ඉදිරිදර්ශන

කොවිඩ්-19 වසංගතය සහ සරනාගතයින් හා සංක්‍රමනික කම්කරුවන්ගේ ගෝලීය තත්වය

මෙම ලිපිය ජූනි 24 ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

මානව වර්ගයාගෙන් සියයට 1 කට වඩා - මිලියන 79.5 ක ජනතාවක් - 2019 දී බලහත්කාරයෙන් අවතැන් වූවන් ලෙස ජීවත් වූ අතර එය වාර්තාගත ඉහල ම සංඛ්‍යාවයි. දශකයකට පමන පෙර අවතැන් වූවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුනයක් සහ 2018 අවසානයට වඩා මිලියන 10 ක් වැඩි, මෙම ඇදහිය නො හැකි සංඛ්‍යාව, පසුගිය සතියේ නිකුත් තෙරුනු එක්සත් ජාතීන්ගේ සරනාගත ඒජන්සියේ වාර්ෂික ගෝලීය ප්‍රවනතා වාර්තාව තුල සටහන් කෙරී ඇත. 

ලෝකයේ අවතැන්වූවන් ඔවුන්ගේ ම රටක් ලෙස සලකනු ලැබුවහොත්, එය යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනියට නැතහොත් ඉරානයට සමාන ජනගහනයක් වනු ඇත.

එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද හයිටි ජාතික රෝලන්ඩ් ජීන්, හයිටියේ පෝර්ට් ඕ ප්රින්ස් හි ටූසෙන්ට් ලුවර්චර් ගුවන් තොටුපලට පැමිනීමෙන් පසු පාර මත දන ගසයි. (AP ඡායාරූපය / Dieu Nalio Chery)

සරනාගතයින්ගෙන් අතිමහත් බහුතරය රටවල් පහකින් පැමින ඇති අතර, ඒ සියල්ල ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආක්‍රමන හා කුමන්ත්‍රනවලට සෘජුවම ගොදුරු  වී ඇති අතර දශක ගනනාවක යටත් විජිත ආධිපත්‍ය හා නව යටත් විජිත වාඩිලෑමේ ප්‍රතිඵලයක් ලෙස පීඩා විඳිමින් සිටිති. ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, දකුනු සුඩානය, සිරියාව හා වෙනිසියුලාව සමස්තයෙන් සියයට 68 කි. දශකයකට ආසන්න කාලයක් තිස්සේ එක්සත් ජනපදයේ ලේවැකි සිවිල් යුද්ධයෙන් විනාශයට පත්ව ඇති සිරියාවේ පමනක්, අවතැන්වූවන් මිලියන 13 කට අධික සංඛ්‍යාවක් වන අතර එය යුද්ධයට පෙර සිටි මිලියන 22 ක ජනගහනයෙන් අඩකටත් වඩා වැඩිය.

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් සරනාගතයින්ට තම දේශසීමා වසා තැබීම, දැඩි ලෙස සන්නද්ධ, ෆැසිස්ට් වර්ගයේ දේශසීමා ආරක්ෂකයින් යොදාගෙන වෙඩි තැබීම හෝ මුහුදේ ගිලීමට ඉඩ හැරීම නිසා දුප්පත් ම රටවල් අර්බුදයේ බර දරා ගනිමින් සිටිති. සරනාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්‌ගේ (යුඑන්එච්සීආර්) වාර්තාව සඳහන් කරන්නේ, තම මව් රටෙන් පිටත අවතැන් වූවන්ගෙන් සියයට 73 ක් අසල්වැසි රටක රැකවරනය ලබා ඇති බවයි. ඔවුන්ට නවාතැන් ගැනීමට සිදුව ඇත්තේ, තම මව් බිම මෙන්ම යුද්ධයෙන් විනාශ වූ, දුගී හා ඒ නිසාම තම ජීවිකාව හා යහපැවැත්ම සඳහා කටයුතු සැලසිය නො හැකි රටවල ය. 

මෙම සන්දර්භය තුල, එක්සත් ජනපදයේ පිටුබලය ලබන මිලිටරි තන්ත්‍රයේ ප්‍රචන්ඩ ව්‍යාපාරයක් මගින් මියන්මාරයෙන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද රෝහින්ග්යා වැසියන්ගේ ඉරනම වාර්තාවේ සටහන් කෙරුනි. දස දහස් ගනනක් බංග්ලාදේශයේ කාලකන්නි, අයහපත් කඳවුරුවලට කොටු වී සිටිති. කොරෝනා වෛරස් වසංගතය පැතිරීමෙන් පසු, අගුලු දැමීමේ පියවර හා  නැවත කිසිදා සිය රට බලා යාමේ අපේක්ෂාව ක්ෂය වී යාමෙන් වර්ධනය වන දුෂ්කරතා හේතුවෙන්,  මැලේසියාව හා අනෙකුත් අග්නිදිග ආසියානු රටවල් කරා ගමන් කරන රෝහින්ග්යා වැසියන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇති බව යුඑන්එච්සීආර් සටහන් කර ඇත.

පාලක ප්‍රභූන්ගේ සාපරාධී පක්ෂ ප්‍රතිපත්ති හේතුවෙන් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ධනවත් රටවලට ලඟා වීමට උත්සාහ කරන සරනාගතයෝ හා අවතැන්වූවෝ කුරිරු මර්දනයට හා මරන තර්ජනවලට මුහුන දෙති. එක්සත් ජනපදය තුල ට්‍රම්ප් පරිපාලනය, විශාල රැඳවුම් කඳවුරු පිහිටුවා ඇති අතර, ලතින් ඇමරිකාවේ බිහිසුනු සමාජ තත්වයන්ගෙන් පලා යන කාන්තාවන් සහ ලමයින් ද ඇතුලුව මංමුලා සහගත හා දුගී  මිනිසුන්, ඔවුන්ගේ පවුල් වලින් වෙන් කර, සතුන්ට වඩා හොඳ නො වන තත්වයන් යටතේ රඳවා තබා ඇත. එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ මිලිටරීකෘත ආරක්ෂකයින් හා මිලීෂියාවන් මුර සංචාරයේ යෙදෙන අතර එය සෑම වසරක ම සංක්‍රමනිකයන්  සිය ගනනකගේ සුසාන භූමිය වී ඇත.

“බලකොටු යුරෝපයේ”  යුරෝපා සංගමය සරනාගතයින් සඳහා වූ අයිතිය අහෝසි කර ඇති අතර නාසි තන්ත්‍රයේ අසීමිත ම්ලේච්ඡත්වයෙන් පසුව පිහිටුවන ලද ජාත්‍යන්තර නීතියේ කොටසක් වන සරනාගතයින් පිලිබඳ ජිනීවා සම්මුතියේ දී පිලිගැනුනු ආරක්ෂාවන් ඉරා දමා ඇත. දශක හතකට පසු, යුරෝපීය ආන්ඩු, ජර්මනිය පෙරමුනේ ඇතිව, ඒ හා සමාන ම්ලේච්ඡ ක්‍රියාවන් පුනුරුත්තාපනය කිරීමේ  මාවතේ ගමන් කරමින් සිටී. දස දහස් සංඛ්‍යාත සරනාගතයෝ ලිබියාව හා උතුරු අප්‍රිකාවේ වෙනත් ප්‍රදේශවල රුදුරු රැඳවුම් කඳවුරුවලට කොටු වී සිටින අතර, ඔවුහු යුරෝපා සංගමය නඩත්තු කරන මිලීෂියාවන් විසින් වධහිංසාවලට, ලිංගික දූෂනයට, වහල්භාවයට හා ඊටත් වඩා දරුනු තත්වයන්ට ලක් කෙරෙති. ග්‍රීක දූපත්වල දස දහස් සංඛ්‍යාත ජනයා අධික ලෙස ජනාකීර්න කඳවුරුවලට කොටු වී සිටිති. සෑම වසරක ම සරනාගතයින් දහස් ගනනක්, යුරෝපයේ දොරකඩ ලෙස සැලකෙන මධ්‍යධරනී මුහුදේ ගිලී මියයාමට ඇද දමනු ලැබේ.

යුරෝපීය ධනවාදය විසින් සරනාගතයින් කෙරෙහි දක්වන කෘරත්වය හා පලිගැනීම කෙතරම් නිර්ලජ්ජිත ද යත්, එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ට පවා එය විවේචනය කිරීමට බල කෙරී ඇත. ගෝලීය ප්‍රවනතා වාර්තාව නිකුත් කිරීමේ දී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සරනාගතයින් පිලිබඳ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රැන්ඩි කියා සිටියේ, යුරෝපා සංගමය විසින් සරනාගත අර්බුදය හසුරුවා ඇති ආකාරය පිලිබඳව යුරෝපීයකු වසයෙන් තමා “අපහසුවට හා ලැජ්ජාවට” පත්වන බව යි.

යුඑන්එච්ආර්සී වාර්තාවේ සංඛ්‍යාලේඛන භයානක මෙන් ම, එය විස්තර කරන්නේ,   2019 වර්ෂයේ තත්ත්වය සඳහා පමනි. එබැවින් සෑම මහාද්වීපයක ම සරනාගතයින් හා සංක්‍රමනික කම්කරුවන් මුහුන දෙන තත්වයන් නාටකාකාර ලෙස නරක අතට හැරී ඇති කොරෝනා වෛරස් අර්බුදයේ විනාශකාරී බලපෑම ගැන එය සැලකිල්ල යොමුකර නැත.

සංක්‍රමනිකයෝ හා අවතැන්වූවෝ සාමාන්‍යයෙන් කම්කරු පන්තියේ වඩාත්ම පීඩිත හා සූරාකෑමට ලක්වූ කොටස් වලට අයත් වෙති. කොරෝනා වෛරසය පැතිර යාමෙන් ඔවුන්ට විශේෂයෙන් දැඩි ලෙස පහර වැදී ඇති අතර මෝඩිගේ ඉන්දියාවේ සිට මර්කෙල්ගේ ජර්මනිය සහ ට්‍රම්ප්ගේ එක්සත් ජනපදය දක්වා වූ උදාසීන හා බොහෝ විට ද්වේෂ සහගත සතුරු රාජ්‍ය බලධාරීන් විසින් විශාල වසයෙන් තමන් විසින් ම ආරක්ෂාව සලසා ගැනීමට ඔවුන් ඇද දමා ඇත.

ආන්ඩුවේ ප්‍රතිපත්තිය තීරනය කිරීමේදී, ජර්මනිය සඳහා ෆැසිස්ට් විකල්පය විශාල කාර්යභාරයක් ඉටු කරන ජර්මනියේ, රුමේනියානු, බල්ගේරියානු සහ අනෙකුත් නැගෙනහිර යුරෝපීය සංක්‍රමනික කම්කරුවන් විශාල සංඛ්‍යවක් බොහෝ විට මිනිස් වාසයට නුසුදුසු අබලන් වූ ගොඩනැගිලිවල රඳවා සිටින අතර  කිසිදු අයිතිවාසිකමක් හෝ රැකියා ආරක්ෂාවක් නො මැතිව දරිද්‍රතා වැටුප් ඔවුන්ට ගෙවනු ලබයි. ඔවුන් විශාල සංඛ්‍යාවක්   මස් ඇසුරුම් කම්හල්වල හා කෘෂිකාර්මික අංශයේ වැඩපොවල ආසාදනයට ලක් වී ඇති අතර, තවත් බොහෝ දෙනෙකු බලාපොරොත්තු රහිතව ජනාකීර්න උස් තට්ටු නිවාසවල හා භාවිතයට නො ගන්නා හමුදා බැරැක්කවල පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර ඒවා වෛරසය පතුරවන තවාන්  බවට පත්ව ඇත.

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ හින්දු අධිපතිවාදී ආන්ඩුව විසින් මිලියන සංඛ්‍යාත සක්‍රමනික කම්කරුවන් කුසගින්නේ සිටීමට හැරදමා ඇති අතර, එය මාර්තු මාසයේ දී පැය හතරක දැනුම් දීමකින් රටපුරා අගුලු දැමීමේ ක්‍රියාවලියක් පනගැන්වීම හමුවේ, ඔවුන්ට ප්‍රමානවත් ආධාර සැපයීමට අපොහොසත් විය. සංක්‍රමනික කම්කරුවන්ගෙන් අතිමහත් බහුතරයක් ඊනියා “අවිධිමත් අංශයේ” දෛනික ශ්‍රමිකයන් ය යන කාරනය නිසා, ආහාර හා ජීවිතයට අවශ්‍ය අනෙකුත් මූලික අවශ්‍යතා ලබා ගැනීමට ආදායමක් නොමැති තත්වයට ඔවුහු එක රැයකින් ඇද දමන ලදහ. සිය දහස් ගනනක් ආපසු සිය ගම්මාන වෙත පයින් ගමන් කිරීමට පටන් ගත් අතර, බොහෝ විට සැතපුම් සිය ගනනක් පසු කරමින් තමන් සමඟ වෛරසය   රැගෙන ගියහ. තවත් බොහෝ දෙනෙක් කඳවුරුවලට ගාල් කෙරුනි.

එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනය වූ මස් ඇසුරුම් කම්කරුවෝ 25,000ට කට වඩා වැඩි සංඛ්‍යාවක් සංක්‍රමනික කම්කරුවෝ වෙති. රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගැනීමෙන් තමන් රඳවා තබා ගැනීමට හෝ පිටුවහල් කිරීමට සිදුවනු ඇතැ යි යන බිය නිසා, ලේඛනගත නො වූ සංක්‍රමනිකයෝ සිය දහස් ගනනක් අගුලු දැමීමේ ක්‍රියාමාර්ගවල දී කිසිදු සහනයක් ලබා ගැනීමට නොහැකිව සිටිති. වාර්තාගත සක්‍රමනික පිටුවහල් කිරීම් අධීක්ෂනය කල ඔබාමා ජනාධිපති ධුරය මත පදනම්ව ෆැසිස්ට් මනෝගති ඇති ට්‍රම්ප්, සංක්‍රමනිකයන් ගාල් කිරීම හා පිටුවහල් කිරීම සඳහා අත්තනෝමතික ලෙස වටකර ගැනීමේදී ආගමන හා රේගු බලාත්මක කිරීමේ මැරයන් විසින් සිදු කරන ලද මිලිටරි ආකාරයේ සංක්‍රමන වැටලීම් මාලාවක් දියත් කර තිබේ. පිටුවහල් කිරීම සඳහා ට්‍රම්ප් ප්‍රධාන නගර 10 ක පවුල් 2,000 ක් ඉලක්ක කර ගනිමින් 2019 ජූලි මාසයේ දී රට පුරා වැටලීම් දියත් කලේ ය.

සරනාගතයින් හා සංක්‍රමනිකයින් ආරක්ෂා කිරීම කම්කරු පන්තියට පැවරෙන කාර්යයකි. නීතිය හා සාමය පිලිබඳ දක්ෂිනාංශික ප්‍රතිපත්ති හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහරදීම සාධාරනීකරනය කිරීම සඳහා සංක්‍රමන විරෝධී ස්වෝත්තමවාදය හා ජාතිකවාදය සෑම රටකම දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස් විසින් ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇත. දශක ගනනාවක ම්ලේච්ඡ කප්පාදු හා සේවා කොන්දේසිවලට පහරදීම් මගින් ඇති කරන ලද සමාජ ගැටලු සඳහා සංක්‍රමනිකයන් හා සරනාගතයින් බිල්ලට දීමට  ද ඔවුහු උත්සාහ කරති. යථාර්ථයේ දී එය ක්‍රියාත්මක කර ඇත්තේ සුපිරි ධනවතුන්ගේ ධනය ඉහල නැංවීමට හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදය හා යුද්ධයට වියදම් කිරීම  සඳහා ය.

1940 දී හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ලියොන් ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය. “දිරාපත් වෙමින් පවතින ධනවාදී ලෝකය ජනයාගෙන් පිරී ඉතිරී ගොස් ඇත. අතිරේක සරනාගතයින් සියයක් ඇතුලත් කර ගැනීමේ ප්‍රශ්නය එක්සත් ජනපදය වැනි ලෝක බලවතෙකුට විශාල ගැටලුවක් බවට පත්වේ. ගුවන් සේවා, විදුලි පනිවුඩ, දුරකථන, ගුවන්විදුලි හා රූපවාහිනී යුගයක රටින් රටට ගමන් කිරීම විදේශ ගමන් බලපත්‍ර හා වීසා බලපත්‍ර මගින් අක්‍රිය කෙරේ. විදේශ වෙලඳාම නාස්ති කිරීම හා දේශීය වෙලඳාමේ පරිහානියේ කාලය, ඒ සමග ම ස්වෝත්තමවාදය මෙන් ම විශේෂයෙන් යුදෙව් විරෝධය දරුනු ලෙස උග්‍ර වන කාල පරිච්ඡේදයයි… ගොඩබිමේ විශාල වප්තිය හා මිනිසාට මෙන්ම පෘථිවිය ද ගගන තලය ද ජය ගෙන ඇති  තාක්ෂනයේ අරුමයන් මධ්‍යයේ ද, ධනේශ්වරය සමත් වී ඇත්තේ අපේ පෘථිවිය අශෝභන සිරගෙයක් බවට පත් කිරීමට පමනි. ”

මොනවා වුවත්, මෙම වාක්‍ය ලියා වසර අසූවකට පසු ධනවාදය පිලිබඳ එම බලගතු හෙලා දැකීම, 1940ටත් වඩා බලවත් ය. සෑම රටක ම ධනේශ්වරය ජාතිකවාදය, මිලිටරිවාදය හා අන්ත දක්ෂිනාංශයේ ප්‍රතිගාමී දේශපාලනය වෙත ආපසු යමින් සිටියදී, ලෝක පරිමානයෙන් කම්කරු පන්තිය වෙන කවරදාටත් වඩා අන්තර් සම්බන්ධිත හා ඒකාබද්ධව සිටී. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ කුරිරු පොලිස් ඝාතනය මගින් අවුලුවන ලද රටවල් දුසිම් ගනනක මෑත සතිවල පැවති බහු වාර්ගික විරෝධතා, ධනවාදය යටතේ ලොව පුරා සියලු පසුබිම්වල කම්කරුවන් මුහුන දෙන කුරිරු සූරාකෑම හා රාජ්‍ය මර්දනය පිලිබඳ පොදු අත්දැකීම්වලට සාක්ෂි දරයි.

පාලක ප්‍රභූවේ ජාතිකවාදය හා සංක්‍රමන විරෝධී විෂ ප්‍රතික්ෂේප කරමින්, වැඩ කරන ජනතාව ගෝලීය පරිමානයෙන් සරනාගතයින් හා සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීමට පෙරට පැමිනිය යුතු ය. හිංසා පීඩාවලට හෝ පිටුවහල් කිරීමට බිය නො වී, ඔවුන් කැමති රටක වැඩ කිරීමට, ජීවත්වීමට හා සමාජ හා සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශ වීමට සියලු ජාතීන්ට අයත් කම්කරුවන්ට ඇති අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය.

සරනාගතයින්ගේ හා සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කල හැක්කේ, සමාජ අසමානතාව, ධනේශ්වර රාජ්‍ය මර්දනය සහ මිලිටරිවාදය සහ යුද්ධයට එරෙහිව කම්කරුවන් හා තරුනයින් පලුල් ලෙස බලමුලු ගැන්වීමේ කොටසක් ලෙස පමනි. එවැනි අරගලයක් සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් මෙහෙයවිය යුතු අතර දේශපාලන බලය සමාජවාදී ප්‍රතිපත්තිවලට කැප වූ කම්කරු ආන්ඩුවකට පැවරීම එහි ඉලක්කය විය යුතු ය.

Loading