ඉදිරිදර්ශන

කොරෝනා වෛරසය පාලනයෙන් පිට පනිද්දී කම්කරු විරෝධය වැඩෙයි

මෙම ලිපිය ජුනි 30 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

පසුව කොවිඩ්-19 ලෙස නම් කිරීමට නියමිත වූ රෝගයක් චීනයේ වුහාන් නගරයේ පැතිර යාම පිලිබඳ ගෝලීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් වීමෙන් අදට මාස හයක් සපිරේ.

මෙම කෙටි කාලසීමාව තුල ආසාදිත රෝගීන් සංඛ්‍යාව මිලියන 10ක් දක්වා පිම්බී ඇති අතර, පුද්ගලයන් ලක්ෂ පහක් ඉන් මියගොස් ඇත. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්හානොම් ගෙබ්‍රෙසෙයුස් සඳුදා (ජුනි 29) අනතුරු ඇඟවූයේ “නරක ම දෙය තවමත් සිදුවීමට නියමිත” බව යි. “ගෝලීය ව වසංගතය වේගවත් වෙමින් තිබෙනවා.”

මූලික මහජන සෞඛ්‍ය පූර්වාරක්ෂක පියවරයන් අතහරිමින් සහ සංගතවල ලාබ ප්‍රසාරනයේ යෙදෙමින්, වැඩිහිටියන්ගේ හා රෝගීන්ගේ ජීවිත බිලිදෙන ලොව පුරා ආන්ඩු වෛරසයට පැතිරීමට ඉඩදෙද්දී, මහජන සෞඛ්‍ය විශේෂඥයෝ අපේක්ෂා භංගයෙන් යුතු ව බලා සිට ඇත.

සාරභූත ව “පොකුරු ප්‍රතිශක්ති” පිලිවෙත වැලඳගනිමින් වසංගතය සීමාකිරීමේ ප්‍රයත්න අත්හැර දමා ඇති එක්සත් ජනපදයේ ට්‍රම්ප් ආන්ඩුව මෙම පිලිවෙතට තානය සපයා තිබේ.

වසංගතය රට පුරා නැවත විනාශකාරී ලෙස යලි පැතිර යාමක් මෙමගින් නිෂ්පන්න කර ඇත. ජුනි 29දා එක්සත් ජනපදයෙන් නව ආසාදන 44,000ට අධික සංඛ්‍යාවක් වාර්තා වූයේ, ජුනි 8දා පැවති 19,000 සිට නැග්මක් වාර්තා කරමිනි. සතියක සාමාන්‍ය ආසාදන ගනන 21,000ට අඩු සංඛ්‍යාවක සිට 39,000 දක්වා ඉහල නැග තිබේ. ඇරිසෝනා, ෆ්ලොරිඩා හා ටෙක්සාස් ප්‍රාන්තවල රෝහල් ඒවායේ ධාරිතාව කරා ලඟා වෙද්දී, ප්‍රාන්ත 32ක් තුල ආසාදන ඉහල යමින් තිබේ.

“ප්‍රතිකාරය රෝගයට වඩා නරක් විය නො හැක” යන කියාපෑම සමගින් ජීවිත වෙනුවට ලාබ ආරක්ෂා කරගැනීම සඳහා පාලක පන්තියේ විධානයෙන් පැන නගින, ආපසු වැඩට දැක්කීමේ උද්ඝෝෂනයෙහි පුරෝකථනය කල හැකි හා නො වැලැක්විය හැකි ප්‍රතිඵලය වන්නේ, වසංගතය ගෝලීය පරිමාන ව යලි පැතිර යාම යි.

එහෙත්, මෙම උද්ඝෝෂනය ලොව පුරා කම්කරුවන්ගේ වැඩෙන විරෝධයට මුහුන දෙමින් සිටියි.

කර්මාන්ත ශාලා දෙකක කම්කරුවන් 40කට රෝගය වැලඳී ඇතැයි සොයාගැනීමෙන් පසු, ජර්මනියේ ඇමේසන් කම්හල් හයක කම්කරුවන් දෙදාහක් සඳුදා වැඩ වර්ජනයකට අවතීර්න වූ හ.

ලොව පුරා අනෙකුත් ප්‍රධාන හාම්පුතුන් මෙන් ඇමේසන් සංගතය ද කම්කරුවන් රෝගී වූ විට ඒ බව එහි සේවකයන්ට දැනුම් නො දෙන්නේ, රෝගී වූවන් හඳුනාගැනීම කල නො හැක්කක් බවට පත්කරමිනි. වසංගතයේ පැතිරීමක් පිලිබඳ ව කම්කරුවන් හා සෞඛ්‍ය බලධාරීන් යම් තරමකට දැනුවත් වේ ද ඒ වනාහි සමාගමෙහි බාධා කිරීම් මධ්‍යයේ ය. මිනේසොටා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීහු, කම්හල් දෙකකින් අඩු වසයෙන් ආසාදන සිද්ධි 187ක් සොයාගෙන ඇත. 

මිචිගන්හි ෆියට් ක්‍රයිස්ලර් (එෆ්සීඒ) මෝටර් රථ කම්හල් දෙකක කම්කරුවන් ද නිෂ්පාදනය නතර කලේ ය. සති අන්තය පුරා, ඩිට්‍රොයිට් අගනගරයෙහි එෆ්සීඒ ජෙෆර්සන් නෝර්ත් එකලස් කම්හලේ සහ එෆ්සීඒ ස්ටර්ලිං හයිට්ස් එකලස් කම්හලේ කම්කරුවෝ, කම්කරුවන් රෝගී වී ඇති බව වාර්තා වීමෙන් අනතුරු ව දිගට ම වැඩකිරීම ප්‍රතික්ෂේප කල හ.

වැඩ නැවැත්වීම වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව සිදු වූ අතර, රෝගීන් පිලිබඳ ව තමන්ට දැනුම් දෙන ලෙසත්, ආසාදනය වීමක් සොයාගන්නා සෑම අවස්ථාවක දී ම කම්හල් සම්පූර්නයෙන් පිරිසිදු කරන ලෙසත් ඉල්ලමින්, එකලස් කම්හල් දෙකේ ම කම්කරුවෝ ක්‍රියාකාරී ආරක්ෂක කමිටු  පිහිටුවාගෙන ඇත. 

වසංගතයට හා එහි ආර්ථික ඛාදනයට ප්‍රතිචාර වසයෙන් පසුගිය සතිය පුරා තවත් ක්‍රියාකාරකම් මාලාවක් සිදු වී තිබේ:

•සිකුරාදා, කැලිෆෝනියාවේ රිවර්සයිඩ්හි එච්සීඒ සෞඛ්‍යාරක්ෂන ආයතනයේ හෙදියන් පන්සියයක් වර්ජනයට අවතීර්න වූයේ වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රමානවත් කාර්ය මන්ඩල, ආරක්ෂක උපකරන හා පිරිසිදු කිරීමේ කාර්ය මන්ඩල ඉල්ලමිනි.

•ඉලිනොයි ප්‍රාන්තයෙහි ජොලියට් නගරයේ හෙදියන් 700ට අධික පිරිසක් ජූලි 4දා වර්ජනයට එලඹීමට සූදානම් වන්නේ, හෙදියන් කියන පරිදි ඔවුන්ට ආරක්ෂාව තහවුරු කිරීම කල නො හැක්කක් බවට පත් කරන කාර්ය මන්ඩල කැපීමේ හා වැඩ වේගවත් කිරීම් පැටවීමේ උත්සාහයන්ට විරෝධය පෑමට ය.

•සඳුදා, වැටුප් ඉල්ලීම් මුල් කරගෙන දහස් ගනනක් වන සිම්බාබ්වේහි හෙදියෝ වැඩ වර්ජනය කල හ.

•සමාගම සිය වැඩ කටයුතු කොන්ත්‍රාත්කරුවන්ට පැවරීමට විරෝධ පලකිරීම පිනිස, මේන්හි බාත් අයන් වර්ක්ස් සමාගමේ නැව් තනන කම්කරුවන් 4,000ට අධික පිරිසක් පසුගිය සතියේ සිට වර්ජනයේ යෙදී සිටිති.

•සඳුදා ම, තුර්කිය පුරා කම්කරුවෝ විරෝධතාවන්ට සහභාගි වූයේ, අතිරික්ත ගෙවීම් කපාදැමීමේ ආන්ඩුවේ සැලසුම්නලට විරෝධය පලකරනු පිනිස ය.

මේ මොහොත දක්වා, වසංගතයට දක්වා ඇති ගෝලීය ප්‍රතිචාරය අනවනු ලැබ තිබෙන්නේ, ධනපති පන්තියේ සමාජ අවශ්‍යතා විසිනි. වසංගතය විසින් නිර්මිත අර්බුදය යොදාගන්නා එක්සත් ජනපදයේ හා යුරෝපයේ ආන්ඩු, ශතවර්ෂයක් ඇතුලත ගැඹුරු ම ආර්ථික අර්බුදයට මුහුන පා සිටිය දී පවා, කොටස් වෙලඳපොලවල් වාර්තාගත මට්ටම්වලට ඉහල නංවමින් සිදුකර ඇති බැංකු මැදිහත් වීම් සහ සංගතවලට ඇපතැබීම් හරහා, ඩොලර් ට්‍රිලියන ගනන් මූල්‍ය කතිපයාධිකාරය වෙත මාරු කර ඇත.

මෙම ඇපතැබීම් තහවුරු කරගෙන ඇති පාලක ප්‍රභූහු, මහජන සෞඛ්‍යයට සිදුවන විපාක නො සලකා, සංගතවලට ලාබ ජනනය කරගැනීම පිනිස, කම්හල්, ගබඩා සහ අනෙකුත් වැඩපොලවල වැඩකිරීමට කම්කරුවන් ආපසු දැක්කීමේ ඒකාපාර්ෂවීය උද්ඝෝෂනයක් වෙත යොමු වූ හ.

මේ හා සමග ආර්ථික තර්ජන උද්ඝෝෂනයක් අත්වැල් බැඳගෙන තිබේ. රැකියාවලින් දොට්ට දැමූ කම්කරුවන්ට හදිසි අතිරේක විරැකියා ගෙවීම් කිරීම අවසන් කරන ලෙස ට්‍රම්ප් පරිපාලනය අනවමින් සිටින්නේ, එවැනි ආධාර කම්කරුවන් ආපසු වැඩට යාමට “දිරි ගන්වන්නේ නැත” යන ආස්ථානය ඉදිරියට දමමිනි.

දැන් කම්කරු පන්තිය අර්බුදයට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරමින් සිටී. ආරක්ෂිත වැඩපොලවල් සහ රෝගය වැලඳී ඇත්තවුන් සම්පූර්නයෙන් හෙලිදරවු කිරීම සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම්, රාජ්‍ය සෞඛ්‍ය පියවරයන් හරහා රෝගය සීමා කිරීම පිනිස ප්‍රබලතම ක්‍රියාවන් ක්‍රියාත්මක කරන්නැයි විද්‍යාඥයින් හා මහජන සෞඛ්‍ය විශේෂඥයින් කරන ඉල්ලීම් සමග අනුරූපී වේ.

වෛරසය පැතිර යාම නැවැත්වීමට පියවර ගනු ලැබිය හැක. “දැනට තිබෙන උපාංග යොදාගෙන වෛරසය මර්දනය කල හැකි ය” යි ඩබ්ලිව්එච්ඕව සඳුදා අවධාරනය කලේ ය. ආසාදිත රෝග කලමනාකරනය කරන්නේ කෙසේ දැයි යන්න පිලිබඳ වසර සිය ගනනක දැනුම තිබිය දී, කොවිඩ්-19 සීමාකරනු නො ලබන්නේ නම්, එයට හේතුව වන්නේ, වෛරසය මර්දනය කිරීම යනු සමාජ අවශ්‍යතා සැලකිල්ලට ගැනීමක් නිසාය.

ධනේශ්වර සමාජයේ නීච රහස වන්නේ, මිලියන ගනනකගේ මරන සංගතවල ලාබ ඉපැයීමේ හැකියාව ඉහල දමමින් ධනපති පන්තියට ඉහල ධනය නිර්මානය කර දෙන්නේ නම්, එවට මිලියන ගනනක් මිය යනු ඇති බව යි. කම්කරු පන්තියේ මැදිහත් වීමෙන් තොර ව කොවිඩ්-19 වසංගතය සීමා කරනු නැත.

ආරක්ෂිත වැඩපොලවල් ඉල්ලීමට ඩිට්‍රොයිට්හි එෆ්සීඒ කම්කරුවන් සාමාන්‍ය කම්කරුවන්ගේ වැඩපොල හා ආරක්ෂක ක්‍රියාකාරී කමිටු තනමින් දෙන ආදර්ශය, ලොව පුරා කම්කරුවන් අනුගමනය කල යුතු ය. සංගතවලට හා රාජ්‍යයට ගැටගැසී සිටින වෘත්තීය සමිති කිසිවක් නො කරනු ඇත. ආරක්ෂිත වැඩ කොන්දේසි තහවුරු කරමින් හා ආරක්ෂිත නො වන විට නිෂ්පාදනය නතර කරමින්, තමන්ගේ ක්‍රියාවන් කර්මාන්ත හරහා හා ජාත්‍යන්තර ව සම්බන්ධීකරනය කිරීමට, කම්කරුවන්ට ඔවුන්ගේ ම සංවිධාන අවශ්‍ය ය.

කම්කරුවන්ගේ සංවිධාන ජාලයක් වර්ධනය කිරීම, ලාබ පද්ධතියට එරෙහි ව පැනනැගෙමින් තිබෙන පුපුරනසුලු සමාජ අරගල දිශාගත කිරීම සඳහා, කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වයක් ගොඩනැගීම සමග සම්බන්ධ කරනු ලැබිය යුතු ය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජුනි 23දා ලියූ  පරිදි: 

“ප්‍රතිකාරය රෝගයටත් වඩා නරක් වීමට ඉඩ දෙන්න එපා” යන්න පාලක පන්තියේ ක්ෂමාලාපකයන් අවධාරනය කරද්දී, යටින් දිවෙන සමාජීය රෝගය ධනවාදය බවත්, වසංගතය මෙම රෝගයේ රෝග ලක්ෂනයක් බවත්, ප්‍රතිකාරය සමාජවාදය බවත් කියමින් කම්කරුවන් පිලිතුරු දිය යුතු ය.

පෙරමුනු දෙකකින් කොවිඩ්-19 වසංගතයට එරෙහි ව සටන් වැදිය යුතු ය: එනම්, රෝගය මර්දනය කිරීමට හා සීමා කිරීමට ප්‍රබලතම ප්‍රයත්නය දියත් කරන වෛද්‍යමය පෙරමුනෙන් සහ ධනපති ක්‍රමයට හා එහි ආඥාවන් ක්‍රියාවට දමන ආන්ඩුවලට එරෙහි දේශපාලන පෙරමුනෙනි. ලොව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ ගොඩනැගීමේ අරගලයෙන් මෙය වෙන් කල නො හැක.

Loading