දේශසීමා ඝර්ෂන දිගටම පවතිද්දී ඉන්දියාව චීනයට එරෙහිව පලිගැනීමේ ආර්ථික පියවර ගනියි

මෙම ලිපිය ජූලි 7 දින ඉංග්‍රීසියෙන් පලවින.

1967 සිට පවතින ඉන්දියානු හා චීන සොල්දාදුවන් අතර ලේවැකි දේශසීමා ගැටුම් වලට නවදිල්ලිය ප්‍රතිචාර දක්වා ඇත්තේ, බීජිනයට එරෙහිව ආර්ථික පලිගැනීම් සිදුකරමිනි.  ආරවුල් සහිත කඳුකර දේශසීමා කලාපය දෙපැත්තේම සිදුකරන මිලිටරි ගොඩනැගීමත් සමඟ මෙම පියවර සලකුනු කරන්නේ, න්‍යෂ්ටික  ප්‍රතිවාදීන් දෙදෙනා අතර ව්‍යසනකාරී යුද්ධයක අන්තරාය  සැබෑවක් බවයි.

ඉන්දියාව පාලනය කරන නෙරාගිය ලඩාක් ප්‍රදේශයත්  චීන පාලනය යටතේ පවතින අක්සායි චින් ප්‍රදේශයත් අතර ගැල්වාන් නිම්නයේදී ජුනි 15 වන දින ප්‍රචන්ඩ ගැටුම සිදු විය. එහිදී ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු සහ චීන මිලිටරියේ නොදන්නා පිරිසක් මිය ගියහ.

ප්‍රතිචාර වශයෙන්  ඉන්දියාව ජුනි 29 වන දින, මිලියන 100 කට වඩා පරිහරනය කරන ටික්ටොක් සහ එක්සත් ජනපද බ්‍රව්සර් වැනි චීන සමාගම් විසින් නිපදවන යෙදුම් (apps) (පරිඝනක ක්ෂේත්‍රයේ යොදනු ලබන අවිධිමත් ක්‍රියාමාර්ගික යෙදුමක්) 59 ක් තහනම් කරමින් ප්‍රතිචාර දැක්වීය. එම යෙදුම්, “ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛන්ඩතාවට, ඉන්දියාවේ ආරක්ෂාවට, රාජ්‍යයේ ආරක්ෂාවට සහ මහජන සාමයට බලපාන අගතිගාමී කටයුතු වලට”  සම්බන්ධ වී ඇති බව ප්‍රකාශ කරමින්, තහනම යුක්ති සහගත කලේය.

යෙදුම් තහනම, බීජිනයට එරෙහි නවදිල්ලියේ භූදේශපාලන ප්‍රහාරයේ කොටසක් බව අවධාරනය කරමින්,  පාලක හින්දු අධිපති භාරතීය ජනතා පක්ෂය (බීජේපී)  විසින් ජූලි 2දා බටහිර බෙංගාලයේ  පවත්වන ලද රැලියකදී, ඉන්දියානු නීතිය, සන්නිවේදන, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂන අමාත්‍ය රවී ශංකර් ප්‍රසාද් එය, චීනයට එරෙහි “ඩිජිටල් ප්‍රහාරයක්” ලෙස විස්තර කලේය.  චීන විරෝධී ස්වෝත්තමවාදය තව දුරටත් උසිගන්වමින් ප්‍රසාද්, “කවුරුහරි ඉන්දියාව දෙස නපුරු ලෙස බැල්ම හෙලුවොත් අපි සුදුසු පිලිතුරක් ලබා දෙන්නෙමු” යයි පැවසීය.

පසුදින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආරක්ෂක මාන්ඩලික ප්‍රධානී (සීඩීඑස්) ජෙනරාල් බිපින් රාවට් සහ යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ඩ් නාරවානේ සමඟ ලඩාක් වෙත “විස්මිත” සංචාරයක් කලේය. ඔවුන් නිමූ හි ඉදිරි ස්ථානයකදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හමුවිය.

කෙලින්ම චීනය  නම් නොකර මෝදි සිය අතිශයින් ප්‍රසිද්ධියට පත් සංචාරය චීන විරෝධී ස්වෝත්තමවාදය උසිගැන්වීම සඳහා යොදා ගත්තේය. භට පිරිස් අමතමින් ඔහු කියා සිටියේ, “ව්‍යාප්තවීමේ යුගය අවසන්” සහ “එවැනි බලවේග අතුගා දමා ඇති බවට හෝ ආපසු හැරවීමට බල කෙරී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි” යනුවෙනි. “ඉන්දියාවේ සතුරන් අපගේ හමුදාවන්ගේ  කෝපාග්නිය දැක ඇති” බව පවසමින් බීජිනයට වක්‍ර පහරක් එල්ල කරමින් “සාමය සඳහා ඉන්දියාවේ කැපවීම එහි දුර්වලකමක් ලෙස නොසැලකිය යුතු” බවට අනතුරු ඇඟවීය.

මිලිටරි හා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇතත්, නවදිල්ලිය සහ බීජිං යන දෙපාර්ශවයම ලඩාක් / අක්සායි චින් කලාපයේ සහ ඉන් ඔබ්බෙහි සිය හමුදා තරකිරීම් වැඩි කර තිබේ. කිලෝමීටර් 3,488 / සැතපුම් 2167 ක් දිග මතභේදාත්මක දේශ සීමාව දිගේ විවිධ ස්ථානවල දහස් ගනනක් හමුදා, කාලතුවක්කු , යුද ටැංකි සහ ප්‍රහාරක ගුවන් යානා රඳවා ඇත.

ගල්වාන් නිම්නය ඇතුලු ස්ථාන කිහිපයක ඉන්දියානු හා චීන හමුදා “ඈත් කිරීමේ” සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව හමුදා නිලධාරියෙක් ඊයේ හින්දු පුවත්පතට පැවසීය. චීන හමුදා ජුනි 15 ගැටුම් භූමියේ සිට කිලෝමීටර් 2 ක් සහ ඉන්දීය හමුදා කිලෝමීටර් 1.5 ක් පසුබැස ඇත. කෙසේ වෙතත්, මුලු ගැල්වන් නිම්නයම තමන්ගේ යයි ඉන්දියාව දැඩි ලෙස විශ්වාස කරන බැවින්, එය ගැටුමට “ස්ථිර විසඳුමක්” නොවිය හැකි බවට නිලධාරියා අනතුරු ඇඟවීය. මේ සම්බන්ධයෙන් මතක තබා ගත යුතු කරුනක් නම්, මැයි 15 දින දක්වා ඇති වූ ප්‍රචන්ඩකාරී නමුත් මාරාන්තික නොවන දේශසීමා ගැටුම් මාලාවකින් පසුව "සමහන් කිරීමක්” ලෙස සැලකෙන ව්‍යායාම ගනනාවකට පසුව, ජුනි 15 ගැටුම ආරම්භ වූ බවයි. 

දශක ගනනාවක් තිස්සේ පවතින චීන-ඉන්දියානු දේශසීමා ආරවුල මුල්බැස ඇත්තේ, අසල්වැසියන්ගේ තරඟකාරී භූ මූලෝපායික අවශ්‍යතා තුලය. කෙසේ වෙතත්,  මූලෝපායිකව චීනය වටලෑමට සහ ඉහල එකතු කල අගයක් හා අධි තාක්‍ෂනික ආර්ථික අංශවල තරඟකරුවෙකු ලෙස එරට මතුවීම වලක්වාලීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දරන දිනෙන් දින ඉහල යන  ව්‍යායාමයේ ප්‍රතිපලයක් ලෙස, එය විශාල වැදගත්කමක් ලබා ගෙන ඇත. ඒ සමඟ අත්වැල් බැඳගෙන, ඉන්දියාව සිය මූලෝපායික න්‍යාය පත්‍රයට ඇතුලු කර ගැනීමට වොෂින්ටනය දරන ආක්‍රමනකාරී  උත්සාහය පවතී.

2006 දී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පරිපාලනය සමඟ පසුගිය කොන්ග්‍රස් පක්ෂ ප්‍රමුඛ ආන්ඩුව විසින් ඇති කරගන්නා ලද ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වය” භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ පසුගිය වසර හය තුල ගුනාත්මකව ඉහල මට්ටමකට ගෙන ගොස් තිබේ. මෝදි යටතේ ඉන්දියාව, චීනයට එරෙහි එක්සත් ජනපද මිලිටරි මූලෝපායික ප්‍රහාරයේ පෙරමුනු රාජ්‍යයක් බවට පත්ව ඇත. ඇමරිකානු හමුදාව සඳහා ගුවන් හා නාවික කඳවුරු විවෘත කර ඇති නවදිල්ලිය, වොෂින්ටනය සමඟ මූලික ගිවිසුමක් ඇතිකරගෙන සිටින අතර, එක්සත් ජනපදය සහ එහි ප්‍රධාන ආසියා-පැසිෆික් සහචරයින් වන ජපානය හා ඕස්ට්‍රේලියාව සමඟ චීන විරෝධී ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මූලෝපායික හවුල්කාරිත්වයන් සහ ආරක්ෂක සංවාද මාලාවකට සම්බන්ධ වී තිබේ. 

චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුම සමඟ ඉන්දියාව වඩ වඩාත් සමීපව සම්බන්ධ වීමට හිලව් වශයෙන් වොෂිංටනය, නවදිල්ලියට සිවිල් න්‍යෂ්ටික ඉන්ධන සහ තාක්‍ෂනය සඳහා  ප්‍රවේශය,  එහි න්‍යෂ්ටික අවි ගබඩාව සංවර්ධනය කිරීම පිනිස ස්වදේශික න්‍යෂ්ටික වැඩපිලිවෙල කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව සැලසීම ඇතුලු මූලෝපායික අනුග්‍රහයන් මාලාවක් ලබා දී ඇත. එක්සත් ජනපදය විසින් ඉන්දියාව, “ප්‍රධාන ආරක්ෂක හවුල්කරුවෙකු” ලෙස නම් කර ඇති අතර, නවදිල්ලියට වොෂිංටනයේ සමීපතම හවුල්කරුවන්ට පමනක් ලබා ගත හැකි අධි තාක්‍ෂනික එක්සත් ජනපද ආයුධ පද්ධති මිලදී ගැනීමට ඉඩ සලසා තිබේ. මෙම වර්ධනයන් චීනය සහ එහි ඓතිහාසික පරම සතුරා වන පාකිස්තානය සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් ආක්‍රමනශීලී ස්ථාවරයක් ගැනීමට ඉන්දීය පාලක ප්‍රභූව දිරිමත් කර තිබේ.

ඒ අතරම, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය, චීනයට එරෙහි ඉන්දියාවේ එදිරිවාදිකම් උද්යෝගයෙන් දිරිමත් කරන්නේ, එමඟින් ඉන්දියාව, වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට තවදුරටත් ඒකාබද්ධ කරනු ඇතැයි ගනන් බලමිනි.

දේශසීමා ආරවුලේ ක්ෂනික ඉරනම කුමක් වුවත් හා සමහන් කිරීමක් පිලිබඳ නව දිල්ලියට සහ බෙයිජිං තන්ත්‍රයයේ දිව්රීම කෙසේ වුවත්,  ඉන්දීය ප්‍රභූව විසින් චීනයට එරෙහි සතුරුකම අවුලුවාලීමට අර්බුදය ගසා කමින් සිටී. එමඟින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ වඩාත් සමීප හවුල්කාරිත්වයක් වර්ධනය කිරීමට එරෙහි මහජන විරෝධය ජයගැනීමට උත්සාහ කරයි.

මෙහි දී කොන්ග්‍රස් පක්ෂය විශේෂයෙන් නින්දිත කාර්යභාරයක් ඉටු කරයි. බීජිනයට එරෙහිව දැඩි ලෙස නැගී සිටීමට අපොහොසත් වීම නිසා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් නැවත නැවතත් මෝදිට දකුනෙන් පහර දී ඇති අතර, සමස්ත ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලේකම් මනේෂ් තිවාරි, එක්සත් ජනපදය ප්‍රමුඛ චීන විරෝධී කන්ඩායම වන ක්වාඩ් සංවිධානය, "පෑන්-ආසියානු මූලෝපායික රාමුවේ න්‍යෂ්ටිය" ලෙස යොදාගන්නා මෙන් ඉන්දියාවෙන් ඉල්ලා තිබේ. 

ජුලි 2 හින්දුස්ථාන් ටයිම්ස් හි කතුවැකියක් “මහා ඉන්දියානු මූලෝපායික විවාදය: චීන ආක‍්‍රමනය ඉන්දියා-එක්සත් ජනපද සබඳතාවලට පක්ෂව විසඳා ඇත” යන සිරස යටතේ තර්ක කර තිබුනේ, චීනයේ දේශසීමා ආක‍්‍රමනය “දැන් ප්‍රශ්නයට පිලිතුරු සපයා” ඇති බවටය. එනම්, “චීනයේ හැසිරීම ඉන්දියාව එක්සත් ජනපදයට සමීපවීමේ ප්‍රතිපලයක් ද නොඑසේ නම් අනෙක් අතට ද” යන්නයි. එය තවදුරටත් කියා සිටියේ, “ඉන්දියාව කැමති වුවත් නැතත් එය අවසන් වනු ඇත්තේ, තුන්වන බලයක් නිසා නොව, ස්වකීය අභිලාෂයන් අවදානමට ලක්ව ඇති නිසා, චීන බලය පාලනය කිරීම සඳහා පියවර ගත යුතු පෙරටුගාමී රාජ්‍යයක් ලෙස ය. මෙයින් අදහස් කරන්නේ, ඉන්දියාවට වෙනත් රටවල් සමඟ, විශේෂයෙන් එක්සත් ජනපදය සමඟ ඇතිකරගත් සබඳතා ගැඹුරු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ”

මෝදි ලඩාක් සංචාරයේදී කල ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් බෙහෙවින් වැදගත් ය. පුවත්පත් වාර්තා වලට අනුව, “ඉන්දියානු සොල්දාදුවන්ට ලෝක යුද්ධ දෙක ඇතුලුව ගෝලීය මිලිටරි මෙහෙයුම්වලින් හිමිකරගත් නිර්භීතකම හා නිපුනතාවයේ දීර්ඝ ඉතිහාසයක් ඇත.”

බ්‍රිතාන්‍ය ඉන්දියානු හමුදාවේ කොටසක් ලෙස ඉන්දීය සොල්දාදුවන්, ඉන්දියාව දිගින් දිගටම බ්‍රිතාන්‍යයට යටත් කිරීම ද ඇතුලුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අවශ්‍යතා තහවුරු කිරීම සඳහා, 20 වන සියවසේ අධිරාජ්‍යවාදී ලෝක යුද්ධ දෙකෙහි දී සටන් කලේය. මෝදි මෙය සැමරීමට තෝරාගෙන එය “ගෝලීය මිලිටරි ව්‍යාපාර” වල ඉන්දීය සොල්දාදුවන්ගේ නිපුනතාවයට සාක්ෂියක් ලෙස උපුටා දක්වමින් අවධාරනය කරන්නේ, චීනය සමඟ ව්‍යසනකාරී යුද්ධයක් සඳහා පුහුනු වීමේදී ප්‍රාන්ත අධිපතියෙකු ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සේවය කිරීමට ඔහුගේ ආන්ඩුව සහ සමස්තයක් වශයෙන් ඉන්දියානු ධනේශ්වරය සූදානමින් සිටින බවයි. 

මැයි මාසයේදී ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආතතීන් හටගත් විට වොෂින්ටනය ඉක්මනින්, ඉන්දියාවට දක්වන සහයෝගය සංඥා කරමින්, චීන ආක්‍රමනය හෙලා දුටු අතර එය දකුනු චීන මුහුදේ ආරවුලට සම්බන්ධ කලේය. ජුනි 15 දේශසීමා ගැටුමෙන් පසුව, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් බීජිනයට එරෙහිව නැවත නැවතත් චෝදනා නඟන තතු හමුවේ මෙය උත්සන්න වී ඇතුවා පමනි.  

පසුගිය බදාදා ධවල මන්දිර ප්‍රකාශක කයිලි මැක්නනි, ට්‍රම්ප් ප්‍රකාශ කල බව පැවසුවේ, “ඉන්දියා-චීන දේශ සීමාව දිගේ චීනයේ ආක්‍රමනකාරී ස්ථාවරය, ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල චීන ආක්‍රමනයේ පුලුල් රටාවට ගැලපේ” යනුවෙනි.

පොම්පියෝ, මේ අතර, චීන යෙදුම් (apps) සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම අගය කර ඇති අතර ඒවා “චීන කොමියුනිස්ට් පක්ෂයේ නිරීක්ෂන රාජ්‍යයේ උපාංඟ” ලෙස හංවඩු ගසයි. නවදිල්ලියේ “පිරිසිදු යෙදුම් ප්‍රවේශය මගින් ඉන්දියාවේ ස්වෛරීභාවය ඉහල නංවන අතර අඛන්ඩතාව සහ ජාතික ආරක්ෂාව ඉහල නංවනු ඇත.”

බීජිනයට එරෙහිව නවදිල්ලිය සමඟ වොෂින්ටනයේ මූලෝපායික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය දේශසීමා අර්බුදය භාවිතා කිරීම පිලිබඳව, එක්සත් ජනපද පාලක ප්‍රභූව තුල ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගයක් තිබේ. මෑත සතිවලදී, රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙපක්ෂටම අයත් එක්සත් ජනපද කොන්ග්‍රස් සාමාජිකයින් දුසිමකට අධික සංඛ්‍යාවක් එක හා සමානව, චීන “ආක්‍රමනයට” ඉන්දියාව එරෙහි වීමට සහයෝගය පල කර තිබේ.

දකුනු චීන මුහුදේ නාවික අභ්‍යාස ඇතුලුව චීනයට එරෙහිව වොෂින්ටනය විසින් මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රකෝප කිරීම් වේගවත් කිරීමේ කොන්දේසි යටතේ, බීජිනය ඉන්දියාවේ ආර්ථික පලිගැනීම්වලට ප්‍රවේශමෙන් ප්‍රතිචාර දක්වා තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා චීන වෙලඳ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගාවෝ ෆෙන්ග්, ඉන්දියාව චීන යෙදුම් තහනම් කිරීම පිලිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “චීනය ඉන්දියානු නිෂ්පාදන හා සේවාවන්ට එරෙහිව කිසිදු සීමාවක් හෝ වෙනස්කම්  කර නොමැති” බවය. ලෝක වෙලඳ සංවිධානයේ නීති උල්ලංඝනය කල බවට චීනය ඉන්දියාවට  චෝදනා නැඟීය.

ඒ අතරම චීනය,  සාම්ප්‍රදායිකව ඉන්දියාව ආරක්ෂිත වැයික්කියක් ලෙස සලකන වටවූ භූමි ප්‍රදේශයකින් යුත් භූතානයට එරෙහිව, කලාපය තුල සිය භෞමික හිමිකම් ප්‍රකාශ කිරීමට පියවර ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ගෝලීය පරිසර පහසුකම (ජීඊඑෆ්) “මතභේදාත්මක” භූමි ප්‍රදේශයට සම්බන්ධ බව පවසමින්, සාක්ටෙන්ග් වනජීවී අභයභූමිය සඳහා අරමුදල් සැපයීම වලක්වාලීමට චීනය මෑතකදී ගත් උත්සාහය පිලිබඳ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින්, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක්, “ චීනය සහ භූතානය අතර සීමා කිසි විටෙකත් වෙන්කර නොමැත. නැගෙනහිර, මධ්‍යම හා බටහිර යන අංශ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ආරවුල් පවත්නේ" යයි සඳහන් කෙරේ.

එවැනි ප්‍රකාශයක පුපුරන සුලු විභවය අගය කිරීම සඳහා,  ජනශුන්‍ය, පාලු, හිමාලයානු කඳු ප්‍රදේශයක් වන ඩොක්ලම් සානුව සම්බන්ධයෙන් මේවන විටත් නිරාකරනය වී නැති, චීනය සහ භූතානය අතර භෞමික ආරවුලක් හේතුවෙන්, 2017 දී මාස දෙකකට වැඩි කාලයක් ඉන්දියාව සහ චීනය අතර ඇති වූ මිලිටරි ගැටුම සිහිපත් කිරීම වටී. 

Loading