ආන්ඩුව විධිමත් සෞඛ‍්‍යාරක්ෂන පහසුකම් තහවුරු නොකොට අන්තරායකාරී ලෙස පාසල් අරඹයි

ප්‍රදීප් රාමනායක
9 ජූලි 2020

කොරෝනා වසංගතය පැතිරයාම හේතුවෙන් දින 115 තිස්සේ වසාදමා තිබූ පාසල් යලි විවෘත කිරීමට ආන්ඩුව පසුගිය සඳුදා පියවර ගත්තේය. සිසුන් කැඳවීම අදියර කිහිපයක් යටතේ සිදුවන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇති අතර ඊට අනුව 5, 11 සහ 13 ශ්‍රේනි සඳහා අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කෙරී ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය මැයි මස මුලදී වසංගත තත්වය තුල පාසල් පවත්වාගෙන යාම පිලිබඳ සෞඛ්‍යාරක්ෂන ක්‍රමවේදයන් ඇතුලත් චක්‍රලේඛයක් නිකුත්කල නමුත්, ඒ සඳහා අවශ්‍ය තරම් ප්‍රතිපාදන පාසල් වලට නිකුත් නොකිරීම හේතුවෙන් එහි නිර්දේශ නොතකා හැරීමට පාසල්වලට බලකෙරී පවතී.

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම නැවත නැවතත් කියා සිටියේ,  “පාසල් තුල සෞඛ්‍ය ආරක්ෂාව සියයට සියයක් තහවුරු කෙරුනු පසු පමනක් පාසල් අරඹන බවත් දරුවන්ගේ ආරක්ෂාව සඳහා කලහැකි සෑම දෙයක්ම ආන්ඩුව කරන” බවත්ය. එහෙත් පාසල් විවෘත කිරීමෙන් පසුව, අලහප්පෙරුමගේ පූච්චානම් වලට ප‍්‍රතිකූලව හෙලිදරව් කෙරී ඇත්තේ, ලක්ෂ 45කට ආසන්න ශිෂ්‍ය ප්‍රජාව සහ දෙලක්ෂ පනස්දහසක ගුරුවරු මෙන්ම දෙමව්පියන්ද ඇතුලත් තවත් ලක්ෂ ගනනක් පාසල් ප්‍රජාවගේ ජීවිත පිලිබඳ සාපරාධී නොතැකීමකින් ආන්ඩුව කටයුතු කරන බවයි.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම සඳහා මැයි මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති වැඩසටහනකදී අලහප්පෙරුම විසින්ම පැවසූ පරිදි පාසල් වල සියලු සෞඛ්‍යා ආරක්ෂන පිලිවෙත් සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 150 ක සොච්චමක් පමනි. රටේ සමස්ත ශිෂ‍ය්‍ය ප්‍රජාව සැලකුවහොත්  එක් සිසුවෙක් සඳහා වෙන්වන්නේ රුපියල් 400 කටත් අඩු මුදලකි.

ආන්ඩුවේ සොච්චම් ප්‍රතිපාදන හේතුවෙන් පාසල් තුල සෞඛ්‍යාරක්ෂාව පවත්වාගෙන යාම අභියෝගයට ලක්වී ඇති අන්දම ජාතික විදුහල්පතිවරුන්ගේ සංගමය විසින් පසුගියදා කැඳවූ මාධ්‍ය සාකඡාවකදී ප්‍රකාශයට පත්විය. එහිදී විදුහල්පතිවරුන් ඉදිරිපත් කල තොරතුරු අනුව සිසු ගහනය අනුව පාසලකට ලබාදෙන්නේ රුපියල් 30000ත්, 110000ත් අතර අතිශය අප්‍රමානවත් මුදලක් පමනි.

එහිදී කොටහේන ජාතික පාසලේ විදුහල්පති මොහාන් වීරසිංහ පැවසුවේ  සෞඛ්‍යාරක්ෂක විධිවිධාන පිලිපදින්නේ නම් සිසුන් 50ක් සඳහා එක් අත සෝදන කට්ටලයක් වත් ස්ථාපනය කලයුතු බවයි. “සිසුන් 1000ක් සිටින පාසලකට වුවත් අත් සේදීම සඳහා පමනක් රුපියල් ලක්ෂ දෙකක් වත් වැයවෙනවා. පාසලකට එවැනි වියදමක් දරාගන්න අමාරුයි. ආන්ඩුවෙන් ලබාදී ඇති මුදල් ප්‍රමානවත් නැහැ” යි වීරසිංහ පැවසීය.

වසංගතය පාලනය කරගනිමින් පාසල් පැවැත්විය යුතු ආකාරය පිලිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත්කල චක්‍රලේඛය තුල ආන්ඩුවේ කප්පාදුව දියත් කිරීමට සූදානම් වන ආකාරය පැහැදිලි කෙරී ඇත. ආන්ඩුවේ ප්‍රතිපාදන සැපයෙන තෙක්, “මෙය නව ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගනිමින්, එතෙක් පාසලේ පවතින සංවර්ධන සමිති ගිනුමෙහි මෙතෙක් භාවිතා නොකරන ලද, අනුමත කරන ලද ව්‍යාපෘතිවල අරමුදල් භාවිත කරමින්” සෞඛ්‍යාරක්ෂන කටයුතු කල යුතු බවයි. එහි අර්ථය සිසුන්ගේ ආරක්ෂාව පිලිබඳ සමස්ත බර දෙමව්පියන්ගේ කරේ තැබීමට ආන්ඩුව සැරසෙන බවයි. 

ආන්ඩුවේ මෙම සූදානම ගම්බද දුගී පවුල්වල සිසුන් වැඩිවශයෙන් අධ්‍යාපනය ලබන ග්‍රාමීය පාසල් වල තත්වය වඩා බරපතල අඩියකට ඇද දමයි. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කොඩිප්පිලිකන්ද, ජයන්ති සහ ගාමිනී යන මහා විද්‍යාලවල ගුරුවරුන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලබාදුන් තොරතුරු ඊට සාක්ෂි සපයයි.

ප්ලාස්ටික් බේසම් යොදාගෙන අත් සෝදන සින්ක් සකස්කරගෙන ඇති ඇයුරු

කොඩිප්පිලිකන්ද විද්‍යාලයට ආන්ඩුවෙන් ලබාදී ඇත්තේ රුපියල් 10,000ක් පමනි. පාසලේ ගුරුවරියක් පැවසුවේ ක්‍රීඩා කාමරය ගිලන් කාමරයක් බවට පරිවර්තනය කරගැනීම සඳහා එම මුදල යන්තමින් ප්‍රමානවත් වූ බවයි. “උෂ්නත්වය මනින උපකරන ලැබී නැහැ. ඒවා ගොඩක් ගනන් නිසා, ගන්න සල්ලි නැහැ” යැයි ඇය පැවසුවාය. 

ගාමිනී විද්‍යාලයේ සහ ජයන්ති විද්‍යාලයේ දෙමව්පියන් අත්සෝදන සින්ක් සකස් කරගෙන ඇත්තේ තමන්ගේ මුදලින් මිලදීගත් ප්ලාස්ටික් බේසම් කපා සකස්කර ගැනීමෙනි. 

“දරුවන් වෙනුවෙන් ඉහලම දේ කරන බව” රූපවාහිනී සාකච්ඡාවලදී පුන පුනා පැවසූ අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල් වල සිසුන් සංඛ්‍යාව අනුව උෂ්නත්වමාන ලබාදෙන බව ප්‍රකාශ කල නමුත්, ආන්ඩුව ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් එම වියදම මුලුමුනින් කප්පාදු කර දමා ඇත. 

පාසල් ආරම්භ කෙරුනු දිනයේම මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පැවසූවේ “පාසල් තුලදී සිසුන්ගේ ශරීර උෂ්නත්වය පරික්ෂා කිරීමේදී සිසුන් වැඩි ප්‍රමානයක් එක් ස්ථානයකට රැස්කිරීම අවදානම් සහගත විය හැකි බැවින් තමන් එවැන්නක් නිර්දේශ නොකරන” බවයි.  ඒ වෙනුවට ඔහු පැවසුවේ තම දරුවන්ට උන, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්වයන් පවතීද යන්න පිලිබඳ සැලකිලිමත් වී ඔවුන් පාසල් නොයැවීමේ වගකීම දෙමව්පියන් භාරගත යුතු බවයි. 

සිසුන්ගේ ජීවිත අවදානම නරුම ලෙස නොතකා මෙවැනි බරපතල කප්පාදුවක් දියත් කරන අතරේ මහ ධනපති ව්‍යාපාරිකයන් සඳහා දැවැන්ත වටිනාකම් වලින් යුතු සහන පැකේජ ලබාදෙන බව මහබැංකුව නිවේදනය කර ඇත. ඒ අනුව ජුලි පලවෙනිදා සිට මහ ව්‍යාපාරිකය වෙත මුදාහැරින මුදල් ප්‍රමානය රුපියල් බිලියන 150කි.

ඉහල සිසුන් ප්‍රමානයක් අධ්‍යාපනය ලබන කොලඹ පාසලක ගුරුවරියක් වූ කලනි මෙම අසමානතාවය පිලිබඳ අවබෝධයෙන් යුතුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට පැවසුවේ සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව ආන්ඩුව අනවශ්‍ය බරක් ලෙස දකින බවයි.

“ලොකු ව්‍යාපාරිකයො, බංකු ප්‍රධානීන් එක්ක නම් ආන්ඩුව වරින් වර බර සාකච්ඡා පවත්වනව ආර්ථීකය නගා සිටුවීම ගැන. ලක්ෂ ගානක්  පාසල් ලමයි වෙනුවෙන් කොහොම සාකච්ඡා පවත්වන්න ඕනෙද හරිනම්. ආන්ඩුවේ හැම නියෝජිතයෙක්ම කියන්නෙ නම් දරුවන්ට තමයි හොඳ දේ කියල. ඒත් මූලික අවශ්‍යතාවයන් වත් ඉෂ්ට කරල නැහැ” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

රජයේ පාසල් පද්ධතිය පුලුල් කිරීම සියලු අනුප්‍රාප්තික ආන්ඩු විසින් අත්හැර දැමීම හේතුවෙන් බොහොමයක් නාගරික පාසල්වල පන්ති කාමර සිසුන්ගෙන් පිරී ඉතිරීයන තත්වයක් පැවතුනි. ක‍්‍රමයෙන් ඉතිරි ශ්‍රේනිවල ලමුන් කැඳවන බව ආන්ඩුව පවසා ඇතත් ඉඩ පහසුකම් ප්‍රශ්නය විසඳාලන්නේ කෙසේදැයි ආන්ඩුව පවසා නැත. 

කලුතර දිස්ත්‍රික්කයේ පාසලක 11 ශ්‍රේනියේ පන්තිභාර ගුරුවරයෙකු පැවසුවේ නිසිපරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නම් එක් පන්තියක සිටින සිසුන් අවම වශයෙන් පන්ති තුනකටවත් විසුරුවා හල යුතු බවයි. “අපේ පන්ති කාමර වල එකිනෙකාගේ ඇඟේ හැප්පෙමින් ලමයි ඉන්නේ. ලමයි ප්‍රමානය වැඩිවෙද්දි කොහොමද ඊට සරිලන විදියට ඉඩපහසුකම් වැඩි කරන්නේ. ආන්ඩුවට ඒ ගැන කිසිම වැඩපිලිවෙලක් නැහැ. සිසුන්ට සහ ගුරුවරුන්ට මොකක්ද වෙන්න යන්නෙ කියල තමන්ට අදාල නැති ගානටයි ආන්ඩුව ඉන්නෙ. දැනට තියෙන සම්පත් වලින් මේ ප්‍රශ්නෙ විසඳන්න බැහැ. වසංගතයට මුහුන දෙන්න නම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම, සෞඛ්‍ය ක්ෂේත්‍ර තුලත් පුලුල් විදියට පහසුකම් වැඩිකරන එක අත්‍යවශ්‍ය යි” ඔහු පැවසීය.

පොදු ප්‍රවාහන සේවාවන් සඳහා රැස්කමින් සිටින සිසුන්

යලි පාසල් ආරම්භයත් සමඟ සිසුන් විශාල ප්‍රමානයක් එදිනෙදා සංචරනයට එක්වීම නිසා බරපතල ගටලුවක් බවට පත්වන ප්‍රවාහනය පිලිබඳ ආන්ඩුව අංශුමාත්‍රික සැලකිල්ලක් දක්වා නැත. අඩු සිසුන් සංඛ්‍යාවක් සහිතව ධාවනයේ යෙදීමට පෞද්ගලික පාසල් බස් සේවාවන් අකමැත්ත ප්‍රකාශ කර ඇති නිසා පාසල් ඇරඹි පලමු දිනයේම වසංගතය පැතිරයාමේ තෝතැනි ලෙස පවතින මගී තදබදය වැඩි පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමට සිසුන්ට සිදුවී ඇත. 

වසංගත තත්වය යටතේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගල ස්වස්ථතාවය ඉහල අන්දමින් ආරක්ෂා වන පරිදි අත්සේදීමේ සහ වැසිකිලි පහසුකම් පවත්වාගත යුතු බව සහ දෛනිකව පාසල් පරිශ්‍රයන් විෂබීජහරනය කලයුතු බවත්ය. එම නිර්දේශ අනුව දස දහසකට අධික ලංකාවේ පාසල් තුල සෞඛ්‍ය ආරක්ෂාව පවත්වාගැනීමට ආන්ඩුවට කිසිඳු අවශ්‍යතාවයක් හෝ සූදානමක් නැති බව වෙන්කෙරී ඇති මුදල් ප්‍රමානය දෙස බැලීමෙන් පැහැදිලිවේ.

ලංකාවේ ධනපති පාලකයන් දශක ගනනාවක් පුරා ගෙනගිය කප්පාදු පිලිවෙත් හේතුවෙන් රටෙහි පාසල් තුල පුද්ගල ස්වස්ථතාවය පවත්වාගැනීමේ කොන්දේසි කාබාසිනියා කෙරී පවතියි. අලහප්පෙරුම විසින්ම උක්ත සාකච්ඡාවකදී පැවසූ පරිදි, පාසල් 582 ක කිසිඳු ජල පහසුකම් නොමැති අතර පාසල් 800කට වැසිකිලි පහසුකම් නොමැත. එහෙත් සැබෑ තත්වය මීටත් වඩා දරුනුය.

කොරෝනා වසංගතයෙන් මේවනවිට ලංකාව තුල 2076ක් ආසාදනය වී ඇති අතර ඉන් 11 දෙනක් ජීවිතක්ෂයට පත්විය. මෙම සංඛ්‍යාවන් සහ දැනට දෛනිකව හඳුනා ගැනෙන ආසාදිතයන් ගනන සාපේක්ෂව අඩු වුවත්, එම තත්වය ක්ෂනිකව වෙනස් කරමින් වසංගතය ව්‍යාප්තවීමේ කොන්දේසි මතුවිය හැකිබව ජාතික සහ ජාත්‍යන්තර වසංගත රෝග විශේෂඥයෝ පෙන්වා දෙති. 

දැන් ජාත්‍යන්තර පරිමානව ආසාදිතයන් සොයාගනිමින් පවතින්නේ වාර්තාගත මට්ටම් වලිනි. ලංකාව කොදෙව්වක් වුවත් ගෝලීය ආර්ථික ක්‍රියාවලීන් ඇරඹීමත්, විශේෂයෙන්ම ගුවන්තොටුපල විවෘත වීමත් සමඟ වසංගතයේ නවරැල්ලක තර්ජනය ඉස්මතුවීමේ අනතුර පවතියි. එවන් පසුබිමක් තුල, විශාල සිසුන් ප‍්‍රමානයක් සක්‍රිය වන පාසල් පද්ධතිය තුල මෙලෙස සෞඛ්‍යාරක්ෂක විධිවිධාන ලිහිල් කිරීම දැඩිලෙස අන්තරායකාරීය. 

එහෙත් කම්කරුවන් යලි වැඩට කැඳවමින් ධනපති ලාභ උත්පාදන ක්‍රියාවලිය පනගැන්වීම සඳහා, හුදෙක් දෛනිකව රෝගීන් වාර්තාවීමේ අඩු මට්ටම මත පමනක් පදනම්ව, තමන් “විශිෂ්ට ලෙස” වසංගතය මර්දනය කර ඇති බවට රාජපක්ෂ ආන්ඩුව පාරම්බාමින් සිටියි. 

සෞඛ්‍ය අංශවල කිසිදු නිර්දේශයක් නොමැතිව, මැයි මස 11 වනදා පාසල් ආරම්භ කරන බව අප්‍රේල් මාසය මැදදී ආන්ඩුව නිවේදනය කලේ ආර්ථිකය විවෘත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මානය කිරීමේ කොටසක් ලෙසය.  පසුව වසංගත පැතිර යාම උත්සන්නවීම හේතුවෙන් වැඩුනු මහජන විරෝධය හමුවේ එම තීරනය හකුලා ගැනීමට ආන්ඩුවට සිදුවිය.     

ලාභ අවශ්‍යතාවය පෙරටුකර ගෙන ජීවිත නොතකාහරිමින් ආන්ඩුව ගෙන යන මෙම ප්‍රතිගාමී වැඩපිලිවෙලට ගුරුවරුන්ගේ, සිසුන්ගේ සහ දෙමව්පියන්ගේ ඒකාබද්ධ විරෝධය එල්ලවිය යුතුය. අතිශය බහුතරයක් කම්කරු පන්තික දෙමව්පියන් මතට දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පැටවීම සඳහා ආන්ඩුවේ උත්සාහයට ඉඩදිය නොහැකිය. 

සිසුන් සහ ගුරුවරුන් ඇතුලු පාසල් ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරිපූර්නව තහවුරු කිරීම සඳහා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස ගුරුවරුන් සහ දෙමාපියන් ආන්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය. එවැනි ඉල්ලිමක් ඉටුකිරීමට ධනපති ආන්ඩු සපුරාම අසමත්ය. ඒ සඳහා අත්‍යවශ්‍ය කෙරෙන්නේ, ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති මත, ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් ගොඩනැගෙන ක්‍රියාකාරී කමිටු හරහා  ධනපති ක්‍රමයට එරෙහිව සංවිධානය කෙරෙන දේශපාලන අරගලයකි.