වසංගතයෙන් තම ජීවන කොන්දේසි වඩාත් දුෂ්කර කෙරී ඇති අයුරු රත්මලාන කම්කරුවෝ ලෝසවෙඅ ට පැහැදිලි කරති

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවෝ  පසුගිය සති අන්තයේ රත්මලාන හා තදාසන්න ප්‍රදේශයන්හි කම්හල්වල හා වැඩපලවල කම්කරුවන් මුනගැසී  ඔවුන් මුහුන දෙමින් සිටින දුෂ්කර සමාජ සහ ආර්ථික කොන්දේසි පිලිබඳව සාකච්ඡා කලහ.

කොවිඩ් 19 වසංගතයේ තර්ජනය පහව ගොස් නොමැති පසුබිමක් තුල, තමා වැඩට දැක්කීම සම්බන්ධයෙන්, ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් කෙරෙහි කම්කරුවන් තුල ඇති කෝපය එහිදී ප්‍රකාශයට පත්විය. සෞඛ්‍ය ආරක්ෂන ක්‍රමවේදයන් නොතකමින් වැඩෙහි යෙදවීම  ගැන සහ වසංගතය දඩමීමා කර ගනිමින් සිය අයිතිවාසිකම් කප්පාදු කෙරෙන සහ රැකියා විනාශ කෙරෙන ආකාරය ගැන කම්කරුවෝ පැහැදිලි කලහ.  

රත්මලාන බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල‍‍;

වසංගතයට පෙර කොන්ත්‍රාත් පදනම මත මිනිස්බල (මෑන් පවර්) සමාගම් වලින් බඳවා ගෙන මෙම කම්හලේ රැකියා කල කම්කරුවන් 40කගේ පමන සේවය මේ වනවිට අහෝසි කර දමා තිබේ. වසංගතයට පෙර කොන්ත්‍රාත් කම්කරුවන්ගේ පේලි දෙකක් ක්‍රියාත්මක වූ අතර ඔවුන්ට වැඩ කරන දිනකට රුපියල් 1,000ක දෛනික වැටුපක් ලැබිනි. ස්ථිර සේවයේ සිටි කම්කරුවන් 40 – 50 දක්වා ප්‍රමානයක් තවම වැඩ පලට කැඳවා නොමැති අතර ඔවුනට ලැබෙනුයේ මසකට රුපියල් 14,500කි.

රුපියල් 22,000 සිට 18,500 දක්වා පැවති කම්කරුවන්ගේ මූලික වැටුප නව බඳවා ගැනීම් සඳහා දැන් 14,500 දක්වා කප්පාදු කර ඇති අතර 2,500ක්වූ පැමිනීමේ දීමනාවද 1,000ක් දක්වා කප්පාදු කර තිබේ. පැය 40 සිට 60ක් දක්වා පැවති සියලු සේවකයන්ගේ මසක අති කාල පැය ගනනද පැය 20ට සීමා කර තිබීම නිසා කම්කරුවන්ගේ ජීවන මට්ටම තියුනු ලෙස කඩා වැටී ඇත. 

අප්‍රේල් මාසයේදී ලැබෙන්නට නියමිතව පැවති බෝනස් මුදල කෝවිඩ් වසංගතය මත තබා සම්පූර්නයෙන්ම අහෝසි කර දමා තිබේ. සේවා කාලය අවුරුදු එකක් නම්, මාසයක වැටුපද අවුරුදු 2ක් නම්, මාස 1 1/2ක වැටුපද, අවුරුදු 3ක් නම්, මාස 2ක වැටුපද අවුරුදු 5ක් හෝ ඊට වැඩි නම්, මාස 3ක වැටුපද බෝනස් ලෙස ලැබීමට නියමිතව පැවතිනි.

වැටුප් හා දීමනා මෙලෙස තියුනු ලෙස කප්පාදු කරන අතර තුරම වැඩ වේගවත් කරමින් නිෂ්පාදන ඉලක්ක කොඳු කැඩෙන මට්ටමට නංවා තිබේ. වසංගතයට කලින්, සේවකයින් 28ක් පැයට කෑලි 150ක්, එනම් දිනකට කෑලි 1500ක් සැපයිය යුතුව තිබුනු අතර දැන්, සේවකයින් 38ක් පැයට කෑලි 230ක්, එනම් දිනකට කෑලි 2300ක් සැපයිය යුතුය.

මෙම කොඳු කැඩෙන ඉලක්කයන් ඉටු කල නොහැකි නම් අස්වී යන ලෙස ස්ථිර කම්කරුවන් හට බල කෙරෙන අතර රුපියල් 14,500ක කප්පාදු කල මූලික වැටුපට අලුතින් කම්කරුවන් බඳවා ගැනීම සමාගමේ ඉලක්කය වී ඇති බව කම්කරුවන් සඳහන් කලේය.

ඉහත සෑම වසරකම සැප්තැම්බර් - දෙසැම්බර් මාස අතර “වික්ටෝරියා සීක්‍රට්” නමැති දැවැන්ත ඇමරිකානු සංගතයෙන් වැඩ ඇනවුමක් ලැබුනද දැන් එම ඇනවුම නොලැබෙන බව දැනගන්නට ලැබී ඇති අතර එබැවින් තම රැකියාවන්ට පහර එල්ල විය හැකි බව කම්කරුවෝ සඳහන් කලහ.

කම්කරුවන් වැඩට කැඳවීමේදී පවත්වාගෙන යාමට නියමිතව පැවති සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් මේ වනවිට සම්පූර්නයෙන්ම පාහේ  අහෝසි වෙමින් තිබේ. 

වසංගතය පැමිනි මුල් දිනවල සේවකයන්ට අත් මේස් සහ මුහුනු ආවරන ලබා දුන් නමුත්, දැන් එයද නවතා දමා ඇත. මීටරයක පරතරය පවත්වාගන්නා ලෙස දැනුම් දී තිබුනද ප්‍රායෝගිකව එය ඉතා අසීරු බැවින් මුල සිටම එය ක්‍රියාත්මක නොවූ බව සේවකයන් පැවසීය. මෙය වසංගත තත්වයේ නව නැගී ඒමකට හේතු විය හැකි බව සේවකයින්ගේ අදහසයි. මානව සම්පත් අංශය විසින් සේවකයින්ගේ ශරීර උෂ්නත්වය මැන බැලීම පමනක් සිදු කරනු ලැබේ.

රත්මලාන රජයේ දුම්රිය වැඩපල ;

රජයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් රත්මලාන වැඩපලේ 3,000 ක් වන සම්පූර්න සේවක සංඛ්‍යාව  දැන් වැඩට පැමිනෙන අතර සෞඛ්‍ය ආරක්ෂක කොන්දේසි විශාල වශයෙන් නොතකා හැරෙමින් තිබේ.

මුල සිටම සමාජ දුරස්ථ බව රැකීම ප්‍රායෝගිකව කල නොහැකිව තිබූ බව සඳහන් කල කම්කරුවෝ ඔවුනට පා සේදීම සඳහා විෂබීජ නාශක තැටි දෙකක් පමනක් ලබා දී ඇති බව පැවසූහ. අත් සේදීමට පහසුකම් ලබා දී ඇති මුත් මුලු වසංගත කාලය සඳහාම එක් අයෙකුට ලැබී ඇත්තේ මුහුනු ආවරන තුනක් පමනක් බව සඳහන් කලහ. ගේට්ටුව අසල උෂ්නත්වය බැලීම සිදු කෙරේ.

මෙම කොන්දේසි තුල වසංගතය හිස එසවීමේ හැකියාව ප්‍රතික්ෂේප කල නොහැකි බව කම්කරුවන්ගේ මතය විය.

වැඩපල තුල කම්කරුවන් මෙතෙක් කල් සිය ජීවන තත්වයන් ගැට ගසා ගැනීමට යොදාගත් අතිකාල දීමනා සියල්ල නතර කර දමා ඇත. වැටුපෙන් අඩකටත් වඩා විවිධ නය වාරික හා පොලී සඳහා කැපී යන තත්වයක් යටතේ ඔවුන් එම අඩුව පුරවාගත්තේ අතිකාල වැඩ වලිනි. මීට අමතරව දිරි දීමනාද නතර කර ඇත. 

දෙපාර්තමේන්තුවට අයත් නිවාසවල වෙසෙන කම්කරුවන්ගේ ගෙවල් කුලී කපා ගැනීම දිගටම සිදු කර තිබේ. මෙම නිවාස අතිශය අබලන් තත්වයේ පවතින අතර නඩත්තු කටයුතු කෙරෙන්නේ අවම මට්ටමකින් වුවත් කොවිඩ් වසංගතය මධ්‍යයේ පවා මෙලෙස කුලිය කපා ගත් බව කම්කරුවෝ කියා සිටියහ.

බොරලැස්ගමුවේ ඇමසන් ලංකා ඇඟලුම් කම්හල;

බොරලැස්ගමුවේ පිහිටා ඇති, රෙදි සෝදන සහ අසුරන සුලු පරිමාන කම්හලක් වන මෙහි වැඩ කල කම්කරුවන් 10ක ප්‍රමානය දැන් අට දක්වා අඩු කර ඇත. මෙම කම්කරුවන්ට වසරේ අප්‍රේල් මසදී ලැබුනු රුපියල් 10,000ක බෝනස් මුදල සම්පූර්නයෙන්ම කපා දමා ඇති අතර මසකට රුපියල් 10,000ක් පමන උපයාගත් අතිකාල වැඩද සම්පූර්නයෙන්ම නවතා ඇති බැවින් මසකට රුපියල් 20,000ක පමන සොච්චම් මුදලකින් ජීවිතය ගැටගසා ගැනීමට බල කෙරී ඇත. අප්‍රේල් මස වැටුප සම්පූර්නයෙන්ම කපා හැර ඇත.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම කිසිවක් මෙම වැඩ පල තුල ක්‍රියාත්මක නොවන බවත් අවම වශයෙන් මුහුනු ආවරන පවා නොසපයන බවත් කම්කරුවෝ කියා සිටියහ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන;

කොලඹ අවට පවතින ඉදි කිරීමේ ආයතන වල ඇති කොන්දේසි මගින් කිසිම සෞඛ්‍ය ආරක්ෂාවක් නොසැපයෙන බව ගොඩනැගිලි කම්කරුවෝ සඳහන් කලහ. මෙම ආයතන වල කම්කරුවන් දෛනික වැටුප් සහිතව කොන්ත්‍රාත් පදනම මත සේවයේ යොදවනු ලබයි.

ඇතැම් ආයතන වල වැඩපලේම තෝරාගත් ශාලාවක් නවාතැන් සඳහා දෙනු ලැබේ. ඔවුන්ගේ සයනය වනුයේ ගඩොල් කැට 6ක් මත තැබූ තුනී ලෑල්ලකි. ආයතනය විසින් 

මෙට්ටයක්  සපයනු ලැබුවත් බොහෝ දෙනාගේ කොට්ටය වනුයේ තමන්ගේ ගමන් බෑගයයි. සමහර විට එකම ශාලාවක සේවකයින් 20 - 50 දක්වා නවාතැන් ගනී. 

ඔවුන් සඳහා ඇත්තේ වැසිකිලි 4 ක් හෝ 5 ක් පමනි. ඇතැම් වැඩ පලවල් වල නවාතැන් ගන්නා 75 කට පමන ඇත්තේ එක් වැසිකිලියකි. එයද ඉතා අපිරිසිදුය. 

බොහෝ කම්කරුවන් යාපනය, පොලොන්නරුව, ගාල්ල, මාතර, පුත්තලම සහ වතුකරයෙන් පැමිනි අය වේ. ඔවුන්ට කිසිදු අමතර දීමනාවක් නැති නිසා ඔවුන් සිය ආදායම උපයා ගන්නේ අසීමිත අයුරින් අතිකාල සේවයේ යෙදීමෙනි. එනමුදු වසංගතයෙන් පසුව අතිකාල ලබා දීම විශාල වශයෙන් කප්පාදු වීම නිසා මෙම කම්කරුවන්ගේ ආදායම අතිශයින් පහත වැටී ඇති අතර ටිකින් ටික හෝ අති කාල කිරීමට ඉඩ ලැබේය යන බලාපොරොත්තුවෙන් කම්කරුවෝ පසුවෙති.

පුද්ගලික බැංකු ක්ෂේත්‍රය

බැංකු ක්ෂේත්‍රයේ විධායක ශ්‍රේනි වලට අයත් සේවකයන් හටද බලපාන පරිදි කප්පාදු පියවර ගනනාවක් විවිධ වානිජ බැංකුවල අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කර ඇති බැව් බැංකු සේවකයෝ පැවැසූහ. අලෙවි කටයුතු සම්බන්ධිත අංශවල හැර නව බඳවාගැනීම් හා උසස්වීම් සම්පූර්නයෙන්ම පාහේ නවතා ඇති අතර ඇතැම් කාර්යාල කටයුතු බාහිර ආයතන තුලින් කර ගනිමින් වියදම් අඩු කර ගැනීමට කටයුතු කර ඇත.

කොන්ත්‍රාත් පදනමේ බඳවා ගෙන සිටි රියැදුරු වැනි රැකියා අහිමි කර ඇති අතර, අතිකාල ගෙවීම්, වැටුප් සහිත නිවාඩු සහ ප්‍රසාද දීමනා ආදී සේවකයන්ගේ ජීවන කොන්දේසි වලට සෘජුවම බලපාන කප්පාදු කිරීම් ද ක්‍රියාවට නංවා ඇත. අඩු සේවක සංඛ්‍යාවකින් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම එල්ල කර ගනිමින් ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවද බැංකු සේවකයෝ පවසා සිටියහ. 

Loading