පුද්ගලීකරනයට එරෙහි වරාය කම්කරු අරගලය පුහු විරෝධතා මගින් අපගමනය කිරීමට වෘත්තීය සමිති වැඩට බසී

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම
2 ජූලි 2020

කොලඹ වරායට ගෙනවිත් ඇති නව දොඹකර යන්ත්‍ර තුනක් වහාම නැගෙනහිර පර්යන්තයේ සවිකොට, එය රජය සතු ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන ලෙස වරාය වෘත්තීය සමිති ආන්ඩුවෙන් ඉල්ලා සිටිති. 

මෙම ඉල්ලීම මත සමිති විසින් සංවිධානය කල විරෝධතා උද්ඝෝෂනයන්හි නවතම පියවර වන්නේ, වරායේ ඇති මීටර් 50 ක් උස දොඹකරයකට නැගී සමිති නිලධාරීන් තුන්දෙනෙකු පවත්වන විරෝධතාවය යි. නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය නොකරන බවට ආන්ඩුව විසින් ප්‍රකාශයක් නිකුත් කොට දොඹකර සවි කරන තෙක්  තම විරෝධතාව අත් නොහරින බවට එම විරෝධතාකරුවෝ සහ සමිති පවසති.  

රාජපක්ෂ ආන්ඩුවට අනුබද්ධ හා ස්වාධීන යැයි කියාගන්නා වෘත්තීය සමිති ගනනාවක් එක්ව ජූනි 30 දා මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිනි. දොඹකර තුන නැවෙන් ගොඩ බාන්නේ නැතිව දිනගනනාවක් තබාගෙන සිටීමෙන් වරායට දිනකට රුපියල් ලක්ෂ 90කට වැඩි පාඩුවක් සිදුවූ බවත්, එදින පෙරවරුවේ ඒවා ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් ඊට එරෙහිව නැගුනු "සේවක නොසන්සුන්තාව අවම වී ඇති" බවත් වරාය ස්වාධීන සේවක සංගමයේ සභාපති ලාල් බංගමුවගේ සඳහන් කලේය. “කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය රන් බිජුලන කිකිලියක බවත් එය ඩොලර් උල්පතක් බවත් අමතක කල යුතු නැතැයි ද” ඔහු තවදුරටත් පැවසීය. 

 පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) අනුබද්ධ වරාය වානිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ශමේල් සුමනරත්න කියා සිටියේ මෙම දොඹකර ගොඩබෑම නවතාගෙන සිටීම පිටුපස “නැගෙනහිර පර්යන්තය ලබාගැනීමට සූදානම්ව සිටින ඉන්දියාව හා ජපානය ඇතැයි මෙතෙක් සැක කල නමුත්, ඒ පිටුපස සිටින්නේ මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගමක් සහ ඉන්දීය සමාගමක් බව මේ වනවිට තහවුරු වී” ඇති  බවය.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ ප්‍රකාශ කලේ නැගෙනහිර පර්යන්තය "කිසිවෙකුටත් දෙන්නට වරාය සේවකයන් දිවි හිමියෙන් ඉඩ නොදෙන" බවත් “ඉන්දියාවට හෝ වෙනත් රටකට දෙන්නට අවශ්‍යනම් බටහිර පර්යන්තයක් ඉදිකර ගන්නට අවස්ථාව දීම සලකා බැලිය හැකි” බවත්ය. 

ජනතා විමුක්ති පෙරමුනට අනුබද්ධ සමස්ත ලංකා පොදු සේවක සංගමය සාකච්ඡාවට සහභාගී වී නොතිබුනු අතර, මේ දොඹකර පිලිබඳ ප්‍රශ්නය වහාම විමසා බලා පියවරක් ගන්නා ලෙස තමන් ආන්ඩුවෙන් ඉල්ලීමක් කර ඇති බවත්, නගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව නඩු මගට බසින බවත් ඔවුන් මාධ්‍ය වෙත වෙනම නිවේදනය කර තිබිනි. 

දිනෙන් දින පිරිහෙන තම ජීවන හා සේවා කොන්දේසි සම්බන්ධයෙන්, රාජපක්ෂ ආන්ඩුවටත්, පොදුවේ ධනපති දේශපාලන සංස්ථාපිතයටත් එරෙහිව වරාය සේවකයන් අතර වැඩෙමින් පැවති දැඩි වෛරය හා විරෝධය, කොවිඩ්-19 වසංගතයත් සමග තම වැටුප් සහ දීමනාවන්ට එල්ල කෙරුනු බලගතු ප්‍රහාරයත් සමග ඉස්මත්තට පැමින  පුපුරා යමින් ඇත. 

පසුගිය දශක කීපය පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනගිය පුද්ගලීකරනය හා සේවා කොන්දේසි කප්පාදුවට එරෙහිව, වරාය කම්කරුවෝ තීරනාත්මක අරගල වලට එලඹුනහ. 

පද්ධතිගත අර්බුදයක ගිලී සිටින ධනපති ක්‍රමය තුල සහන දිනාගත හැකිය යන මිත්‍යාවට කම්කරුවන් යටකර, එම අරගල පරාජය කිරීමට මග සැලසූ වෘත්තීය සමිති, මෙවරද බංකොලොත් ජාතිකවාදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරමින් අර අඳින්නේ, පුපුරායමින් ඇති විරෝධය පුහු විරෝධතා තුල අපගමනය කර දිය කර හැරීමටයි. 

ඉන්දියා-ජපාන හවුල් ව්‍යාපෘතියක් යටතේ, කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය  පුද්ගලීකරනය කිරීමේ ක්‍රියාවලිය 2018 දී ආරම්භ කලේ පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසිනි. ඉන්දියාව හා ජපානය සමග 2019 මැයි මාසයේදී අත්සන් කල “සහයෝගිතා ගිවිසුම” මගින්, විදේශීය හවුල් සමාගමකට කොටස් වලින් සියයට 51ක් හිමිවන සේ පර්යන්තය පුද්ගලීකරනය කිරීමට යෝජනා විය. 

2019 නොවැම්බර් ජනාධිපතිවරනයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂ තමාගේ ම ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු මෙම පුද්ගලීකරන වැඩපිලිවෙල කෙටිකලක් ප්‍රමාද වුවද, දැන් එය හැකි ඉක්මනින් නිම කිරීම ඔහුගේ ආන්ඩුවේ ද  ප්‍රමුඛතාවක් වී ඇත.

වර්තමානයේ, කොලඹ වරාය තුල ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත්තේ, “ජය බහාලු පර්යන්තය” නම් එක බහාලු පර්යන්තයක් පමනක් වන අතර, එහිද විශාල නැවු වලින් ගොඩබෑම් සිදුකල නොහැක. විශාල නැවු පැමිනිය හැකි “කොලඹ ජාත්‍යන්තර බහාලු පර්යන්තය” (Colombo International Container Terminal – CICT) චීන සමාගමක් යටතේත්, “සවුත් එ්ශියා ගේට් වේ” (South Asia Gateway Terminal – SAGT) පර්යන්තය තවත් විදේශ සමාගමක් යටතේත් පාලනය වෙයි. නැගෙනහිර පර්යන්තය, විශාල නැවු පැමිනිය හැකිවන ලෙස ගැඹුරු කර සාදවා ඇතත් එය මෙහෙයුම් මට්ටමේ නොපවතී. 

කොලඹ වරායේ අනෙකුත් පර්යන්තයන් පුද්ගලීකරනය කිරීම හරහා, ඒවායේ සේවය කල දහස් සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි මත එල්ල කෙරුනු දැවැන්ත ප්‍රහාරය ගැන දන්නා නැගෙනහිර පර්යන්ත කම්කරුවන් පුද්ගලීකරනය කෙරෙහි දක්වන්නේ දැඩි විරෝධයකි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දැක්වු වරාය අධිකාරියේ ටග් යාත්‍රා සේවකයෙක් කියා සිටියේ යල් පැන යමින් ඇති ජය බහාලු පර්යන්තයෙන් පමනක් තවදුරටත් අධිකාරිය නඩත්තු කිරීමට නොහැකි වනු ඇති බවයි. “නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කලොත් අධිකාරියේ දහස් ගානක රස්සාවල් නැති වෙනවා. ඒක මහා විනාශයක්” යැයි ඔහු පැවසීය.

කෙසේවෙතත්, ගෙන්වා ඇති දොඹකර නැගෙනහිර පර්යන්තය තුල සවිකිරීමෙන් එහි මෙහෙයුම් වලට කවර හෝ වාසියක් අත් නොවන බව නාවුක විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ මෙම කුඩා ප්‍රමානයේ දොඹකර  නැගෙනහිර පර්යන්තයේ නිර්මිත ධාරිතාවට කිසිසේත්ම නොගැලපෙන බවයි. 

ඒවා ගෙන්වා ඇත්තේ, පසුගිය රජය විසින් අරඹා පසුව අත්හැර දමන ලද ජය බහාලු පර්යන්තය පුලුල් කිරීමේ කටයුත්තකට බව නිරාවරනය වී තිබේ. නැගෙනහිර පර්යන්තය බහාලු අංගනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නම්, ජැටිය තවත් මීටර් 880 කින් දිගු කිරීම, හෙක්ටයාර් 50 අලුතින් පිරවීම හා විශාල ප්‍රමානයේ ගැන්ට්‍රි දොඹකර 12 ක් සවි කිරීම අතුලු සංවර්ධන කටයුතු ගනනාවක් නිමවීම අවශ්‍යවේ.

මේ සඳහා දැවැන්ත මුදල් කන්දරාවක් අවශ්‍යවේ. නමුත්, ගැඹුරුතම ආර්ථික අර්බුදයක ගිලී සිටින රාජපක්ෂ ආන්ඩුවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විධානය කෙරී ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම වෙනුවට, ඒවා හැකි ඉක්මනින් පුද්ගලීකරනය කරන ලෙසයි. ආන්ඩුවේ පිලිවෙත් නිර්නය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ එම විධානයන්ගෙනි. 

කෙසේ නමුත්, නැගෙනහිර පර්යන්තය ඉන්දියානු-ජපාන හවුල් ව්‍යාපෘතියකට පවරා දීම හුදෙක් ලංකාවේ ආන්ඩුව මුහුන දී සිටින ආර්ථික කරුනු මතම නිර්නය වන්නක් නොවේ. කොලඹ වරායේ බහාලු ප්‍රති-ප්‍රවාහන කටයුතු වලින් සියයට 60කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව සම්බන්ධ ගනුදෙනු වේ. එබැවින් එය තම පාලනය තුල තබාගැනීම නවදිල්ලියේ අවශ්‍යතාවකි. 

මේ සියල්ලටමත් වඩා, නැගෙනහිර පර්යන්ත සිද්ධිය පිටුපසින් පවතින්නේ භූ-දේශපාලනික කරුනුය. ඉන්දියානු සාගර කලාපයේ චීනයට එරෙහිව ඇමරිකාව ගෙනයන යුද වැඩපිලිවෙලට ලංකාව මුලුමනින්ම ගැටගැසී ඇති තතු යටතේ, පසුගිය ආන්ඩුවට මෙන්ම, වර්තමාන රාජපක්ෂ පාලනයටත්, මේ කලාපය තුල වොෂින්ටනයේ ප්‍රධාන සගයා වන ඉන්දියාවේ භූ මූලෝපායික අවශ්‍යතා මගහැර සිටීමට හැකියාවක් නැත. 

ව්‍යාපෘතියේ අනිත් හවුල් කරුවා වන ජපානය, ලංකාවේ ප්‍රධානතම විදේශ නය හිමියෙක් වන අතර, චීනයට එරෙහිව වොෂින්ටනය පිහිටුවාගෙන ඇති ඇමරිකා-ඔස්ට්‍රේලියා-ඉන්දියා-ජපන් චතුර් පාර්ශවික මිලිටරි සන්ධානයේද (“ක්වඩ්”සන්ධානය) සාමාජික රටකි. 

වොෂින්ටනයේ හා නවදිල්ලියේ පීඩනය මත, නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙනයාමට රාජපක්ෂ ආන්ඩුවට සිදුවී ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම ව්‍යාපෘතිය ප්‍රමුඛතාවයක් ලෙස සැලකිය යුතු බව ඉන්දියාව දිගින් දිගටම අවධාරනය කර තිබේ. පසුගිය වසරේ නවදිල්ලි නුවරදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පැවති සාකච්ඡාවකදී සහ මැයි 23 දා ඔවුන් අතර පැවති දුරකථන සංවාදයේදී මේ බව යලි දන්වා තිබේ.

ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිලිබඳව මාධ්‍යවේදියෙකු අසන ලද ප්‍රශ්නයකට සෘජු පිලිතුරක් දීම මගහැරි අගමැති මහින්ද රාජපක්ෂ වටවංගුවෙන් කියා සිටියේ, ඉන්දියාව සහ ජපානය සමග එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. ඒ පිලිබඳව “මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති” බව පැවසූ ඔහු, පසුගිය ආන්ඩුව 2019 දීම රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඒ සඳහා ගිවිසගෙන ඇති බව අවධාරනය කලේය. 

බලයට  පත්වූ විගසම, වරාය අධිකාරියේ සභාපති ලෙස හිටපු හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් දයා රත්නායක පත්කර, එය දරදඬු අර්ධ මිලිටරි පාලනයකට යටත් කරගත්තේද මේ ක්‍රියාවලියට එල්ල විය හැකි කම්කරු විරෝධය මැඩ ගැනීමේ පෙරසූදානම ලෙසය. 

නමුත් පසුගිය සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ පුද්ගලිකරන හා කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව පැවති ජනතා වෛරය කොල්ලකමින්, වර්ගවාදී ජාතිකවාදී සටන්පාඨ මත බලයට පත්වූ වර්තමාන ආන්ඩුවට, අගෝස්තු මාසයේ එලඹෙන මහා මැතිවරනය තෙක් මේ සැබෑ තත්වය වසන් කරගැනීම තීරනාත්මක වී තිබේ.  

මේ යතා කරුනු කම්කරුවන්ට වසන් කොට, රාජපක්ෂ පාලනයෙන්ම වරාය රැක දෙන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ, අරගලයට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් අවමංගතකොට  හා එලඹෙන මහා මැතිවරනයේදී රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ ට පිටිය සකස්කරදීමේ අරමුනෙනි. 

වරායෙන් හොඳින් ලාභ උපයන්නේ කෙසේද යන්න ධනපති කලමනාරිත්වයට උපදෙස් දීම තම වගකීම කරගෙන ඇති වෘත්තීය සමිති ඉදිරිපත් කර ඇති මේ ප්‍රෝඩාකාරී ජාතිකවාදී වැඩපිලිවෙල වරාය කම්කරුවන් සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කල යුතුය. සමස්ත ගෝලයම වෙලාගෙන ඇති, ධනපති ක්‍රමයේ ගොඩ ආගත නොහැකි ආර්ථික-දේශපාලන අර්බුදය හා බලවතුන් අතර වැඩෙන භූ-දේශපාලනික ආතතීන් වල ප්‍රතිපලයක් ලෙස කම්කරුවන් මුහුන දී ඇති මේ  බරපතල අන්තරායන්, පාලකයන්ට පින්සෙන්ඩු වී “කලමනාකරන ප්‍රතිසංස්කරන” මගින් විසඳා ගත නොහැක. 

කම්කරුවන් මුහුනදෙන මෙම අතිමූලික ප්‍රශ්න විසඳිය හැක්කේ වරාය ඇතුලු අනෙකිත් සියලු ආර්ථික මර්මස්ථාන, ෆැක්ටරි හා වැඩබිම් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගෙන ඒමෙනි. ඒ සඳහා, කොලඹ වරාය කම්කරුවෝ ලංකාවේ අනෙකුත් වරාය කම්කරුවන් සමග පමනක් නොව, මෙවැනිම බරපතල අන්තරායන්ට මුහුන දී ඇති, ඉන්දියාව, පකිස්තානය හා බංග්ලාදේශය වැනි කලාපයේ අනෙකුත් රටවල වරාය හා නාවුක කම්කරුවන් සමගද අත්වැල් බැඳගනිමින් ජාත‍්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් කල යුතුය.

එවන් වැඩපිලිවෙලකට පරම සතුරු වෘත්තීය සමිති වලින් කැඩී වෙන්වී, තමන්ගේම ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගැනීම මෙහිදී අත්‍යවශ්‍යවේ.