ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියෙන් කැඩෙන ලෙස බෝල්ටන් දක්ෂිනාංශික රිපබ්ලිකානුවන්ගෙන් ඉල්ලයි

 

මෙම ලිපිය 2020 ජූනි 22 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවිනි.

ජෝන් බෝල්ටන්ගේ The Room Where It Happened යන ධවල මන්දිර මතක සටහන් පිලිබඳ පොත, සෙනසුරාදා ප්‍රකාශයට පත් කිරීම නතර කිරීම, ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ට්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකගේ කෘතිය, අද පොත් සාප්පු හා පුවත්පත් අලෙවි ස්ථානවල විකිනීමට තැබෙනු ඇත. මෙම පොත යටපත් කිරීමට ට්‍රම්ප් පරිපාලනය දැරූ අසාර්ථක උත්සාහය, කතුවරයාට සහ ඔහුගේ ප්‍රකාශකයාට විශාල ලාභයක් උපයා ගැනීමට මඟ පාදනු ඇතැයි සිතිය හැකිය.

එක්සත් ජනපද දිසා විනිසුරු රොයිස් ලැම්බර්ට්, ධවල මන්දිරයේ අවසන් අවසරයකින් තොරව සිය පොත මුද්‍රනයට යැවීම සම්බන්ධයෙන් බෝල්ටන්  විවේචනය කල අධිකරන දෙපාර්තමේන්තුවේ නීතිඥයින්ගේ  තර්ක වලට යම් එකඟතාවයක් පල කලේය. එහෙත් පොත දැනටමත් මුද්‍රනය කර පුලුල් ලෙස බෙදා හැර ඇති අතර අන්තර්ජාලයෙන් ද ලබා ගත හැකි බැවින් වාරන නියෝගයක් නිකුත් කිරීම ඔහු ප්‍රතික්ෂේප කලේය.

විනිසුරුවරයා යෝජනා කලේ, පොතේ ලාභයෙන් කොටසක් ලබා ගැනීමට උත්සාහ කරන සිවිල් නඩුවකට බෝල්ටන් ගොදුරු විය හැකි බවත් සමහර විට අපරාධ චෝදනා පවා ඔහුට විරුද්ධව එල්ල විය හැකි බවත්ය. “බෝල්ටන්ගේ ඒකපාර්ශ්වික හැසිරීම බරපතල ජාතික ආරක්ෂක ප්‍රශ්න මතු කරන අතර, තහනම් නියෝගයක් සුදුසු පිලියමක් බව ආන්ඩුව විසින් තහවුරු කර නැත” යනුවෙන් ලැම්බර්ට් ලිවීය. “ප්‍රකාශ කිරීමට කිසිසේත්ම අවශ්‍ය නොවන හේතු නිසා, අධිකරනය විසින් රටපුරා අල්ලා ගැනීම් සහ දේශපාලන මතක සටහන් විනාශ කිරීමට නියෝග නොකරනු ඇත.”

 ජෝන්  බෝල්ටන් 2019 ජූනි මාසයේදී ධවල මන්ඳිරය පිටතදී මාධ්‍යකරුවන්ට කථා කරයි, (Official White House Photo by Tia Dufour)

තමා බෝල්ටන්ගේ පොත  ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකුවේ නැති බව ට්‍රම්ප් පැවසීය. එය තමාගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයට එරෙහි පහරක් ලෙස ඔහු හැඳින්වී ය. ඒ ඔහු අකාර්යක්ෂම නූගත් හා බොරුකාරයෙකු ලෙස නිරූපනය කිරීම නිසා ය. බෝල්ටන්ට අනුව, වෙලුම නිදහස් කිරීමේ සාකච්ඡා වල එක් අවස්ථාවක දී ට්‍රම්ප්ගේ නියෝජිතයින් යෝජනා කලේ, නොවැම්බර් 3 මැතිවරනය තෙක් පොත ප්‍රසිද්ධියට පත්කිරීම ප්‍රමාද කරන ලෙස ය.

උතුරු කොරියාවට හා ඉරානයට බෝම්බ හෙලීම වෙනුවෙන් පෙනීසිටි බෝල්ටන් රුදුරු යුදවාදියෙකු වන අතර, පුවත්පත් සමාලෝචන හා කල්තියා පලවූ උද්‍ධෘතයන් තුලින් පොත ට්‍රම්ප්ට එරෙහිව  සතුරු ගුනාංගීකරනයක් බව මහජනතාව දැනගත්දා පටන්, මාධ්‍ය සම්මුඛ සාකච්ඡා මාලාවකට සහභාගී වී තිබේ. මේ වන විටත් ඔහුට ඩොලර් මිලියන 2 ක අත්තිකාරමක් ලබා දී ඇති තතු තුල ඔහු එසේ කර ඇත්තේ, මෙම කෘතිය ප්‍රවර්ධනය කිරීම සහ දක්ෂිනාංශික රිපබ්ලිකානුවන්ගේ තට්ටුවකට බලපෑම් කිරීම සඳහා ය. විශේෂයෙන්ම කොන්ග්‍රසයේ හා සමහරවිට ෆොක්ස් නිව්ස් හා අනෙකුත් රිපබ්ලිකානු ගැති මාධ්‍ය ජාලයන්ටය.

බෝල්ටන්ගේ අදහස් පූර්න ලෙස ඉදිරිපත් කිරීම ඉරිදා රාත්‍රියේ විකාශය වූ ඒබීසී ප්‍රවෘත්ති සේවයේ මාර්තා රඩාට්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී සිදුවිය. ඔහු ප්‍රකාශ කලේ ට්‍රම්ප්ට හෝ බිඩන්ට ජනාධිපති ධුරය සඳහා ඡන්දය නොදෙන බව ය. දෙවන වතාවටත් ට්‍රම්ප් බලයට පත්වීම බලවත්ම තර්ජනය ලෙස ඔහු සලකන බව බෝල්ටන් පැවසීය. 

ට්‍රම්ප්ගේ හිටපු සහායකයා කියා සිටියේ, ට්‍රම්ප් නැවත තේරී පත් වීම “ජනරජයට අනතුරක්” වනු ඇති බවයි. මෙයින් ඔහු අදහස් කලේ මෑත සතිවල දී  ඒකාධිපති පාලනය කෙරෙහි වූ ට්‍රම්ප්ගේ පැහැදිලි හැරීම ගැන නොවේ. විශේෂයෙන් ම, මැයි 25 දා පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කරනු ලැබීමෙන්  පසුව එක්සත් ජනපදය පුරා ඇවිල ගිය පොලිස් ප්‍රචන්ඬත්වයට එරෙහි විරෝධතා මැඬීමට  පූර්න පරිමානයේ මිලිටරි මෙහෙයුමක් දියත් කිරීමට ඔහු ගත් උත්සාහයට එරෙහිව නොවේ.

ඒ වෙනුවට, ඩිමොක්‍රටික් පක්ෂ දෝෂාභියෝගයේදී සිදුවූවාක් මෙන්ම බෝල්ටන් අනතුරු ඇඟවූයේ, ට්‍රම්ප් ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ඒසා දුර්වල කලමනාකරුවෙකු වන අතර රුසියාව සහ චීනය වැනි විරුද්ධවාදීන් ඔහු සමඟ වැඩ කරමින් සිටින බවය. ඔහු රඩ්ඩාස්ට මෙසේ පැවසීය: “කොන්සර්වේටිව් රිපබ්ලිකානුවෙකු ලෙස කතා කිරීම ගැන මා සැලකිලිමත් වන්නේ, ජනාධිපති යලි ජයග්‍රහනය කලහොත්, මැතිවරනය අවසන් වූ වහාම දේශපාලන බලහත්කාරය නැති වී යාම ගැනයි. ඔහුට දාර්ශනික පදනමක් නොමැති නිසා දෙවන වාරයේදී කුමක් සිදුවේදැයි කීමට හැකියාවක් නැත. ”

යුක්‍රේන පරීක්ෂනය මඟින් ඩිමොක්‍රටිකයින්ට එරෙහිව දේශපාලන වාසියක් ලැබීමේ අරමුනෙන්, යුක්‍රේනයට මිලිටරි ආධාර යැවීම අත්හිටුවමින් ට්‍රම්ප් ගෙන තිබූ පියවරට විරුද්ධ ඩිමොක්‍රටික්  දෝෂාභියෝගය සමඟ මෙය බෙහෙවින් සමානකම් දක්වයි. කියෙව්හි දක්ෂිනාංශික, රුසියානු විරෝධී තන්ත්‍රයට කොන්ග්‍රසයේ දෙපාර්ශවය විසින්ම අනුමත කරන ලද ආධාර නිදහස් කිරීම ට්‍රම්ප් විසින් ප්‍රමාද කිරීම,  පසුගිය සැප්තැම්බරයේ බෝල්ටන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතු වූ විදේශ ප්‍රතිපත්ති වෙනස්කම් ගනනාවකින් එකකි.

බිඩෙන් සහ ඔහුගේ පුත්‍රයා ගැන විමර්ශනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට, මිලිටරි ආධාර අත්හිටුවමින් අයුතු බලපෑම් කිරීමට තැත් කල බවට ඩිමොක්‍රටිකයින් නැඟූ චෝදනාව, බෝල්ටන් විසින් සනාථ කරනු ලැබීමෙන් පසුව ඩිමොක්‍රටිකයින්, ට්‍ර ම්ප් බලයෙන් පහකිරීම අරමුනු කරගත් සෙනෙට් නඩු විභාගයේදී ඊට උදව් කිරීමට බෝල්ටන් පෙරට ආ යුතු බව කියා සිටියහ.  

ට්‍රම්ප් රුසියාව සමඟ පැවැත්වූවා යයි කියන සබඳතා සහ යුක්‍රේනයට බලපෑම් කිරීමට ඔහු දැරූ උත්සාහය පිලිබඳව ඩිමොක්‍රටිකයින් අවධානය යොමු කල අතර, “ජාතික අවශ්‍යතාවන්හි”  වියදමින් ට්‍රම්ප් සිය දේශපාලන හා පවුලේ වාසනාව වෙනුවෙන් උදව් ඉල්ලා ඇති රටවල් ලැයිස්තුවට  චීනය සහ තුර්කිය  බෝල්ටන් විසින් එකතු කරනු ලැබීය. ජාතික අවශ්‍යතා යනු, වෝල් වීදියේ සහ පෙන්ටගන්-සීඅයිඒ සංකීර්නයේ ගෝලීය අවශ්‍යතා ය.

සිය පොතේ විස්තාරනය කර ඇති හා ඒබීසී සම්මුඛ සාකච්ඡාවේදී පුනරුච්ඡාරනය කර ඇති පරිදි බෝල්ටන්, ගැලපෙන හා පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නොමැති බවට හා ලොව පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාමේ උපාය මාර්ගයක් නොමැති බවට ට්‍රම්ප්ට චෝදනා කරයි. ඒ වෙනුවට, හිටපු ජාතික ආරක්ෂක උපදේශකවරයාට අනුව, ට්‍රම්ප් මුලුමනින්ම ඔහුගේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා සහ තමාගේ සහ  පවුලේ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමින් සිටී.

ට්‍රම්ප්ට වඩා ස්ථාවර හා සම්ප්‍රධායික දේශපාලඥයෙකු  හා විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ යුදවාදියෙකු ලෙසත්, ජනාධිපතිගේ නොගැලපෙන සහ ස්වයං-පරස්පර ප්‍රකාශ සහ ක්‍රියා ආපසු හැරවීමේ ගෞරවය  හිමිකර නොගත් අයෙකු ලෙසත් ප්‍රකට උප ජනාධිපති මයික් පෙන්ස් වග වර්නනා කිරීමට බෝල්ටන් මනාප විය. තමා හිරිහැර කිරීමට, කඩාකප්පල් කිරීමට සහ සම්පූර්න මිලිටරි ක්‍රියාමාර්ග වලින් වැටලීමට මනාපවූ උතුරු කොරියාව, චීනය, රුසියාව සහ වෙනත් රටවලට අනවශ්‍ය සහන පිරිනැමීම සම්බන්ධයෙන්  ට්‍රම්ප් නෙරපා හැරීම ගැන, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, තමා හා පෙන්ස් සමඟ සැලකිය යුතු එකඟතාවයකට පැමින සිටි බව  බෝල්ටන් පැවසීය.

ඊට වෙනස්ව, විදේශ ප්‍රතිපත්තියේ සැලකිය යුතු කාර්යභාරයක් පවරා ඇති ට්‍රම්ප්ගේ බෑනනුවන් වන ජරෙඩ් කුෂ්නර් කෙරෙහි ඔහු අමනාප වී ඇති බව පෙනේ. විශේෂයෙන්ම, සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂක උපදේශකයෙකු විසින් මෙහෙයවනු ලබන ක්ෂේත්‍රයන් වන ඊස්රායලය හා සව්දි අරාබිය මෙන්ම චීන සබඳකම් ද ඔහුට පවරා තිබීම මුල්කරගෙන. රඩාට්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවේදී බෝල්ටන්, ට්‍රම්ප් නැවත තේරී පත්වූ අවස්ථාවක, දැනට උසාවියේ කටයුතු කරන නාමික ලිබරල්වාදීන් සිව් දෙනාගෙන් එක් අයෙකු ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩුවක් ඇති වුවහොත්, ඒ සඳහා “ලිබරල්” ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු නම් කිරීමට,  කුෂ්නර් විසින් උපදෙස් දිය හැකි බව පවා පවසයි. ඒ අදහස විකාර සහගත නමුත් එහි අරමුන,  දක්ෂිනාංශික ක්‍රිස්තියානි මූලධර්මවාදී කොටස් කුෂ්නර්ගෙන් බිඳවීම යි.

පොතේ හා සම්මුඛ සාකච්ඡා යන දෙකෙහිම වඩාත් කැපී පෙනෙන අංගය වන්නේ, ට්‍රම්ප්ට එරෙහි බෝල්ටන්ගේ ප්‍රහාරවල කුරිරු පෞද්ගලික ස්වභාවයයි. ජනාධිපති ද එලෙසම ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු පැහැදිලිවම අපේක්ෂා කරයි. මෙය අවධාරනය කරන්නේ, බෝල්ටන්ගේ ඉදිරිදර්ශනයෙහි සහ ඔහු කෙරෙහි මාධ්‍ය මෝහනය වීමේ අසාමාන්‍ය ප්‍රතිගාමිත්වයයි. ඕපදූප විධික්‍රම, චරිත ඝාතනය හා කුමන්ත්‍රන, නොඑසේ නම් ලෝසවෙඅ නැවත නැවතත් පැහැදිලි කල මාලිගා කුමන්ත්‍රනයේ විධික්‍රම මඟින් දේශපාලනය තවදුරටත් පරිහානිගත වීමේ තත්වය මෙය නියෝජනය කරයි.

බෝල්ටන් රඩ්ඩාස්ට කෙලින්ම මෙසේ පැවසීය, “මම හිතන්නේ නැහැ ඔහු ධුරයට සුදුසුයි කියලා. මම හිතන්නේ නැහැ ඔහුට එම කාර්යය ඉටු කිරීමේ හැකියාව ඇති බව. මම හිතන්නේ නැහැ ඔහු සම්ප්‍රධායික රිපබ්ලිකානුවෙක් කියලා. නොවැම්බර් මාසයේ මම ඔහුට ඡන්දය දෙන්න යන්නේ නැහැ. නිසැකවම ජෝ බිඩෙන්ට ද ඡන්දය නොදෙනු ඇත. මම ගැලපෙන සම්ප්‍රධායික රිපබ්ලිකානුවෙකු සොයා ගන්නෙමි. ”

“පහතට නැඹුරු සර්පිලයකට රට ආපසු ඇද නොදමන ලද, එක් වරක් ජනාධිපතිවූවෙකු ලෙස [ඉතිහාසය] ඔහු සිහිපත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, එසේ යයි අපගේ සිහියට නොනැඟෙන, බෝල්ටන් රඩාට්ස් වෙත පැවසීය. “අපට එක් වාරයක් යා හැකිය. මට පූර්න විශ්වාසයක් ඇත…  දෙවතාවක් ගැන මම වඩාත් තැවුලට පත් වෙමි. ”