ජනාධිපති රාජපක්ෂගේ තර්ජනවලින් පසු ශ්‍රී ලංකාවේ මහ බැංකුව මහ ව්‍යාපාරවලට සුවිශාල අරමුදලක් පොම්පකරන්නට සැරසෙයි

ජූලි 1දා පටන් වානිජ බැංකු මගින් රටෙහි මහ ව්‍යාපාරයන්ට රුපියල් බිලියන 150ක දැවැන්ත මුදල් සම්භාරයක් මුදාහරින බව, ශ්‍රී ලංකාවේ මහ බැංකුව ජුනි 28දා නිවේදනය කලේ ය. මෙම නිවේදනය නිකුත් කෙරුනේ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා කලින් ඔහු දුන් නියමයන් අනුව අරමුදල් නිකුත් කරන ලෙස, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් ඇතුලු ඉහල නිලධාරීන්ට නියෝග කිරීමෙන් අනතුරු ව ය.

මහ බැංකු නිවේදනය මෙසේ සඳහන් කලේය: “මෙම නය යෝජනා ක්‍රමය යටතේ,  පීඩාවට පත් වූ ව්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට, බැංකු ආයතන විසින් ලබා දෙනු ලබන නය මුදාහැරීමේ  හැකියාව ඉහල නංවමින්, මහ බැංකුව විසින් කුඩා නය වෙනුවෙන් සියයට 80ක සහ සාපේක්ෂව විශාල නය වෙනුවෙන්  සියයට 50 පරාසයක නය ඇප ආවරනයක් බැංකු ආයතන වෙත ලබාදෙනු ඇත.” එම නිවේදනය තව දුරටත් සඳහන් කලේ  “නය අවදානමෙහි ඉහල ප්‍රතිශතයක් මහ බැංකුව විසින් දෙනු ලබන බැවින් නය සුරැකුම් වෙනුවට පීඩාවට පත් වූ ව්‍යාපාරවල ශක්‍යතාව සහ මුදල් ප්‍රවාහ මත නය ලබා දීමේ හැකියාව  බැංකු ආයතනවලට හිමිවන” බවයි. 

“සමපාර්ශ්වික ව්‍යාපාර වෙනුවට, අනතුරට බඳුන් විය හැකි ව්‍යාපාරවල ශක්‍යතාව හා මුදල් ගලා යාම මත අවධානය යොදමින්, ඒවාට නය ලබා දෙන” ලෙස බැංකුවලින් ඉල්ලමින්, අර්ථභාරී ලෙස, ඉහල ප්‍රතිශතයක නය අවදානම අවශෝෂනය කරගන්නා බවට මහබැංකුව පොරොන්දු විය. 

ව්‍යාපාර වෙත සියයට 4 පොලියට නය ප්‍රදානය කිරීම පිනිස, “ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පදනම් අංක 300කින් අඩුකිරීම නිසා මුදල් වෙලඳපොල තුල ඇතිවූ රුපියල් බිලියන 180ටක පමන අතිරේක ද්‍රවශීලතාව නිසා බැංකු ආයතන ඔවුන්ගේ අරමුදල් උපයෝගී කරගනු” ඇතැ යි අපේක්ෂා කරන බව එය සඳහන් කලේය. “අදාල අරමුදල්වල පිරිවැය ආවරනය කිරීම වෙනුවෙන් මහා බැංකුව විසින් සියයට 5ක පොලී සහනයක් බැංකු ආයතනවලට ලබාදෙනු ලැබේ.” 

මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ, ජුනි 16දා ජනාධිපති රාජපක්ෂ මහ බැංකුවේ ඉහල නිලධාරීන් ඔහුගේ කාර්යාලයට කැඳවා, මීට පෙර ඔහු දුන් නියෝග ක්‍රියාත්මක නො කිරීම ගැන බැනවැදීමෙන්  අනතුරු ව ය.

 වානිජ බැංකු වෙත රුපියල් බිලියන 50ක් නිකුත් කරන ලෙස, මාර්තු 27දා ජනාධිපතිවරයා මහ බැංකුවට උපදෙස් දුන්නේ ය. වැඩිපුර අරමුදල් ඉල්ලමින් මහ ව්‍යාපාර කල ඉල්ලීම්වලට එකඟ වෙමින්, නය සම්පාදනය කිරීම සඳහා තවත් රුපියල් බිලියන 100ක් මහ බැංකුව හරහා මුදා හැරීමට මැයි 20දා ශ්‍රී ලංකාවේ කැබිනට්ටුව තීන්දු කලේ ය.  

“රට ගොඩනැගීමට මේ රටේ මහජනතාව විශාල බලයක් මා වෙත පවරා තිබෙනවා” යි රාජපක්ෂ තර්ජනාත්මක ලෙස නිලධාරීන්ට කීවේ ය. ඔහු තව දුරටත් සඳහන් කලේ, මහ බැංකුවේ මූල්‍ය හා ෆිස්කල් පිලිවෙත ක්‍රියාත්මක කල යුත්තේ “රටෙහි ජනාධිපතිවරයාගේ ආර්ථික පිලිවෙතට අනුකූල ව” බව යි. බැංකු හරහා නය සම්පාදනය කිරීම “මුදල් සංසරන ක්‍රියාවලියක....ඉතා සරල උපායකි” යි කී ඔහු මෙසේ ප්‍රශ්න කලේය: “ඒත් තමුසෙලා කරන්නේ කුමක් ද?”

බයාදු බැංකු නිලධාරියෝ, එදින ම රාත්‍රීයේ තමන් රාජපක්ෂගේ නියෝගයන්ට අවනත වන්නේ කෙසේදැයි විස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කල අතර, එම නියෝග ක්‍රියාත්මක කිරීම ජූලි 1දා අරඹන බව නිවේදනය කලහ. ආන්ඩුවේ ආයාචනය නො තකා මහ  බැංකුව, වානිජ බැංකු වෙත නිකුත් කර ඇත්තේ රුපියල් බිලියන 27.5ක් පමනි. එහෙත්, මහ බැංකු නිලධාරියෝ තමන් රාජපක්ෂගේ උපදෙස් ක්‍රියාත්මක නො කලේ මන්දැයි විස්තර නො කරමින් නිහඬ ව තර්ජන පිලිගත් හ.

මීට අමතර ව, ජනාධිපතිවරයාගේ උපදේශයට ප්‍රතිචාරයක් ලෙස, සංගත හා අනෙකුත් ව්‍යාපාර සඳහා බදු නිදහස් කිරීම්, සහනාධාර, කඩිනමින් බදු ආපසු ගෙවීම හා හානි වලට හිලවු වසයෙන් ගෙවීම් සඳහා කල්දීම් ලබාදීම ගැන මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සලකා බලමින් සිටී.

මහ බැංකුව ගාටමින් සිටියේ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයේ විධානයන් ඉටු කිරීමට එය අකමැති වන නිසා නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) 2016 දී දෙන ලද ඩොලර් බිලියන 1.5ක නයට ගැටගැසූ කොන්දේසි සපුරනබවට මහා බැංකුව වගබලා ගත යුතුව ඇත. මේ වසරේ දී අයවැය හිඟය දල දේශීය නිෂ්පාදිතයෙන් (දදේනි) සියයට 3.5ක මට්ටමට තැබීමට මහා බැංකුව  අධීක්ෂනය කල යුතුව තිබුනි. තව ද මුදල් සංසරනය තද කිරීම හා අනෙකුත් කප්පාදු පියවරයන් ජාමූඅහි නියෝගයන් වේ. එහෙත් මෙම කොන්දේසි බිඳිමින් ගිය වසරේ දී දදේනියෙන් සියයට 6.7කට පිම්බුනු අයවැය හිඟය, මේ වසරේ දී සියයට 9.3 දක්වා ඉහල යනු ඇතැයි තක්සේරු කෙරේ.

මහජනයා රාජපක්ෂට “ජනවරමක්” ප්‍රදානය කර ඇතැයි ඔහු මවාපෑමක යෙදෙයි. පැවති ආන්ඩුව කෙරෙහි මහජනයා අතර පැවති කෝපය ගසාකමින් බලයට පත් ඔහු, මහ ව්‍යාපාරිකයේ හා බැංකුවල විධානයන්ට අනුව සේවය කරමින් සිටී.

බැංකු නය නො ලැබෙන බවට කනිපින්දම් කියූ හා ක්ෂනික ප්‍රතිකර්මයක් ඉල්ලා සිටි, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් මුනගැසීමෙන් යන්තම් දෙදිනකට පසු, ඔහු මහ බැංකු නිලධාරීන් කැඳවී ය.

වසර ගනනක් තිස්සේ සිදු වූ ද වසංගතය විසින් වේගවත් කරන ලද්දා වූ ද උග්‍ර ආර්ථික පිරිහීම හේතුවෙන් ඔහු වියරුවට පත් ව සිටී. 2018 දී හා 2019 දී ආර්ථික වර්ධනය පිලිවෙලින් සියයට 3.3ට හා 2.3ට පිරිහුනි. මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.2කින් හැකිලෙනු ඇතැයි ලෝක බැංකුව ගනන් බලා තිබේ.

රටෙහි මැයි මාසයේ අපනයන ආදායම සියයට 37කින් ඩොලර් මිලියන 602 දක්වා ඇද වැටී ඇති අතර, පසුගිය වසරේ එම කාලයට ම සාපේක්ෂ ව 2020 අප්‍රේල් මාසයේ ප්‍රේෂන සියයට 32.3කින් ඩොලර් මිලියන 375 දක්වා කඩා වැටුනි. සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබේ.

මුදල් සංසරනය කිරීම ඉහල දැමීමේ “සරල උපාය” ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථිකය යථාවත් කෙරෙනු ඇතැයි යන ඔහුගේ කියාපෑම අමු මායාවකි. ගෝලීය ආර්ථිකය, වසංගතය විසින් වේගවත් කරන ලද බිඳවැටීමක් හරහා ගමන් කරයි. එය සියයට 5.2කින් හැකිලෙනු ඇත්තේ, දෙවන ලෝක යුද්ධයේ පටන් ගැඹුරු ම අවපාතය නියෝජනය කරමිනි. ජාමූඅහි නවතම ආර්ථික දර්ශන වාර්තාව ද මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනය පිලිබඳව ඒ හා සමාන සංඛ්‍යා ඉදිරිපත් කලේ ය: එනම්, ගෝලීය ආර්ථික වර්ධනය සියයට ඍන 4.9ක් වන අතර, පිලිවෙලින් එක්සත් ජනපදයේ හා යුරෝපා සංගමයේ වර්ධනයන් සියයට ඍන 8ක් හා ඍන 10.2ක් වනු ඇත.

රාජ්‍ය නය, විදේශ නය, නය පිරිවැය හා මේ වසරේ විදෙස් නය ගෙවීම් හේතුවෙන් වඩාත් ම පීඩනයට පත් ව තිබෙන රටවල් 66 අතරට, දි ඉකොනොමිස්ට් සඟරාව පසුගිය මාසයේ ශ්‍රී ලංකාව ඇතුලත් කලේ ය. එම ශ්‍රේනිගත කිරීම අනුව, ශ්‍රී ලංකාව 61වන ස්ථානයේ සිටිමින් දකුනු ආසියාවේ ගැඹුරින් ම ප්‍රහාරයට ලක්වූ ආර්ථිකය වී තිබේ, බංග්ලාදේශය, ඉන්දියාව හා පකිස්තානය පිලිවෙලින් 9, 18 හා 43 යන ස්ථානවලට ශ්‍රේනිගත වෙද්දී ය.

ශ්‍රී ලංකාවේ අයවැය හිඟය මේ වසරේ දී සියයට 9.3 තෙක් නැගිය හැකි බවත්, නය ආපසු ගෙවීමට නොහැකිවීමේ පීඩනය අනවරත ව පවතිනු ඇති බවත්, ෆිච් ශ්‍රේනිගත කිරීමේ ආයතනය පසුගිය සතියේ අනතුරු ඇඟවී ය. වානිජ මූලාශ්‍රයන්ගෙන් නය ලබාගැනිමට රටට ඇති හැකියාව පහල දමමින්, ෆිච් ආයතනය ශ්‍රී ලංකාවේ නය ප්‍රමානනය බී සිට බී-ඍන දක්වා පහත හෙලී ය. ජුනි සිට දෙසැම්බර් දක්වා නය සේවා ලෙස රට ඩොලර් බිලියන 3.8ක් ගෙවිය යුතු අතර, 2021 සිට 2025 දක්වා සාමාන්‍ය නය සේවා ගෙවීම වසරකට ඩොලර් බිලියන 4.3කට සමාන වේ.

"පිටතින් අරමුදල් ලබා ගැනීම සඳහා ඇති අවකාශයන් සීමා වීමෙන් ඉහල නංවා ඇති ආතතිය, අරමුදල් ලබා ගැනීමේ විකල්පයන් ඇහිරී යාම සහ ප්‍රතිමූල්‍යකරන ඉඩකඩ දුර්වලවීම, ශ්‍රී ලංකාවේ විදේශ නය ආපසු ගෙවීමේ හැකියාව තර්ජනයට බඳුන් කර තිබෙන බව" ෆිච් ‌රේටින් ආයතනය අවධාරනය කලේය.

මෙම වටාපිටාව තුල, විදේශ නය පැහැර හැරීම වැලැක්වීම සඳහා අරමුදල් සොයාගැනීමට ආන්ඩුව තදියමින් ක්‍රියා කරයි. ජුනි 18දා යුරෝපා සංගම් තානාපතිවරුන් සමග කොලඹ දී පැවති හමුවක දී, “වර්තමාන තතු තුල, නය සහන කාලයක් ලබාදීමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ අත්වනු ඇතැ” යි ජනාධිපති රාජපක්ෂ ආයාචනා කලේ ය.

ආන්ඩුව ජාමූඅ වෙතින් ඩොලර් මිලියන 800ක නයක් ඉල්ලා ඇති අතර, එයට කම්කරු පන්තියට එරෙහි දැඩි කප්පාදු පියවරයන් ගැටගැසි තිබෙනු ඇත. 

බැංකු හා මහ ව්‍යාපාර වෙත සුවිශාල සහන සම්පාදනය කරමින් සිටින ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත බර ඉහල දමමින් සිටී. මැයි මස අවසානයේ, සීනි, අල, ලූනු, ටින් මාලු, කුලු බඩු, සත්ත්ව නිෂ්පාදන හා පලතුරු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බදු සියයට 50 සිට 100 හා ඊටත් වඩා ඉහල දමන ලද්දේ, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලක්ෂ ගනන් කම්කරුවන්ට රැකියා හා ජීවනෝපාය අහිමි වීමටත්, ගැඹුරු වැටුප් කප්පාදුවලටත් මුහුන පෑමට සිදුව ඇති තතු තුල ය.

ආන්ඩුවේ ආශීර්වාදය සහිත ව, මහ ව්‍යාපාර දැන් වසංගතය යොදාගනිමින් සිටින්නේ යෝධ රැකියා, වැටුප් සහ වැඩ කොන්දේසි කප්පාදුවක් සඳහා ය.  

“බොහෝ සෙයින් සේවකයන්ට වාසි දායක වන ශ්‍රී ලංකාවේ කම්කරු නීති, අර්බුදකාරී තත්ත්වයන්හි දී අවශ්‍ය කරන ශ්‍රමිකයන් සේවයේ යෙදවීමේ නම්‍යශීලී භාවය වලකාලයි” යි ජාතික අපනයනකරුවන්ගේ මන්ඩලය මෑතක දී නිකුත් කල ප්‍රකාශයකින් කියා සිටියේ ය. අර්ථසාධක අරමුදල අනුප්‍රමාන වේතන අනුපාතීය ලෙස “තාවකාලික ව” අත්හිටුවීම හා වැඩ අත්හිටුවන විට වන්දි ගෙවීම වැනි කම්කරුවන්ගේ සීමිත ප්‍රතිලාභ අතුගා දමමින් නිවාඩු අවලංගු කිරීම එයට අවශ්‍ය ය.

බ්‍රැන්ඩික්ස් යනු වසංගතයට පෙර කම්කරුවන් 47,000ක් පමන සේවයේ යෙදවූ ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් සමාගම්වලින් එකකි. ආපසු වැඩට යාම සදහා කම්කරුවන්ට බලකෙරීමෙන් පසු කර්මාන්තවල තත්වය බ්‍රැන්ඩික්ස්හි තත්ත්වයට සමාන වේ.

කටුනායක අසල සීදූවේ බ්රැන්ඩික්ස් කම්හලේ කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙත මෙසේ කීවේ ය: “කොවිඩ්-19 වසංගතයට පෙර කම්කරුවන් 1,700ක් පමන සිටියා. දැන් එය 600කට අඩුකර තිබෙනවා.”

“බ්‍රැන්ඩික්ස් එකේ තත්වය ඉස්සරට වඩා දරුනුයි. සත්තුන්ට වගේ කතා කරන්නේ. ටාගට් දෙන්න බැරි නම් නැගිටලා යනවා කියලා බැන වදිනවා. හරියට අපි කොරෝනා හැදුවා වගේ.” 

වැඩ වේගවත් කිරීම සම්බන්ධව එම කම්කරුවා මෙසේ විස්තර කලේ ය: “කලින් අපි මැහුවේ කලිසන්. දැන් ඇනවුම් නැති නිසා මුඛ ආවරන මහනවා. පැයකට 3,00 ක් මහන්න ඕන. ඒක කරන්න බෑ. 250 ක් විතර අමාරුවෙන් මහන්න පුලුවන්. නමුත් ටාගට් එක තව පනහක් වැඩි කරලා තමයි දෙන්නේ. ටයිමින් බලන්න කෙනෙක් ඉන්නවා. වැඩ කරලා ඉවර වෙනකොට කොඳු අතපය කකියනවා. සමහර ගෑනු ලමයි ටාගට් දෙන්න බැරි වුනාම වොෂ්රූම් යන්නේ නැතුව, දවල්ට කන්නේ නැතුව පවා වැඩ කරනවා.” 

මෙම කොන්දේසිවලට විරුද්ධව කතා කරන කම්කරුවන්ව පලමුව රැකියාවෙන් ඉවත් කරන බවත් කම්කරුවන් අතර යම් කැරලිකාරී තත්වයක් වර්ධනය වේ යයි බියෙන් ලයින්වල කම්කරුවන්ව දිනෙන් දින මාරු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.  

Loading