අවුරුදු 50 කට පෙර: ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් කොමියුනිස්ට් පක්ෂයෙන් නෙරපයි

මෙය ජූනි 22 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක්

 

චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඇලෙක්සැන්ඩර් ඩුබ්ෂෙක් 1970 ජුනි 26 වන දින පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලදී. ඔහු ඉවත් කරන ලද්දේ, කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ඡන්ද 7 ට 4ක් ලැබීමෙන් පසුව ය. ඩුබ්ෂෙක් ඒ ආසන්න කාලයේදී තුර්කියේ චෙකොස්ලොවැකියානු තානාපති ලෙස සේවය කිරීම සඳහා පත් කලත්, ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට දින දෙකකට පෙර එම තානාපති තනතුරෙන් ඉවත් කරන ලදී.

ඩුබ්ෂෙක් නෙරපා හැරීම, චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂය තුල දැඩි මතධාරී ස්ටැලින්වාදීන් සහ ඩුබ්ෂෙක් වැනි ප්‍රතිසංස්කරනවාදීන් අතර අරගලයේ අවසානය සනිටුහන් කලේය. ඩුබ්ෂෙක් විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රතිසංස්කරන ආපසු හැරවීමේ ඉලක්කය ඇතුව වසර දෙකකට පෙර, එනම් 1968 අගෝස්තු මාසයේදී වෝර්සෝ ගිවිසුමේ  රටවල් චෙකොස්ලොවැකියාව ආක්‍රමනය කරන විට, මෙම අර්බුදය එහි උච්චතම ස්ථානයට පැමින තිබුනි. එම ආක්‍රමනය හේතුවෙන් රටේ ඇතිවී තිබූ  "ප්‍රාග් වසන්තය" ලෙස හැඳින්වූ මහජන විරෝධතාවය (Prague Spring) අවසන් විය.

කම්කරු පන්තිය තුල මතුවූ මහජන විරෝධතා ව්‍යාපාරය යටපත් කිරීමේ (මොස්කව්) ක්‍රියාවන්ට මැදිහත් නොවී සිටින බවට ඩුබ්ෂෙක්, මොස්කව් තන්ත්‍රයට සහතික විය. එහි ප්‍රතිඵලයක් ලෙස මුලදී ඩුබ්ෂෙක්ට ප්‍රධාන ලේකම් ධුරය තබා ගැනීමට මොස්කව් තන්ත්‍රය අවසර දෙන ලදී. කෙසේ වෙතත්, 1969 දී චෙකොස්ලොවැකියාව සහ සෝවියට් සංගමය අතර පැවති අයිස් හොකී තරඟයකින් පසුව කම්කරු පන්තිය සහ එරට වාඩිලාගෙන සිටි සෝවියට් හමුදාව අතර විශාල ගැටුම් ඇති විය. “හොකී කෝලාහල” (“hockey riots”) ලෙස හැඳින්වූ එම ගැටුම් නැවැත්වීමට ඩුබ්ෂෙක් අසමත් විය.

මොස්කව් තන්ත්‍රය ඒ කැරලි මර්දනය කිරීමෙන් පසුව ඩුබ්ෂෙක්ට ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුනු අතර පසුව තුර්කි තානාපති ලෙස පත් කර යවන ලදී. ඩුබ්ෂෙක් වෙනුවට ප්‍රධාන ලේකම් ලෙස ගුස්ටාව් හුසේක් පත් කරන ලදී. ගුස්ටව්ගේ ඊනියා “සාමාන්‍යකරන” (“normalization”) ප්‍රතිපත්තිය තුලින් ඕනෑම ප්‍රතිසංස්කරනයක් ආපසු හැරවිය හැකි විය. එයින් ම ඩුබ්ෂෙක් නෙරපා හැරීමට එරෙහිව ඡන්දය දුන් මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් සිව්දෙනා ද ඇතුලුව කොමියුනිස්ට් පක්ෂයේ සිටි ඩුබ්ෂෙක්ගේ සෑම සගයෙක්ම ඉවත් කරන ලදී.

අනෙකුත් ස්ටැලින්වාදීන් මෙන් ඩුබ්ෂෙක්ගේ දේශපාලන මූලය වූයේ ද ජාතිකවාදය ය. ඔහු බලාපොරොත්තු වූයේ ස්ටලින්වාදී නිලධරයට එරෙහි දේශපාලන විප්ලවයක් නොව, මොස්කව් වෙතින් වැඩි ජාතික ස්වාධීනත්වයක් සහ චෙකොස්ලොවැකියාව තුල ස්ටැලින්වාදයේ සන්නාමය බලාත්මක කිරීමේ හැකියාව යි. එහි කම්කරු පන්තියට සුලු දේශපාලන සහන ඇතුලත් විය. ඒ අතරම අධිරාජ්‍යවාදී රටවල් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීමටත් ධනවාදය පුනස්ථාපනය කිරීමටත් වේදිකාව සකස් කොට තිබින.

දැඩි මතධාරී ස්ටැලින්වාදීන් විසින් ඩුබ්ෂෙක් ඉලක්ක කරනු ලැබුවත් ඔහු, කම්කරුවන්ට අව්‍යාජ දේශපාලන මූලෝපායක් ඉදිරිපත් කලේ නැත. කම්කරු පන්තිය තුල අව්‍යාජ සමාජවාදය සඳහා වූ ආශාවට සහ ස්ටැලින්වාදී නිලධරයට එරෙහි වීමට ආයාචනා කරන්නා වූ “මානුෂික මුහුනක් සහිත සමාජවාදය” (“socialism with a human face”) යන සටන් පාඨය පිටුපස ඩුබ්ෂෙක් සිය ධනේශ්වර ගැති න්‍යාය පත්‍රය සඟවා ගෙන කටයුතු කලේය. කෙසේ වෙතත්, දේශපාලන විප්ලවය සඳහා අව්‍යාජ විප්ලවවාදී නායකත්වයක් සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් නොවීම නිසා ප්‍රාග් වසන්ත ව්‍යාපාරයට කිසිදු ඉලක්කයක් නොතිබූ අතර අවසානයේදී දැඩි මිලිටරි බලය හමුවේ විසුරුවා හැරිනි.

නෙරපා දැමීමෙන් පසු ඩුබ්ෂෙක් දේශපාලනිකව යටපත් වී ගිය අතර ස්ලෝවැකියානු වන සංරක්නෙ සේවයේ රැකියාවක් සොයා ගත්තේය. ඔහු 1989 දී නැවත දේශපාලන ජීවිතයට පිවිසියේය. එහිදී  කොමියුනිස්ට් පක්ෂය විසුරුවා හැරුනු, රට චෙක් ජනරජය හා ස්ලොවැකියාව ලෙස දෙකට බෙදූ, සහ  ධනවාදය පුනස්ථාපනය කිරීම යන දෑ අධීක්ෂනය කල ඊනියා වෙල්වට් විප්ලවයේ (Velvet Revolution) ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.

Loading