ශ්‍රී ලංකාවේ සසප පලමු මැතිවරන රැලිය ජුනි 28 වන දින අන්තර්ජාලය හරහා පවත්වයි

මෙම ලිපිය ජූනි 24 ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) 2020 පාර්ලිමේන්තු මැතිවරනයේ ප්‍රසිද්ධ රැස්වීම පක්ෂයේ නිල මුහුනු පොත හරහා ජුනි 28 වන ඉරිදා සවස 3 ට සජීවීව විකාශය කරනු ඇත. COVID-19 වසංගතය හේතුවෙන් කිහිප වතාවක් කල් දමා ඇති මෙම මැතිවරෙනය අගෝස්තු 5 වන දින පැවැත්වීමට නියමිතය‍.

කොලඹ, නුවරඑලිය සහ යුද්ධයෙන් විනාශ වූ උතුරේ යාපනය යන දිස්ත්‍රික්ක තුන සඳහා සසප අපේක්ෂකයන් 43 ක් ඉදිරිපත් කොට තරග වදී.

උග්‍ර දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ)    “ශක්තිමත් හා ස්ථාවර” ආන්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සඳහා උද්ඝෝෂනය කරන බව ප්‍රකාශ කර තිබේ. ගෝලීය වසංගතය සමඟ ගැඹුරු වී ඇති කම්කරු පන්තියේ විරෝධය මැඩපැවැත්වීම සඳහා සැලකිය යුතු ප්‍රමානයකට දැනටමත් තහවුරු කොට ගෙන ඇති ජනාධිපති ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීම සඳහා වන ව්‍යවස්ථාව වෙනස් කිරීම එහි අරමුනයි. 

එක්සත් ජාතික පක්ෂය (එජාප),සමගි ජන බලවේගය (සජබ) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ඇතුලු විරුද්ධ පක්ෂවලට ජනාධිපතිගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී න්‍යාය පත්‍රය සමඟ කිසිදු මූලධර්මාත්මක මතභේදයක් ඇත්තේ නැත. ධනේශ්වර දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ජනාධිපතිවරයාට “කොන්දේසි සහිත සහය”  ලබා දෙයි.

ව්‍යාජ වාම නව සමාජ සමාජ පක්ෂය (නසසප) මැතිවරනයට තරඟ වදින්නේ දක්ෂිනාංශික එජාපය සමඟ යි. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ නාමයෙන්, එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි අනෙක් වාම කන්ඩායම් ද කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන ව්‍යාපාරයක් අවහිර කිරීම සඳහා ධනවාදී පක්ෂ සමඟ සන්ධානයක් අපේක්ෂා කරති.

නරක අතට හැරෙන සමාජ අසමානතාවයට,ආඥාදායකත්වයේ තර්ජනයට හා අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිලිවෙල පදනම් කරගෙන, කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට මෙම මැතිවරනයේ දී සටන් කරන එකම පක්ෂය සසප පමනි. 

කොවිඩ් 19 වසංගතය, ගෝලීය ධනවාදයේ ගැඹුරු අර්බුදය විෂදව පෙන්නුම් කර සහ එය වේගවත් කර ඇති අතර විප්ලවවාදී අරගල න්‍යාය පත්‍රයට ඇතුලු කර තිබේ. තීරනාත්මක කර්තව්‍යය වන්නේ, අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස සසප සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමයි.

සසපයේ අන්තර්ජාල රැස්වීමේ කථිකයින්ට එහි ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහ සසප ප්‍රමුඛ අපේක්ෂකයින් ඇතුලත් වේ. මෙම වැදගත් සාකච්ඡාවට සහභාගී වන ලෙස  කම්කරුවන්, තරුනයින්, බුද්ධිමතුන් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Loading