වසංගතය වේගයෙන් පැතිරයද්දී, වෝල් වීදිය වසර 20 කට වැඩි කාලයක් තුල කාර්තුවක ලොකුම නැගීම සමරයි

මෙම ලිපිය ජූලි 2 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1930 ගනන්වල අර්බුදයට ද වඩා වේගවත් හැකිලීමක් සහිතව එක්සත් ජනපද ආර්ථිකය, මහා අවපාතයෙන් පසු ගැඹුරුම අවපාතයක ගිලී යාමත් සමඟ,  වෝල් වීදිය වසර 20 ට වැඩි කාලයක් තුල එහි හොඳම කාර්තුව වාර්තා කලේය.

එස් ඇන්ඩ් පී 500 සියයට 20 කින් ඉහල ගොස් ඇති අතර එය 1998 අවසාන මාස තුනෙන් පසු ලැබුනු හොඳම ප්‍රතිපලයයි. ඩව් ජෝන්ස් දර්ශකය සියයට 18 කින් ඉහල නැඟුනේ 1987 සිට එහි විශාලතම වැඩිවීම සලකුනු කරමිනි. තාක්ෂනික  නාස්ඩැක් දර්ශකය ඊටත් වඩා විශාල වැඩිවීමක් පෙන්නුම් කරමින් කාර්තුව තුල සියයට 31 කින් ඉහල ගිය අතර එය වසර ආරම්භයේ සිට සියයට 12 කි.

මාස තුනකටත් අඩු කාලයකදී, පොලී අනුපාත බිංදුව දක්වා අඩු කිරීම සහ අඩමාන බැඳුම්කර ද ඇතුලු බැඳුම්කර නය මිලදී ගැනීම ඇතුලු මහ බැංකුවේ ක්‍රියාමාර්ග වලින්, කොටස් ආයෝජකයින් සහ සමපේක්ෂකයින් අතට ඩොලර් ට්‍රිලියන 7.1 ක්  ලබාදී තිබේ.

මාර්තු මැද භාගයේදී මූල්‍ය වෙලඳපොලවල් අවම මට්ටමක් වාර්තා කිරීමත් සමඟ, ඇත්තවශයෙන්ම රජයේ සුරක්ෂිත නය ද ඇතුලුව, එය ගල් ගැසුනි. පසුව ෆෙඩරල් මහ බැංකුව මැදිහත් වී වෝල් වීදිය සහ සමස්ත මූල්‍ය පද්ධතියම පසුපසට යාම වලක්වන පියවර මාලාවක් ප්‍රකාශයට පත් කලේය.

දේශපාලන ආර්ථික විද්‍යාඥ රොබට් බ්‍රෙනර්ගේ ගනන් බැලීම් වලට අනුව, මාර්තු 23 වනදා වෙලඳපොල ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 21.8 ක් වූ අතර එය ජුනි 4 වන විට ඩොලර් ට්‍රිලියන 28.9 ක් දක්වා ඉහල නැඟුනි.

මාර්තු 18 සිට ජුනි 4 දක්වා කාලය තුල එක්සත් ජනපද ප්‍රකෝටිපතියන්ගේ ධනය ඩොලර් බිලියන 565 කින් ඉහල ගොස් ඔවුන්ගේ මුලු වටිනාකම ඩොලර් ට්‍රිලියන 3.5 ට ලඟාවී ඇති අතර එය සියයට 19 ක වැඩිවීමකි. ඇමසොන් අයිතිකාර ජෙෆ් බෙසෝස් සිය ධනය ඩොලර් බිලියන 34.6 න්, එනම් සියයට 19 කින් වැඩිකරගත් අතර ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් අමතර ඩොලර් බිලියන 25 ක් උපයා ගත්තේය.

එම කාලය තුලම ඇමරිකානු කම්කරුවන් මිලියන ගනනකට රැකියා අහිමි වූ අතර සිසුන් හා තරුන පරම්පරාවේ කම්කරුවන්ගෙන් විශාල කොටසක් ඔවුන්ගේ අනාගත අධ්‍යාපන හා රැකියා අපේක්ෂාවන් භංඟවී යාමට මුහුන දෙති. මේ මස අගදී දීමට නියමිතව තිබූ රජයේ සීමිත ආධාර පවා කපා හැරීමෙන් මිලියන ගනනක් ජනතාව දැන් ආර්ථික විනාශයට මුහුන දී සිටිති.

ඒ අතරම, එක්සත් ජනපදයේ නගර, නාඟරිකයන් සහ ග්‍රාමීය ප්‍රදේශ හරහා COVID-19 වසංගතය අඛන්ඩව පැතිර යයි. ඒ, වෝල් වීදිය විසින් නියම කරන ලද හා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද,  නැවත වැඩට දැක්කීමේ මාරක තල්ලුවේ ප්‍රතිපලයකි. අතිරික්ත වටිනාකම සූරාකෑම කිසිම හේතුවක් නිසා නතර නොවන්නේය.

ඇමරිකානු ආර්ථිකය දැන් කොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් සංලක්ෂිතව ඇති අතර වෝල් වීදියේ නැගීම යුද ව්‍යායාමයේ ලාභයට සමාන වේ.

ෆෙඩරල් මහ බැංකු සභාපති ජෙරොම් පවෙල් අඟහරුවාදා කොන්ග්‍රසයට පැවසුවේ, මූල්‍ය වෙලඳපොලවලට මුදල් ගලා ඒම අඛන්ඩව සිදුවන බව ය. දෙවන කාර්තුවේ පසුබෑම වාර්තාගත නරකම තත්ත්වයට පත්විය හැකි බව සඳහන් කරමින් ඔහු, එක්සත් ජනපද ආර්ථිකය පිලිබඳ අඳුරු චිත්‍රයක් ගෙනහැරපෑ අතර දැක්ම “අතිශයින් අවිනිශ්චිත” බවට අනතුරු ඇඟවීය.

එහෙත් මුදල් ප්‍රවාහය “අවම වශයෙන් වර්තමාන වේගයෙන්” ඉදිරියට යන බවත්, ෆෙඩරල් මහ බැංකුව විසින් පසුගිය මාස තුන තුල ඩොලර් ට්‍රිලියන 3 කින් සිය ශේෂ පත්‍රය පුලුල් කර ඇති බවත්, අවශ්‍ය නම් තවත් බොහෝ දේ ලබා දෙන බවත් ඔහු වෝල් වීදියට සහතික විය. “අපි වර්ධනයන් සමීපව අධීක්‍ෂනය කරන අතර ඒ අනුව අපගේ සැලසුම් සකස් කිරීමට සූදානම්” යැයි ඔහු පැවසීය.

සති අන්තයේ නිකුත් කරන ලද සංඛ්‍යා අර්ථභාරීය. විනිමය වෙලඳ අරමුදල් (Exchange Traded Funds, ඊටීඑෆ් ) හා කෙලින්ම ව්‍යාපාර බැඳුම්කර මිලදී ගැනීම යන දෙකම තුලින් මහ බැංකුව ව්‍යාපාර බැඳුම්කර වෙලඳපොලට මැදිහත් වන්නේ කෙසේදැයි ඉන් පෙන්නුම් කරයි. එක්සත් ජනපද භාන්ඩාගාරය විසින් සපයනු ලබන මුදල් හා ඒවා දස ගුනයකින් උත්තේජනය කිරීම මගින් ව්‍යාපාර බැඳුම්කර වෙලඳපොලට මහ බැංකුවේ මැදිහත්වීම ලොකුම එක්සත් ජනපද සංගත වලට වාසනාව ගෙනඑයි.

ව්‍යාපාර බැඳුම්කර සෘජුවම මිලදී ගත් සමාගම් අතර, මයික්‍රොසොෆ්ට්, වීසා සහ හෝම් ඩිපෝ ද වේ. ඊටීඑෆ් හරහා වක්‍ර මිලදී ගැනීම් වලට, ඇපල් සහ ගෝල්ඩ්මන් සැක්ස් විසින් නිකුත් කරන ලද බැඳුම්කර ඇතුලත් ය.

ෆෙඩරල් මහ බැංකුව විසින් තනි බැඳුම්කර මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 430 ක් වෙන් කර ඇත. මෙය වැඩසටහනේ ආරම්භය  පමනක් වන අතර තවත් බොහෝ දේ පැමිනීමට නියමිතය.  ඊටීඑෆ් හරහා මිලට ගැනීම්  ඩොලර් බිලියන 6.8 කි.

ද්විතීයික බැඳුම්කර වෙලඳපොල තුලින් ව්‍යාපාර නය බැඳුම්කර මිලට ගැනීමෙන්, ඒවා නිකුත් කල සමාගම්වලට සෘජුව ප්‍රතිලාභ අත්කර නොදේ. ප්‍රාග්ධන ලාභ සඳහා ඒවා මිලදී ගත් බැඳුම්කර වෙලඳුන්ට සහ සමපේක්ෂකයින්ට ප්‍රතිලාභ හිමිවේ. කෙසේ වෙතත්, ප්‍රධාන සංගතවලට වක්‍රව ප්‍රතිලාභ ලැබේ. මන්ද, ෆෙඩරල් මහ බැංකුවේ මිලදී ගැනීම්වලින් අදහස් කරන්නේ, ඔවුන්ට වෙනත් ආකාරයකින් ගත හැකි ප්‍රමානයට වඩා අඩු පොලී අනුපාතයකට නය ලබා ගත හැකි බවයි.

ෆෙඩරල් මහ බැංකුව ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්ද සහ ඇමරිකානු ආර්ථිකය නංවාලීම, මහජන යහපත සුරක්ෂිත කිරීම පිනිස එය ක්‍රියා කරන්නේය යන නිමක් නැති ප්‍රකාශයන් අතර වෙනස එතරම්ම පැහැදිලිය. එය මූල්‍ය කවයන් තුල පවා ප්‍රශ්නයට භාජනය වී තිබේ.

එක් මූල්‍ය විධායක නිලධාරියෙකු ට්වීට් කල පරිදි, ඇපල්, මයික්‍රොසොෆ්ට් සහ ඔරකල් විසින් නිකුත් කරන ලද බැඳුම්කර මිලදී ගැනීමෙන් “මහ බැංකුව සේවය කරන්නේ කුමන මහජන අවශ්‍යතාවක් වෙනුවෙන් දැයි වටහා ගැනීම අතිශයින් දුෂ්කර ය.” සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදකයින්ගේ නය මහ බැංකුවේ ලැයිස්තුවට ඇතුලත් කිරීම පිලිබඳව ඔහු ඇසුවේ “ෆෙඩරල් මහ බැංකුව ඔබේ ඊලඟ පෝර්ෂේ රථය බදු දීමේදී ඔබට පහසු කම් සපයා ඇත්ද?” යන්නයි.

බෘකින්ස් ආයතනයේ ආරොන් ක්ලයින් මෙසේ පැවසීය: “ඇපල්, මයික්‍රොසොෆ්ට් සහ කොම්කාස්ට් නය (බැඳුම්කර) මිලදී ගැනීමෙන් සැපයෙන විසඳුම කුමක්ද? ඒ  ඊබේ හෝ ගූගල් ද? ඇමරිකාවේ ගැටලුව, ඇපල් කොටස් හිමියන්ට වැඩි උපකාර අව්‍යශ්ව තිබීම ද? ගූගල් නය බැඳුම්කරවල  ආයෝජනය කර ඇති අය කොවිඩ් අගුලු   දැමීම් වලින්  විනාශකාරී හා අනපේක්ෂිත අලාභයන්ට මුහුන දී තිබේද? ”

එහෙත් මූල්‍ය වෙලඳපොලට  මහ බැංකුවේ මැදිහත්වීම් ආරක්ෂා කරන බොහෝ දෙනෙක් ඇත, සියල්ලටම වඩා බොහෝ ප්‍රතිලාභ ලබා ඇති අය. ගෝල්ඩ්මන් සැක්ස් පවසන පරිදි, ෆෙඩරල් මහ බැංකුව ව්‍යාපාර නය බැඳුම්කර වෙලඳපල ස්ථාවර කිරීමට පියවර නොගත්තේ නම්, වෙලඳපල ප්‍රාග්ධනය “අවුල් සහගත” වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, 2008 වෙලඳපොල කඩාවැටීමට කොන්දේසි නිර්මානය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටු කල සමපේක්ෂන හා කොල්ලකෑම් අඛන්ඩව පවත්වා ගෙන යාමට සහ මෙම සාපරාධී ක්‍රියාවන් ඉන් පසුව දිගටම කරගෙන යාමට විශාල මුදල් ප්‍රමානයක් එන්නත් කිරීමට මහ බැංකුවේ ක්‍රියාමාර්ග අවශ්‍ය විය. 2008දී මෙන් නොව, වසංගතය කඩාවැදුන විට ඇතිවූ ඊටත් වඩා විශාල ව්‍යසනයන්ට මෙම ක්‍රියාවන්  තුලින් මූල්‍ය වෙලඳපොලවල් සකස් කරනු ලැබින.

ෆෙඩරල් මහ බැංකුවේ මැදිහත්වීම් හරහා වෝල් වීදිය  වේගයෙන් මුදල් උරා බොන හෙයින්, යටින් පවතින ඇමරිකානු සහ ගෝලීය ආර්ථිකයේ තත්වය වඩාත් නරක අතට හැරෙමින් තිබේ.

අන්තර්ජාතික බේරුම්කාර බැංකුව සඳුදා නිකුත් කල වාර්ෂික වාර්තාවේ “අනාගත ආර්ථික ඉතිහාසඥයින් විසින් COVID-19 වසංගතය 21 වන සියවසේ තීරනාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය” යි සඳහන් කරයි.

මාස කිහිපයක් තුල විරැකියා අනුපාතය අංක දෙකේ ගනන් වලට ඉහල නැඟීමත් සමඟ බොහෝ ආර්ථිකයන් එක් කාර්තුවක් තුල වාර්ෂිකව ගනන් බලන ලද සියයට 25 ත් 40 ත් අතර අනුපාතයකින් හැකිලී ගොස් තිබේ.

වෙලඳපල ප්‍රසාරනය සැලකිල්ලට ගනිමින් එය, කොටස් මිල සහ ව්‍යාපාරික බැඳුම්කර “දුර්වල සැබෑ ආර්ථිකයෙන් වෙන්වී” ඇති බව පැවසූ නමුත්, වෛරසය පැතිරීමට පෙර සිටම ගුනාත්මකව පහත් තත්වයේ ව්‍යාපාරික නයෙහි වේගවත් ප්‍රසාරනයේ නිමැවුමක් වන මූල්‍ය අස්ථායිකරනය එලෙසම පවතියි. 

වර්තමාන තත්වය, සාම විසඳුමකට වඩා ගිවිසුමක් හා සමාන වන අතර, ද්‍රවශීලතා ගැටලුවක් ලෙස මුලින්ම පෙනී ගිය තත්වය   නුබුන්වත් කමට තර්ජනයක් බවට පත්වී ඇති බවක් පෙනීයයි“ යනුවෙන් එහි සඳහන්ය. “පාඩු, පුලුල් නය පැහැර හැරීම් වලට හේතු විය හැකිය යන කනස්සල්ල සමඟ, පහත හෙලීමේ රැල්ලක් ආරම්භ වී තිබේ” යනුවෙන් එය අනතුරු ඇඟවීය.

වැඩිපුර නය ලබා ගැනීම සඳහා සමාගම් ඉතා අඩු පොලී අනුපාතයන්ගෙන් වාසි ලබා ගැනීම නිසා ව්‍යාපාරික අංශයේ තත්වය “පසුගිය දශකය තුල සැලකිය යුතු ලෙස පිරිහී” ඇති බව එය වාර්තා කල අතර, සමාගම්වලින් සියයට 50 ක් පමන 2019 දී මුදල් හා මුදල් හා සමාන ද්‍රවශීල වත්කම් හිමිකරගෙන සිටියේ  ආදායමින් මාස දෙකකටත් අඩු වටිනාකමකි.

ඊයේ ප්‍රකාශයට පත් කල අදහස් දැක්වීමේදී සිඩ්නි මෝනිං හෙරල්ඩ් ව්‍යාපාර තීරු රචක ස්ටීවන් බර්තොලමියුස්, එක්සත් ජනපද ආර්ථිකයේ බොහෝ ක්ෂේත්‍රයන්හි අයහපත් තත්වය පෙන්වා දුන්නේය. “එක්සත් ජනපදයේ සොම්බි සමාගම්වල අනුපාතය - ඉතා අඩු පොලී අනුපාත සහ ඉතා අඩු බැඳුම්කර නය සඳහා නිදහසේ ප්‍රවේශ වීමට ලැබීම නිසා ඒවායේ පොලී පිරිවැය පියවා ගැනීමට ඉඩ සලසන හෙයින් පමනක් බේරී ඇති ලැයිස්තුගත සමාගම් - සියයට 20 කට ආසන්න සංඛ්‍යාවක් ලෙස දැන් ඇස්තමේන්තු කර ඇතැයි ” ඔහු ලිවීය.

මෙයින් අදහස් කරන්නේ, වසංගතය මඟින් ආර්ථික අර්බුදය උත්සන්න කරන ලද නමුත් එහි මූලික හේතුව ධනේශ්වර ආර්ථිකයේ අභ්‍යන්තර කුනුවීම හා දිරාපත්වීම බවය. එය දිග හැරීමට පටන් ගෙන ඇති අතර විනාශකාරී සමාජ ප්‍රතිවිපාක ගෙන ඒමට තර්ජනය කරයි.

සිදුවීම් කුමක් වුවත්, එක් දෙයක් දැනටමත් පැහැදිලිය. මෙම අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට මහ බැංකුව කටයුතු කරනු ඇති අතර, එය නියෝජනය කරන වෝල් වීදියේ මූල්‍ය කතිපයාධිකාරයේ ලාභය සහ කොල්ලය ආරක්ෂා කිරීම සඳහා සියලු සීමාවන් ඉවත් කරන බවයි.

Loading