ශ්‍රී ලංකාව: සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් 56 වන වියේ දී මිය යයි

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) නායක හා කැබිනට් ඇමතියෙකු වූ ආරුමුගම් තොන්ඩමන්, හෘදයාබාධයක් හේතුවෙන් මැයි 26 දා 56 හැවිරිදි වියේ දී මියගියේ ය. තේ හා රබර් වතු කම්කරුවන් මත පදනම් වන විශාලතම වෘත්තීය සමිතිය සීඩබ්ලිව්සීය යි. 150,000ක් පමන වන වතු කම්කරුවන්, ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ වඩාත් ම පීඩිත කම්කරු පන්තික ස්ථරයන්ගෙන් එකකි.

ආරුමුගම් තොන්ඩමන්

ඔහුගේ මරනය පිලිබඳ ව “කම්පනය” හා “කනස්සල්ල” පලකලවුන් අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ), විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය (එජාප), දෙමල ජාතික සන්ධානය (දෙජාස), මුස්ලිම් පක්ෂ හා සිංහල වර්ගවාදී කන්ඩායම් වූ හ.

මධ්‍යම වතුකරයේ හැටන් නගරය අසල නෝවුඩ් පිට්ටනියේ දී, මැයි 31දා  ආන්ඩුව විසින් ඔහුට “රාජ්‍ය අවමංගල්‍යයක්" දෙන ලද්දේ, පාලක පන්තියට ඔහු කල සේවය වෙනුවෙන් උපහාර වසයෙනි.

එහෙත්, තොන්ඩමන් මිය ගියේ, ලංකාවේ කම්කරුවන් අතර, විශේෂයෙන් ම වතු කම්කරුවන් අතර වඩාත් ම වෛරයට පාත්‍රවූ එක් වෘත්තීය සමිති නායකයෙක් ලෙසිනි.

අවමංගල සභාව ඇමතූ ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ, ඔහුගේ ඉන්දියානු සගයා වන නරේන්ද්‍ර මෝදි, ශෝකය පලකිරීම පිනිස දුරකථනයෙන් තමන් අමතා කතා කොට “ඔහු (තොන්ඩමන්) අපේ කෙනෙක්” යයි ප්‍රකාශ කල බව කීවේ ය. මෙලෙස මෝදි මතක් කරදුන්නේ, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රභූවට තොන්ඩමන්ගේ පක්ෂපාතීත්වය යි.

ශ්‍රී ලංකාවේ මහ ව්‍යාපාරිකයේ හා කර්මාන්තකරුවන්ගේ ඉහල ම මන්ඩලය වන ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය සහ ප්‍රාදේශීය වතු සමාගම්, තොන්ඩමන් “වතු කර්මාන්තයට, එහි ප්‍රජාවට හා කාර්මික සම්බන්ධතාවන් පවත්වාගෙන යාමට කල අනුපමය මෙහෙය නිහතමානී ව අගය කරන බව” ප්‍රකාශ කලේය.

ඔවුන්ගේ කනසල්ල වන්නේ, කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරන්නා වූ ද ලාභ තරකර ගැනීමේ තම සැලසුම් ක්‍රියාවට දැමීමට උදවු වන්නා වූ ද විශ්වාසවන්ත සමිතියක නායකයෙක් අහිමි වීම පිලිබඳ ව යි.

1994 මහ මැතිවරනයේ දී පාර්ලිමේන්තුවට පත් වූ තොන්ඩමන්, හිටපු සීඩබ්ලිව්සී නායකයා හා ඔහුගේ සීයා වූ එස්. තොන්ඩමන්ගේ මරනයෙන් පසු 1999 නොවැම්බරයේ දී සීඩබ්ලිව්සී නායකත්වයට පත් විය. එජාපය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) නායකත්වය දුන් ආන්ඩු යටතේ, එස්. තොන්ඩමන් වසර 20ක් පමන කැබිනට් ඇමතියෙකු ලෙස ක්‍රියා කර තිබුනි.

2002 දී එජාප ආන්ඩුවේ කැබිනට් ඇමතියෙකු බවට පත් වූ ආරුමුගම් තොන්ඩමන්, 2015-2019 සිරිසේන-වික්‍රමසිංහ තන්ත්‍රය හැරුනු විට අන් සෑම ආන්ඩුවක් යටතේ ම ඇමති තනතුරක් දැරී ය. පසුගිය වසරේ නොවැම්බරයේ දී බලය ලබාගත් ජනාධිපති රාජපක්ෂ සමග එක්වීම මගින්, කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ තීව්‍ර කරන ලද ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කරගැනීමට රාජපක්ෂ ගනිමින් සිටි පියවරයන්ට තොන්ඩමන් උදවු කලේ ය.

තොන්ඩමන්ගේ මරනින් පසු, ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොන්ඩමන් සංවිධානයේ උරුමකරුවා ලෙස සීඩබ්ලිව්සීය විසින් සරසමින් සිටින අතර, එලඹෙන මහ මැතිවරනයේ දී ඔහු නුවර එලිය දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නියමිත ය. සීඩබ්ලිව්සී තුල ප්‍රජාතාන්ත්‍රික ව තෝරා පත්කර ගන්නා නායකත්වයක් නැත. එහි සිටින්නේ ඉහලින් පත්කෙරෙන නායකත්වයකි. ඇරත්, එය පවුලේ කටයුත්තක් බවට පත් ව තිබේ.

සිය අවමගුල් දින පනිවුඩයේ දී ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ආරුමුගම් තොන්ඩමන් හා ඔහුගේ සීයා වූ එස්. තොන්ඩමන්ගේ අරගල හේතුවෙන් වතු කම්කරුවෝ ඉහල ජීවන තත්ත්වයන් උදා කරගෙන ඇත.”

මෙම කියාපෑම් අතිශයින් ම ව්‍යාජ ය. සමහර උඩින්මත්තෙන් ඇතිකෙරුනු වෙනස්කම් කිහිපයක් හැරුනු විට, තවමත් රුපියල් 700ක් වන දරිද්‍රතා වැටුපක් උපයන වතු කම්කරුවෝ, මූලික පහසුකම් රහිත තෙරපුනු බැරැක්ක බඳු නිවාසවල, සුදුසු අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම්වලින් තොරව, අන් සියල්ලටත් වඩා දෙවන ගනයේ පුරවැසියන් ලෙස වෙනස්කම් කිරීම්වලට බඳුන් කෙරී ජීවත් වෙති--මේ වනාහි1800 ගනන් මැද ශ්‍රී ලංකාවේ තේ හා රබර් වතු වගාව ඇරඹූ බ්‍රිතාන්‍ය විජිත පාලනයෙහි උරුමය එලෙසම පවත්වාගෙන යාමකි.  

තමන්ගේ කොන්දේසි වෙනස් කරගැනීමට වතු කම්කරුවෝ නැවතනැවතත් සටන්කාමී අරගලයන්ට එලඹුනා හ. එහෙත් ඔවුන්ගේ තත්ත්වය නො වෙනස් ව පැවතීම, ධනපති පාලනයට ද දුෂ්ට සහායක භූමිකාවක් ඉටු කල සීඩබ්ලිව්සී වැනි වෘත්තීය සමිතිවලට ද එරෙහි අධි චෝදනා පත්‍රයකි. 

ධනේශ්වර පක්ෂයක් හා වෘත්තීය සමිතියක් ලෙස ක්‍රියාකාරී වන සීඩබ්ලිව්සීයේ භූමිකාව වන්නේ, රාජ්‍යයේ හා සමාගම්වල අවශ්‍යතාවන්ට කම්කරුවන්ගේ අවශ්‍යතා යටපත් කිරීමයි. සීඩබ්ලිව්සී ඉතිහාසය එහි කොටසකි.

සීඩබ්ලිව්සී පසු කලෙක වැඩී ආවේ, ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය සම්භවයක් සහිත ධනවත් ව්‍යාපාරිකයන් විසින් ඉන්දීය ජාතික කොංග්‍රසයේ මැදිහත් වීම ද සහිත ව 1939 දී ස්ථාපනය කරන ලද ලංකා ඉන්දියානු කොංග්‍රසයේ (සීඅයිසී) තුලිනි. එය, 1940 මැයි මාසයේ දී, එස්. තොන්ඩමන්ගේ නායකත්වය යටතේ ලංකා ඉන්දියානු කොංග්‍රස් කම්කරු සමිතිය (සීඅයිසීඑල්යූ) ආරම්භ කරන ලද්දේ, වතු තුල සැලකිය යුතු සාමාජිකත්වයක් සහිත වූ ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සමස්ත ලංකා වතු කම්කරු සමිතියෙහි (ඒසීඊඩබ්ලිව්යූ) ආනුභාවයට වලකැපීම පිනිස ය.  

1948 දී බ්‍රිතාන්‍ය විජිත පාලකයන්ගෙන් නාමික නිදහස ලැබීමෙන් පසු, එවකට පැවති එජාප ආන්ඩුවේ මුලික ප්‍රහාරයන්ගෙන්  එකක් වූයේ වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම යි. සීඅයිසීය මෙම පනතට විරුද්ධ වූ අතර, කම්කරු පන්තිය දුර්වල කොට බෙදීමේ එහි ප්‍රතිගාමී අභිප්‍රායය හෙලිදරවු කරමින්, බලගතු විරෝධයක් ගොඩනගන ලද්දේ එවකට හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප මහද්වීපිය ශාඛාව වූ ඉන්දියානු බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය විසිනි.

වසර දෙකකට පසු, සීඅයිසීය හා එහි වෘත්තීය සමිතිය සීඩබ්ලිව්සීය බවට පරිවර්තනය කෙරුනි. සීඩබ්ලිව්සී නායකයන් අනවරත ව ධනපති එජාපය හා ශ්‍රීලනිපය සමග සන්ධානගත වීමට උත්සාහ දැරුවේ, එවන් සන්ධානයන් හරහා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකි ය යන ව්‍යාජ යුක්තියුක්ත කිරීම තොරොම්බල් කරමිනි. එහෙත්, ප්‍රතිඵලය වූයේ කම්කරුවන් පාලක ප්‍රභූවට ගැටගැසීම යි.

සීඩබ්ලිව්සී නිලධරය, ඔවුන්ගේ වරප්‍රසාද සඳහා කොලඹ පාලන තන්ත්‍රයන් සමග කේවල් කිරීම පිනිස, ඉන්දියාවේ ප්‍රධාන ධනපති පක්ෂවලට අවනත භාවය ද පවත්වාගෙන ගියේ ය. ඒ අතර ම, කම්කරුවන්ගේ අයිතීන් මත එල්ල කරන ප්‍රහාරයන්ට එරෙහි ව මතු වන කැලඹීම සීමා කිරීම සඳහා සීමිත විරෝධතා සංවිධානය කරන ලදී.

ඉනික්බිති වසරවල දී, කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කිරීම සඳහා උදවු වෙමින්, කොලඹ ආන්ඩුවලට ධනපති පාලනය පවත්වාගෙන යාම පිනිස සීඩබ්ලිව්සී නිලධරය උපකාරී විය.

මහජන නැගී  සිටීම පීලි පන්නවමින් හා සමාජවාදී ජාත්‍යන්තරවාදී මූලධර්ම පාවාදෙමින්, 1964 දී ලසසපය සිංහල ස්වෝත්තමවාදය වැලඳගත් සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රීලනිප ආන්ඩුවට ඇතුලු වීම නිසා, ධනපති ආන්ඩුවලට කම්කරු පන්තිය මතට බරපතල ප්‍රහාරයන් එල්ල කිරීමේ හැකියාව ලැබුනි. වතු ප්‍රදේශ තුල දී, මෙම පාවාදීම සීඩබ්ලිව්සීයේ හස්තය ශක්තිමත් කිරීමට උදවු විය.

1948 පුරවැසි පනතෙන් පසුව වතු කම්කරුවන්ට එල්ල වූ දෙවන බරපතල ප්‍රහාරය වූයේ, 1964 ඔක්තෝබරයේ දී කොලඹ පාලනය ඉන්දියාවේ අගමැති බහදූර් ශාස්ත්‍රීගේ ආන්ඩුව සමග එලඹුනු ගිවිසුම යි. මෙම ගිවිසුම යටතේ, වතු කම්කරුවන් ලක්ෂ ගනනක් ඉන්දියාවට ආපසු යැවීමට නියමිත විය. සීඩබ්ලිව්සී නායක එස්. තොන්ඩමන්, 1960 පටන් එම ආන්ඩුවේ පත් කල මන්ත්‍රීවරයෙකු විය. හීන් කෙඳිරියෙන් “කනස්සල්ල” පලකරමින් සීඩබ්ලිව්සීය මෙම ගිවිසුමට එකඟ විය.

සීඩබ්ලිව්සී නායකයා කැබිනට් ඇමති ධුරයක් බාර ගනිමින්, 1977 දී බලයට පැමින සිටි ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආන්ඩුවට 1978 දී ඇතුලත් විය. නිෂ්පාදනයේ ගෝලීයකරනයෙහි ආරම්භක ක්‍රියාවලිය සමග සම්බන්ධ වූ ජයවර්ධන ආන්ඩුව, කම්කරුවන්ගේ හා දුගීන්ගේ සමාජ අයිතීන් කප්පාදු කරමින් විවෘත වෙලඳපොල ආර්ථික පිලිවෙත් ක්‍රියාත්මක කලේ ය. මෙම ප්‍රහාරයන්ට විරුද්ධ වූ රාජ්‍ය අංශ කම්කරුවන් 100,000ක් පමන ජයවර්ධනගේ ආන්ඩුව විසින් නෙරපා දැමී ය. 

ජයවර්ධන, දෙමල-විරෝධී වර්ගවාදය ඇවිලවීම සමගම,  ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපනය කලේ ය. මෙම ප්‍රකෝපකරනයන්, 1983 දී ඇරඹී වසර තිහක් පමන පැවති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය තුල කූටප්‍රාප්තික විය. 

මෙම පිලිවෙත්වලට සීඩබ්ලිව්සීය විවෘත ව සහයෝගය දීම, දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ මෙන් ම "වාම" කන්ඩායම්වල හා වෘත්තීය සමිතිවල ද දක්ෂිනාංශික මාරුව සලකුනු කරයි.

කම්කරු පෙරලිකාරිත්වය වර්ධනය වෙද්දී, අනෙකුත් වෘත්තීය සමිති ද සමගින් සීඩබ්ලිව්සීය විරෝධතා හා වැඩ වර්ජන සංවිධානය කලේ, ජයවර්ධන පාලන තන්ත්‍රයට අභියෝගයක් නො වන පරිදි ඒවා සීමා කිරීමට පමනි.

1992-1993 සමයේ, රජයට අයත් වතු සමාගම් ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ආන්ඩුව විසින් පුද්ගලීකරනය කලේ, ප්‍රාදේශීය වතු සමාගම් 23කට ඒවා කල්බදු දෙමිනි. කැබිනට් ඇමතිවරයෙක් ලෙස එස්. තොන්ඩමන් මෙම පුද්ගලීකරනයට සහයෝගය දුන්නේ ය.

1999 දී සීඩබ්ලිව්සී නායකත්වය ගනිමින් හා 2002 සිට කැබිනට් ඇමතිවරයෙකු ලෙස අනුප්‍රාප්තික ආන්ඩුවලට සම්බන්ධ වෙමින්, ආරුමුගම් තොන්ඩමන් සිය ද්‍රෝහී භූමිකාව ඇරඹුවේය. 

2005 දෙසැම්බර් ජනාධිපතිවරනය ජයගත් මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට ඇතුලු වීමට තොන්ඩමන් මුල දී අදිමදි කලේ ය. එහෙත් ආතතීන් ලොප් කිරීම සඳහා, නව දිල්ලිය කොලඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා සීඩබ්ලිව්සීය මත බලපෑම යෙදුවේ ය. ආන්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් බාරගත් තොන්ඩමන් 2015 දක්වා රාජපක්ෂ ආන්ඩුවට කීකරු ලෙස සේවය කලේ ය.

යුද සමයේ කම්කරු නොසන්සුන්තාව වර්ධනය වෙද්දී, යුද්ධයට එරෙහි වූ ද කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන්කාමී ලෙස උද්ඝෝෂනය කලා වූ ද තරුනයන්ගේ ලැයිස්තු සකස් කල තොන්ඩමන්, ඔහුගේ සීයා මෙන්ම ඒවා පොලීසියට ලබා දුන්නේය. තරුනයන් දුසිම් ගනනක් අත් අඩංගුවට ගත් පොලීසිය ඔවුන් රඳවාගෙන වධ බන්ධනවලට භාජනය කලේ ය.

මෙම කාල පරිච්ඡේදය පුරා විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප), ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) උපකාර සහිත බොහෝ තරුනයන් නිදහස් කිරීමට හේතු වූ ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කල හ.

කම්කරුවන්ගේ වැටුප් දරිද්‍රතා මට්ටමේ තබා ගැනීමටත්, අධික වැඩ කම්කරුවන් මත පැටවීමටත්, වතු වෘත්තීය සමිතිවල උදවුව ද සහිත ව වතු සමාගම් යොදාගත් යාන්ත්‍රනයන්ගෙන් එකක් වූයේ, “සාමූහික ගිවිසුම්” ක්‍රමය යි. සීඩබ්ලිව්සීය මෙම ගිවිසුම් සූදානම් කිරීමේ දී නායකත්වය ගත් අතර, අනෙකුත් වෘත්තීය සමිති එය අනුගමනය කල හ.

සෑම වසර දෙකකට වරක් ම, සෑම සාමූහික ගිවිසුමක් ම අවසන් වූ විට වතුවල කම්කරුවන් ලක්ෂ ගනනක් ශිෂ්ට සම්පන්න වැටුප් වැඩිකිරීම් ඉල්ලමින් අරගලවලට පිලිපන් හ. අධික වැඩ, නිවාස ප්‍රශ්නය හා මර්දනීය කලමනාකරනය වැනි ප්‍රශ්න මුල් කරගෙන තවත් බොහෝ අරගල බොහෝවිට සමිතිවලට උඩින් පුපුරා ආවේ ය. ආන්ඩුවේ පිටුබලය සහිත ව සමාගම්වලට වාසි වන පරිදි මෙම අරගල නැවැත්වීමට අනෙකුත් වෘත්තීය සමිතිවල උදවුව ද සහිත ව සීඩබ්ලිව්සීය ක්‍රියා කලේ ය.

2006 දෙසැම්බරයේ කම්කරුවන් මිලියන බාගයක් සම්බන්ධ වූ අරගලය එක් වැදගත් උදාහරනයකි. කම්කරු පෙරලිකාරිත්වය වර්ධනය වෙද්දී, තවත් වතු වෘත්තීය සමිතියක් වන කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) වැඩ වර්ජනයක් කැඳවුම් කලේ ය. කම්කරුවන්ගේ ඉල්ලීම වූයේ රුපියල් 300ක දෛනික වැටුපකි.

කම්කරුවන්ට අනතුරු අඟවමින් සසප ලෝසවෙඅහි මෙසේ ලීවේ ය: “වැඩ වර්ජිත කම්කරුවන්ට මෙම කිසිදු වෘත්තීය සමිතියක් පිලිබඳ ව විශ්වාසය තැබිය නො හැක. සීඩබ්ලිව්සී හා යූපීඑෆ් යනු, රට යලි යුද්ධයට ඇද දමා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරය තීව්‍ර කර, පුද්ගලීකරනය හා සමාජ සේවා කප්පාදුව සඳහා ජාමූඅ නියෝග ක්‍රියාවට දමා ඇති රාජපක්ෂගේ කැබිනට් මන්ඩලයේ කොටස්කාරයන් ය...” (ශ්‍රී ලංකා වතු කම්කරුවන්ගේ වර්ජනය තීරනාත්මක සන්ධිස්ථානයක, 19 දෙසැම්බර් 2006)

රුපියල් 35ක වැඩි වීමක් සහිත ව රුපියල් 170ක දෛනික වැටුපකට එකඟ වෙමින්, යන්තම් දෙවන සතිය අවසාන වත්ම  සීඩබ්ලිව්සීය හා යූපීඑෆ් වැඩ වර්ජනය පාවාදුන් හ. සාමූහික ගිවිසුමට අත්සන් තැබීමට තීරනය කොට තොන්ඩමන් බොගවන්තලාව සීඩබ්ලිව්සී කාර්යාලයට ගිය විට, සියලු ප්‍රදේශවලින් පැමිනි කම්කරුවෝ එහි පැමින කාර්යාලය වට කොට ගිවිසුමට එරෙහි ව උද්ඝෝෂනය කල හ. කම්කරුවන් සමග කතා කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලිස්සා ගියේ ය.

කොලඹ රැකියාවේ නියුතු වතුකරයේ තරුනයන්, වතු කම්කරු වැටුප් අරගලයට සහාය දක්වමින්, 2018 ඔක්තෝබරයේ දී ගාලුමුවදොර පිටියේ පැවැත්වූ උද්ඝෝෂනයෙන්

2018 වැටුප් අරගලවල දී සීඩබ්ලිව්සීයේ-- අනෙකුත් සමිති වලද--භූමිකාව පිලිබඳව කම්කරුවෝ  බැරෑරුම්  අත්දැකීමක් ලැබුහ.   රුපියල් 1,000ක දෛනික මූලික වැටුපක් ඉල්ලා මාස ගනනක් උද්ඝෝෂනය කිරීමෙන් පසු, ලක්ෂයකට අධික කම්කරුවෝ වෘත්තීය සමිතිවලට ඉහලින් 2018 දෙසැම්බරයේ අඛන්ඩ වැඩ වර්ජනයකට අවතීර්න වූ හ. මෙම වර්ජනය ශ්‍රී ලංකාවේ පුපුරා ගිය අරගලවල හා පන්ති අරගලයේ ජාත්‍යන්තර පුනර්ජීවනයේ කොටසක් විය.

ආන්ඩුවේ පාර්ශවකරුවෙකු නො වූ සීඩබ්ලිව්සී නායක තොන්ඩමන්, අනෙකුත් වෘත්තීය සමිතිවල ද සහයෝගය සහිත ව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හාම්පුතුන්ගේ සම්මේලනය සමග දිගට ම රහසිගත සාකච්ඡාවල නිරත විය. අවසානයේ ඔහු රුපියල් 700ක දෛනික වැටුපකට එකඟ වූ අතර, එය කම්කරුවන්ගේ ඉල්ලීමට වඩා රුපියල් 300කින් අඩු විය.

ලෝසවෙඅ වාර්තා කල පරිදි, දින 11කට පසු වර්ජනය අවසන් කරමින් ඔහු මෙසේ කීවේ ය: “කම්කරුවන්ට වැටුප් ගිවිසුමක් සම්පාදනය කරන අතර ම, වතු ද රැකගනු ලැබිය යුතු ය...රටෙහි පවතින තත්ත්වය සලකා බලා වැඩ වර්ජනය නැවැත්විය යුතු බවට ජනාධිපති තුමා ඉල්ලා සිටියා. අපි වර්ජනය නැවැත්වීමට එකඟ වුනා.” (ශ්‍රී ලංකාවේ වතු කම්කරුවෝ සියයට සියයක වැටුප් වැඩිවීමක් ඉල්ලා අඛන්ඩ වැඩ වර්ජනයක් දියත් කරති, 08 දෙසැම්බර් 2018) 

2019 ජනවාරියේ බොගවන්තලාවේ පැවති වතු කම්කරු උද්ඝෝෂනයක්

2019 ජනවාරි 28දා මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබී ය. නව සාමූහික ගිවිසුමට අනුව, “ආදායම් බෙදාගැනීමේ බාහිරින් වගාකිරීමේ මොඩලයක් [කොන්ත්‍රාත් ක්‍රමයක්] මත පදනම් වන ඵලදායිතාවට ගැටගැසූ වැටුප් ක්‍රමයකට” සහයෝගය දීමට වෘත්තීය සමිති පොරොන්දු වූ හ.

දශක බාගයකට ආසන්න කාලයක් තිස්සේ වතු සමාගම් විසින් මෙම මොඩලය ඉදිරියට දමා තිබුනි. මෙම ක්‍රමය ක්‍රියාවට දමනු ලැබූ විට, අරගලයෙන් දිනාගත් නියමිත වැටුප්, විශ්‍රාම වැටුප් හා අනෙකුත් සීමිත අයිතීන් අහෝසි කරනු ලබන අඳගොවි කම්කරුවන් බවට කම්කරුවන් පරිවර්තනය කෙරේ. මෙම ක්‍රමය ක්‍රියාවට දමා ඇති තැන්වල කම්කරුවෝ, වර්ජන හා විරෝධතාවල යෙදෙමින් සිය විරෝධත්වය පලකල හ.

සීඩබ්ලිව්සීය නියෝජනය කරන්නේ කම්කරුවන්ගේ අවශ්‍යතා නො ව මහා සංගත හා රාජ්‍යයේ අවශ්‍යතා බව තොන්ඩමන් යලිත් වරක් පෙන්වී ය. කෝපයට පත් වතු කිහිපයක කම්කරුවෝ, තවත් දින කිහිපයක් දිගට ම වර්ජනයේ යෙදුන හ. ජනවාරියේ ගිවිසුමට අත්සන් තබනු ලැබූ විට, වතු ප්‍රදේශ පුරා කම්කරුවෝ විරෝධතා පෙලපාලි පැවැත්වූ හ.

ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සමිතිය, යූපීඑෆ් සහ ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය යටතේ ඇති, විකල්පයක් සම්පාදනය කරන්නෙමැයි කයිවාරු ගැසූ සමස්ත ලංකා වතු කම්කරු සමිතිය වැනි අනෙකුත් සෑම වතු වෘත්තීය සමිතියක ම වාර්තාව මෙය යි. ඒවා සියල්ල අවසන් වී ඇත්තේ සමාගම්වල හා රාජ්‍යයේ කාර්මික පොලීසියක් ලෙස යි.

සියලු ධනේශ්වර පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්කරු පන්තිය බලමුලුගැන්වීමේ අනවරත අරගලයෙහි කොටසක් ලෙස, 2018 අරගලයට බලගතු ලෙස මැදිහත් වූ සසප, වතු කම්කරුවන්ගේ අතීත අරගලවල දී මෙන් වෘත්තීය සමිති යකඩ කූඩුවෙන් ඔවුන් බිඳිය යුතු බවත්, සෑම වැඩපොලක ම හා වතු නිවහන් ප්‍රදේශයක ම නව සංවිධාන ලෙස ක්‍රියාකාරී කමිටු ගොඩනැගිය යුතු බවත් පැහැදිලි කලේ ය.

2018 දෙසැම්බරයේ ඇබොස්ලී කම්කරුවන් සමිති වලින් ස්වාධීනව වැටුප් අරගලයේ යෙදෙයි

ශිෂ්ට සම්පන්න වැටුපක්, විශ්‍රාම වැටුප් ක්‍රමයක්, සියලු මූලික පහසුකම් සහිත නිවාස, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් සඳහා වන වතු කම්කරුවන්ගේ ඉල්ලීම් ද සියලු ආකාරවල වෙනස්කම් කිරීම් අවසන් කිරීම ද දිනා ගැනීම සුවිශාල ලාබ උපයන සමාගම්වල අවශ්‍යතා සමග නො පෑහෙන බවත් සසප පැහැදිලි කලේ ය. මෙම මූලික අයිතිවාසිකම් දිනාගැනීමේ එක ම ක්‍රමය සියලු විශාල වතු ජනසතු කොට නිෂ්පාදනය තාර්කික ව සංවිධානය කිරීම යි. එවන් ක්‍රියාමාර්ගයක් සඳහා වතු කම්කරුවන්ට අරගල කල හැක්කේ, ජාත්‍යන්තර සමාජවාදයේ කොටසක් ලෙස සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට කම්කරු පන්තිය කරන පලල් අරගලයක කොටසක් ලෙස පමනි.

2018 අරගලයේ දී සසප කැඳවුමට ඇහුම් කන් දුන් හැටන්හි ඇබොට්ස්ලී වත්තේ කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීම අර්ථභාරී ය. මෙම වර්ධනය පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තර වත් කම්කරු පන්තිය තුල සිදුවන විප්ලවවාදී වෙනස්කම් ය.

සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත මෙම අරගලයට නායකත්වය දීම සඳහා කම්කරු පන්තියට අන් සියල්ලටත් වඩා විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය වේ. මෙම පක්ෂය වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය යි.

Loading