එක්සත් ජනපද ගුවන් යානා හාරක නැව් දෙකක් දකුනු චීන මුහුදේ යුද අභ්‍යාසවල

මෙම ලිපිය ජූලි 6 දින ඉංග්‍රීසියෙන් පලවින.

චීන නාවික අභ්‍යාස සිදුකරන මූලෝපායික දකුනු චීන මුහුදු කලාපයේම, එක්සත් ජනපද නාවික හමුදාව,  න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක  වන විශාල ගුවන් යානා හාරක නැව් දෙකක් සම්බන්ධ කරගනිමින්, නග්න හා ප්‍රකෝපකාරී ලෙස මිලිටරි බලය ප්‍රදර්ශනය කරන යුද අභ්‍යාස පවත්වයි.

යූඑස්එස් රොනල්ඩ් රේගන් සහ යූඑස්එස් නිමිට්ස් යානා ඒවායේ ප්‍රහාරක බලඇනි ද  සමඟ දකුනු චීන මුහුදට ඇතුලු වූ අතර ඒවාට මඟ පෙන්වන මිසයිල යාත්‍රා හා මිසයිල විනාශක යානා ද ඇතුලත්ය. 10,000 කට අධික නාවික භටයින් ප්‍රහාරක නැව්වල සිටින අතර ඔවුන්ගේ සහායට  ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ද ඒවායේ ඇත. 

පුරුද්දකට කරන අභ්‍යාස මෙන් නොව ඒවාට, “ඉහල මට්ටමේ ඒකාබද්ධ අභ්‍යාස ” ඇතුලත් වූ අතර ඒවාට,  “අසමසම නම්‍යශීලී බවක්, දරාගැනීමක්, උපාමාරු සහ ප්‍රහාරක බලයක්“ ඇත. “එය යුද තත්වයකට මුහුනදීම පිනිස පූර්න සූදානමක තබනු ඇත”  වෙනත් වචන වලින් කිවහොත් අරමුන, ප්‍රහාරක මෙන්ම ඕනෑම චීන ප්‍රති ප්‍රහාරයක් ව්‍යවර්ත කරන නාවික බලය උරගා බැලෙන බවය. 

“අපි ඇත්තටම ඉහල වේගයකින් ක්‍රියාත්මක වන අතර,  කෙටි අභ්‍යාස වලදී සාමාන්‍යෙයන් සිදුවනවාට වඩා ප්‍රහාරක ශක්තිය උරගා බලන්නෙමු යයි” යූඑස්එස් රොනල්ඩ් රීගන් ප්‍රහාරක  ඇනියේ හමුදාපති  අද්මිරාල් ජෝර්ජ් විකොෆ් උදම් ඇනීය. “අපි  පැය විසිහතරේම පියාසර කරන්නෙමු, දිනකට ගමන් සිය ගනනක් ක්‍රියාත්මක කරන්නෙමු.” 

ජූලි 4දා නිකුත් කල ප්‍රකාශයක  විකොෆ්, දකුනු චීන මුහුදේ අභ්‍යාස තුල අත්හදා බලනු ලබන“අසමසම මුහුදු බලය”සමඟින් සිය ප්‍රහාරක බල ඇනිය නිදහස් දින සැමරුම් පැවැත්වූ බවට කයිවාරු ගැසූවේය. ප්‍රහාරක බලඇනි දෙක “ලෝකයේ වඩාත්ම ප්‍රබල හා වේගවත් සටන් බලකාය ” ලෙස පිහිටුවා ගත් බව ඔහු ප්‍රකාශ කලේය . ”

පසුගිය දශක දෙක තුල එක්සත් ජනපද නාවික හමුදාව බටහිර පැසිෆික් සාගරයේ ගුවන් යානා ප්‍රවාහන නාවික ප්‍රහාරක බලඇනි දෙකක් සම්බන්ධ කර ගනිමින් යුද අභ්‍යාස පැවැත්වූ හයවැනි අවස්ථාව මෙම මෙහෙයුම යි. දකුනු චීන මුහුදේ අභ්‍යාස වලට පෙර, තුන්වන ගුවන් යානා හාරක  ප්‍රහාරක නාවික බලඇනිය ලෙස යූඑස්එස් රූස්වෙල්ට්, අසල්වැසි ෆිලිපීන මුහුදේ එවැනිම අභ්‍යාසයක යෙදී තිබුනි. 

නාවික අභ්‍යාස සඳහා කඩතුරාව වූයේ, “නාවික ගමනාගමනයේ නිදහස ” සහතික කිරීමයි. දකුනු චීන මුහුදේ එක්සත් ජනපද නාවික ප්‍රකෝප කිරීම් උත්සන්න කිරීම සාධාරනීකරනය  සඳහා යොදාගෙන ඇති එකම නිදහසට කරුන එයයි. ගැටුම් ඇවිලීමේ  තර්ජනය සහිතව, එක්සත් ජනපද යුද නැව් චීනය හිමිකම් කියන දූපත් වටා මුහුදු කලාපයන්ට හිතාමතාම ඇතුලු වන ඊනියා “නාවික නිදහස ” මෙහෙයුම් මෙයට ඇතුලත්ය.

අප්‍රේල් මාසයේදී එක්සත් ජනපද නාවික හමුදාව, දින කිහිපයක් තුල එවැනි මෙහෙයුම් දෙකක් සිදු කල අතර තවත් මෙහෙයුමක් මැයි 7 වනදා සිදු විය . මැයි 28 වන දින, මිසයිල විනාශ කිරීමේ (guided-missile destroyer)  යූඑස්එස් මස්ටින්, දශක ගනනාවක් තිස්සේ චීනය අත්පත් කරගෙන සිටින පැරසෙල් දූපත් සමූහයේ වුඩි දූපතේ සැතපුම් 12 ක භෞමික සීමාව තුල යාත්‍රා කලේය. 

දකුනු චීන මුහුදේ යුද අභ්‍යාස සඳහා එක්සත් ජනපදය සිය මිත්‍ර පාක්ෂිකයින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කර ඇත. අප්‍රේල් මාසයේදී ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සමඟ පැවැත්වූ සජීවී මිලිටරි අභ්‍යාස සහ ජුනි මාසයේදී ජපාන නාවික හමුදාව සමඟ මෙහෙයුම්  ද ඊට ඇතුලත් ය. වොෂින්ටනය චීනයට එරෙහිව ඕස්ට්‍රේලියාව, ජපානය හා ඉන්දියාව සම්බන්ධ කරගත් අර්ධ-මිලිටරි සන්ධානය හෙවත් ඊනියා ක්වොඩ් (Quad)  පිහිටුවා ගැනීමට උත්සාහ කර ඇත.

එක්සත් ජනපද පැසිපික් නාවික බලඇනියේ  ප්‍රකාශක විකාර සහගත ලෙස සති අන්තයේ පැවසුවේ, මෙහෙයුම  “කිසිදු දේශපාලන හෝ ලෝක සිද්ධියකට ප්‍රතිචාර වශයෙන් " හා චීනය එල්ල කරගෙන නොකල බවයි. කෙසේ වෙතත්, පෙන්ටගනය පසුගිය සතියේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජූලි 1 සිට 5 දක්වා දකුනු චීන මුහුදේ චීන පාලිත පැරසෙල් දූපත් අසල චීන නාවික අභ්‍යාස හෙලා දුටුවේය.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව  චීන අභ්‍යාස හංවඩු ගසමින්, “දකුනු චීන මුහුදේ අග්නිදිග ආසියානු අසල්වැසියන්ට අවාසිදායක හා සිය නීති විරෝධී මුහුදු හිමිකම් තහවුරු කර ගැනීමට ගෙනයන ක්‍රියා මාලාවක අලුත්ම එක” එය බව පැවසීය.  “නිදහස් සහ විවෘත, ඉන්දු-පැසිෆික් කලාපය තුල, ස්වෛරීභාවය සහ කලාපයේ සියලු ජාතීන්ගේ අයිතීන් සහතික කිරීම” එක්සත් ජනපද දැක්ම බව , එය කියා සිටියේය.

යථාර්ථය නම්, දකුනු චීන මුහුදේ එක්සත් ජනපද මැදිහත්වීම ඔබාමා පරිපාලනයේ ආක්‍රමනකාරී " ආසියාවට හැරීමෙහි” සංරචකයක් විය. චීනයට රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා මිලිටරිමය වශයෙන් වල කැපීම එහි අරමුන විය. එක්සත් ජනපදයට දකුනු චීන මුහුදේ  “ජාතික අවශ්‍යතාවයක් ” ඇති බව ප්‍රකාශ කරමින් එවක රාජ්‍ය ලේකම්  හිලරි ක්ලින්ටන්, චීනය සහ එහි අසල්වැසියන් සම්බන්ධ අඩු ලංසුවේ කලාපීය භෞමික ආරවුල්, භයානක ජ්වලන කේන්ද්‍ර බවට පරිවර්තනය කලාය.

 චීන “සමුද්‍රීය හිමිකම් ” “නීති විරෝධී "  බවට වන එක්සත් ජනපද ප්‍රකාශ මුලුමනින්ම කුහකය. මක්නිසා දයත්, වොෂින්ටනය කවදාවත් මුහුදු නීතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (UNCLOS) පිලිගෙන නැති නිසාය. භෞමික ආරවුල් වලට සම්බන්ධ පාර්ශවයක් නොවන එක්සත් ජනපදය, දකුනු චීන මුහුදු කලාපය ගැන චීනයේ ඓතිහාසික හිමිකම්පෑම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා 2016දී පිලිපීනය එක්සත් ජාතීන්ගේ අධිකරනය (UN Permanent Court of Arbitration) හමුවේ ගොනු කල නඩුවට දිරිමත්ව  සහාය දීම අතිශයින්ම දේශපාලනික වූ තීරනයකි. 

යථාර්ථය නම්, දකුනු චීන මුහුද සහ චීන භුමියට සමීප අනෙක් මුහුදු කලාපයන්හි එක්සත් ජනපදය පවත්වන නාවික මෙහෙයුම්, චීනයේ අසල්වැසියන් ආරක්ෂා කිරීම සමඟ මෙලෝ සම්බන්ධයක් නැති බවයි. නමුත් යුද්ධය සඳහා එක්සත් ජනපද සූදානම සමග එය සමීප ලෙස  බැඳී ඇත. චීනය සමඟ ගැටුම් සඳහා වන එක්සත් ජනපද මූලෝපාය පදනම් වී ඇත්තේ, කලාපයේ යුද නැව් සහ කඳවුරු වලින් දැවැන්ත ගුවන් හා මිසයිල ප්‍රහාර දියත් කිරීම හා චීනය දනගැස්වීම සඳහා එරට කුසගින්නේ තැබීම අරමුනු කරගත් නාවික අවහිරය සමඟ ය. ගිනිකොනදිග චීනයේ හයිනාන් දූපතේ ප්‍රධාන චීන සබ්මැරීන් කඳවුරු වලට යාබදව දකුනු චීන මුහුද පිහිටා ඇත.

විවිධාකාර සංවේදී කාරනා මුල්කරගෙන ට්‍රම්ප් පරිපාලනය, චීනය සමඟ ඇති කර ගත් ගැටුම වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබියදීම එක්සත් ජනපද මිලිටරි අභ්‍යාස සිදු වේ. ඒවාට, කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් බීජිනයට චෝදනා නැඟීම, හොංකොං සම්බන්ධයෙන් චීනය පනවා ඇති නව ආරක්ෂක නීතිය මුල්කරගෙන චීනයට සම්බාධක පැනවීම, ඉන්දියාව හා චීනය අතර දේශ සීමාව ගැටුම් ඇවිස්සීම සහ චීන විදුලි සංදේශ යෝධ සමාගම වන හුආවේ  මත සීමාවන් පැනවීම ඇතුලත්ය.

එම්එස්එන්බීසී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධවල මන්දිරයේ වෙලඳ උපදේශක පීටර් නවරෝ පසුගිය සිකුරාදා , කොවිඩ්-19 න් සිදු වූ විශාල මරන සංඛ්‍යාවට එය වගකිව යුතු බව ප්‍රකාශ කරමින්, බීජිනයට එරෙහිව දරුනු ප්‍රහාරයක් දියත් කලේය . බිංඳු මාත්‍රයක හෝ සාක්ෂියක් නොමැතිව ඔහු යෝජනා කලේ, චීනය, වෛරසය    “ආයුධයක් ” කරගෙන ඇති බවයි. “ඔවුන් වෛරසය සඟවා තැබුවා. අප දැන ගැනීමට පෙර, විෂබීජ හා වෛරසය පැතිරවීමට ඔවුන්, සිය දහස් ගනන් චීන ජාතිකයන් මෙහි එවීය. ”

වසංගතයේ පැතිරීම වැඩි කරන ට්‍රම්ප් පරිපාලනයේ විශාල බොරු එල්ලවී ඇත්තේ, වසංගතය පිලිබඳ එහි සාපරාධී පියවර කෙරෙහි වන මහජන කෝපය විදේශ සතුරෙකුට එරෙහිව හැරවීමට පමනක් නොවේ. පසුගිය දශකය පුරා වර්ධනය කර තිබෙන ආර්ථික යුද්ධය හා මිලිටරි ගැටුම් වේගවත් කිරීමේ සූදානමක කොටසකි, නවාරෝ චීනයට  එල්ල කරන ප්‍රහාර. ඔබාමාගේ පාලන කාලයෙහි ආරම්භ ක“ආසියාවට හැරීම” විශේෂයෙන්, කොවිඩ්-29 වසංගතයෙන් ඉක්බිතිව, ට්‍රම්ප් යටතේ වේගවත් කර ඇත. 

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් චීනය සලකනු ලබන්නේ, ආසියාවේ සහ ගෝලීය වශයෙන් සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇති ප්‍රධාන බාධකය ලෙස ය. සියලු පෙරමුනු වලදී චීනය සමඟ ගැටුම වේගවත් කිරීම මගින් ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වා ඇති එක්සත් ජනපදයේ ඓතිහාසික පරිහානිය, වසංගයෛන් නාටකාකාර ලෙස හෙලිදරව් කර තිබේ.