වයඹ පලාත් සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දීමනා නොදීමට එරෙහිව උද්ඝෝෂනය කරති

වයඹ පලාත් මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරු තමන්ට හිමි සේවය ඇගයීමේ දීමනාව කප්පාදු කිරීමට එරෙහිව ජුනි 1 වෙනිදා ලෙඩ නිවාඩු දමා සේවයෙන් වැලකී සිටීමේ උද්ඝෝෂනයක නිරත වුහ. උද්ඝෝෂනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 200 ක් පමන සහභාගී වුහ. උද්ඝෝෂනය කැඳවුම් කලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසිනි. 

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  ලබා දෙන දායකත්වය අගය කිරීමක් ලෙස දින 20 ක සංයුක්ත දීමනාවක්  ඔවුන්ට ගෙවීමට  වයඹ පලාත් සෞඛ්‍ය බලධාරීන් පොරොන්දු  වී ඇත. එය ගනනය කෙරෙන්නේ එක් එක් මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාගේ සේවාකාලයට අනුව පවතින මූලික වැටුප මතය. 

කොරෝනා වසංගතය සම්පූර්නයෙන් පහව යන තුරු සෑම මසකම මෙම දීමනාව ගෙවිමට නියමිත නමුත් වයඹ පලාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අප්‍රේල්, මැයි සහ ජුනි මාස සඳහා  එම ඇගයීමේ දීමනාව මේ වනතුරු ගෙවා  නැත. එමන් ම, අදාල දීමනාව දින 20 වෙනුවට, වරු 20 දක්වා අඩකින් කප්පාදු කිරීමට පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් යෝජනා කර ඇති බව ද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති. 

 දීමනාව මෙතෙක් නොගෙවීම සහ එය කප්පාදු කිරීම සම්බන්ධයෙන්  අදහස් පලකල කුරුනෑගල  දිස්ත්‍රික්කයේ  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු වන මහින්දරත්න මෙසේ සඳහන් කලේ ය. “මේ දීමනාව ලබා දෙනවා කියලා අපට කිව්වේ අප්‍රේල් මාසයේ මුල් සතියේදී. මොකද අපි අපේ සහ අපගේ පවුල්වල සාමාජිකයින්ගේ ජීවිත අවදානම බාර අරගෙන, දිවා රෑ නොබලා වැඩ කරපු නිසා. අපේ රාජකාරිය පෙරමුනු රාජකාරියක්.  ආසාදිත පුද්ගලයින් සහ නිරෝධායනයට ලක් වන අය එක්ක සමීප සම්බන්ධතා  පවත්වන්න අපට සිද්ධ වෙනවා  එහෙත්  ඒවට අවශ්‍ය ආරක්ෂක උපාංග පවා නැති තත්ත්වයක් යටතේ අපට වැඩ කරන්න සිද්ධ වුනේ. අවශ්‍ය  තරම් මුහුනු  ආවරන සහ පුද්ගල ආරක්ෂක උපාංග පවා නැතිවයි අපි වැඩ කලේ. බෝවෙන වසංගතයක් එක්ක  කරන රාජකාරිය නිසා නවාතැනක් දෙන්නත් මිනිස්සු අකමැති යි. ඒ නිසා කොපමන දුර බැහැර වුනත් වැඩ අවසන් වෙලා  අපිට අපේ ගෙවල්වලට ආපසු යන්න වෙනවා”. 

මෙම සේවය ඇගයීමේ දීමනාව කප්පාදුවට හා මෙතෙක් නොගෙවීමට අමතරව අතිකාල සහ දුරකථන දීමනා කප්පාදුවකට ද කුරුනෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු  මුහුන දෙති. මාර්තු සහ අප්‍රේල් මාස දෙකට අතිකාල පැය 150 ක් සඳහා ගෙවීම් කල නමුත් මැයි මාසයේ එය පැය 100 දක්වා අඩුකර තිබේ. එලෙස අතිකාල පැය ගනන කප්පාදු කරන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධක්ෂ විසින් පලාත් සභා ලේකම් වෙත යෝජනා කර ඇති බව ඔවුහු  කීහ. දුරකථන දීමනාව ඔවුන්ට ගෙවා ඇත්තෙත් මාස දෙකකට පමනි. එමෙන් ම, වසර කිහිපයක සිට මහජන සෞඛ්‍ය පරිපාලක පත්කිරීම් ඇතුළු නොවිසඳුන පරිපාලන ගැටලු ද පවතින බව ඔවුහු සඳහන් කලහ. 

වයඹ පලාතේ සිදු කෙරෙන මෙම දීමනා කප්පාදුව සෞඛ්‍ය අංශයේ සෙසු සේවකයන් මත ද ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇත. පලාත්  සභා සහ මධ්‍යම රජයේ ඇතැම්  රෝහල්වල අතිකාල සහ විශේෂ නිවාඩු දින දීමනා ගෙවීම් පැහැර හැර තිබේ. එම කප්පාදුවලට එරෙහිව දකුනු සහ බස්නාහිර පලාත්  රෝහල් වල  හා මහනුවර රෝහලේ සේවකයෝ පසුගිය දිනවල විරෝධතා උද්ඝෝෂනවල යෙදුනහ. එහෙත්, ලෙඩ නිවාඩු දැමීම සහ කළුපටි බැඳීම ඇතුළු නිස්සාර උද්ඝෝෂන වලට සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතා ලඝු කොට, ඔවුන්ගේ විරෝධය වාෂ්ප කර දැමීමට සෞඛ්‍ය අංශයේ  වෘත්තීය සමිති  ක්‍රියා කරති. මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය ඉටු කරන භූමිකාව ද එයයි.

සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදුව වනාහි, කොරෝනා වසංගතයෙන් ගැඹුරු වී  ඇති ආර්ථික අර්බුදයේ බර රාජ්‍ය අංශයේ හා  පුද්ගලික අංශයේ කම්කරුවන් මත පැටවීම පිනිස රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් විසින් ක‍්‍රියාවට දමා ඇති කම්කරු පන්තියේ රැකියා සහ වැටුප් කප්පාදු කිරීමේ පලල් ප්‍රහාරයක කොටසකි. අධිරාජ්‍යවාදී රටවල සිට පහලට මෙවන් කප්පාදු පිලිවෙත් ධනපති පාලක පන්තීන් විසින් සෑම රටක් තුලම ක්‍රියාවට දැමෙයි.

රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

සමාජවාදී සමානතා පක්ෂය, 20 ජූනි 2020

සසප, සෞඛ්‍ය කම්කරුවන් සඳහා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය, 11 ජූනි 2020

Loading