වසර 75 කට පෙර:

බ්‍රිතාන්‍ය මහ මැතිවරනයෙන් කම්කරු පක්ෂයට දැවැන්ත ජයග්‍රහනයක්

මෙම ලිපිය ජූනි 29 දින ඉංග්‍රීසියෙන් පලවින.

ක්ලෙමන්ට් ඇට්ලී

1945 ජූලි 5 වන දින පැවති මහ මැතිවරනයෙන්  බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගනිමින් කොන්සර්වේටිව්වරුන් බලයෙන් අතුගා දමා ලිබරල් පක්ෂය ද කුඩු කර දැමීය. එම මැතිවරන ප්‍රතිඵලය පිලිබිඹු කලේ, වසර හයක යුද්ධයෙන් පසු දැවැන්ත විරැකියාව හා 1930 ගනන්වල මට්ටමට දරිද්‍රතාවය නැවත  වර්ධනය විය හැකි ය යන පුලුල් භීතිය මධ්‍යයේ වර්ධනය වන කම්කරු පන්තියේ  දේශපාලන රැඩිකලීකරනය යි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් වූ වහාම බලය මාරු කිරීමක් සිදු නොවුනේ, භාරකාර කැබිනට් මන්ඬලයේ අගමැති වින්ස්ටන් චර්චිල්ට එක්සත් ජනපදය හා සෝවියට් සංගමය සමඟ පොට්ස්ඩෑම් සමුලුවේදී සාකච්ඡා පැවැත්වීමට ඉඩ කඩ සකසා දීමට යි. දෙවන ලෝක යුද්ධය අවසානයේ යුරෝපය බෙදා ගැනීම එම සාකච්ඡා වල අරමුන යි. එම සමුලුව අවසන් වීමට දින පහකට පෙර ජූලි 28 වැනිදා, පොට්ස්ඩෑම් හි දී, චර්චිල් වෙනුවට ජයග්‍රාහී ලේබර් පක්ෂ නායක ක්ලෙමන්ට් ඇට්ලී පත් කරන ලදී.

චර්චිල් නායකත්වය දුන්නේ ජාතික-සන්ධානයක් වැනි ආන්ඩුවකට ය. යුද්ධයේ බොහෝ අවස්ථා වලදී ලේබර් පක්ෂයේ සහාය ඒ හවුලට ලැබින. ජුනි මාසයේදී එනම් නාසි ජර්මනියේ අවසාන පරාජයෙන් පසු, චර්චිල් ඉල්ලා සිටියේ පශ්චාත්-යුද කාලීන සාමය තුල ද  ජාතික සභාග ආන්ඩුවේ අඛන්ඩ පැවැත්ම වෙනුවෙන් සහය දෙන ලෙස යි. ලේබර් පක්ෂය  චර්චිල් කල ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කල අතර ඉහි ප්‍රතිඵලය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරනයට දින නියම කිරීම යි.

ටෝරිවරුන්ගෙන්* නාමිකව ස්වාධීන නොවුවහොත්, වැඩෙන සමාජ විරෝධය, විශේෂයෙන් කම්කරු පන්තියේ  සමාජ විරෝධය, තම පක්ෂය පසු පසට දමනු ඇතැයි ලේබර් පක්ෂය බිය විය. ධනේශ්වර ගැති ලේබර් පක්ෂය බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී යුද  ප්‍රයත්නයන්ට පූර්න සහයෝගය ලබා දී ඇත. ඒ අතර වැඩ වර්ජන තහනම් කිරීම සහ දේශපාලනිකව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය  මර්දනය කිරීම ද විය.

බලය සතු කර ගැනීමේ තීරනාත්මක මැතිවරන උද්ඝෝෂනය තුල ලේබර් පක්ෂ නායක ඇට්ලී, සමාජ සුභසාධන වැඩපිලිවෙලක් අනුගමනය කල අතර, සමහර ප්‍රධාන කර්මාන්ත ජනසතු කිරීම, මහජන අරමුදල් වලින් සපයන නිවාස වැඩසටහන පුලුල් කිරීම, ජාතික සෞඛ්‍ය සේවාවක් පිහිටුවීම, සහ පූර්න රැකියා නියුක්තිය වැනි සමාජ ප්‍රතිසංස්කරන ඒ අතර විය. මූලික වශයෙන් ඔහුගේ යුද ජයග්‍රහන වාර්තාව පාවිච්චි කොට ගෙන චර්චිල් තරඟ වැදුනේ ය. එහිදී චර්චිල් කියා සිටියේ ටෝරි රජයක් යටතේ ආරක්ෂාව සහතික වන බවත් යුද්ධයෙන් පසුවත් බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර අවශ්‍යතා සහතික කරන  බවත් ය.

ටෝරීන් ලබාගත් සියයට 36 ට සාපේක්ෂව ලේබර් පක්ෂය  ඡන්ද වලින් සියයට 48 කට ආසන්න ප්‍රමානයක් දිනා ගත්තේය. මෙ මඟින් ලේබර් පක්ෂය පාර්ලිමේන්තු ආසන 393 ක් ලබා ගත් අතර එය ආසන 239 ක අතිවිශිෂ්ට වැඩිවීමකි. ටෝරීන්ගේ ආසන 197 ක් දක්වා අඩුවිය, එය තිබුනාට වඩා ආසන 189 අඩු වීමකි. පෙර වසරවල ටෝරිවරුන් සමඟ පාලනයට හවුල්ව සිටි ලිබරල් පක්ෂයට එහි සියලුම නාගරික ආසන අහිමි විය.

ෆැසිස්ට්වාදය, යුද්ධය සහ 1930 ගනන්වල මහා අවපාතයේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස යුරෝපය පුරා ජනගහනයේ පුලුල් කොටස්, විශේෂයෙන් කම්කරු පන්තිය, වමට මාරුවෙමින් සිටියහ. ග්‍රීසිය, ඉතාලිය වැනි රටවල ඒකාධිපති පාලනය පෙරලා දැමූ ෆැසිස්ට් විරෝධී පාටිසන්වරු, ධනවාදය සමඟ ගනුදෙනු බේරා ගැනීමට සැරසෙමින් සිටියහ. ප්‍රන්සයේ සහ බටහිර යුරෝපයේ පැන නැගුනු මහජන ව්‍යාපාර, කම්කරු ආන්ඩු පිහිටුවීමේ හැකියාව පෙන්නුම් කලේය.

සෝවියට් සංගමය පාලනය කල වරප්‍රසාදිත නිලධරයේ අවශ්‍යතාවන්ට අනුකූලව ස්ටැලින්වාදීහු, ධනවාදය පුනස්ථාපනය කිරීමට සහ සමාජවාදී විප්ලවය වැලැක්වීමට මිත්‍ර බලවතුන් හා ධනවාදී පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කලහ.

Loading