සමාජවාදී සමානතා පක්ෂය තම මැතිවරන උද්ඝෝෂනය නිවේදනය කරමින් මාධ්‍ය හමුවක් පවත්වයි

2020 මහමැතිවරනය සඳහා තරග වදින සමාජවාදී සමානතා පක්ෂය (සසප), තම මැතිවරන උද්ඝෝෂනය නිවේදනය කරමින්, ජූලි 03 දා, කොලඹ දී මාධ්‍ය හමුවක් පැවැත් වීය. සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, කොලඹ දිස්ත්‍රික් කන්ඩායම් නායක විලානි පීරිස් සහ නුවර එලිය දිස්ත්‍රික් කන්ඩායම් නායක එම්. දේවරාජා මාධ්‍ය හමුව ඇමතූහ.

කොලඹ, යාපනය සහ නුවර එලිය යන දිස්ත්‍රික්ක වලට අපේක්ෂකයන් 43 දෙනෙකු ඉදිරිපත් කරමින් සසප මෙම මැතිවරනයේදී තරග වදී.

මෙම මැතිවරනයේදී, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සටන් වදින එකම සංවිධානය වන සසප යේ මැතිවරන උද්ඝෝෂනය කම්කරු-පීඩිත මහජනතාවගෙන් වසන් කර තැබීමට ධනපති මාධ්‍ය යෙදී සිටින ප්‍රතිගාමී ව්‍යායාමය හේතුවෙන්, හමුවට සහභාගි වූ මාධ්‍ය නියෝජිත සංඛ්‍යාව යම් දුරකට සීමිත විය.

විජේ ඩයස්

එසේ වුවද, ජාතික රූපවාහිනී, ඩේලි මිරර් සහ වීරකේසරී යන මාධ්‍ය නියෝජනය කරමින් හමුවට සහභාගිවූ මාධ්‍යවේදීහු, සමාජවාදී ව්‍යාපාරයේ ඓතිහාසික හා ජාත්‍යන්තර ගැටලු කෙරෙහි අවධානය යොමු කෙරෙන ඉතා වැදගත් ප්‍රශ්න මතු කරමින් උද්යෝගීමත් සාකච්ඡාවක් වර්ධනය කිරීමට දායක වූහ.

ආරම්භක අදහස් දැක්වීම කල සසප ප්‍රධාන ලේකම්, මහ මැතිවරනය පැවැත් වෙන දේශපාලන සන්දර්භය ගැන පැහැදිලි කලේ ය. වර්තමානයේ ලංකාවේත් ලොවපුරාත් පැන නැගී ඇති ආර්ථික, සමාජයීය සහ දේශපාලනික අර්බුදය කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය නිසා පැන නැංවුනක් නොවන බව ඔහු පැහැදිලි කලේය. 

ධනපති ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් තීව්‍රවීම හේතුවෙන් 2008 පුපුරාගිය ගෝලීය මූල්‍ය කඩා වැටීමෙන් පසු ව ගත වුනු වසර 12 තුල, ගෝලීය ධනේශ්වර පද්ධතිය ආර්ථික බිඳ වැටීමක් තුලින් පහලට රූටා යමින් ඇතිබව ඔහු පෙන්වා දුන්නේ ය. ලොවපුරා ධනපති පාලකයන් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට  දරන ලද ප්‍රයත්නයන් මගින් එය වඩාත් උග්‍ර කෙරුනු  බව ඩයස් සඳහන් කලේය.

“විනයගරුක සහ කාර්යක්ෂම සමාජයක් පොරොන්දු වෙමින් බලයට පැමිනි රාජපක්ෂ ආන්ඩුව සමාජය නොපිට හරවමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍ර අයිතීන් අහෝසි කිරීම, පාලන තන්ත්‍රය මිලිටරීකරනය වේගවත් කිරීම සහ කොරෝනා වසංගතයෙන් මහජනතාවගේ ජීවත් වීමේ ගැටලුව උග්‍ර වීම යන කරුනු කම්කරු පන්තිය තුල විරෝධාකල්පයක් ජනිත කරවමින් පවතිනවා.” යයි ඔහු පැවසීය.

සීඝ්‍රයෙන් වැඩෙන කම්කරු පන්තියේ ප්‍රතිරෝධය ජාත්‍යන්තර පරිමාන ප්‍රපංචයක් බව ඔහු සඳහන් කලේ එය දකුනු ආසියානු කලාපය තුල තියුනු ප්‍රකාශනයක් අත්පත් කර ගනිමින් ඇති බව පෙන්වා දෙමිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සසප, රාජපක්ෂ ආන්ඩුවේ ඉලක්කයක් ව ඇති ආකාරය උතුරේ සසප අපේක්ෂකයන් ඉලක්ක කර ගෙන කෙරී ගෙන යන මිලිටරි අඩන්තේට්ටම්වලින් පැහැදිලි වන බව ඔහු ප්‍රකාශ කලේ ය.

“මිලිටරිය යාපනය දිස්ත්‍රික්කයේ සසප අපේක්ෂකයන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ තොරතුරු එක් රැස් කිරීම ගැන විමසමින් අප ආරක්ෂක ලේකම් කමල් ගුනරත්නට යොමු කල ලිපියට සති දෙකක් ගත ව ඇතත් තවම පිලිතුරක් ලැබී නෑ. අපි මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහි ව ජාත්‍යන්තර පරිමාන උද්ඝෝෂනයක් අරඹා තියෙනවා. මේ සඳහා ඔබ මාධ්‍යයන්හි සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා” යැයි ඩයස් ප්‍රකාශ කලේ ය.

විලානි පීරිස්

හමුව ඇමතූ පීරිස්, නව සමසමාජ පක්ෂය (නසසප) , පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම්වලටත්, ජනතා විමුක්ති පෙරමුන, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුන වැනි ධනපති පක්ෂවලටත් විපරීත ව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන එක ම පක්ෂය සසප වන බව එහි මැතිවරන ප්‍රකාශය ඇසුරින් පෙන්වා දුන්නා ය. 

කොවිඩ්-19 ගෝලීය වසංගතය ජය ගන්නේ කෙසේ ද? වැඩෙන කලාපීය සහ ලෝක යුද අවදානමට,  වැඩෙන ෆැසිස්ට්වාදයට සහ ආඥාදායකත්වයට එරෙහි සටන ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද?  ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් ආරක්ෂා කරන්නේ කෙසේ ද? යන ඉසවු ඔස්සේ ඇය එම වැඩපිලිවෙල විස්තර කලා ය.

“මේ අභියෝගයන්ට මුහුන දීමේ එක ම ශක්‍ය ක්‍රියාමාර්ගය වන්නේ විප්ලවවාදී වැඩපිලිවෙලක් තුල කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව ගොඩ නැගීමයි. ධනපති පන්තිය කටයුතු කරන්නේ මේ එකමුතුව බිඳීමටයි. මේ එකමුතු ව වර්ධනය කිරීමට කම්කරුවන් වෘත්තීය සමිතිවලින් බිඳෙමින් ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතු ව පවතිනවා” යැයි ඇය පැවසුවාය.

සසප සටන් වදින්නේ, ඉන්දු උප මහාද්වීපීය සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක ස්වරූපයෙන් කම්කරු-ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒමට බව පවසමින් පීරිස් තම කතාව අවසන් කලාය.

දේවරාජා

 අනතුරු ව කතාකලේ දේවරාජා ය. රාජපක්ෂ ආන්ඩුව, දෙමල ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වැනි දෙමල, මුස්ලිම් ධනපති පක්ෂ ද ඇතුලු ව සියලු ම ධනපති පක්ෂවල සහයෝගයෙන් මිලිටරිය මත පදනම් වුනු ඒකාධිපති පාලනයක් කරා යන බව ඔහු පැවසීය.

කොවිඩ්-19 වෛරසය “චීන වෛරසයක්”ලෙස හඳුන්වමින් ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනයට එරෙහි ප්‍රකෝපකරනයන් ඇවිලවීම සහ ඉන්දියාව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කනිෂ්ඨ සහකරුවෙකු වශයෙන් චීනය සමග තම දේශසීමාවේ දී මිලිටරි ගැටුම්වලට යොමු වීම ලෝක යුද්ධයක අවදානම තියුනු ලෙස ඉහල නංවා ඇති බව ඔහු පෙන්වා දුන්නේ ය. 

“ඉන්දියාව චීනය සමග මිලිටරි ගැටුම්වලට යොමු වී සිටිය දී ඉන්දියාවේ දහස් ගනන් කොවිඩ්-19 ගෝලීය වසංගතයෙන් මිය යමින් සිටිනවා. ධනවාදය ලබා දිය හැක්කේ මෙ බඳු විනාශයන් පමනි” යැයි ඔහු කීවේ ය. 

මූලික අදහස් දැක්වීම අවසානයේ මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට සසප ප්‍රධාන ලේකම් පිලිතුරු ලබා දුන්නේ ය.

එහි දී එක් මාධ්‍යවේදියෙක්, සසප ඉදිරිපත් කරන ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් යන්නෙහි “ඊලම්” යන පදයෙහි අර්ථය කුමක්දැයි විමසා සිටියේ ය. ශ්‍රී ලංකා-ඊලම් යන්නෙන් සිංහල දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධතාව අදහස් කෙරෙන බව ඩයස් පෙන්වා දුන්නේ ය.

තවත් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ ව්‍යාජ වම සහ සැබෑ වම අතර වෙනස මහජනතාවට ඒත්තු ගැන්විය හැක්කේ කෙසේ ද යනුවෙනි. “එම ඒත්තු ගැන්වීම කල හැක්කේ පක්ෂ ඉදිරිපත් කරන වැඩපිලිවෙලත් ඔවුන්ගේ ඉතිහාසයත් හරහා” යයි ඩයස් පිලිතුරු දුන්නේය.

 

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

1964 ලංකා සම සමාජ පක්ෂයේ පාවා දීමට එරෙහි ව, සසප පෙරගමන්කරුවූ  විකොස ගොඩනැගීමේ පටන් එහි මූලධර්මාත්මක ඉතිහාසය සහ අනෙකුත් වාම යැයි කියා ගන්නා පක්ෂවල ඉතිහාසය විග්‍රහ කරමින්, කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට සහ ජාත්‍යන්තරවාදයට වල කපන්නන් ව්‍යාජ වම්මුන් බව පෙන්වා දුන්නේය. 

‌දේශිය ව පැන නගින අරගලවලට සසප දක්වන දායකත්වය කුමක් දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කලේ ය. තමන්ට එල්ල කරන ප්‍රහාර වලට එරෙහිව කම්කරු පීඩිත මහජනතාව අතරින් ස්වයංසිද්ධ ව ම අරගල පැන නගින බව පෙන්වා දුන් ඩයස්, අරගල පැන නැංවීමට  අමුතුවෙන් සංවිධාන අනවශ්‍ය බවත් පැවසීය. අවශ්‍ය වන්නේ එම අරගල ජයග්‍රහනය කරා ගෙනයාමේ විද්‍යාත්මක ඉදිරි දර්ශනයක් සහ ක්‍රියාමාර්ගයක් සම්පාදනය කිරීමයි. සසප කර්තව්‍ය එය බව ඩයස් පැවසීය.

දෙමල බෙදුම්වාදය සම්බන්ධයෙන් සසප ආස්ථානය කුමක්දැයි  මාධ්‍යවේදියෙක් විමසීය. එයට පිලිතුරු දෙමින් ඩයස් මෙසේ පැවසීය: “සුලු ජාතීන්ගේ අරගල පැන නැගී ඇත්තේ ඔවුන්ට කරන වෙනස්කම්වලට එරෙහි ව. බෙදුම්වාදය පසුකාලීන ව  පැන නැගුනු සංකල්පයක් විනා එය මුල් කර ගනිමින් අරගල පැන නැංවී නෑ. එම නිසා කල යුත්තේ එම පීඩනයට හේතුකාරකය වන පන්ති සමාජය අහෝසි කිරීමයි. පන්ති සමාජයක් තුල වෙන ම රාජ්‍යයක් ගොඩ නැංවීමෙන් වාර්ගික පීඩනය අහෝසි නොවන බව එල්ටීටීඊය උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කල පිලිවෙත්වලින් ම පැහැදිලි වෙනවා.” යයි පෙන්වා දුන්නේ ය.

ජූලි 04 වන දා, ඩේලි මිරර්  හි මුල් පිටුවේ,  “යාපනයේ සසප අපේක්ෂකයන් තිදෙනෙකුට තර්ජන” යන හිසෙන් ද , එදිනම වීරකේසරී හි ඇතුලු පිටුවක "ආන්ඩුව හමුදා පාලනයකට යත්න දරයි" යන හිසෙන් ද, සසප මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වාර්තා පලවිය.