පොලිස් ඝාතනවලට එරෙහි ගෝලීය විරෝධතා ගැන සසප අන්තර්ජාල රැස්වීමක් පවත්වයි

මෙම ලිපිය ජූනි 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), එක්සත් ජනපදයේ ජෝර්ජ් ෆ්ලොයිඩ් මරා දැමීම, එයට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන විරෝධතා පුපුරා යාම හා සෑම රටක ම පාලක පන්තීන් විසින් ඒකාධිපති පාලන ක්‍රම ස්ථාපිත කිරීම සඳහා දරන උත්සාහයන් පිලිබඳ ව ජුනි 14දා අන්තර්ජාල රැස්වීමක් පැවැත්වී ය. සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් විසින් පවත්වන ලද, එම අවස්ථාවේ ම දෙමල භාෂාවට පරිවර්තනය කරන ලද ප්‍රධාන කතාව, අපි පහත පලකරමු.

අද දින අපි සාකච්ඡා කරන්නේ, එක්සත් ජනපදය තුල දී  46 හැවිරිදි අප්‍රිකානු ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එ‍රෙහි ලෝක පරිමාන අරගල හා පාලක පන්තීන් ජාත්‍යන්තර ව ආඥාදායකත්වයන් සඳහා සූදානම් වීමේ දේශපාලනික ගම්‍යයන්. ශ්‍රී ලංකාව තුල අපේ අත්දැකීම් මෙම ලෝක වර්ධනයන් සමග සමීප ව අනුනාද වෙනවා.

මිලිටරි-පොලිස් පාලන තන්ත්‍රයක් ස්ථාපනය කිරීම දෙසට දැනට මත් යෝධ පියවරයන් ගෙන ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින්, ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි ව පවත්වන ලද, විරෝධතා උද්ඝෝෂනයකට එරෙහි ව ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයක් දියත් කලේ, සතියකටත් අඩු කලකට පෙරයි.

විජේ ඩයස්

 පෙසප විරෝධතාව පැවැත්වීමට නියමිත ව තිබුනේ කොලඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට යි. එහෙත් එය තහනම් කරන උසාවි නියෝගයක් පොලීසිය විසින් ලබාගෙන තිබුනා. විරෝධතාකරුවන් කොලඹ නගර සභා මංසන්දියට පැමිනි විට, පොලීසිය ඔවුන්ට ප්‍රචන්ඩ ලෙස පහර දුන්නා. මෙයට දුර දිග දේශපාලන ගම්‍යයන් තිබෙනවා. පෙසප සමග සසපට තිබෙන සමහන් කල නො හැකි දේශපාලන වෙනස්කම් තිබිය දී ම පොලීසිය හෙලාදැකීමට සසප පැකිලුනේ නැත්තේ ඒ නිස යි.

එහෙත්, මාධ්‍ය හමුවක දී කතා කල, පෙසප ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ, මෙම ප්‍රහාරය “රාජපක්ෂ පාලන තන්ත්‍රය, පසුගිය මාස හත තුල, රඟදැක්වූ විහිලුවලින් එකක්” බව කියමින්, පොලිස් ප්‍රහාරය “විහිලුවක්”  බව සඳහන් කලා. ආන්ඩුව හෙලාදකිනු ලැබීම වෙනුවට, ජයගොඩ සරල ව ම, මේ කරුන ගැන විවාදයකට එන ලෙස කැබිනට් ප්‍රකාශක බන්දුල ගුනවර්ධනට ආයාචනා කලා. වැඩකරන ජනයා හා තරුනයන්ගෙන් එවන් බියගුලුකමකට හා අදූරදර්ශී භාවයකට ලබනු හැක්කේ අවඥාව පමනයි.

පොලීසිය විසින් ෆ්ලොයිඩ් මරා දැමීමට එරෙහි ව, ලක්ෂ ගනන් දෙනා සම්බන්ධ වන ගෝලීය පරිමාන සටන්කාමී විරෝධතා හා පෙලපාලි රැල්ලක් පවතිනවා. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක), එම  කම්කරුවන් හා තරුනයන් අතරින් මතු වන මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වනවා පමනක් නො ව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීම සඳහා ඉදිරියට පැමින සිටින අයගේ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා අවශ්‍ය එකම ශක්‍ය දේශපාලන ඉදිරිදර්ශනය සම්පාදනය කර තිබෙනවා.

ෆ්ලොයිඩ් මරා දැමීමෙන් දින ගනනක් යන තෙක්, එයට වගකිව යුතු පොලිස් නිලධාරීන් නිදැල්ලේ සිටියා. බලධාරීන් ඝාතකයන්ට එරෙහි ව පියවර ගත්තේ විරෝධතා පුපුරා යාමෙන් පසුව යි. මෙයට වගකිව යුතු පොලිස් නිලධාරීන් සුදු ජාතිකයන් වන නිසා, මෙය කලු ජාතිකයන්ට එරෙහි වෙනස්කම් කිරීමක් යයි කියාපෑමට කලු වර්ගවාදීන් ක්ෂනික ව මේ අවස්ථාව යොදාගත්තා. වාර්ගික හා වර්න භේදයන් කපාගෙන විරෝධතාවන්ට සම්බන්ධ වූ ජනයා ව මෙසේ අධෛර්යයට පත් කිරීම හා අවමංගත කිරීම මගින්, ඔවුන් නිශ්චිත ව ම පීඩකයාගේ හස්තය ශක්තිමත් කිරීමට උදවු වුනා.

එක්සත් ජනපද සංස්ථාපිතය ෆ්ලොයිඩ්ගේ ඝාතකයන්ට නිදැල්ලේ යාමට ඉඩදීමට දැරූ අපරාධකාරී ප්‍රයත්නයන් විසින් කිසිවෙක් පුදුමයට පත් නො විය යුතු යි. ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ හා ඔවුන්ගේ ව්‍යාජ-වාම සහායකයන්ගේ සියලු කන්ඩායම්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි 30-අවුරුදු යුද්ධයේ දී අහිංසක දෙමල වැසියන් දහස් ගනනක් ඝාතනය කල, සන්නද්ධ හමුදාවන්හි ඝාතකයන්ට සම්පූර්න ඝාතක නිදහස දී තිබෙනවා.

කඳුලු ගෑස්, බැටන් ප්‍රහාර හා ජීව උන්ඩ යොදාගනිමින් විරෝධතාකරුවන් මර්දනය කිරීමට, ජාතික බලකායට අනදීම මගින්, ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිචාර දැක්වූයේ, දුසිම් ගනනක් මරා දමමින් සහ සිය ගනනකට තුවාල සිදුකරමින්. ධනේශ්වර රාජ්‍යයේ මර්දනීය හස්තය මුදාහරිද්දී, එය හමේ වර්නය, වාර්ගිකත්වය හෝ භාෂාව නො තකන බව, ශ්‍රී ලංකාවේ පමනක් නො ව, සමස්ත ලෝකය පුරා කම්කරුවන් හා තරුනයන් අත්දැක තිබෙනවා.

ජුනි 8දා නිකුත් කල ප්‍රකාශයක, එක්සත් ජනපදයේ සසප, මෙසේ ප්‍රකාශ කලා: “මෙම වර්ධනයේ වඩාත් ම කැපී පෙනෙන ලක්ෂනවලින් එකක් වන්නේ එහි “නායකත්වයකින් තොර” ස්වභාවය යි. සලකා බැලෙන ඕනෑ ම රටක, දැනට කුමන පාලක පක්ෂයක් ආධිපත්‍යය දැරුවත්, කම්කරුවන් හා තරුනයින් අතර පැතිරෙන සමාජ විරෝධයේ වර්ධනය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය අතිමූලික වශයෙන් සතුරු ය.”

විරෝධතාවන්ගේ මෙම “නායකත්වයෙන් තොර” ස්වභාවය, පාලක පන්තීන් මිලිටරි-ෆැසිස්ට් ආඥාදායකත්වයන් වෙත හැරෙමින් සිටින කොන්දේසි යටතේ, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ, වෘත්තීය සමිතිවල හා “වම්මුන්ගේ” දක්ෂිනාංශික හැරීම අවධාරනය කරනවා. මෙම ව්‍යාජ නායකත්වයන්ගේ නායක කාර්ය අත්හැර දැමීමට හේතුව වන්නේ, ඉස්මතු වෙමින් පවතින මහජන අරගල තුල පරදුවට තැබී ඇත්තේ ධනේශ්වර පද්ධතිය ම ය යන්න ඔවුන් විසින් අවබෝධ කරගැනීම යි.

තමන්ගේ ජීවන කොන්දේසි මත ප්‍රහාරයන්ට, රැකියා අහිමි කිරීම්වලට හා කප්පාදු පියවර හරහා සමාජ අයිතීන් කාබාසිනියා කිරීමට, පලල් වසයෙන්, ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහි ව මහජනයා වීදි බැස තිබෙනවා. පුද්ගලික දේපොල හා ජාතික රාජ්‍ය පද්ධතිය මත පදනම් වන සමස්ත ධනේශ්වර ව්‍යුහයට මෙම අරගල රැල්ල අභියෝග කරනවා.

ගෝලීය ධනවාදයේ දිග්ගැස්සුනු බිඳවැටීමක කොන්දේසි යටතේ, සියලු ප්‍රධාන ආර්ථිකයන් සඳහා ආර්ථික වර්ධනයේ ඛාදනයක් පිලිබඳ ව පුරෝකථනයන් සිදුකෙරෙනවා. කොවිඩ්-19 වසංගතයේ ඍනාත්මක බලපෑම දශකයක් ගත වන තෙක් ම පහව නො යනු ඇති. මේ වසරේ බ්‍රිතාන්‍යයේ ආර්ථික හැකිලීම සියයට 14ක්, ස්පාඤ්ඤයේ සියයට 11.6ක්, ප්‍රන්සයේ සියයට 10.3ක් සහ ඉතාලියේ හා ජර්මනියේ පිලිවෙලින් සියයට 9.2ක් හා 6.1ක් බවට තක්සේරු කොට පවතිනවා.

දකුනු ආසියාවේ රටවල් මෙන් ම, ඊනියා තුන්වන ලෝකයේ රටවල් ද 1930 ගනන්වල විජිත පාලනයේ පටන් නො දුටු පරිමානයේ ආර්ථික ඛාදනයන් අත්දකිනු ඇති. ස්වයං-පෝෂිත ආර්ථික වර්ධනය හා ජාතික ස්වශක්තිය පිලිබඳ ශ්‍රී ලංකාවේ රාජපක්ෂගේ හා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ පූච්චානම්, මහජනයා රැවටීම ඉලක්ක කරගත් හිස් දෙඩවිලි පමනයි. ආඥාදයකත්වය දෙසට වන පියවරයන් පැන නගින්නේ, සෑම රටක ම ලාබ පද්ධතිය මුහුන දෙන මෙම වෛෂයික අර්බුදයෙන්.

කාල් මාක්ස් ලියූ, ප්‍රන්සයේ සිවිල් යුද්ධය නමැති කෘතියේ, ධනපති රාජ්‍යයේ පන්ති ස්වභාවය ඔහු මෙසේ විස්තර කලා: “දහනව ව න ශතවර්ෂයේ දී ‘ස්ථාවර හමුදාව, පොලීසිය, නිලධරය, පූජක පැලැන්තිය හා අධිකරන තන්ත්‍රයෙන් සමන්විත මධ්‍යගත රාජ්‍ය බලය’ වර්ධනය විය. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර පන්ති ප්‍රතිවිරෝධයන්වල වර්ධනය සමගින්, ‘රාජ්‍ය බලය වඩ වඩා කම්කරු පන්තිය මර්දනය කරන්නා වූ පොලිස් බලයක හෙවත් පන්ති පාලනයේ යාන්ත්‍රනයක් බවට පත් වීගත්තේ ය.’” (ලෙනින්ගේ රජය හා විප්ලවය කෘතියෙන් උපුටා ගන්නා ලදී.)

කොවිඩ්-19 වසංගතය තුල දී පාලක පන්තීන්, සමාජ ධ්‍රැවාන්තගත වීම පලල් කර ඇතුවා පමනයි. කම්කරුවන් ව ආපසු වැඩපොලවල් කරා දක්කනු ලබන හා අවශ්‍ය ආරක්ෂාව නැති කමෙන් මිය යනු ඇති අතර, මහ ව්‍යාපාර හා බැංකුවලට ඒවායේ “පාඩු” ආවරනය කරගැනීමට, ට්‍රම්ප්, එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 3කට වැඩියෙන් ප්‍රදානය කලා. කොරෝනා වෛරසයට අගුලු දැමීම හේතුවෙන් ම, එක්සත් ජනපද ජනගහනයේ පොහොසත් ම සියයට එක තව තවත් පොහොසත් වී ඇත්තේ, මිලියන ගනන් කම්කරුවන්ට ඔවුන්ගේ රැකියා අහිමි වන තතු තුල යි.

ශ්‍රී ලංකාවේ කම්කරුවන් දසදහස් ගනනකට රැකියා අහිමි වී තිබෙනවා. බොහෝ ස්ථානවල, කම්කරුවන්ගේ සෞඛ්‍යය හා ජීවිත අනතුරේ හෙලමින්, රුපියල් 14,500ක සොච්චම් මාසික වැටුපකට ඔවුන් ව ආපසු වැඩට දැක්කීමට, වසංගතය යොදාගෙන තිබෙනවා. මෙම සමාජ අපරාධයන්ට එරෙහි ව කිසිදු වෘත්තීය සමිතියක් වචනයක් වත් කතාකර නැහැ.

පොලිස් ඝාතනවලට විරෝධය පෑ ලොව පුරා මිලියන ගනන් ජනයාට ආමන්ත්‍රනය කරමින්, ඇමරිකානු සසප එහි ජුනි 8 ප්‍රකාශය තුල මෙසේ ද අවධාරනය කලා: “සතුරා නිසි ලෙස හඳුනාගත යුතු ය. එය හුදෙක් මැර පොලිස් හමුදා හෝ වර්ගවාදී පොලිස් භටයන් පිලිබඳ කාරනයක් නො වේ. ප්‍රජාතන්ත්‍රීය අයිතීන්වලට එරෙහි ප්‍රහාරයේ මූලාශ්‍රය වන්නේ මූල්‍ය කතිපයාධිකාරය සහ එහි ධනය හා බලය පදනම් වී ඇති සමාජ හා ආර්ථික පද්ධතිය වන ධනවාදය යි.”

සතුරා හඳුනාගැනීම, විවිධාකාර ප්‍රතිසංස්කරනවාදීන් හා ව්‍යාජ-ව්මමුන් කරන පරිදි, දේශපාලන සංස්ථාපිතය තුලින් නිරර්ථක ලෙස “අඩු නපුර” පිරික්සීම අවසන් කරනවා. කම්කරුවන් මෙම හඳුනාගැනීම කරන විට, ධනපති පන්තිය යනු ජාත්‍යන්තර ව සංවිධානය වූ පන්තියක් බව ද ඔවුන් දැකගන්නවා.

එවන් අවබෝධයක් විසින් ඉදිරියට දමන ප්‍රශ්නය වන්නේ, මෙම ජාත්‍යන්තර පන්තියට එරෙහි ව සටන් කල හැකි සමාජ බලවේගය කුමක්දැයි සොයාගැනීම යි. මෙයට පිලිතුරු සපයන්නේ අව්‍යාජ මාක්ස්වාදය පමනයි. 1847 දී මාක්ස් හා එංගල්ස් විසින් රචනා කරන ලද කොමියුනිස්ට් ප්‍රකාශනය තුල, ධනවාදයට එරෙහි ව අරගලයට පැමිනෙන සියලු සමාජ පන්තීන් අතරින්, කම්කරු පන්තිය පමනක් ම එකම සංගතික විප්ලවවාදී පන්තිය බව ඔවුන් විස්තර කලා.

තව ද ලෙනින් මෙසේ පැහැදිලි කලා: “ඕනෑම ධනපති ආර්ථිකයක, නිර්ධන පන්තියේ ශක්තිය, සමස්ත ජනගහනය තුල එය නියෝජනය කරන කොටසට වඩා විශාල යි. ධනවාදයේ සමස්ත ආර්ථික පද්ධතියෙහි කේන්ද්‍රය හා ස්නායුව මත නිර්ධනීන් ආධිපත්‍යය දැරීමත්, ධනවාදය යටතේ අතිමහත් බහුතර වැඩකරන ජනයාගේ සැබෑ අවශ්‍යතා, ආර්ථික ව හා දේශපාලනික ව ප්‍රකාශයට පත්කරන්නේ නිර්ධනීන් වීමත් ඊට හේතුව යි.”

ලෝක ධනපති ආර්ථිකයෙහි ගෝලීයකරනය පිලිබඳ එහි විශ්ලේෂනය සමගින්, මෙම කාලපරිච්ඡේදය තුල කම්කරුවන්ගේ පන්ති අරගලය, හරයෙන් පමනක් නො ව රූපයෙනුත් ජාත්‍යන්තර වනු ඇතැයි හජාජාක අවධාරනය කර තිබෙනවා. ජාත්‍යන්තර පාලක පන්තීන්ට එරෙහි ව, සියලු පීඩිත සමාජ බලවේගයන්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ බලමුලුගන්වනු ලැබිය යුතු යි.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුන යන ප්‍රධාන ධනපති පක්ෂ හතරේ ම දේශපාලන භේදයන් තුල, ශ්‍රී ලංකාවේ ධනපති පාලනයෙහි අර්බුදයේ තියුනු භාවය පිලිබිඹු වෙනවා.  ඒ සමගම, විවිධාකාර බලවේගවල බැනරයන් යටතේ නව දේශපාලන රූපාකාර ඉස්මතු වෙනවා. මෙම සියලු ඊනියා “බලවේගයන්ගේ” කර්තව්‍යය වන්නේ, රාජපක්ෂ පාලන තන්ත්‍රයට එරෙහි ව සියලු මහජනයාගේ හා පීඩිතයන්ගේ දේශපාලන නායකත්වය ගැනීමෙන් කම්කරු පන්තිය වැලැක්වීම යි.

19 වන ශතවර්ෂයේ අග හා 20 වන ශතවර්ෂයේ මුල, සමාජවාදයේ පදනම වන්නේ සුලුධනේශ්වර ගොවි කොමියුනයන් යයි අවධාරනය කල රුසියාවේ නරෝද්නික්වරුන්ට (ජනතාවාදීන්ට) එරෙහි ව, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා, ලෙනින් වෙහෙස නො තකන අරගලයක නිමග්න වුනා. තම නො නවතින විප්ලව න්‍යායයෙහි දී තවත් ඉදිරියට ගිය ට්‍රොට්ස්කි, විප්ලවය තුල කම්කරු පන්තියේ ආධිපත්‍යධාරී භූමිකාව හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා වාහකය ලෙස කම්කරු පන්ති ආඥාදායකත්වයෙහි භූමිකාව  පිලිබඳ ව අවධාරනය කලා.

ගිනිය නො හැකි වටිනාකමින් යුත් මෙම මූලෝපායික පාඩම් මත පදනම් වන, හජාජාක ශ්‍රී ලංකා ශාඛාව වන සසප, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් ස්ථාපනය කිරීමට සටන් කරනවා.

අපි දැන් මුහුන දෙන්නේ, රාජපක්ෂ ආන්ඩුව එහි පාලනයෙහි මිලිටරිකරනය වේගවත් කරන අවධියකට. අපගේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයේ පදනම මත ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ වැඩකරන ජනයා, ශිෂ්‍යයන් හා තරුනයන් අධ්‍යාපනගත කොට බලමුලුගැන්වීමේ අරගලය තීව්‍ර කිරීමේ අවශ්‍යතාව මෙමගින් ඉස්මතු කෙරෙනවා.

සසප මැතිවරන ප්‍රකාශය තුල, මෙම ප්‍රශ්න අපි විස්තාරනය කර තිබෙනවා. අපගේ මහ මැතිවරන උද්ඝෝෂනයේ කොටසක් ලෙස, එලඹෙන මාසයේ දී, පලල් පරිමාන දේශපාලන සාකච්ඡාවක් සඳහා එමගින් පදනම සකසනවා.

අධ්‍යාපනය, සෞඛ්‍යය, ඇඟලුම් හා සංක්‍රමනික යන අංශවල කම්කරුවන් ඉලක්ක කරගත් පුවත් පනිවුඩයන් හතරක් පලකිරීමට සසජ තීරනය කර තිබෙනවා. මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් රැකගැනීම සඳහා සටන් කිරීමට, වැඩකරන ජනයාගේ හා තරුනයන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ පියවරයන් සමග, පනිවුඩ පාඨකයන් සඳහා වන උද්ඝෝෂනය අත්වැල් බැඳගන්නවා. අපේ සියලු ශ්‍රාවකයන්ට සසපට බැඳී මෙම අරගලයට සහභාගි වන ලෙස අපි කැඳවුම් කරනවා.

Loading