමරිකාවට එකඟ විය නොහැකි  බවත් ය.

ඩිජිටල් සමාගම්වලින් බදු අය කිරීම සඳහා වන තාවකාලික ඕඊසීඩී වැඩපිලිවෙලට එරෙහිව සටන් කරන එකම බලවතා ඇමරිකාව පමනක් බව පසුගිය සතියේ ප්‍රන්ස මුදල් ඇමති බෘනෝ ලී මයර්, කියා සිටියේය.

ගූගල්, ෆේස්බුක් සහ වෙනත් ඩිජිටල් සමාගම් ප්‍රන්සය තුල උපයන ඩොලර් බිලියන ගනනක ආදායම මත බදු පැනවීමට  ගත් පියවරෙන් පසුව ඇමරිකාව විසින් ප්‍රන්ස භාන්ඬ සඳහා තීරුබදු පැනවන බවට තර්ජනය කිරීමත් සමග, මෙම වසර මුලදී සාකච්ඡා සංවිධානය කෙරුනි. බ්‍රිතාන්‍ය ද, ඉතාලිය හා ස්පාඤ්ඤය සමඟ එක්ව මෙවැනිම බදු පැනවීමට යෝජනා කර ඇත.

“වඩා වැදගත් කාරනා” වලින් ඒවා අවධානය වෙනතකට යොමුකරන බවත්, “ලොව පුරා ආන්ඩු කොවිඩ්-19 ප්‍රතිඵල ලෙස ඇතිව තිබෙන ආර්ථික ගැටලු කෙරෙහි පූර්න අවධානය යොමු කල යුතු බවත් පවසමින්, සාකච්ඡාවෙන් ඉවත් වීමේ කඩතුරාව ලෙස වසංගතය භාවිතා කිරීමට උත්සාහ කර ඇති බව මුන්චින්ගේ ලිපිය තුලින් හෙලි වන්නේය.

මේ මස මුලදී ඇමරිකානු වෙලඳ නියෝජිත කාර්යාලය විසින් අන්තර්ජාල වානිජ්‍ය සඳහා වන බදු සම්බන්ධයෙන් පරීක්ෂනයක් ආරම්භ කිරීමට ගත් තීරනයක ප්‍රතිඵලයකි මුන්චින්ගේ ලිපිය .

1974 වෙලඳ පනතේ 301 වන වගන්තිය යටතේ විමර්ශනය දියත් කරන ලද අතර එමඟින්, චීනයට එරෙහිව කලාක් මෙන් තීරුබදු පැනවීමට පරිපාලනයට පුලුල් බලතල ලබා දී ඇත.

 විමර්ශනය නිවේදනය කරමින් ලයිට්සයිසර් කියා සිටියේ, “අපගේ වෙලඳ හවුල්කරුවන් බොහෝ දෙනෙක් අපේ සමාගම් අසාධාරන ලෙස ඉලක්ක කරන බදු යෝජනා ක්‍රම අනුගමනය කරමින් සිටින” බවත්, එවැනි වෙනස්කම් කිරීම් වලට එරෙහිව අපගේ ව්‍යාපාර සහ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා සුදුසු සියලු ක්‍රියාමාර්ග ගැනීමට ඇමරිකාව සූදානමින් සිටින අතර ඒ සදහා ජනාධිපති ට්‍රම්ප් ගේ අවධානය ද යොමුව ඇති බවයි.

මුන්චින්ගේ ලිපියෙන් තර්ජනය යලි පනගන්වා තිබුනි..

“ඇමරිකාව ඩිජිටල් සේවා බදු සහ ඒ හා සමාන ඒකපාර්ශවික පියවරයන්ට විරුද්ධ ය. අප නැවත නැවතත් පවසා ඇති පරිදි, රටවල් එවැනි බදු අය කිරීමට හෝ සම්මත කර ගැනීමට පියවර ගන්නේ නම්, ඇමරිකාව ඊට සුදුසු පියවර ගනු ඇත”යයි ඔහු පවසා තිබුනි.

ට්‍රම්ප් පරිපාලනය විසින් වෙලඳ යුද්ධය තීව්‍ර කිරීම, ඩිජිටල් බදුකරනයෙන් ඔබ්බට යන්නක් බව මන්ත්‍රී මන්ඬල උපායමාර්ග කමිටුවට ලයිට්සයිසර් දුන් සාක්ෂියෙන් පැහැදිලි විය. ලෝක වෙලඳ සංවිධානය (WTO) යනු “ඇමරිකාව අසාර්ථක කරවූ සහ ජාත්‍යන්තර වෙලඳ පද්ධතිය අසමත් කරවූ” අවුල් ජාලයක් බව ඔහු පැවසීය.

ලෝක වෙලඳ සංවිධානයේ වත්මන් ප්‍රධානී රොබර්ටෝ අසෙවාඩෝ, ධුරකාලය තවත් වසරක් ඉදිරියට තිබියදී ඉල්ලා අස්වන බව පසුගිය මාසයේ නිවේදනය කිරීමෙන් පසු, එය නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සොයා ගැනීමට කටයුතු කරමින් සිටියි.

නව ප්‍රධානියාට ලෝක වෙලඳ සංවිධානයේ “මූලික ප්‍රතිසංස්කරන” සඳහා බල කල යුතු බවත් චීනයට එරෙහිව පියවර ගැනීමට ඔහු සූදානම් විය යුතු බවත් ලයිට්සයිසර් පැවසුවේය.

“අති විශාල ආර්ථික බලයක් සහිත රාජ්‍යයකට වර්තමාන ලෝක වෙලඳ සංවිධානයේ නීතිරීතිවලට අනුගත විය නොහැකි වීමේ  මූලික ගැටලුව තේරුම් ගන්නා අධ්‍යක්ෂ ජනරාල්වරයකු අපට අවශ්‍ය යැයි මම සිතමි.” ඕනෑම අපේක්ෂකයෙකු, ඔහුගේ ඉතිහාසය තුල  “ඇමරිකානු විරෝධී කසයක්” ප්‍රදර්ශනය කර ඇත්නම් ඔහුගේ පත්වීම අවහිර කිරීම සඳහා “නිෂේධ බලය භාවිත වනු ඇත ” යයි ඔහු පැවසීය.

තර්ජනය නිෂ්ඵල නොවේ.  WTO හි අභියාචනා මන්ඬලය, එහි ආරවුල් විසඳීමේ ක්‍රියා පටිපාටියේ ඉහලම අධිකාරිය වන අතර, එහි විශ්‍රාම ගිය අය වෙනුවට නව විනිසුරුවන් පත් කිරීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පසුගිය වසර අවසානයේ සිට එය අක්‍රීය වී ඇත.

ලයිට්සයිසර් බදාදා සිය ප්‍රකාශයෙන් පැහැදිලි කලේ, ඇමරිකාවට තම ගමන් මාර්ගය වෙනස් කිරීමේ අදහසක් නොමැති බවයි. “එය නැවත කිසි දිනක ක්‍රියාත්මක නොවන්නේ නම්, එය ක්‍රියාත්මක නොවන එක හොඳ යැයි මම සිතමි,” ඔහු පැවසීය.

ලයිට්සයිසර් ද ඩිජිටල් බදු ප්‍රශ්නය පිලිබඳව අදහස් දැක්වීය. “විවිධ රටවල් තම ආදායම් ඉහල නැංවාගැනීමට ඇති පහසුම ක්‍රමය ලෙස  වෙනත් රටකට අයත් සමාගම්වලින් බදු අය කිරීමට තීරනය කරයි. ඒ අපේ සමාගම් වලිනි” යනුවෙන් ඔහු පැවසීය.

මන්ත්‍රී මන්ඬල උපායමාර්ග කමිටුවේ ඉහල පෙලේ රිපබ්ලිකන් පක්ෂ සාමාජික ජාතික කෙවින් බ්‍රැඩිද ලයිට්සයිසර් ගත් ආස්ථානයම ගනිමින් ප්‍රකාශ කලේ, මෙය “හුදෙක් සාධාරනත්වය පිලිබද ප්‍රශ්නයක් නොව, වෙනත් රටවල් විසින් අපගේ බදු පදනම අඩපන කිරීම” පිලිබඳ ප්‍රශ්නයකි යනුවෙනි.

චීනය සමඟ වෙලඳ ගනුදෙනුවේ “පලමු අදියරේදී” බීජිනය ජනවාරියේ අත්සන් කල වෙලඳ ගිවිසුම මගින්, තවත් ඩොලර් බිලියන 200 ක් වටිනා ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමට එකඟ වූ අතර, කොවිඩ් වසංගතය නොතිබුනේ නම් සියල්ල හොඳින් සිදු වීමට ඉඩ තිබුනි. “ඔවුන් ගිවිසගත් ආකාරයට එය ක්‍රියාත්මක කරනු ඇති බව පෙනීගොස් තිබෙන බව” ලයිට්සයිසර් කමිටුවට දැන්වීය.

ඔහුගේ ප්‍රකාශය තුල ප්‍රධාන අවධානය යොමු වූයේ, ඇමරිකාව විසින් ඉල්ලා සිටින යුරෝපය සමඟ සබඳතා, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය තම වෙලඳපල ඇමරිකානු කෘෂි නිෂ්පාදන සඳහා විවෘත කරන වෙලඳ ගිවිසුමක් ඇති කර ගැනීම වෙතයි.

ට්‍රම්ප් සහ යුරෝපීය කොමිෂන් සභාවේ හිටපු සභාපති ජීන් ක්ලෝඩ් ජුන්කර් අතර 2018 ජූලි මාසයේදී ඇති කරගත් ගිවිසුමට කෘෂිකර්මාන්තය ඇතුලත් නොවූ බව යුරෝපා සංගම් නියෝජිතයින් තරයේ කියා සිටි හෙයින් සාකච්ඡා ආරම්භයේ සිටම මතභේදාත්මක විය.  යුරෝපීය මෝටර් රථ ආනයන තීරු බදු පැනවීමට තර්ජනය කිරීමෙන් පසුව, තමා සාකච්ඡා සඳහා අවස්ථාව සලසා ගත් බවට ට්‍රම්ප් විවෘතවම කයිවාරු ගැසීය.

 කමිටු සාමාජිකයන් විසින් යුරෝපා සංගමය සහ ඇමරිකාව සමඟ කෙරෙන සාකච්ඡාවල තත්ත්වය පිලිබඳව අදහස් දක්වන ලෙස පැවසූ විට ලයිට්සයිසර්,  කෘෂිකාර්මික ගැටලු සම්බන්ධයෙන් දුෂ්කරතා පවතින බව කීවේය.

“ඇමරිකානු ආහාර අනාරක්ෂිත බවට පොදුවේ යුරෝපය තුල හැඟීමක් ඇති අතර, බ්‍රිතාන්‍ය තුල එය යුරෝපයේ තරම් ගැඹුරට විහිද නැතැයි මම සිතමි. මම හිතන්නේ එය සියුම් ලෙස වසන ලද ආරක්ෂනවාදයයි. මම බොහෝ විට කියා ඇත්තේ, ආරක්ෂනවාදය වැනි ප්‍රමිති භාවිතා කිරීම යුරෝපයේ උසස් කලාවක් දක්වා ඉහල ගොස් ඇති බවයි. ”

සාකච්ඡාවල තත්ත්වය “කෙටිකාලීනව යහපත් නොවන” බව පැවසූ ඔහු, “කෘෂිකර්මාන්තයට සාධාරන ප්‍රවේශයක්” පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇමරිකාව “සම්මුතියකට නොයන” බවට අනතුරු ඇඟවූ අතර, තීරුබදු ආයුධය භාවිත කිරීමට පරිපාලනය සූදානම් බව පැවසීය.

“ඇමරිකානු ව්‍යාපාර සඳහා සාධාරන කොටසක් ලබා ගැනීමට නම් ජනාධිපති තීරුබදු යොදාගනු ඇත,” ඔහු පැවසීය.

කොරෝනා වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල භාවිත කරන චීනයේ නිෂ්පාදිත වෛද්‍ය උපකරන සහ ආරක්ෂිත ආම්පන්න සඳහා තීරුබදු පැනවීම සම්බන්ධයෙන් ද ලයිට්සයිසර් සැලකිය යුතු අවධාරනයක් යෙදීය.

මෙම භාන්ඬ සඳහා තීරුබදු පැනවීමෙන්, ඒවා සෑදීම ආරම්භ කිරීමට ඇමරිකානු නිෂ්පාදකයින් දිරිගන්වනු ඇති බවත්, වර්තමාන වසංගතයට මෙන්ම ඊලඟ එකට ද එරෙහිව සටන් කිරීම සඳහා “ඇමරිකාවේ නිෂ්පාදනය කල උපකරන යොදාගත යුතු යයි” තමා දැඩි ලෙස  විශ්වාස කරන බවත් ඔහු පැවසීය.

මෙම පියවර, ට්‍රම්ප් පරිපාලනයේ සහ ඩිමොක්‍රටිකයන්ගේ පුලුල් න්‍යාය පත්‍රයට අනුකූලය. නිෂ්පාදනයේ ප්‍රධාන අංශ නැවත උතුරු ඇමරිකානු මහාද්වීපයට ගෙන එන “ප්‍රතිගෝලීයකරන” පියවර ගැනීමෙන්, ඇමරිකාවට තම ගෝලීය වෙලඳ ප්‍රතිවාදීන් සමග ගැටුම  වඩා වාසිදායක ලෙස ඉදිරියට ගෙන යා හැකිය.