ජාමූඅ ගෝලීය ආර්ථික පුරෝකථනය පහත හෙලයි

මෙම ලිපිය ජූනි 25 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) ගෝලීය ආර්ථිකයේ හැකිලීම පිලිබඳ පුරෝකථනය සැලකිය යුතු ලෙස ඉහල නංවා ඇති අතර, 2020-2021 දී ඩොලර් ට්‍රිලියන 12 ක සමුච්චිත වටිනාකමක් වියැකී යනු ඇති බවට අනතුරු අඟවයි. ඊයේ සිය පුරෝකථනය යාවත්කාලීන කරමින් ජාමූඅ පැවසුවේ, 2020 සඳහා ගෝලීය හැකිලීම සියයට -4.9 ක් වනු ඇති බවයි. එය අප්‍රේල් මාසයේ  කල පුරෝකථනයට වඩා සියයට 1.9 ක් වැඩිය.

කොවිඩ්-19 වසංගතය 2020 පලමු භාගයේ ක්‍රියාකාරිත්වය “අපේක්ෂා කලාට වඩා අහිතකර ලෙස බලපා ඇති අතර, ප්‍රකෘතිමත් වීම කලින් පුරෝකථනය කලාට  වඩා අනුක්‍රමයෙන් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.” සමස්තයක් ලෙස ගත් කල මෙයින්, 2021 දල දේශීය නිෂ්පාදිතය (දදේනි) 2020 පූර්ව වසංගත ප්‍රක්ෂේපනයට වඩා සියයට 6.5 කින් අඩු වනු ඇත.

පිට්ස්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපල වාහන නැවැතුමේ සිය ගනනක් පෙල ගැසී සිටින අතර, ග්‍රේටර් පිට්ස්බර්ග් ප්‍රජා ආහාර බැංකුවේ ස්වේච්ඡා සේවකයන් ආහාර බෙදා හැරීමේදී මෝටර් රථවලට ආහාර පෙට්ටි පටවන අයුරු. (ඒපී ඡායාරූපය / ජීන් ජේ. පුස්කාර්)

මෙම අනාවැකි උපකල්පනය කරන්නේ, මාර්තු මැද භාගයේ වෙලඳපොලවල් ඇන හිටි කල, එක්සත් ජනපද මහ බැංකුව සහ අනෙකුත් මහ බැංකු විසින් සිදුකරන ලද ප්‍රධාන මැදිහත්වීම් වලින් පසුව මූල්‍ය තත්වය “පුලුල් ලෙස වර්තමාන මට්ටමින්” පවතිනු ඇති බවයි. කෙසේ වෙතත්, මූල්‍ය වෙලඳපොලවල් සහ යටින් පවතින සැබෑ ආර්ථිකය අතර අගාධය සැලකිල්ලට ගත් විට, සියල්ලටම වඩා එක්සත් ජනපද කොටස් වෙලඳපොලවල ඉහල නැඟීමෙන් සලකුනු කෙරෙන පරිදි, කැලඹීම නැවත පැමිනීමට බොහෝ දුරට ඉඩ තිබේ.

මූල්‍ය වෙලඳපොලවල යලි නැඟීම සහ යටින් පවතින ආර්ථික අපේක්ෂාවන් අතර “විසන්ධි වීම” “උපකල්පනය කලාට වඩා මූල්‍ය තත්වයන්  දැඩි වීමට ඇති හැකියාව” මතු කරන බව ජාමූඅ පැවසීය.

රටවල් කිහිපයක් හැරුනු විට, පලමු කාර්තුවේ, යථාවත් කල හා ගැඹුරු පසුබෑම බලාපොරොත්තු වූවාට වඩා දරුනු වූ අතර දෙවන කාර්තුවේ දර්ශකයන් “ඊටත් වඩා දැඩි හැකිලීමක්” පෙන්නුම් කරනු ඇත.

වසංගතය පැතිර යාම වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිපලයක් ලෙස සමාගම් වලට ආර්ථික කටයුතු නවතා දැමීමට සිදුවූ හෙයින්, මහා අවපාතයෙන් පසුව දකින්නට ලැබුනු දරුනුම සැපයුම් කම්පනයක් ඇති විය. එහෙත්,  ව්‍යාපාරයන්ගේ වෙලඳපලවල “වේගවත්” වැටීම, සැපයුම් ජාලයන් අවහිර වීම සහ අනාගත ඉපැයීම් පිලිබඳ අවිනිශ්චිතතාවන් නිසා ආයෝජන කපා හැරීම මඟින් දැන් “පුලුල්ව පදනම් වූ සමස්ත ඉල්ලුම් කම්පනයකින්” උග්‍ර වී ඇති බව පෙන්වයි.

ආර්ථික කටයුතුවල මෙම පහත වැටීම, ගෝලීය ශ්‍රම වෙලඳපොලට “ව්‍යසනකාරී” පහරක් වී තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇස්තමේන්තු උපුටා දක්වමින් ජාමූඅ, පලමු කාර්තුවේ වැඩ කරන පැය ගනන පහත වැටීම, රැකියා මිලියන 130 ක් අහිමිවීමට සමාන යයි පවසා ඇත. දෙවන කාර්තුවේ එම වැටීම, රැකියා මිලියන 300 කට සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රම වෙලඳපොලේ බලපෑම “විශේෂයෙන් උග්‍ර” ලෙස දැනෙන්නේ, විකල්පයක් ලෙස නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් නැති අඩු නිපුනතා අඩු ශ්‍රමිකයින්ට ය. ලොව පුරා අවිධිමත් ලෙස සේවයේ යොදවා ඇති බිලියන 2 කට ආසන්න කම්කරුවන්ගෙන් “සියයට 80ට ආසන්න සංඛ්‍යාවක් මේ නිසා පීඩාවට පත්ව ඇති” බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇස්තමේන්තු ජාමූඅ විසින් උපුටා දක්වනු ලබයි.

ජාමූඅ ප්‍රක්ෂේපනයන් මගින් ඇඟවුම් කරන්නේ, “ලොව පුරා ඇති අඩු ආදායම්ලාභී පවුල් කෙරෙහි වසංගතය මඟින් ඇති කරනු ලබන  සෘනාත්මක බලපෑම,  විශේෂයෙන් අසමානතාවය සැලකිය යුතු ලෙස ඉහල නැංවිය හැකි  බව” යි.

කොවිඩ්-19 සෑම රටකම කම්කරු පන්තියේ වඩාත්ම දුප්පත් කොටස් කෙරෙහි බලපාන රෝගයක් බවට පත්ව ඇතිවා සේම, එහි ආර්ථික ප්‍රතිවිපාක නිසා වැඩිපුරම පීඩාවට පත් වන්නේ ද ඔවුන් ය.

2020 ඇතිව තිබෙන සෘනාත්මක වර්ධනය පලමු වරට ලෝකයේ සෑම ප්‍රදේශයකටම බලපානු ඇති බව ජාමූඅ පැවසීය.

දියුණු ආර්ථික සමූහයේ වර්ධනය මේ වසරේදී සියයට -8 ක් ලෙස පුරෝකථනය කර ඇත. එක්සත් ජනපද ආර්ථිකය සියයට 8 න් ද ජපානය සියයට 5.8 න් ද එක්සත් රාජධානිය සියයට 10.2 න් ද ජර්මනිය සියයට 7.8 න් ද ප්‍රන්සය සියයට 12.5න් සහ ඉතාලිය හා ස්පාඤ්ඤය සියයට 12.8 න් හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

දෙවන ආසාදන රැල්ලක් නොඑනතාක් කල් 2021 දී, ලෝක ආර්ථිකය සියයට 4.8 ක වර්ධනයක් ඇති වුවත්, ගෝලීය දදේනි 2019 දී පැවති මට්ටමට වඩා සියයට 4 කින් පමන පහත අගයක පවතිනු ඇති බව ජාමූඅ කියා සිටියි.

නැගී එන වෙලඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධනය මේ වසරේදී සියයට -3 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය අප්‍රේල් පුරෝකථනයට වඩා සියයට 2න් අඩු අගයකි. දැන් ප්‍රධාන ආසාදන මධ්‍යස්ථානයක් වන ලතින් ඇමරිකාවේ ආර්ථික බලපෑම විශේෂයෙන් දැඩි වන අතර, එහි විශාලතම ආර්ථිකයන් දෙක වන බ්‍රසීලය සහ මෙක්සිකෝවේ ආර්ථිකයන්, පිලිවෙලින් සියයට 9.1 න් සහ සියයට 10.5 න් හැකිලෙනු ඇතැයි පුරෝකථනය කර ඇත.

දුර්වල ඉල්ලුම, දේශසීමා හරහා වන සංචාරක කර්මාන්තයේ බිඳවැටීම, සමහර අවස්ථාවල වෙලඳ සීමාවන් නිසා සැපයුම් දාමයන් කඩාකප්පල්වීම උග්‍ර අතට හැරී තිබීමෙන්, පලමු කාර්තුවේදී ලෝක වෙලඳාම සියයට 3.5 කට ආසන්න ප්‍රමානයකින් හැකිලී යනු ඇත.  

වසංගතයට ඔබ්බෙන්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසඳා ගත යුතු ප්‍රශ්නයකි,  වෙලඳ හා තාක්‍ෂනික ආතතීන් මෙන්ම  “නීති රීති පදනම් කරගත් ජාත්‍යන්තර වෙලඳ ක්‍රමයේ හිඩැස්” ලෙස එය විසින් හඳුන්වනු ලබන, යටින් පවතින ආර්ථික ගැටලු. “ඝර්ෂනයන් සඳහා කල් පවත්නා විසඳුමක් නොමැතිව” කොවිඩ්-19 අර්බුදය අවසානයේදී ඇතිවන, යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය තර්ජනයට ලක්වන බවට එය අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත්, එවැනි විසඳුමක් මතුවීමේ අපේක්ෂාවක් නොමැත. වසංගතය අතරතුර ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව වාචික ප්‍රහාර වේගවත් කර ඇති අතර, හුආවේ වැනි අධි තාක්‍ෂනික චීන සමාගම් මත පීඩනය දැඩි කිරීමට පියවර ගෙන තිබේ.

එපමනක් නොව, වෙලඳ යුද්ධයේ පියවර පුලුල් වෙමින් පවතී. ගූගල් සහ ෆේස්බුක් වැනි එක්සත් ජනපද අධි තාක්‍ෂනික සමාගම් විසින් තම රටවලදී උපයන ආදායම මත ඊනියා ඩිජිටල් බද්දක් පැනවීමට ගත් පියවර පිලිබඳ ගැටුම නිරාකරනය කිරීම සඳහා ප්‍රන්සය සහ අනෙකුත් යුරෝපීය බලවතුන් සමඟ කල සාකච්ඡාවලින් එක්සත් ජනපදය ඉවත් වී තිබේ.

1974 වෙලඳ පනතේ 301 වන වගන්තිය යටතේ යෝජිත බදු පිලිබඳව එක්සත් ජනපද වෙලඳ නියෝජිත කාර්යාලය විසින් පරීක්ෂනයක් සිදු කර ඇත. ජනවාරි මාසයේදී එකඟවූ වෙලඳ ගනුදෙනුවේ “පලමු අදියර” තිබියදීත් ක්‍රියාත්මක වන, ඩොලර් බිලියන 360 ක් වටිනා චීන භාන්ඬ සඳහා තීරුබදු පැනවීමට යොදාගත්තේ ද එම කොටසම ය.

එක්සත් ජනපදයට අහිතකර ලෙස කටයුතු කර ඇති බව පවසන වර්තමාන ලෝක වෙලඳ සංවිධානයට සහ නීතිවලට තමන් විරුද්ධ බව ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර තිබේ. ඩිමොක්‍රටික් පාලනයක් බලයට පත්වුව ද ගැටුම් නිරාකරනය නොවනු ඇත්තේ, චීනය පිලිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප්ටත් වඩා ගැටුම්කාරී වන බැවිනි.

සීමිත සමාජ ආරක්ෂන පියවර සහ සංගතවලට ලබා දුන් මුදල් හේතුවෙන්, ආන්ඩුවේ නයගැතිකම ඉහල යාමේ දැවැන්ත බලපෑම, ජාමූඅ වාර්තාව මඟින් සටහන් විය. දියුනු ආර්ථිකයන්හි දල දේශීය නිෂ්පාදිතයේ සමානුපාතිකයක් ලෙස සමස්ත රාජ්‍ය නය, දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිපල වශයෙන් නිර්මානය වූ මට්ටම් ද ඉක්මවා යනු ඇත. යුද්ධය කාලයේ පැවති සියයට 120 මට්ටම හා සසඳන කල රාජ්‍ය නය දදේනි සියයට 130ක් දක්වා ඉහල යනු ඇත. 

මෙම සංඛ්‍යාලේඛනවල තීරනාත්මක ආර්ථික හා දේශපාලන ඇඟවුම් තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇතිවූ ආර්ථික උත්පාතය අවධියේ, ලෝක ආර්ථිකය තුල නිර්මානය වූ වර්ධනය නිසා දියුනු ආර්ථිකයන්ට සිය නය බර නොතකා කටයුතු කල හැකි විය. 

අද, එවැනි උත්පාතයක් කොහේවත් ඇත්තේ නැත.  වසංගතය ඇතිවීමට පෙර පවා, ආයෝජන හා වෙලඳාමේ සැලකිය යුතු පහත වැටීමක් සමඟ ලෝක ආර්ථික වර්ධනය මන්දගාමීව පැවතුනි.

වර්තමාන තත්වය දෙවන ලෝක සංග්‍රාමයට සමාන නොව, පලමුවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව, එකතැන පල්වූ ලෝක ආර්ථිකයක, යුද්ධයට මුදල් යෙදවීම මගින් භාවිතා කල  නය සමුච්චය වීම ආර්ථික අර්බුද මාලාවකට තුඩු දුන් අතර ඉන් පසු දශක දෙක තුල කම්කරු පන්තියට එල්ල වෙමින් පවතින හා ගැඹුරු වන ප්‍රහාර සඳහා ගාමක බලවේගයක් විය.

Loading