ඉදිරිදර්ශන

ලෝක ඉතිහාසයේ එන ඇමරිකානු විප්ලව දෙක

මෙම ලිපිය ජූලි 4දා ඉංග්‍රීසියෙන් පලවිය.

ඇමරිකා එක්සත් ජනපදය ගොඩ නඟමින් 1776 ජූලි 4 වන දින ප්‍රකාශයට පත් කෙරුනු ස්වාධීනතා ප්‍රකාශනයේ ප්‍රසිද්ධ නිවේදනයෙහි 244 වන සංවත්සරය අද දිනට යෙදී තිබේ. ඇමරිකාවේ ජනපදවාසීන් - විශේෂයෙන්ම මැසචුසෙට්ස් ජනපදයේ වැසියන් - මෙම ප්‍රකාශනය නිකුත් කෙරෙන දිනය වන විට මාස 15 ක් පුරා ගත කොට තිබුනේ අතිශය බලගතු මහා බ්‍රිතාන්‍යයේ හමුදා බලය සමඟ යුද වදිමිනි. ස්වාධීනත්වය ප්‍රකාශ කිරීම පිලිබඳ අවසාන තීරනය තවමත් ගෙන නොතිබුනේ වී නමුදු, ෆිලඩෙල්ෆියාහි රැස් වූ මහාද්වීපික කොන්ග්‍රසය, ජූනි 11 වන දින ස්වාධීනතා ප්‍රකාශනයක් කෙටුම්පත් කිරීමට පස් දෙනෙකුගෙන් - එනම්, පෙන්සිල්වේනියාවේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, මැසචුසෙට්ස්හි ජෝන් ඇඩම්ස්, වර්ජිනියාහි තෝමස් ජෙෆර්සන්, නිව්යෝර්ක්හි රොබට් ලිවිංස්ටන් හා කනටිකෙට්හි රොජර් ෂර්මන් යන අයගෙන් - සමන්විත කමිටුවකට පැවරීය.      

ලේඛනයේ සංක්ෂිප්තය පිලිබඳ එකඟ වීමෙන් පසු, එහි ප්‍රථම කෙටුම්පත, ඒ වන විටත් සිය සුවිශේෂී බුද්ධි මහිමය හා සාහිත්‍යමය කුසලතාව සම්බන්ධයෙන් පුලුල් පිලිගැනීමක් ලබා සිටි 33 හැවිරිදි ටොම් ජෙෆර්සන් රචනා කල යුතුයැයි කමිටුව තීරනය කලේය. ජූනි 28 වන දින සම්පූර්න කරනු ලැබූ ඔහුගේ කෙටුම්පත ඉනික්බිති කොංග්‍රසයේ සාමාජිකයන් විසින් සමාලෝචනය කරන ලදී. සංස්කරන ක්‍රියාවලිය තුල දී එහි විවිධාකාර වෙනස්කම් සිදු කරන ලදී. ඉන් වඩාත්ම වැදගත් වෙනස්කම වූයේ ජනපදවල වහල් ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිලිබඳව මහා බ්‍රිතාන්‍යයට එරෙහිව ජෙෆර්සන් විසින් නංවනු ලැබ තුබුනා වූ අධි චෝදනාව ඉන් ඉවත් කිරීමයි. දෙදිනක ඇවෑමෙන්, ජූලි 4 වන දා, කොන්ග්‍රසය ස්වාධීනතා ප්‍රකාශනයේ අවසාන කෙටුම්පතට අනුමැතිය දුන්නේය.                

මෙම ලේඛනයේ ආසන්නතම ප්‍රතිවිපාකය වූයේ බ්‍රිතාන්‍යයෙන් විධිගත අයුරින් බිඳී යාම හා එක්සත් ජනපදයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා වූ සාකල්‍ය පරිමාන යුද්ධයකට මුල පිරීමය යන කාරනයම, එකී ප්‍රකාශනයට අතිමහත් වූ ද චිරස්ථායී වූ ද ඓතිහාසික වැදගත්කමක් ප්‍රදානය කිරීමට ප්‍රමානවත් හේතුවකි. එහෙත් මෙකී ප්‍රකාශනයේ ලෝක ඓතිහාසික පෞරුෂය නිර්නය කෙරෙන්නේ හුදෙක් එම ලේඛනයේ ඍජු දේශපාලන බලපෑමෙන් පමනක් නොව, ඊට ද වඩා, එමඟින් ප්‍රකාශයට පත් කෙරුනු මූලධර්මවලිනි.           

ලේඛනය පහත දැක්වෙන වචනවලින් ආරම්භ වෙයි: "මානව සිදුවීම්වල ගමන් මඟ තුල දී, එක් ජන කොට්ඨාශයකට තමන් තවත් ජන කොට්ඨාශයක් සමඟ සම්බන්ධ කෙරෙන දේශපාලන බැඳීම් දිය කර හැරීම අත්‍යවශ්‍ය බවට පත් වේ. ..." මෙම වචනවලින් සැබැවින්ම අදහස් කෙරුනේ ආන්ඩු ද, එම ආන්ඩු පදනම් වී ඇත්තා වූත්, ඒවා විසින් ආරක්ෂා කරනු ලබන්නා වූත් දේශපාලන හා සමාජ සම්බන්ධතා ද අකාලික හා වෙනස් කල නොහැකි ඒවා නොවන බවයි. ඒවා දෙවියන්ගේ නොව මිනිසුන්ගේ නිර්මානයන් ය. රාජාන්ඩු හා ප්‍රභූ තන්ත්‍රයන්; එනම්, දේශපාලන බලයේ බුද්ධිරෝධනවාදී ලෙස ලේ උරුමය අභිවාදනය කිරීම මත පදනම් වූ සියලු ආකෘතීන්; ශුද්ධ වූ වස්තූන් ලෙස සලකමින් ආගම විසින් ඒවාට ලබා දෙනු ලැබ තුබූ පාරිශුද්ධත්වයේ ආවශ්‍යක යුක්තියුක්තකරනය මෙම තිරසර ප්‍රකාශනය මඟින් පුපුරවා හරින ලදී. මිනිසා විසින් නිර්මානය කරනු ලැබූ යමක් වේද, එය මිනිසාට වෙනස් කල හැකි විය යුතුය.        

එතැනින් ප්‍රකාශනය පහත දැක්වෙන විශිෂ්ඨ වූත් ස්ථිරසාර වූත් ප්‍රකාශය කරා ප්‍රගමනය වෙයි: "සියලු මනුෂ්‍යයෝ සමානව නිර්මානය වී ඇත්තාහ; ඔවුන්ගේ නිර්මාපකයා විසින් උරුම කර දෙන ලද යම් නිශ්චිත අන්සතු කල නොහැකි අයිතීන්හි හිමිකම ඔවුන්ට පවතී; තවද, ජීවිතය සඳහා, නිදහස සඳහා සහ සන්තුෂ්ඨිය හඹා යාම සඳහා ඇති අයිතීන් ද ඒ අතර වේ. මෙම සත්‍යයන් ස්වයං ප්‍රත්‍යක්ෂ යැයි යන මතයේ අපි සිටිමු."           

දැඩි ආනුභාවික අර්ථයකින් ගත් කල මෙම "සත්‍යයන්" පිලිබඳව "ස්වයං ප්‍රත්‍යක්ෂ" කිසිවක් හෝ නැත - ඒ පිලිබඳ තව දුර වාද කිරීම අනවශ්‍ය තරම් නිසැකය -  යටත් විජිත ද ඇතුලුව ලෝකයේ සෑම අහුමුල්ලක් නෑර ම නිරීක්ෂනය කෙරුනු තතු, "ස්වයං ප්‍රත්‍යක්ෂ "යැයි ප්‍රකාශනයේ කියා සිටි තතුවලට සපුරා පටහැනිය.     

දහ අට වන සියවසේ අග භාගයේ පැවැති ලෝකයේ, බොහෝ මනුෂ්‍යයන්ට සලකන ලද්දේ, ඉදින් ඊටත් වඩා නරකට නොවේ නම්, බර වැඩට යොදා ගන්නා සතුන්ට සලකන ආකාරයටය. සියලු මානවයන් "සමානව නිර්මානය වී ඇති" බවට වූ කියා සිටීම සනාථ කෙරෙන කොන්දේසි පැවතුනේ ලෝකයේ කොතැනක ද? රාජාන්ඩු හා ප්‍රභූ තන්ත්‍රයන් පදනම් වූයේ නිසඟ අසමානතාවයේ අභියෝග කල නොහෙන නීත්‍යානුකූලභාවය මතය. වැඩවසම් සබඳතාවල මන්දගාමී ඛාදනයක් වෙමින් පැවැති භූමි භාගයන්හි පවා, සමාජය තුල මිනිසුන් දැරූ ස්ථානය දිව්‍යමය සැලසුමක විද්‍යමාන වීමක් විය.    

මහා ජන සමූහයකගේ "ජීවිතය"ට ගරු කෙරුනේ හා එය රැකුනේ කොතනකද? වැඩි දියුනු රටක් වූ බ්‍රිතාන්‍යයේ, හය වසරක තරම් ලාබාල වියේ පසු වූවෙකු ධනවත් අයෙකුගේ සාක්කු ලේන්සුවක් සොරා ගැනීමේ වරදට එල්ලා මරනු ලැබීය. ජනයා අතර අතිමහත් පිරිසක් ජීවත් වූයේ වැඩවසම් හා අර්ධ-වැඩවසම් සමාජ ධුරාවලියක දෘඩ සම්බන්ධතා විසින් පනවන ලද, දරිද්‍රතාවයේ හීන දීන තතු යටතේය. ලෝකය පුරාමත්, උතුරු හා දකුනු ඇමරිකා තුලත්  වහල්භාවයේ ජීවත් වූ හා මනුෂ්‍යයන් ලෙස කොහෙත්ම නොතකන තරම් වූ සැලකුම් ලැබූ දශලක්ෂ සංඛ්‍යාත ජනයාගේ තතු තිබියේවා, පොදු පුරවැසි සමාජයේ ජීවිතවල වුව "සන්තුෂ්ඨියක්" නොතිබූ තරම් විය.     

ජෙෆර්සන් විසින් කැඳවනු ලැබූ "සත්‍යයන්" ගොරහැඩි අනුභූතික අර්ථයකින් ගත් කල "ස්වයං ප්‍රත්‍යක්ෂ වූයේ" නැත. ඒ වෙනුවට ඒවා, භෞතික විද්‍යාඥ අයිසැක් නිව්ටන්ගේ, ජෝන් ලොක් වැනි භෞතිකවාදී චින්තකයන්ගේ හා බුද්ධි ප්‍රබෝධ සමයේ විශිෂ්ඨ ප්‍රංශ දාර්ශනිකයන්ගේ  බලපෑම යටතේ වර්ධනය වී තුබූ පමනින්, විද්‍යාත්මක චින්තනය - එනම්, තර්කනය - ඉතිහාසය හා මානව සමාජය විෂයෙහි අධ්‍යයනයන් සඳහා උපයෝගී කර ගැනීම මඟින් ග්‍රහනය කර ගත් "සත්‍යයන්" විය. දේශපාලනිකව නීත්‍යානුකූල වන්නේ හා නොවන්නේ කවරක්දැයි නිර්නය කෙරුනේ තර්කනය උපයෝගී කර ගැනීම මඟිනි. සිදු විය යුත්තේ කුමක්දැයි නිර්නය කෙරුනේ විද්‍යාව මඟින් විනා දිව්‍යමය පර්යායක අතාර්කික හා සනාථ කල නොහෙන මැදිහත්වීම් මඟින් නොවේ. මිනිසාගේ සමානාත්මතාවය හා "ජීවිතයට, නිදහසට සහ සන්තුෂ්ඨිය හඹා යාමට" ඔහුට පවතින "අන්‍යයන් විසින් ගනු ලැබිය හැකි නොවන අයිතීන්" "ස්වයං ප්‍රත්‍යක්ෂ වන්නේ", මෙකී ප්‍රගාඪ අර්ථයෙනි.       

ජෙෆර්සන් හා ඔහු සමඟ උරි'නුර ගැටී සටන් වැදුනු සගයෝ, ප්‍රකාශනය තුල ප්‍රභාෂනය කෙරෙන "ස්වයං ප්‍රත්‍යක්ෂයන්", ආනුභූතික ලෙස පවතින්නා වූ දේශපාලන හා සමාජ තතු විසින් තහවුරු නොකෙරෙන බව හොඳින් දැන සිටියෝය. පහත නිගමනය උපුටා ගැනුනේ මෙම කරුන විසිනි: ආන්ඩු ඒවායේ "යුක්තියුක්ත බලතල" ව්‍යුත්පන්න කර ගන්නේ "පාලිතයන්ගේ සම්මුතියෙනි." එබැවින්, "කවර හෝ ආන්ඩු ආකෘතියක් කොයි යම් හෝ මොහොතක මෙකී නිෂ්ඨාවන්හි ඝාතකයා බවට පත් වන විට, එය විවර්තනය කිරීම හෝ, සහමුලින් අහෝසි කර දමා අලුත් ආන්ඩුවක් ස්ථාපනය කරමින්, සිය සුරක්ෂාවට හා සන්තුෂ්ඨියට හේතුභූත වීමට වඩාත්ම ඉඩ ඇතැයි හැඟෙන ආකාරයක ආකෘතියක් තුල එහි බලය සංවිධානය කර ගනිමින්, එවන් මූලධර්ම මත එම ආන්ඩුවේ පදනම ලා ගැනීම ජනයාගේ අයිතියයි."   

ඒ අනුව, විප්ලවය යනු ජනයාගේ "සන්තුෂ්ඨිය" කෙරේ මර්දනකාරී හා හිංසාකාරී බවට පත් වන්නා වූ ආන්ඩු බලයෙන් පහ කර දැමීමේ නීත්‍යානුකූල හා අත්‍යවශ්‍ය පවා වන උපක්‍රමයක් බවට ස්වාධීනතා ප්‍රකාශනය නිවේදනය කලේය. මෙම පිලිවෙතට බැඳී සිටි ජෙෆර්සන්, ඇමරිකානු විප්ලවයෙන් පොලඹවනු ලැබූ ප්‍රංශයේ ජනයා දහසය වන ලුවී රජුගෙන් හා වංශවත් පැලැන්තියෙන් ලේ වැකි පලි ගැනිමක යෙදෙන කල්හි අවම හෝ චිත්ත සන්තාපයක් පල නොකෙලේය. ලුවීට "අන් අපරාධකරුවන්ට සේම" දඬුවම් දිය යුතුයැයි ජෙෆර්සන් ප්‍රකාශ කලේය. ප්‍රංශ විප්ලවයේ පරාජය දකිනුවට වඩා, "පෘථිවියෙන් අඩක් ජනශූන්‍ය ව යනු දැකීමට මා කැමැත්තෙන් සිටිනු ඇතැ"යි ජෙෆර්සන් සිය මිතුරෙකුට ලියා යැවීය. "ඉදින් සෑම රටකම ආදම් කෙනෙකු හා ඒවා කෙනෙකු පමනක් ඉතිරිව සිටින හා ඔවුන්ට නිදහසේ සිටීමට ඉඩ හැර සිටින තත්වයක් පැවතියේ වී වුව, එය දැන් පවතින තතු වලට වඩා හොඳ තත්වයක් වනු ඇත." "අවසානයේ මේ සා කලක් ඔවුන් විසින් මිනිස් රුධිර ගංගාවන්ගෙන් නහවන ලද්දා වූ පෝරකවලට රජුන් ද, වංශවතුන් ද, පූජකයන් ද,නංවනු ඇති" විප්ලවයේ ජයග්‍රහනයක අනාගතාපේක්ෂාව පිලිබඳ ඔහු සිය නොසැඟවූ ප්‍රමෝදය පල කලේය.      

ඇත්තෙන්ම ජෙෆර්සන්ගේ පෞද්ගලික අයිතිය යටතේ වහලුන් සිටීම හා වහල් ක්‍රමය සමඟ ඔහු පවත්වා ගෙන ගිය සම්මුතිය ද යන ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනු, මහත් ව්‍යාජෝක්තියක් මෙන්ම, ඔහුගේ ජීවිතයේ ඛේදවාචකය පවා, නියෝජනය කරයි. ඒවා, පැවැති සමාජ තතු හා ඔහු උපත ලත් ලෝකයේ - ඒ වූ කලී, වහල් ක්‍රමය, ප්‍රවේනිදාස ක්‍රමය, හා ගිවිසුම්ගත දාසභාවයේ විවිධ ආකාරයන් වැජඹෙමින් පැවැති හා ඒවායේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්නයට භාජනය නොකෙරුනු ලෝකයකි - පැවැති ප්‍රතිවිරෝධයන් ඔහුගේ පෞද්ගලික ජීවිත වෘත්තාන්තය තුල ප්‍රකාශයට පත් වීම් විය. ශාස්ත්‍රාලික උගතුන් අතරේ සිටින, සදාචාරය ගැන කථා කරන පිලිස්තීනුවන් ජෙෆර්සන් හෙලා දැකීමට දිගටම ක්‍රියා කරනු ඇත. එහෙත් ඔවුන්ගේ හෙලාදැකීම්, ස්වාධීනතා ප්‍රකාශනයේ විප්ලවවාදී බලපෑම ලේශමාත්‍රයකින් හෝ වෙනස් නොකරයි.    

1775-83 ඇමරිකානු විප්ලවය වහල් ක්‍රමය පිලිබඳ ප්‍රශ්නය විසඳුවේ නැත. එසේ වූයේ එහි විසඳුම වහල් හිමියන් වූ ජෙෆර්සන් හෝ වොෂින්ටන් වැනි අනෙක් විප්ලවවාදී නායකයෙකු හෝ විසින් අවහිර කල හෙයිනි. ඇමෙරිකානු ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ මුල් අදියරේ අසම්පූර්න ස්වභාවය නිර්නය කරන ලද්දේ පැවැති වෛෂයික කොන්දේසි විසිනි - එ ද, හුදු උතුරු ඇමරිකාවේ පමනක් පැවැති තතු මත නොවේ. මාක්ස් පසු කලෙක පැහැදිලි කල පරිදි, මානව වර්ගයා, "සෑම විටම තමා වෙත පවරා ගන්නේ, තමාට විසඳිය හැකි ආකාරයේ කර්තව්‍යයන් පමනෙකි; ඒ, මෙම කාරනය පිලිබඳව වඩාත් සමීපව පරීක්ෂා කිරීමේ දී, එකී කර්තව්‍යයම පැන නඟින්නේ එහි විසඳුම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය කොන්දේසි ඒ වන විටත් පවතින හෝ, අවම වශයෙන්, ඒවා නිර්මානය වෙමින් පවතින හෝ තතු තුල බව අප සෑමවිටම ඒත්තු ගන්නා නිසාය." වහල් ක්‍රමයට තීරනාත්මක විසඳුමක් සඳහා කොන්දේසි ඒ වන විටත් පැවතුනේ නැත. ඒ සඳහා තවමත්, දශක ගනනාවක කාර්මික වර්ධනය හා උතුරේ ආර්ථික වශයෙන් බලගතු ධනේශ්වර පන්තියක පැන නැඟීම අවශ්‍යව තිබින. තව ද, එම පන්තිය, මහජනයා බලමුලු ගැන්වීමෙහි සමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාරයක් වර්ධනය කල යුතුව, හා දීර්ඝ වූත්, කර්කශ වූත් සිවිල් යුද්ධයක් නොනැසී පවත්වා ගෙන යාමට හැකි ශක්‍යතාවයක් අත් පත් කර ගත යුතුව තිබින.                 

මේ ආවශ්‍යක සමාජ හා ආර්ථික ක්‍රියාවලිය ඇමරිකානු විප්ලවයෙන් ඉක්බිති උදා වූ දශක තුල ශීඝ්‍රයෙන් දිග හැරුනි. උතුරේ සිදු වූ ධනේශ්වර වර්ධනය වඩවඩාත් වහල් හිමියන්ගේ බලය විසින් දරන ලද එක්සත් ජනපදයේ දේශපාලන ආධිපත්‍යය සමඟ අසංගත වූවක් බවට පත් විය. මෙකී වෛෂයික අසංගතභාවය එහි මතවාදී ප්‍රකාශනය අත්පත් කර ගත්තේ, ස්වාධීනතා ප්‍රකාශනය තුල ප්‍රකාශයට පත් කරන ලද මානව සමානාත්මතාවයේ පරමාදර්ශ වහල් ක්‍රමයේ භයංකාර යතාර්ථය සමඟ සමඟි සන්ධානයකට පැමිනවිය නොහැකි බව පිලිබඳ පෙර කිසිදා නොවූ තරම් තීව්‍රතර වූ වැටහීම තුලය.   

කෙසේවෙතත්, සිවිල් යුද්ධය කරා මඟ හෙලි කල ඓතිහාසික කාර්යකාරන සම්බන්ධයේ ක්‍රියාදාමය, දෘෂ්ඨිවාදී ගැටුම් හුදෙක් සමාජ ආර්ථික සාධකවල පිලිබිඹුවක් පමනක් වන පරිද්දෙන් සමාජ ආර්ථික සාධක විසින් ඒක පාර්ශ්චික ආකාරයෙන් ධාවනය කරවනු ලැබූවක් නොවූ බව මෙහිදී අවධාරනය කල යුතුය. උතුරේ මහජන දේශපාලන විඥානයට බලපාමින් එය වහල් හිමියන්ගේ බලයට එරෙහිව සම්මුතිවිරහිත අරගලයකට සූදානම් කිරීමෙහි ලා ස්වාධීනතා ප්‍රකාශනය තුල බලපැවැත්වුනු මූලධර්ම අතිමහත් වූත්, බොහෝදුරටම ස්වාධීන වූත් කාර්යභාරයක් ඉටු කලේය.  

ඒබ්‍රහම් ලින්කන්ගේ බුද්ධිමය හා දේශපාලන වර්ධනය, තෝමස් ජෙෆර්සන්ගේ හා ඔහු විසින් කර්තෘත්වය දරන ලද ප්‍රකාශනයේ ආනුභාවය ප්‍රතිමූර්ති ගැන්වීය. ලින්කන් නැවත නැවතත්, දේශන ගනනාවකදී ම, ජෙෆර්සන්ගේ දේශපාලන උරුමය ගෙන හැර දැක්වීය. උදාහරනයක් ලෙස, 1859 දී ලියූ ලිපියක ලින්කන් මෙසේ සඳහන් කරයි:      

එකම ජනතාවක් විසින් ජාතික නිදහස සඳහා සිදු කල අරගලයක සංයුක්ත පීඩනය තුල, හුදු විප්ලවකාරී ලේඛනයක් තුලට වියුක්ත සත්‍යයක් හඳුන්වා දීමට - අද ද ඉදිරියේ එලැඹෙන සියලු දිනවලදී ද ප්‍රජාපීඩනය හා මර්දනය යලි හිස එසවීමේ සියලු පූර්ව දූතයන්ට තරවටුවක් හා අවරෝධකයක් වන පරිද්දෙන් ද, අහෝසි වී යා නොහැකි ලෙස සුරක්ෂනය වන ආකාරයෙන් ද, එය හඳුන්වා දීමට - අවශ්‍ය සන්සුන්කම ද, පෙරදැක්ම ද, ධාරිතාව ද තිබූ ඒ මිනිසාට - ජෙෆර්සන්ට -     සියලු ගෞරවය!  

1860 දී ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසු ලින්කන් මෙසේ ප්‍රකාශ කලේය: "ස්වාධීනතා ප්‍රකාශනය තුල මූර්තිමත් වූ මනෝභාවයන් තුලින් පැන නොනැඟුනු කිසිදු දේශපාලනික හැඟීම් මාත්‍රයක් හෝ මට කිසිදා ඇති වී නැත."   

ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමට වොෂින්ටන් කරා යන අතරවාරයේ ලින්කන් මෙසේ පැහැදිලි කලේය:

එය [විප්ලවය] හුදෙක් යටත් විජිත මව්බිමෙන් වෙන් වී යාම පිලිබඳ කාරනයක් නොවීය; එය, මේ රටේ මිනිසුන්ට නිදහස ලබාදුන්නා පමනක් නොව, සමස්ත ලෝකයට සියලු අනාගත කාලයන් සඳහා අපේක්ෂා දල්වා ලූ ස්වාධීනතා ප්‍රකාශනයේ එන එම මනෝභාවය [පිලිබඳ කාරනයක්] විය. නියමිත කාලය එලැඹි කල්හි තම උර මත ඇති බරෙන් සියලු මිනිසුන් නිදහස් කෙරෙනු ඇති බවටත්, සියල්ලන්ටම සමාන අවස්ථා ලැබිය යුතු බවටත් වන ප්‍රතිඥාව ලබා දුන්නේ එයයි. ස්වාධීනතා ප්‍රකාශනය තුල මූර්තිමත් වූ මනෝභාවය මෙයයි.  

සිවිල් යුද්ධයට දෘෂ්ඨිවාදී අනුප්‍රානය සම්පාදනය කල විශිෂ්ඨ විප්ලවවාදී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කර්තෘවරයා වූයේ ජෙෆර්සන්ය. අවසානයේ දී දසදහස් ගනනින් වහල් ජනයා දකුනුදිග ප්‍රාන්ත රාජ්‍ය 11 හවුලට එරෙහි අරගලයට බලමුලු ගන්වා ඔවුන් සන්නද්ධ කල ලින්කන්ගේ නායකත්වය යටතේ වූ යුනියන් හමුදාව වහල් ක්‍රමය වනසා දැමීය.   

සත්තකින්ම, සිවිල් යුද්ධයෙන් මතු වූ එක්සත් ජනපදය ඉක්මනින්ම ලින්කන් විසින් දෙනු ලදුව තුබූ ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය පිලිබඳ ප්‍රතිඥා පාවා දුන්නේය. "නිදහසේ නව උපත" නූතන ධනේශ්වර ක්‍රමයේ ආධිකාරිකයන්ට ඉඩ දෙමින් ඉවත්ව ගියේය. ඉස්මතු වෙමින් පැවැති කම්කරු පන්තිය හා කාර්මික ධනපති පන්තියක් අතර නව ආකෘතියක සමාජ අරගලයක් දේශපාලන හා සමාජ භූ දර්ශනය අරා ආධිපත්‍යය දරන්නට විය. මෙම නව පන්ති අරගලය තුල උතුරුදිග ධනපතීහු පැරනි වහල් හිමි පන්තියේ අවශේෂයන් සමඟ සන්ධානගත වීමේ ප්‍රතිලාභ දුටුවෝය. ප්‍රතිසංස්කරනය අවසානයක් කරා ගෙන එන ලදී. වර්ගවාදයට උල්පන්දම් දෙමින් කම්කරු පන්තියේ එකමුතුවට එරෙහිව යොදාගත හැකි අවියක් ලෙස එය ප්‍රයෝජනයට ගැනින.       

දේශපාලන ප්‍රතිගාමිත්වයේ මෙම සුවිශේෂී ආකාරයට එරෙහි සම්මුති විරහිත විරුද්ධත්වය සමාජවාදය සඳහා අරගලය තුල කම්කරු පන්තියේ ප්‍රධාන කර්තව්‍යය බවට පත් විය. කම්කරු පන්තියේ බලය පිහිටුවීම හරහා ධනේශ්වර ක්‍රමය අවසන් කොට සමාජවාදී සමාජයක් ලෝක පරිමානයකින් ගොඩනැඟීමෙන් පමනක්ම වර්ගවාදයේ කටු සැමිටිය හා සියලු ආකාරයන්හි සමාජ පීඩනයන් පරයා ලිය හැකි වේ. මෙකී අරගලය තුල ජෙෆර්සන් හා ලින්කන් යන දෙදෙනාගේම වචන හා ක්‍රියාවන් දිගටම අනුප්‍රානය සපයනු ඇත. ඔවුන්ගේ ජීවිත කාලයක කර්තව්‍යයන්හි ඓතිහාසිකව ප්‍රගතිශීලී වූ සියල්ල නූතන සමාජවාදී ව්‍යාපාරය තුල දිගටම ජීවත් වෙයි. 

Loading