සසප අපේක්ෂකයන්ට මිලිටරියේ හිරිහැර නතර කරන ලෙස බල කරමින් ආරක්ෂක ලේකම්ට ලිපි යොමු කෙරේ

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජූලි 9 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

ලබන මාසයේ පැවැත්වෙන මහ මැතිවරනයට යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින සසප අපේක්ෂකයන්ට කරන මිලිටරි හිරිහැර නතර කරන ලෙස ඉල්ලමින්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුනරත්නට යවා ඇති ලිපිවල පිටපත්, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයට (සසප) ලැබී ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ හා ජාත්‍යන්තර පාඨකයන් විසින් මෙම ලිපි එවා ඇත්තේ, “ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදීන්ට අත නො තබනු, යාපනයේ මැතිවරන අපේක්ෂකයන්ට කරන මිලිටරි හිරිහැර නතර කරනු” යන හිසින්, ජුනි 30දා සසප කල කැඳවුමට ප්‍රතිචාර වසයෙනි.

මැයි 28, ජුනි 16 හා ජුනි 23 යන දිනවල දී කයිට්ස්හි රාසෙන්තිරාම් සුදර්සන්, කරෙයිනගර්හි පරමුතිරුඥාන සම්පන්දර් යාපනයේ රාජරත්නම් රාජ‌වේල් යන සසප අපේක්ෂකයන්ගේ නිවෙස්වලට පැමිනි මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්, ඔවුන්ගේ පුද්ගලික හා පවුලේ තොරතුරු ලබාදෙන ලෙස ඇනවී ය. සම්පන්දර් යනු යාපනය දිස්ත්‍රික් සසප මැතිවරන අපේක්ෂක කන්ඩායමේ නායකයා ය. මෙලෙස තොරතුරු ඉල්ලීම නීති-විරෝධී බව අපේක්ෂකයන් පෙන්වා දුන් විට, මිලිටරි නිලධාරීන් ප්‍රකාශ කලේ ඔවුන් ව එවන ලද්දේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් බව යි.

සසප රැස්වීමක් අමතන රාසෙන්තිරාම් සුදර්සන්

මිලිටරි හිරිහැර කිරීම් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් හා සසප අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින්, එම හිරිහැර නවත්වන ලෙස ආරක්ෂක ලේකම්ගෙන් ඉල්ලා සිටිමින්, ජුනි 20දා සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් ලිපියක් යැවී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ ආන්ඩුව මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි දක්වන අවඥා සහගත ආකල්පය පිලිබිඹු කරමින්, ආරක්ෂක ලේකම් ගුනරත්න ඩයස්ගේ ලිපියට පිලිතුරු සපයා නැත. ඒ වෙනුවට මිලිටරිය හා පොලීසිය සසප අපේක්ෂකයන්ට කරන හිරිහැර තීව්‍ර කර තිබේ.

ජූලි 1දා පස්වරු 6.30ට, ජෙයපුරම් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් බුද්ධි අංශයේ දෙමල නිලධාරීන් දෙදෙනෙක්, යාපනයේ සිට කිලෝමීටර් 36ක් පමන දුරින් පිහිටි කිරාන්චිහි සසප අපේක්ෂක රාජරත්නම් තිරුඥානවේල්ගේ නිවසට පැමිනිය හ. ඔවුහු තිරුඥානවේල්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හා ජංගම දුරකථන අංකය ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හ.

සතියකට පෙර, සසප අපේක්ෂක රාජරත්නම් බාලගෞරි සොයා එම නිවසට ම පැමිනි පොලිස් නිලධාරීහු ඇයගේ තොරතුරු ඉල්ලා සිටිය හ. බාලගෞරිගේ බාල සොහොයුරු තිරුඥානවේල් ඇය නිවසේ නැති බව සඳහන් කර තිබේ. පොලිස් ස්ථානයට පැමිනෙන ලෙස දැන්වූ පනිවුඩයක් ඔවුන් තබා ගිය නමුත් ඇය එහි යාම ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකාවේ පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වැඩකරන අතර, මිලිටරි හා පොලිස් නිලධාරීහු ඔවුන්ගේ තොරතුරු බෙදාහදා ගනිති.

මැතිවරන කොමිසමේ සභාපතිට ඩයස් යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින්, එහි යාපනයේ කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙක් ජූලි 2දා සම්පන්දර්ගේ නිවසට ද ජූලි 3දා රාජවේල්ගේ හා සුදර්සන්ගේ නිවෙස්වලට ද පැමිනිය හ. ඔවුහු සසප අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් හ. සසප අපේක්ෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීම පිලිබඳ ව ඔවුන් මිලිටරි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කලේදැයි යන්න පැහැදිලි නැත.

පරමුතිරුඥාන සම්පන්දර්

 යාපනය දිස්ත්‍රික් මැතිවරන කොමිසම් නිලධාරීන් විසින් සඳුදා කැඳවා තිබූ මැතිරවන අපේක්ෂක නායකයන්ගේ රැස්වීමක දී, සසප අපේක්ෂක සම්පන්දර් මිලිටරි බියවැද්දීම් පිලිබඳව  ප්‍රශ්න කලේ ය. මැතිවරන නිලධාරීන් සසප අපේක්ෂකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව පෙන්වා දුන් ඔහු, ඒ පිලිබඳ ව ඔවුන් කරන්නට යන්නේ කුමක්දැයි විමසී ය. නිලධාරීන් ප්‍රකාශ කල එක ම දෙය වූයේ, කොලඹ ප්‍රධාන කාර්යාලයට වාර්තාවක් යවන බව යි.

යාපනය දිස්ත්‍රික්කයෙන් මැතිවරනයට තරඟ කරන ස්වාධීන කන්ඩායම් දෙකක නායකයෝ, ඔවුන් උද්ඝෝෂනයේ යෙදෙන විට මිලිටරි භටයන් විසින් බියවැද්දීමට බඳුන් කර ඇතැයි කී හ. තමන් සන්තකයේ පැවතිදේ මිලිටරිය විසින් පරීක්ෂා කරනු ලැබූ බවත්, තමන් උද්ඝෝෂනයේ දී කීවේ කුමක්දැයි මහජනයාගෙන් ප්‍රශ්න කර ඇති බවත්, ඔවුහු විස්තර කල හ.

පාලන බලය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, දෙමල ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන හා ජාතික සමගි බලවේගය යන සංස්තාපිතයේ ධනේශ්වර පක්ෂවල දිස්ත්‍රික් නායකයන්, මිලිටරි හිරිහැර කිරීම් ගැන වචනයක් වත් කියා නැත. ඔවුන්ගේ නිශ්ශබ්දතාව පෙන්නුම් කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරෙහි අවඥාව හා මිලිටරි හිරිහැර කිරීම්වලට ඔවුන්ගේ  සහයෝගය යි.

ශ්‍රී ලංකාවේ මිලිටරිය හා පොලීසිය උතුරු පලාත තුල මුර සංචාර ඉහල දමමින් හා සෝදිසි මෙහෙයුම් යොදා ගනිමින්, “ත්‍රස්තවාදී තර්ජනයන්ට” එරෙහිවීමේ නමින් ඔවුන්ගේ මැදිහත්වීම් තීව්‍ර කර ඇත. ත්‍රස්තවාදය වැලැක්වීමේ කඩතුරාව යටතේ, රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ, මිලිටරිය යටතේ පවතින උතුරේ හා නැගෙනහිර දේශපාලන විරුද්ධවාදීන්ට හා ඡන්ද දායකයන්ට එරෙහි ව ප්‍රචන්ඩත්වය යොදාගැනීමට යි.

හිරිහැර කිරීම්වලට විරුද්ධ ව මාධ්‍ය හමුවක් අමතන විජේ ඩයස්

වේගවත් වන කොවිඩ්-19 වසංගතයට සහ කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරෝධයට මුහුන දෙන රාජපක්ෂ, ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ගමන් කරමින් සිටින අතර ම, ඔහුගේ බලතල ශක්තිමත් කරගැනීම පිනිස ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා මැතිවරනය යොදාගැනීමේ අපේක්ෂාවෙන් පසු වේ.

මිලිටරිය හා ආන්ඩුව සසප ඉලක්ක කරගෙන ඇත්තේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ජනවාර්ගික භේදකරනයන් කපාගෙන කම්කරුවන් ඒකාබද්ධ කිරීම සඳහා එය සම්මුති විරහිත අරගලය යෙදෙන නිසාය. ශ්‍රී ලංකාවේ මිලිටරි බලකායන් උතුරින් හා නැගෙනහිරින් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටිමින්, ම්ලේච්ඡ වාර්ගවාදී යුද්ධයට අනවරත ව විරුද්ධ වූ ද ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා අඛන්ඩ ව සටන් වදින්නා වූ ද එක ම පක්ෂය එය යි.

ජූලි 4දා කොලඹ පලවන ඩේලි මිරර් පත්‍රය, ට්‍රොට්ස්කිවාදී අපේක්ෂකයන් ව මිලිටරි හිරිහැර කිරීම්වලට බඳුන් කිරීම ගැන වාර්තා කලේ ය. ඊට කලින් දින, මහ මැතිවරනයේ දී පක්ෂයේ මැදිහත් වීම නිවේදනය කිරීමට කොලඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සසප ප්‍රධාන ලේකම් ඩයස් දැක්වූ අදහස්, “යාපනයේ සසප අපේක්ෂකයන් තිදෙනෙකුට තර්ජන එල්ල වේ” යන හිසින් යුතු ලිපිය තුල උපුටා දක්වනු ලැබී ය. වීරකේසරී සහ යාපනයේ පලවන තිනක්කුරල් හා උදයන් ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමල පුවත්පත් ද ටැමිල්වින් වෙබ් අඩවිය ද සසප අපේක්ෂකයන්ට හිරිහැර කිරීම ගැන වාර්තා කලේ ය.

සසප අපේක්ෂකයන් හිරිහැර කිරීම්වලට බඳුන් කිරීම වාර්තා කරන ඩේලි මිරර් ලිපියක්

සසපට එරෙහි මර්දනීය ක්‍රියා හෙලාදකින ලෙසත්, ආඥාදායකත්වයට එරෙහිවත් සියලු වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහාත් පුලුල්  අරගලයක කොටසක් වන සසප ආරක්ෂක උද්ඝෝෂනයට සහයෝගය දෙන ලෙස කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අගයන සියලු දෙනාගෙන් අපි ඉල්ලමු.

මැතිවරන කොමිසමේ සභාපතිට හා සමාජවාදී සමානතා පක්ෂයට පිටපත් සහිත ව, ඔබගේ විරෝධතා ලිපි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට යවන්න.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්

ඊ-මේල්:secdefence@defence.lk 

ෆැක්ස්: +94 11 2541529

මැතිවරන කොමිසමේ සභාපති

ඊ-මේල්: chairman@elections.gov.lk

ෆැක්ස්: +94 11 2868426

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ඊ-මේල්: wswscmb@sltnet.lk

ෆැක්ස්: +94 11 2869239

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට යවන ලද විරෝධතා ලිපි අපි පහත පලකරමු:

දෘශ්‍ය හා අභිවහන කලාකරු සහ පරිවර්තක එල්.ජී.

සමාජවාදී සමානතා පක්ෂය දීර්ඝකලක් මුලුල්ලේ යාපනය දිස්ත්‍රික්කය තුල හා ශ්‍රී ලංකාව තුල ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවල යෙදී ඇති නීත්‍යනුකූල දේශපාලන පක්ෂයක් වන අතර එම පක්ෂය මෙවර මහමැතිවරනයට සුදුසුකම් ලබා ඇත්තේ සිය අපේක්ෂක ලැයිස්තුව මැතිවරන නීතිවලට අනුකූල ව ඉදිරිපත්කිරීම මඟිනි. තව ද ප්‍රශ්නකිරීමට ලක්ව ඇති අපේක්ෂකයින් ඔවුන්ගේ සප්‍රතිපත්තික දේශපාලන සේවාව නිසා යාපනය තුල පමනක් නොව ශ්‍රී ලංකාව පුරා හා ඉන් පිටතත් ගෞරවයට පාත්‍ර ව සිටින පුද්ගලයෝ වෙති. එම අපේක්ෂකයින් පිලිබඳ "තොරතුරු" සෙවීමට හා ඔවුන් ඡායාරූපගත කිරීමට නිවෙස්වලට මිලිටරිය යැවීම කිසිදු නීත්‍යානුකූල හෝ සාධාරන හේතුවක් නැත. 

මේ සියල්ල සසප සාමාජිකයින්ගේ පමනක් නොව යාපනය ඡන්දදායකයින්ගේ ද ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමකි. මෙය එම අපේක්ෂකයින්ගේ දේශපාලන කටයුතු අඩපන කිරීමේත්, එම ක්‍රියාව දකින යාපනය ජනතාව බියගැන්වීමේත් අරමුනින් සිදු කරන්නක් බව පැහැදිලි ලෙස පෙනී යයි. හමුදාව නිවෙස්වලට ගොස් ප්‍රශ්න කිරීමේ දී එල්ල වන තර්ජනයේ තරම ශ්‍රී ලංකා වාසීහුත් විශේෂයෙන් යාපනයේ ජනයාත් අත්දැකීමෙන් දනිති.

මෙම ක්‍රියාකලාපය මම තරයේ හෙලා දකිමි. මේ හිරිහැර කිරීම් වහා නතර කල යුතු බව ද සියලු මැතිවරන අපේක්ෂකයින්ට නිදහසේ සිය පූර්ව මැතිවරන කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බව ද අවධාරන ය කරමි.

ජනමාධ්‍යවේදී සහ සුප්‍රකට ලේඛක ඩබ්ලිව්.ආර්.

සමාජවාදී සමානතා පක්ෂය යාපනය දිස්ත්‍රික්කයේ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරන අපේක්ෂකයන් වන රාසෙන්තිරාම් සුදර්සන්, පරමුතිරුඤාන සම්පන්දර්, රාජරත්නම් රාජවේල් යන  අයගේ නිවෙස් වලට හමුදා බුද්ධි අංශ පැමින  ප්‍රශ්නකර ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු විමසීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කි. ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් යමක් ඇත්නම් ඕනෑම පුරවැසියෙකුට ඡන්දදායකයෙකු හෝ ඡන්ද අපේක්ෂකයෙකු විය හැකිය. එය මානවයාගේ මූලික අයිතියක් ද වේ. මෙමගින් ප්‍රකාශ වන්නේ වත්මන් රාජපක්ෂ ආන්ඩුව ඉතා වේගයෙන් මිලිටරිකරනය වීමේ දිසාවට ඇදී යාමයි. එම ක්‍රියාවලියට මම මගේ දැඩි විරෝධය මෙයින් ප්‍රකාශ කරමි. 

පිලිපීනයේ ඩී.පී.

මහත්වරුනි, මහත්මියනි,

විශේෂයෙන් ම රාසෙන්තිරාම් සුදර්සන් මහතා, පරමුතිරුඥාන සම්පන්දර් මහතා සහ රාජරත්නම් රාජවේල් මහතා ද යන සමාජවාදී සමානතා පක්ෂයේ නායකයන් හා සාමාජිකයන්, ශ්‍රී ලංකාවේ මිලිටරි බුද්ධි අංශය විසින් හිරිහැරවලට හා බියවැද්දීමට භාජනය කිරීමට විරෝධය පලකිරීම පිනිස මම මෙය ලියමි.

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියට හා දුගී ජනයාට කාලකන්නි භාවය, ම්ලේච්ඡ සූරාකෑම, වාර්ගික ප්‍රචන්ඩත්වය හා යුද්ධය පමනක් උරුම කර දී ඇති ධනවාදයේ දේශපාලන හා ආර්ථික අර්බුදය අවසන් කිරීම ඉලක්ක කරගත් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක්, සිංහල හා දෙමල කම්කරුවන් වෙතට ගෙන ඒම පිනිස ශ්‍රී ලංකාවේ මැතිවරනයට තරඟ කරමින් සසප නායකයෝ හා සාමාජිකයෝ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරති.

සසප ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිලිටරිය විසින් නිහීන ලෙස උල්ලංඝනය කිරීම හෙලාදකින මම, සසප අපේක්ෂකයන්ට හිරිහැර කිරීම නවත්වන ලෙස ඉල්ලමි. 

එක්සත් ජනපදයේ එස්.එල්.

මම නිව් යෝක් නගරයේ අධ්‍යාපනඥයෙක් වෙමි. ශ්‍රී ලංකාවේ මිලිටරි බුද්ධි අංශ නිලධාරීන්, සමාජවාදී සමානතා පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනෙකු වෙත පැමිනීම මගින් හිරිහැරවලට බඳුන් කිරීමේ පුවත, ලොව පුරා කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට නිග්‍රහ කිරීමකි. මෙයට හේතු වන්නේ, පලමුකොට ම සසප හා එහි සාමාජිකයන් ජාත්‍යන්තර ව සමාජවාදීන් අතර ඔවුන්ගේ සෘජුබව පිලිබඳව සුප්‍රකට වීම සහ සිංහල, දෙමල හා මුස්ලිම් යන ශ්‍රී ලංකාවේ සියලු කම්කරුවන්ගේ එකමුතුව වෙනුවෙන් පෙනී සිටීමයි.

දෙවනුව, ලොව පුරා දැන් සිදුවන කම්කරු පන්තියට එල්ල කරන වාර්ගික හා පොලිස් ප්‍රහාරවලට එරෙහි මහජන, බහු-ප්‍රාගන හා බහු-වාර්ගික විරෝධතා පෙන්නුම් කරන පරිදි, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා එහි ජාත්‍යන්තර එකමුතුව අත්‍යවශ්‍ය බව පොදුවේ අවබෝධ කරගැනෙමින් පවතින අතර, ඒ අනුව කම්කරු පන්තිය ක්‍රියාකාරී වනු ඇත.

දේශීය ව වේවා, ජාත්‍යන්තර ව වේවා, දේශපාලනය මිලිටරීකරනය කිරීම, වැඩකරන ජනයාගේ අවශ්‍යතා ඉටුකිරීම පිනිස විසඳුමක් බලයේ සිටින්නන්ට නැති බවත්, ඔවුන් ඒකාධිපති ආන්ඩු හෝ යුද්ධය හෝ ඒ දෙක ම දක්වා පියවර නගමින් සිටින බවත් පිලිබඳ පැහැදිලි සංඥාවකි.

කම්කරු පන්තියේ අවශ්‍යතා සඳහා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන සසපට, කිසිදු බියවැද්දීමකට හෝ එම අයිතීන් ප්‍රතික්ෂේප කිරීමකට දරන උත්සාහයකින් තොර ව, කම්කරුවන්ට හා ගොවීන්ට එයට ඡන්දය දීමේ අවස්ථාව උදාකර දෙමින්, එහි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා ඉඩදෙනු ලැබිය යුතු ය. බලධාරීන් විසින් අපේක්ෂකයන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම ඇතුලු ඕනෑ ම හිරිහැර කිරීමක් අවසන් කල යුතුය.

සසපට ජාත්‍යන්තර කම්කරුවන්ගේ වැඩිදුර සහයෝගය ඉදිරියේදී ලැබෙනු ඇත.

Loading