වොෂින්ටනය සමඟ වැඩෙන ගැටුම් මධ්‍යයේ මර්කෙල් හා මැක්‍රොන්, යුරෝපා සංගමයේ මිලිටරිවාදය ප්‍රවර්ධනය කරති

ජොහැන්නස් ස්ටර්න් සහ ඇලෙක්ස් ලැන්ටියර්
1 ජූලි 2020

මෙම ලිපිය ජූනි 30 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ජූලි 1 වන දින යුරෝපා සංගම් කවුන්සිලයේ ජර්මානු සභාපති ලෙස පත්වීමට පෙර බර්ලිනය අසල මෙසෙබර්ග් කාසල්හිදී ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පිලිගත්තේය.

මෙම සාකච්ඡා පැවතියේ, වසංගතය, දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු ඇති වූ ගැඹුරුම ආර්ථික අර්බුදය සහ එක්සත් ජනපද-යුරෝපා සංගම් ආතතීන් වර්ධනය වීම මධ්‍යයේ ය. වසංගතය දරුනු ලෙස උත්සන්න වන තතු හමුවේ පවා කොවිඩ්-19 ට එරෙහිව අර්ථවත් පියවර ගැනීම බලධාරීන් ප්‍රතික්ෂේප කරන තත්වය යටතේ, එක්සත් ජනපදයේ දේශපාලන හා ආර්ථික කැබලිවීම සම්බන්ධයෙන්  කම්පනය හා ව්‍යාකූලත්වය ජාත්‍යන්තරව ඉහල යමින් පවතියි.

යුරෝපා සංගමය එක්සත් ජනපද පුරවැසියන්ට යුරෝපයට ඇතුලුවීම අවහිර කිරීමෙන් පසුව මර්කෙල් සහ මැක්‍රොන්, වොෂිංටනයෙන් ස්වාධීනව යුද්ධ කිරීමට යුරෝපයට ඇති හැකියාව සහතික කිරීම සඳහා මිලිටරි වියදම් සහ කප්පාදු වේගවත් කරන ලෙස ඉල්ලා සිටියහ.

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් දකුනේ, ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද්විපාර්ශ්වික රැස්වීමකින් පසු ජර්මනියේ බර්ලිනය අසල ග්‍රැන්සි හි පිහිටි ජර්මානු මෙසෙබර්ග් කාසල්හි රජයේ ගෙස්ට් හවුස් හි දී 2020 ජූනි 29 වන සඳුදා මාධ්‍ය රැස්වීමක් පවත්වයි. මෙම රැස්වීම 2020 දෙවන භාගයේදී යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති ධුරය ජර්මනියට පැවරීමට පෙරාතුව පැවැත්වුනි . (හයූං ජියොන්, ඒපී සංචිතය)

මර්කෙල් ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාව ආරම්භ කලේ, “අපි ජීවත් වන්නේ බැරෑරුම් කාලයක ය” යන වචන සමඟ ය. වසංගතය සහ “ඒ හා බැඳුනු ආර්ථික අභියෝගය, දශක ගනනාවක් තිස්සේ හෝ මීට පෙර කවදාවත් අප දැක නැති ආකාරයේ දේ” යයි ඇය සඳහන් කලාය.

ජර්මනියට හා ප්‍රන්සයට “ඉදිරි මාසවලදී ඒකාබද්ධ භූමිකාවක් රඟ දැක්වීමට අවශ්‍ය වන අතර යුරෝපය අපගේ අනාගතය බව පැහැදිලි ය ... යුරෝපීය ප්‍රජාව තුල පමනක් අප ශක්තිමත් වන අතර ලෝකය තුල අපගේ කාර්යභාරය ඉටු කල යුතුව ඇත.” ඇය දුටු “විශාල අභියෝග” අතරට ඩිජිටල්කරනය, දේශගුනික විපර්යාස පමනක් නොව “වචනයේ නියම අර්ථයෙන් යුද්ධය හා සාමය පිලිබඳ ප්‍රශ්නය” ද ඇතුලත් ය.

කුමන යුද්ධ ආසන්න විය හැකිදැයි මර්කෙල් සහ මැක්‍රොන් පැහැදිලි නොකල නමුත් යුරෝපීය ආන්ඩු වලට ගෝලීය වශයෙන් තරඟ කල හැක්කේ අනෙකුත් ප්‍රධාන බලවතුන් සමඟ එක්ව කටයුතු කිරීමෙන් පමනක් බව ඔවුහු අවධාරනය කලහ. “අපි යුරෝපා සංගමයක් ලෙස ලෝකය සමඟ අපගේ සබඳතා නිර්වචනය කරගත යුතුයි,” මර්කල් පැවසීය. “මෙය අප්‍රිකාව සමඟ සබඳතා, චීනය සමඟ සබඳතා හා ඇත්ත වශයෙන්ම අත්ලාන්තික් සාගර සබඳතා සමඟ සම්බන්ධ වේ. අප මෙහි විශාල අභියෝගයකට මුහුන දී සිටින බව සෑම දිනකම දැකිය හැකිය.”

මෙසෙබර්ග් සාකච්ඡාවලට සම්බන්ධ ප්‍රශ්නවල දුරදිග යන ස්වභාවය , මර්කෙල් යුරෝපීය පුවත්පත් සමූහයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පෙන්නුම් කලේය. බ්‍රිතාන්‍යයේ ගාඩියන්, ජර්මනියේ ස්වෙඩෙට්ෂු සයිතුං, ප්‍රන්සයේ ලී මොන්ඩේ, ඉතාලියේ ලා ස්ටැම්පා, ස්පාඤ්ඤයේ ලා වැන්ගාර්ඩියා සහ පෝලන්තයේ පොලිටිකා යන පුවත්පත් සමඟ අදහස් දක්වමින් ඇය,  යුරෝපීය කවුන්සිලයේ සභාපති ධුරය ජර්මනියට පැවරීම පිලිබඳව සාකච්ඡා කල අතර, වොෂිංටනය සමඟ  සබඳතාවලදී යුරෝපීය පාලන කවයන් තුල වැඩෙන කනස්සල්ල ගැන කතා කලාය.

යුරෝපය වොෂිංටනයෙන් මූලෝපායික ස්වයං පාලනයක් පිහිටුවන්නේදැයි ඇසූ විට ඇය මෙසේ පිලිතුරු දුන්නාය: “අත්ලාන්තික් සාගරයේ ආරක්ෂක ප්‍රජාව සමඟ කැපවීමෙන් කටයුතු කිරීමට සහ අපගේ හවුල් න්‍යෂ්ටික කුඩය යට සිටීමට බලවත් හේතු තිබේ. නමුත් ඇත්ත වශයෙන්ම යුරෝපයට, සීතල යුද්ධයේ කාලයට වඩා වැඩි බරක් උසුලන්න අවශ්‍යයි. අප හැදී වැඩුනේ, එක්සත් ජනපදයට ලෝක බලවතෙකු වීමට අවශ්‍ය බවට වූ නිශ්චිත දැනුම සහිතවය. එක්සත් ජනපදය දැන් තමන්ගේ නිදහස් කැමැත්තෙන් එම භූමිකාවෙන් ඉවත් වීමට අපේක්ෂා කරන්නේ නම්, අප එය ගැන ඉතා ගැඹුරින් සිතා බැලිය යුතුය. ”

ප්‍රමුඛ ලෝක බලය ලෙස වොෂින්ටනයට සිය භූමිකාව අතහැර දැමීමට හේතු විය හැකි දේ මර්කෙල් කීවේ නැත. කෙසේ වෙතත් සමස්ත ඇමරිකානු ධනේශ්වර සංස්ථාපිතය, එක්සත් ජනපදයේ වේගයෙන් මැකී යන ගෝලීය ආධිපත්‍යය පවත්වා ගැනීමට මංමුලා සහගත බව රහසක් නොවේ. මර්කෙල් සහ අනෙකුත් යුරෝපීය රාජ්‍ය නායකයින් යථාර්ථයේ දී “පිලිබිඹු කරන්නේ” වොෂින්ටනය විසින් තමන්ගේම නිදහස් කැමැත්තෙන් තීරනය කරන ලද ප්‍රතිපත්තියේ වෙනසක් සඳහා ඇති හැකියාව නොව, ඇමරිකානු ධනවාදයේ ලෝක තත්වය වේගයෙන් බිඳ වැටීමයි.

ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් වොෂිංටනය හා යුරෝපීය අගනුවරවල් අතර ගැටුම් ක්‍රමයෙන් වර්ධනය වේ. ට්‍රම්ප් පරිපාලනය ජර්මනියට හා චීනයට ඩොලර් බිලියන සිය ගනනක වෙලඳ යුද්ධයේ තීරු බදු පැනවීමට තර්ජනය කිරීමත් සමඟ මර්කෙල්, ගෝලීය දේශපාලනයේ “තිරිසන්” ස්වරය ගැන දුක් විය: “මේ දිනවල අප ආරක්ෂනවාදයට ඇද වැටීම වැලැක්වීමට අපට කල හැකි සියල්ල කල යුතුය. සාකච්ඡා කොතරම් දුෂ්කර වේද යන්න පිලිබඳව මා තුල කිසිදු මිත්‍යාවක් නොමැත. ”

චීනයේ ආර්ථික නැගීම, “අපගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල අභියෝගයක්” ලෙස හඳුන්වන අතර මර්කෙල්, වොෂිංටනයට වඩා වෙනස් ප්‍රවේශයක් යෝජනා කල අතර, ඇමරිකාව චීනයට ගෙවීමට ඇති නය පැහැර හැරීමට තර්ජනය කරන අතර චීනයේ වෙරලබඩ ප්‍රෙද්ශ වලට තර්ජනය කිරීම සඳහා ගුවන් යානා හාරක නැව් තුනක්  යවා ඇත. මර්කෙල් කියා සිටියේ යුරෝපය සහ චීනය “ආර්ථික සහයෝගීතාවයේ සහ දේශගුඅනික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේ හවුල්කරුවන් වන අතර, වෙනස් දේශපාලන ක්‍රම ඇති තරඟකරුවන් ද වන බවයි. එකිනෙකා සමඟ කතා නොකිරීම ඇත්තෙන්ම නරක දෙයකි. ”

ලෝක බලවතෙක් බවට පත්වීමේ  ජර්මන් අපේක්ෂාවලට සහාය ලබා ගැනීම සඳහා, වඩාත් නයගැති යුරෝපා සංගම් රටවලට සීමිත සහන ලබා දීමට ද ඇය යෝජනා කලාය. කොවිඩ්-19 ඇපදීමේ අරමුදලකට, ජර්මන් දායක මුදල් වැඩි කල හැකි බව ඇය පෙන්වා දුන්නේ, “ජර්මනියට අඩු නය අනුපාතයක් තිබෙන නිසාත්, මෙම අසාමාන්‍ය තත්වය තුල තවත් නය වීම දැරිය හැකි” නිසාත් ය. යුරෝ කලාපයේ මුදල් ඇමතිවරුන්ගේ යුරෝ සමූහයේ ප්‍රධානියා ලෙස ස්පාඤ්ඤයේ ආර්ථික ඇමති නාඩියා කැල්විනෝට සහාය දිය හැකි බව ඇය පැවසුවාය.

ආර්ථික වශයෙන් දුර්වල යුරෝපීය රටවලට උපකාර කිරීමේ පියවර, ඇත්ත වශයෙන්ම අපගේ අභිමතාර්ථයන් සඳහා ද වන්නේය. “ශක්තිමත් අභ්‍යන්තර වෙලඳපොලක් තිබීම හා යුරෝපා සංගමය බිඳී යාම නොව එකිනෙකට සමීපව වර්ධනය වීම ගැන ජර්මනිය උනන්දුවෙයි“.

අර්බුදයේ පිරිවැය කම්කරු පන්තිය විසින් දැරිය යුතුය යන්න පිලිබඳව මෙසස්බර්ග්හිදී, මර්කෙල් සහ මැක්‍රොන් කිසිදු සැකයක් පල නොකලහ. ජර්මනිය සහ ප්‍රන්සය විසින් යෝජනා කරන ලද යුරෝ බිලියන 500 ක “ප්‍රතිසාධන අරමුදල” වැඩකරන ජනතාවට එරෙහි ම්ලේච්ඡ කප්පාදුවට සම්බන්ධ කරන බව මර්කල් පැහැදිලි කලාය. “සෑම කෙනෙකුම නිවසේ අනාගතය සඳහා සුදුසු අය බවට පත් විය යුතුයි” සහ “ඔවුන්ගේම තරඟකාරිත්වය ශක්තිමත් කරගත යුතුය. ඉතාලි අගමැති ගුසෙප් කොන්ටේගේ උදාහරනය  උපුටා දක්වමින් ඇය කියා සිටියේ, “දැනටමත් තම රට නවීකරනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති” බවයි.

එක්සත් ජනපදයට එරෙහිව ස්වාධීනව හා අවශ්‍ය නම් ක්‍රියා කල හැකි යුරෝපා සංගමය මිලිටරි සන්ධානයක් බවට, නේටෝව මෙන් නොව, පරිවර්තනය කිරීම සඳහා යුරෝපීය බලවතුන් සමීපව කටයුතු කරයි . එහෙත් යුරෝපීය අගනගරයන් අතර ගැටුම් ද යලි මතුවෙමින් තිබේ. අර්බුදයට ගොදුරු වූ යුරෝපීය ස්ථායිතා යාන්ත්‍රනය (ඊඑස්එම්) “සෑම කෙනෙකුටම භාවිතා කල හැකිය” යනුවෙන් මර්කෙල් සිය සම්මුඛ සාකච්ඡාවේදී යෝජනා කල විට, කොන්ටේ ඇයට තරවටු කලේය: “මම තමයි පොත් තබා ගන්නේ. මුදල් ඇමති රොබර්ටෝ ගුවල්ටේරි, රජයේ ගනකාධිකාරිවරු සහ අනෙකුත් ඇමතිවරුන් සමඟ  ඉතාලි අයවැය ගැන මම බලාගන්නෙමි. ”

මේ අවස්ථාවේදී යුරෝපීය ආන්ඩු එකට තබා ගන්නේ, අවශ්‍යතාවල එකමුතුවක් ලෙස නොව, විදේශීය සතුරන්ට සහ රටවල් තුල සිටින කම්කරු පන්තියට එරෙහිව මිතුරන් සෙවීමේ මංමුලා සහගත උත්සාහයකින් ය. ඔවුන්ට එකඟ විය හැකි එකම ප්‍රතිපත්තිය වන්නේ කප්පාදුව, මර්දනය සහ මිලිටරිවාදයයි. මේ අනුව, ප්‍රන්සය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤ යේ ආරක්ෂක අමාත්‍යාංශ, යුරෝපා සංගමයේ විදේශ හා මිලිටරි ප්‍රතිපත්ති ප්‍රධානී ජොසෙප් බොරෙල්ට ඒකාබද්ධ ලිපියක් නිකුත් කරමින් කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ප්‍රධාන ඒකාබද්ධ යුරෝපා සංගම් මිලිටරියක් ගොඩනඟා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

වසංගතය අතරතුර ඔවුහු මෙසේ ලිවූහ. “යුරෝපයේ සහ ඉන් ඔබ්බෙහි ඇති අභියෝගයන්ට මුහුන දීම සඳහා අපගේ සන්නද්ධ හමුදා උපකාරී වී තිබේ. අද වන විට, වසංගතයේ ප්‍රතිපල වශයෙන් දැනටමත් පවතින ගැටුම් හා අර්බුද උග්‍ර වීමට පටන් ගෙන ඇති අතර, බිඳෙන සුලු තත්වයන් තවදුරටත් දැඩි කරමින් දැනටමත් පීඩාවට පත්ව ඇති පද්ධති සහ කලාප කෙරෙහි අමතර පීඩනයක් එල්ල කරයි. එබැවින් ආරක්ෂාව ප්‍රමුඛ විය යුතුය. අපගේ වගකීම්වලට අනුකූලව ජීවත් වීමටත්, දේශීය හා විදේශීය වශයෙන් වර්තමාන හා ඉදිරියට එන අභියෝගයන්ට මුහුන දීමටත් අපට අවශ්‍යය. ”

මිලිටරි ගැටලු සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ස්ථිර ව්‍යුහාත්මක සහයෝගීතාව (පෙස්කෝ) ශක්තිමත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. යුරෝපා සංගම් ආරක්ෂක කර්මාන්ත ශක්තිමත් කිරීම; පොදු යුරෝපා සංගම් මිලිටරි මෙහෙයුම් පාලනය කරන “මූලෝපායික මාලිමා යන්ත්‍රයක්” සංවර්ධනය කිරීම; මාලි, ලිබියාව සහ ගිනියා බොක්ක ආශ්‍රිත හමුදා මෙහෙයුම් වේගවත් කිරීම; යුරෝපා සංගම් මිලිටරි ප්‍රතිපත්තිය තවදුරටත් සම්බන්ධීකරනය කිරීම. “නේටෝව සමඟ සහයෝගීතාව අවසාන වශයෙන් මියගෙස් ඇත. නේටෝව තුල යුරෝපීය කුලුන ශක්තිමත් කිරීම”  මෙන්ම “අනෙකුත් හවුල්කාර සංවිධාන සමඟ ආරක්ෂාව  ඉදිරියට ගෙනයාම” සඳහා යුරෝපා සංගම් බලවතුන් සිව්දෙනා කැප වනු ඇත.

වොෂින්ටනයෙන් ස්වාධීනව මහා පරිමාන මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට යුරෝපා සංගමයට ඇති හැකියාව ගොඩනැගීම සඳහා යුරෝපයේ යුද යාන්ත්‍රනයන්ට මූල්‍ය සම්පත් පොම්ප කිරීම අවශ්‍ය බව ඔවුහු අවධාරනය කලහ.

“යුරෝපයේ කාර්මික, තාක්‍ෂනික හා ඩිජිටල් ස්වෛරීභාවය ගොඩනැගීම සඳහා අපගේ ආර්ථික ප්‍රතිපත්ති අපගේ ආරක්‍ෂක අවශ්‍යතා සමඟ වඩාත් ශක්තිමත්ව ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ… යුරෝපීය ආරක්ෂක අරමුදල (ඊඩීඑෆ්), අපගේ පර්යේෂන කටයුතු ශක්තිමත් කිරීම, ආරක්‍ෂන පර්යේෂන සහ ශක්‍යතා සංවර්ධනය සඳහා මූල්‍ය සම්පාදනයේ ප්‍රධාන වේ.  අනාගත මිලිටරි අර්බුද සහ ගෝලීය තර්ජන වලට මුහුන දීමට ඇති හැකියාව සවිමත් කිරීම පිනිස එය වැදගත්ය. එබැවින් අපි බහුජාතික මූල්‍ය රාමුව පිලිබඳ සාකච්ඡාවලට, ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රමුඛතාව සහ ඊඩීඑෆ් නියාමනය කඩිනමින් සම්මත කර ගැනීම අරමුනු කරගත් අභිලාෂකාමී ඊඩීඑෆ් අයවැයක් ඉල්ලා සිටිමු. ”

යුරෝපීය බලවතුන් යුද්ධයට සූදානම් වෙද්දී ඇමරිකාව සමඟ ඔවුන්ගේ සබඳතා බිඳ වැටෙමින් පවතින බව ඔවුහු විවෘතව පිලිගනිති. ජර්මානු විදේශ ඇමති හයිකෝ මාස් (එස්පීඩී) ඩීපීඒ වෙත මෙසේ පැවසීය: “ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති කෙනෙකු සමඟ අත්ලාන්තික් සාගරයේ හවුල්කාරිත්වයේ සෑම දෙයක්ම නැවත යථාතත්වයට පත්වනු ඇතැයි සිතන ඕනෑම අයෙකු ව්‍යුහාත්මක වෙනස්කම් අවතක්සේරු කර ඇත.”

ස්ටැලින්වාදීන් සෝවියට් සංගමය  විසුරුවා හැර දශක තුනකට පසු, 20 වන සියවසේ ලෝක යුද්ධ දෙකකට තුඩු දුන් ධනවාදයේ ඓතිහාසිකව මුල් බැසගත් ප්‍රතිවිරෝධතා යලිත් වේගයෙන් පුපුරා යයි. මෙය අනතුරු ඇඟවීමක් ලෙස කම්කරු පන්තිය විසින් වටහා ගත යුතුය. අත්ලාන්තික් සාගරය දෙපැත්තේම වැඩෙන ධනේශ්වර යුදවාදයට එරෙහි මාවත නම්, ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සහ සමාජවාදී විප්ලවය සඳහා අරගලයකි.