ස්ටාර් ඒ කොමාර් සමාගමේ සේවක දඩයමක් සහ වැඩ වේගවත් කිරීමක් දියත් කෙරේ

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමනු ලැබූ කම්හල්, යලි විවෘත කිරීමෙන් අනතුරුව,  කටුනායක නිදහස් වෙලඳ කලාපයේ පිහිටි ස්ටාර් ඒ කොමාර් සමාගම් ජාලයකට අයත් ඇඟලුම් කම්හල් දෙකක සහ ප්‍රධාන පරිපාලන ඒකකයේ සේවක දඩයමක් සහ වැඩ වේගවත් කිරීමක්, ආරම්භ කර ඇත.

සතියක් හැර සතියක් පමනක් වැඩට කැඳවනු ලබන බවත් වැටුපෙන් සහ පැමිනීමේ දීමනාවෙන් සියයට 75 ක් පමනක් ගෙවනු ලබන බවත් එම කම්කරුවන්ට පරිපාලනය විසින් සෙනසුරාදා දැනුම් දී ඇත. ඒ අනුව කම්කරුවෙකුගේ වැටුප රු. 14,000 සිට රු. 20,000 අතර සොච්චමක් බවට පත්වෙයි. 

මෙම සමාගම් ජාලය සතුව, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) සහ කොග්ගල, කඩුවෙල, බද්දේගම, කොත්මලේ, ගාල්ල සහ සූරියවැව ඇතුලු ප්‍රදේශයන් හි කම්හල් 10 ක් පමන ඇත. කනිවෙක යේ ස්ටාර් ඒ කොමාර් සමාගම සතු ආයතන හතරට අයිජීඑස්, ස්ටාර් ගාමන්ට්, එල්එල්අයි යනුවෙන් කම්හල් තුනක්ද, සෙන්ට්‍රලයිස්ඩ් ඩිපාර්ට්මන්ට් ලෙස හැඳින්වෙන ප්‍රධාන පරිපාලන ඒකකය ද ඇතුලත් වේ. මේවාහි සේවකයින් 1800 ක් රැකියාවේ නිරත වී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) වාර්තා වූ පරිදි කනිවෙක පිහිටි මෙම ආයතන හතරෙන් තුනක කනිෂ්ඨ ශ්‍රේනි සහ අධීක්ෂන මට්ටමේ සේවකයින් 11 දෙනෙකුට, මැයි මස මැද සිට ඔවුන් සේවාවන් වලින් ඉවත් කර තබන බවද මාසික මූලික වැටුපෙන් අඩක් පමනක් ගෙවන බව ද, සඳහන් කරමින් පරිපාලනය විසින් ලිපි එවා ඇත. 

සමහරෙකුට නිකුත් කෙරුනු ලිපිවල මාස දෙකකට පමනක් සේවාව නැවැත් වූ බව සඳහන් වන නමුදු තවත් තිදෙනෙකුට නිකුත් කෙරුනු ලිපිවල නැවත සේවයට කැඳවන දිනයක් සඳහන් නොවේ. සියලු දෙනාගේම ලිපිවල සේවා නැවැත්වීම සඳහා හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇනවුම් අඩු වීමයි. 

මේ වනවිට, අයිජීඑස් කම්හලේ පස් දෙනෙකුගේ ද, ස්ටාර් ගාමන්ට් හි තිදෙනෙකුගේ ද, ප්‍රධාන පරිපාලන ඒකකයේ තවත් තිදෙනෙකුගේ ද සේවය අත්හිටුවනු ලැබ ඇත. ජුනි 29 දා මානව සම්පත් සාමාන්‍යාධිකාරි මුන ගැසීමට එන ලෙස මොවුන්ට දන්වා තිබිනි. එහිදී සාමාන්‍යාධිකාරි විසින් ඔවුන්ගේ සේවය තවත් මාස තුනකට නවත්වා ලිපි නිකුත් කෙරිනි.

තම අයිතිවාසිකම් ගැන හෝ යුක්තිය වෙනුවෙන් කථා කිරීම නිසා ස්ටාර් ගාමන්ට් කම්හලේ සේවකයන් දෙදෙනෙකු ගේ සේවය අත් හිටුවා ඇතැයි ඇතැමෙක් ලෝසවෙඅට පැවසූහ. වසංගතය හේතුවෙන් ඇනවුම් අඩු වී ඇතැයි යන කඩතුරාව යටතේ මෙම දඩයම සිදුකෙරි පවතී. දැනට කම්හල් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කෙ‍රෙන අතර අමතර වැඩ “උප කොන්ත්‍රාත්” ලෙස කලාපයේම පිහිටි නෙක්ස්ට් සමාගමට පැවරේ.

සේවකයින්ගේ සහ කම්කරුවන්ගේ අදහස වන්නේ දැනට වසර එකහමාරකට පමන පෙර විශේෂඥයින් කන්ඩායමක් පැමින යෝජනා කල වැඩ වේගවත් කිරීමේත් වියදම් කප්පාදු කිරීමේත් වැඩපිලිවෙල, වසංගතය මුවාවෙන් දැන් ක්‍රියාවට නංවන බවයි. මෙම යෝජනා ක්‍රියාවට නැංවීමෙන් කඩුවෙල කම්හලේ සේවකයින් ගනනාවක් කලකට පෙර නෙරපා හැරිනි.

මෙම වැඩපිලිවෙල යටතේ කනිවෙක යේ ආයතනවල වයස 55 ට වැඩි සහ මාස 6 ට අඩු සේවකයින් 50 ට අධික සංඛ්‍යාවක් ඉවත්කොට ඇත. සේවයේ යෙදුනු සෑම වසරකටම මාස එකහමාරක මූලික වැටුපට සමාන වන්දියක් ලබාගෙන ඉවත් වන ලෙසට සේවකයන්ට බල කිරීම් කර ඇත. අගුලු දැමීම නිසා වසා තිබුනු කාලයට වැටුප අඩක් කපා දැමිනි. අප්‍රේල් මස බෝනස් දීමනාවද නොගෙවූ බව කම්කරුවෝ පැවසූහ.

අප්‍රේල් 21 දින කම්හල යලි විවෘත කිරීමෙන් පසු වැඩ වේගවත් කිරීම නිසා කම්කරුවෝ ඉතා අසීරු තත්වයකට පත්ව සිටිති. ඔවුහු ලෝසවෙඅ ට පැවසුවේ තමන්ට ආහාර ගැනීමට හෝ වැසිකිලි යාමට පවා විවේකයක් නොමැති බවයි. මේ හේතුවෙන්, රැකියාව එපාවී එය අතහැර යන තත්වයකට තමන් පත්ව ඇතිබව  ඔවුහු පැවසූහ. 

දරුනු සූරාකෑමක් ක්‍රියාත්මක වන මෙම කම්හල් ජාලයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු වශයෙන් පුහුනුවූ කම්කරු‌වෙකුට ගෙවන මූලික වැටුප රු. 22,000 ක් වන අතර මුලු වැටුප රු. 32,000 ක් පමනය. නිවාඩු දින එකහමාරක් ගත්විට පැමිනීමේ දීමනාව අහෝසි වෙයි.

ස්ටාර් ගාමන්ට් කම්හල 2015 - 2016 අතර දී අලුත් හාම්පුතෙක් මිල දී ගෙන ඇත. පෙර පැවැති පරිපාලනය යටතේ බොහෝ කම්කරුවන්ගේ අතිකාල දීමනා කපා හැර එපා වන කොන්දේසි ඇති කිරීම හේතුවෙන් ඔවුන්ට වන්දි නොගෙවා ඉවත්ව යන තත්වයක් නිර්මානය කෙරිනි. අලුතින් කම්හල ආරම්භ කරන විට ලයින් 3 ක් පමනක් තිබුනු අතර අද වනවිට ස්ටාර් ගාමන්ට් කම්හලේ ලයින් 7 ක් ක්‍රියාත්මක වෙමින් පවතී. 

ඇඟලුම් නිෂ්පාදනය කෙරෙන ඒ කොමාර් සමාගම විදේශ වෙලඳපොලට තම නිෂ්පාදන අපනයන කරමින්, අධික ලාභ ලබන බව කම්කරුවෝ පවසති. කොමාර් ප්‍රොඩක්ට්ස් යනුවෙන් ලෝක වෙලඳපලේ ප්‍රසිද්ධ භාන්ඩ නිපදවෙන මෙම කම්හල් ලෝකයේ විවිධ රටවල ඇත.

කෝවිඩ් වසංගතය තම වාසියට හරවා ගනිමින් කම්කරුවන් දොට්ට දැමීම කනිවෙස ඇතුලු අනෙකුත් ප්‍රදේශවල කම්හල් පාලනාධිකාරයන් විසින් ක්‍රියාවට නගමින් පවතී. කවිවෙක යේ සහ රටේ විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමේ කම්කරුවන් දහස් ගනනක් යලි සේවයට කැඳවා නොමැත. 

සමහරෙකුට වැටුපෙන් අඩක් ලැබෙන අතර වැඩෙහි නිරත ඉතිරි කම්කරුවන් රුදුරු සූරා කෑමකට යටත්කොට ඇත.

හාම්පුතුන්ට මෙම රුදුරු කොන්දේසි නිර්මානය කිරීම පහසු කෙරී ඇත්තේ, ඇන්ටන් මාකස් නායකත්වය දෙන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේසේස), ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු  ලබන අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, එක්සත්  කම්කරු සම්මේලනය සහ නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාර්ස්  ශ්‍රී ලංකා යන වෘත්තීය සමිති කල පාවා දීම හේතුවෙනි. 2019 දී පරිපාලනය සමග හවුල් වී සිදු කල කුමන්ත්‍රන හෙලිදරව්වීම හේතුවෙන් ස්ටාර් ගාමන්ට් කම්කරුවෝ නිවෙකපොසේසේස සමිතියෙන් ඉවත් වූහ. 

මැයි මාසයේ මෙම සමිති  රාජපක්ෂ ආන්ඩුව සහ හාම්පුතුන් සමග ඔවුන්ගේ කප්පාදු වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමට ත්‍රෛපාර්ශ්වික “සම්මුතිය” අත්සන් කල අතර එම සම්මුතිය තව මාස තුනකට දීර්ඝ කිරීමට ජුනි 20 වෙනිදා එකඟ වූහ.

කෝවිඩ්-19 වසංගතය දඩමීමා කර ගෙන දැනට එල්ල කරමින් පවත්නා ප්‍රහාරය පරයා යන,   දැවැන්තම ප්‍රහාරයකට සමාගම්කරුවන් සහ ආන්ඩුව අරඅඳිමින් සිටින බවට, ස්ටාර් ඒ කොමාර් සමාගමේ කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තියට, සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝසවෙඅ  අනතුරු අඟවයි.

Loading