මර්කෙල් බ්‍රසල්ස්හිදී: ජීවිත වලට පෙර ලාභය සහ යුරෝපීය මහ බලවතුන්ගේ දේශපාලනය

මෙම ලිපිය ජූලි 13 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොරෝනා වෛරස් වසංගතය පුපුරා යාමෙන් පසු ඇය පලමු වරට විදේශයක  පෙනී සිටි අවස්ථාව එය විය. මර්කෙල් කතා කලේ, 1930 ගනන්වලින් පසුව ඇති වූ ගැඹුරුම ආර්ථික අර්බුදය සහ ප්‍රධාන බලවතුන් අතර වැඩෙන ආතතීන් හමුවේ, මහාද්වීපයේ නව කොවිඩ්-19 පුපුරා යාමේ පසුබිමකය.

“අද මගේ සංචාරය, යුරෝපීය සංගමයේ ඉතිහාසයෙහි දැවැන්තම පරීක්ෂනයක පසුබිම තුල සිදුවන බව අපි කවුරුත් දනිමු” යයි චාන්සලර් පැවසීය. ගෝලීය කොරෝනා වසංගතය “යුරෝපයේ මිනිසුන්ට දැඩි හා නිර්දය ලෙස පහර දී තිබේ. යුරෝපයේ පමනක් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ."

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය: “යුරෝපය පුරා අපේ ආර්ථිකයන් දැඩි ලෙස සොලවා තිබේ. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට රැකියා අහිමි වී තිබේ. "ඔවුන්ගේ සෞඛ්‍යය හා  පවුල්වල සෞඛ්‍යය පිලිබඳව පවතින කනස්සල්ලට” අමතරව බොහෝ පුරවැසියන් “ඔවුන්ගේ ආර්ථික පැවැත්ම ගැනද කනස්සල්ලට පත්ව සිටී.”

ජර්මනිය යුරෝපා සංගමයේ රටවල් 27 ක කන්ඩායමේ ඊලඟ මාස හය සඳහා මාරුවන සභාපති ධුරය භාරගෙන ඇත්තේ, ගැඹුරුවන අර්බුදයේ කාලපරිච්ඡේදය තුල කොරෝනා වෛරසයෙන් සිදුවන ආර්ථික හානිය සීමා කිරීමට උත්සාහ කරමිනි. (AP ඡායාරූපය / ඔලිවියර් මැතිව්ස්)

මෙම ව්‍යසනයට පාලක පන්තිය මුලුමනින්ම වගකිව යුතු බව මර්කෙල් වසං කලාය. වසංගතය ජනවාරි සහ පෙබරවාරි මාසවල පැතිර යත්ම ඇය සැලකිලිමත් වූයේ, ජනතාවගේ සෞඛ්‍යය ගැන නොව, වයාපාරික ලාභ ආරක්ෂා කර ගැනීම ගැන ය. සියලුම යුරෝපීය ආන්ඩු තර්ජනය යටගසා, කිසිදු බාධාවකින් තොරව ආර්ථිකය සහ ජන ජීවිතය පවත්වාගෙන යාමට උත්සාහ කලහ.

වසංගතයේ භයානක ප්‍රතිවිපාක ඉතාලිය හා ස්පාඤ්ඤය වැනි රටවල ප්‍රථම වරට දිස්වන්නට පටන්ගත්විට පමනක්, වෛරසය පාලනය කිරීමේ පියවර ගැනීමට ආන්ඩුවලට බල කෙරුනේ, ජනතාව තුල කෝපය දැල්වෙන්නට පටන්ගත් කලය. පසුව අගුලු දැමීම් යොදාගත්තේ, ඉතිහාසයේ පෙර නොවූවිරූ පරිමානයෙන් ධනය පහල සිට ඉහලට යලි බෙදාහැරීම සංවිධානය කිරීමටය. ඉතා කෙටි කාලයක් තුල, යුරෝ ට්‍රිලියන ගනනක් බැංකු, විශාල සමාගම් සහ සුපිරි ධනවතුන්ගේ ගිනුම් වලට, කොරොනා වෛරස් “ගලවා ගැනීමේ පැකේජ” (“rescue packages”)ලෙස මාරු කරන ලදී.

ඒ අතරම සංස්ථාපිත දේශපාලඥයින් සහ මාධ්‍ය , කම්කරු පන්තියෙන් දැවැන්ත ලාභයක් උපුටා ගැනීම නැවත ආරම්භ කිරීම සඳහා හැකි ඉක්මනින් ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ ආක්‍රමනශීලී ව්‍යාපාරයක් ආරම්භ කලහ. බිලියන ගනන් රාජ්‍ය මුදල් ලබාගත් එම සමාගම්ම දැන්, වෘත්තීය සමිතිවල සහාය ද ඇතිව අර්බුදය උපයෝගී කරගනිමින්, තමන් දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ මහා දොට්ට දැමීම් සහ වැටුප් කප්පාදු ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි.

“ජීවිත වලට පෙර ලාභය” පිලිබඳ ප්‍රතිපත්තිය ආක්‍රමනකාරීව අනුගමනය කරනු ඇති බවට මර්කෙල් සිය කතාවේදී සැකයක් නැතිව පැවසුවාය. දැන් බොහෝ දුරට ඉවත් කර ඇති, වසංගතය පාලනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ඇය නරුම ලෙස විස්තර කලේ, “මූලික අයිතිවාසිකම්” වලට පහර දුන් “ඉහල මිලක්” ලෙසිනි.

පනිවිඩය පැහැදිලිය: ආර්ථිකය නැවත විවෘත කිරීමෙන් ඇතිවන ආසාදන හා මරන විශාල වශයෙන් ඉහල ගොස් තිබියදීත්, නව අගුලු දැමීමක් සිදු නොවනු ඇත. ධනේශ්වර ලාභ ඉපැයීම සහ කොටස් වෙලඳපොල පොහොසත් කිරීම අවදානමට ලක්විය හැකි කිසිවකට ඉඩ නොදෙනු ඇත.

ප්‍රන්ස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ මැයි මස මැද භාගයේදී ඇය යෝජනා කල, යුරෝ බිලියන 500 යුරෝපීය ප්‍රතිසංස්කරන අරමුදල ගැන මර්කෙල් ප්‍රශංසා මුඛයෙන් කථා කලාය. “සමාජීය හා ආර්ථිකමය වශයෙන් යුක්තිසහගත යුරෝපයක්” සඳහා ව්‍යාජ මැතිරීම පිටුපස ඇය පැහැදිලි කලේ, එම මුදල් නව වටයක සමාජ ප්‍රහාරයකට සම්බන්ධ වන බවයි. යුරෝපය “වඩා නවෝත්පාදක හා තරඟකාරී” විය යුතු බව ඇය සිය කතාවේදී කිහිප වතාවක්ම අවධාරනය කලාය.

සියල්ලටත් වඩා ඇය යුරෝපීය පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට මතක් කර දුන්නේ, යුරෝපීය ජාතීන්ට ඔවුන්ගේ ගෝලීය ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති අවශ්‍යතා ආරක්ෂා කර ගත හැක්කේ එකට වැඩ කිරීමෙන් පමනක් බවයි. යුරෝපය යනු “අපට භාර දී ඇති යමක් පමනක් නොව, අප බැඳී ඇති ඉරනමකි”, නමුත් “අපට හැඩගැසීමට හා වෙනස් කිරීමට හැකි ජීවමාන දෙයකි.”

“ගෝලීයකරනය වූ ලෝකයක” “යුරෝපය අපට ක්‍රියා කිරීමට ඇති අවස්ථාවන් අහිමි නොකරන බව ඇය අවධාරනය කලාය. අපගේ විශ්වාසයන් සහ නිදහස ආරක්ෂා කර ගත හැක්කේ යුරෝපය නොමැතිව නොව යුරෝපය සමඟ පමනි. ”

වෙනත් වචන වලින් කිවහොත්, ජර්මානු නායකත්වය යටතේ එක්සත් යුරෝපීය මිලිටරි හා මහා බල ප්‍රතිපත්තියක් තුලින් පමනක් බ්‍රසල්ස් සහ බර්ලිනයට ලොව පුරා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා පැනවීමට හැකි වනු ඇත.

“ජර්මානු සභාපති ධුරයේ ඉහලම ප්‍රමුඛතාවය වන්නේ, යුරෝපය එක්සත් හා ශක්තිමත් ලෙස අර්බුදයෙන් ගොඩගැනීමයි.”

ඉලක්කය වූයේ “කෙටිකාලීනව යුරෝපය ස්ථාවර කිරීම පමනක් නොවේ.” මර්කෙල් අවධාරනය කලේ, “අපට අවශ්‍ය වන්නේ ආත්ම විශ්වාසයෙන් හා ධෛර්යයෙන් යුතුව වර්තමාන අභියෝගයන්ට මුහුන දෙන යුරෝපයක්. අපට අවශ්‍ය වන්නේ අනාගතයට ගැලපෙන, නව්‍ය හා තිරසාර ආකාරයකින් ලෝකයේ තම ස්ථානය තහවුරු කර ගත හැකි යුරෝපයක්. ” “වේගයෙන් වෙනස් වන මෙම ලෝක පිලිවෙල තුල, යුරෝපයට අවශ්‍ය වන්නේ කවුරුන්ද යන්න තීරනය කරන, ශක්තිමත් යුරෝපීය විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියක අවශ්‍යතාවය” අවධාරනය කරන භූදේශපාලනික පරිසරයකි.

පෙර පැවැත්වූ සම්මුඛ සාකච්ඡා හා කථා වලදී මෙන්, එක්සත් ජනපදයෙන් වඩා ස්වාධීනව කටයුතු කල හැකි, දැවැන්ත සන්නද්ධ හමුදා සන්ධානයක් බවට යුරෝපා සංගමය පත් කිරීමේ අවශ්‍යතාව මර්කල් රහසක් කර නොගත්තාය. “සිතියම දෙස බැලූ විට පෙන්නුම් කරන්නේ යුරෝපය, බ්‍රිතාන්‍යය සහ බටහිර බෝල්කන් පමනක් නොව රුසියාව, බෙලාරුස්, යුක්රේනය, තුර්කිය, සිරියාව, ලෙබනනය, ජෝර්දානය, ඊශ්‍රායලය, ඊජිප්තුව,  ලිබියාව, ටියුනීසියාව, ඇල්ජීරියාව සහ මොරොක්කෝව ද එහි බාහිර දේශසීමා වටේට පිහිටා ඇති බවයි.  යුරෝපය ජීවත් වන්නේ “බලවේග ක්ෂේත්‍ර වෙනස් වෙමින් පවතින ගෝලීය කැලඹිලි සහිත කාල පරිච්ඡේදයක ය. යුරෝපය - බොහෝ සාමාජික රටවල් අන්තර් අත්ලාන්තික්  සන්ධානයට ඒකාබද්ධවී සිටිය ද -  යුරෝපයම වන්නේ ය.”

චීනයට බලපාන පරිදි විදේශ ප්‍රතිපත්ති බලයක් ලෙස යුරෝපයට එහි බර තැබීමට සිදු විය. “අවාසනාවකට මෙන්, යුරෝපා-චීන සමුලුව සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නොහැකි වුවද, චීනය සමඟ විවෘත සංවාදය දිගටම කරගෙන යාමට අපට අවශ්‍යය,” මර්කෙල් පැවසීය. “චීනය සමඟ මූලෝපායික සබඳතා” සංලක්ෂිත වූයේ සමීප වෙලඳ ප්‍රතිපත්ති සබඳතා මගිනි, නමුත් ඒ හා සමානව වෙනස් සමාජ-දේශපාලන අදහස්, විශේෂයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙනි.

විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජර්මානු සහ යුරෝපීය රාජ්‍ය නායකයින් “මානව හිමිකම්” සහ “නීතියේ ආධිපත්‍යය” ගැන කතා කරන සෑම විටම අනතුරු ඇඟවීමේ සීනුව නාද කල යුතුය. මන්දයත්, මෙම වාක්‍ය ඛන්ඩයන් අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර සමඟ  සම්බන්ධ අධිරාජ්‍යවාදී අරමුනු සඟවා තබන බැවිනි. බ්‍රසල්ස් හිදී මර්කෙල්, “සයිබර් තර්ජන හා සාවද්‍ය තොරතුරු ව්‍යාපාරවලට එරෙහිව අපගේ ප්‍රජාතන්ත්‍රවාදයන් පලදායී ලෙස ආරක්ෂා කරන ලෙස” ඉල්ලා සිටියාය. එනම්, විශේෂයෙන් කම්කරුවන්ගේ හා තරුනයින්ගේ වැඩෙන වාමාංශික විරෝධයට එරෙහිව රජයේ මර්දනකාරී බලයන් ශක්තිමත් කිරීම සඳහා වන කේත වචන ය.

ජර්මානු ධනේශ්වරය සිය සභාපති ධුරය ආරම්භයේ සිටම පැහැදිලි කර ඇත්තේ, තම වචන ක්‍රියාවට නැංවීමට කැමැත්තෙන් සිටින බවයි. සටන් ඩ්‍රෝන යානා මිලදී ගැනීමේ සැලසුම් පිලිබඳ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරන ලද නිවේදනය සහ ප්‍රමුඛ ජර්මානු දේශපාලඥයින් විසින් මිලිටරිවාදය සමාජයේ වඩාත් ස්ථිර ලෙස පැලපදියම් කිරීම සඳහා අනිවාර්ය හමුදා සේවාවක් නැවත හඳුන්වා දෙන ලෙස පසුගිය සතියේ කරන ලද ඉල්ලීම් වලින් සලකුනු කෙරෙන්නේ මෙයයි.

වාමාංශික පක්ෂයේ සිට ජර්මනිය සඳහා අන්ත දක්ෂිනාංශික විකල්පය (ඇෆ්ඩී) දක්වා වන සියලු පක්ෂ, ජාතිකවාදය ඇවිස්සීම සඳහා මාධ්‍ය සමඟ එක්ව, සමීපව කටයුතු කරයි. “ජර්මනිය දැන් නායකත්වයට තල්ලුකර ඇත, වෙනත් මාර්ගයක් නැත,” රෙඩක්ෂන්ස්නෙට්ස්වර්ක් ඩොයිෂ්ලන්ඩ් විවරනයක සඳහන් විය.

යුරෝපයේ ජර්මානු නායකත්වය සඳහා කෙරෙන වඩ වඩාත් ආක්‍රමනකාරී ඇමතුම් පිටුපස විශේෂ වර්ධනයන් දෙකක් තිබේ. පලමුව, යුරෝපීය බලවතුන් අතර ආතතීන් නිරන්තරයෙන් වැඩිවෙමින් පැවතීමයි.

මර්කෙල්ගේ කතාවෙන් පසු යුරෝපා සංගම් සභාපති චාල්ස් මයිකල් අනතුරු ඇඟවූයේ, ජූලි 17-18 යුරෝපා සංගම් සමුලුවට සමගාමීව යුරෝපීය ප්‍රතිසංස්කරන අරමුදල සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර දැඩි වෙනස්කම් පවතින බවයි. නයවලට වඩා ආපසු නොගෙවන   ප්‍රදාන වශයෙන් අවම වශයෙන් යම් මුදලක් රටවලට ලබා දීම සඳහා යුරෝපා සංගම් කොමිසම නය ලබා ගත යුතුය යන යෝජනාව “සමහර සාමාජික රටවලට පිලිගැනීම තවමත් දුෂ්කර ය, ඉතා දුෂ්කර ය” යි ඔහු පැවසීය.

දෙවනුව, කම්කරු පන්තියේ දේශපාලන හා සමාජ විරෝධය වර්ධනය වෙමින් පැවතීමයි. කොරෝනා වසංගතය අධිරාජ්‍යවාදී බලවතුන් අතර ආතතීන් උත්සන්න කර ඇතිවා පමනක් නොව, සියල්ලටත් වඩා එය ධනේශ්වර ක්‍රමයේ බංකොලොත්කම හෙලි කර තිබේ. ජර්මනිය යලි එක්කිරීම හා ස්ටැලින්වාදී නිලධරය විසින් සෝවියට් සංගමය විසුරුවා හැර වසර තිහකට පසු ධනේශ්වරයට ජනගහනයෙන් අතිමහත් බහුතරයක් වෙත ඉදිරිපත් කිරීමට කිසිවක් නැත. ඒ් වෙනුවට ඇත්තේ වැඩෙන දරිද්‍රතාව, පොලිස් රාජ්‍ය ක්‍රියාමාර්ග, මිලිටරිවාදය සහ යුද්ධය උත්සන්න කිරීමයි. මහජන විරෝධතා සහ වැඩ වර්ජන ස්වරූපයෙන් ලොව පුරා ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතින අතර එය දැන් ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ කල යුතුය.

Loading