වසංගතයෙන් තීව්‍ර වූ අර්බුදයේ බර ගුරුවරුන් මත පැටවෙන අයුරු පාසල් විවෘතව පැවති කෙටි කාලය තුල හෙලිවෙයි

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මාස තුනකට වැඩි කාලයක් වසා දමා තිබූ ලංකාවේ පාසල්, අනාරක්ෂිත කොන්දේසි යටතේ මේ මස 06 දා යලි ආරම්භ කෙරුනු නමුත්, වසංගතය උත්සන්න වීමත් සමඟ වැඩුනු මහජන විරෝධය හේතුවෙන්, ලබන සිකුරාදා දක්වා පාසල් වසාතැබීමට ආන්ඩුවට සිදුවී ඇත. 

ආන්ඩුව පාසල් වලට ප්‍රමානවත් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් සැපයීම නොතකා හැරීම හේතුවෙන් රාජාංගනය ප්‍රදේශයේ පාසල් සිසුවෙකු වසංගතයට ගොදුරුවූ අතර පාසලේ අනෙකුත් සිසුන් නිරෝධායනයට ලක්කර තිබේ.

කෙසේ වෙතත් පාසල් ආරම්භ කෙරුනේ ගුරුවරුන්ගේ රැකියා කොන්දේසි මත ප්‍රහාරය දැඩි කරමිනි. එය, වසංගතය හේතුවෙන් තීව්‍ර කෙරුනු සමාජ ආර්ථීක බලපෑමේ බර කම්කරු පන්තිය මත පැටවීම සඳහා ධනපති ආන්ඩුව ගෙන යන වැඩකටයුතු වල කොටසක් විය. 

පාසල් වසා දැමීම හේතුවෙන් පාඩු වූ අධ්‍යයන කටයුතු ආවරනය කිරීම සඳහා මේ වසරට තව ඉතිරිව ඇත්තේ දින 78 ක් වැනි කෙටි කාල සීමාවකි. වසංගතයේ වේගවත් පැතිරීම මගින් යලි පාසල් ආරම්භ කිරීම තවතවත් ප්‍රමාද කරත්ම එම කාලය තවත් කෙටිවන අතර ආන්ඩුව ඊට ප්‍රතික්‍රියා කරනු ඇත්තේ ගුරුවරුන්ගේ වැඩ වේගවත් කිරීමට බලකරමිනි.

අධ්‍යාපන අමාත්‍යංශය, තරගකාරී විභාග පැවැත්වෙන 11 සහ 13 ශ්‍රේනිවල ගුරුවරුන්ගේ කාලසටහන් කිසිඳු අමතර ගෙවීමක් නොමැතිව සවස 3.30 දක්වා දීර්ඝ කලේය. ආන්ඩුව දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිලිබඳ වගකීමද ගුරුවරුන්ටම පවරා ඇත්තේ, ඒ සඳහා නියමිත ආරක්ෂක ක්‍රමවේදයන් ක්‍රියාවට දැමීමට අවශ්‍ය උපාංග හෝ මුදල් ප්‍රමානවත් පරිදි  සම්පාදනය නොකරමිනි. 

ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද අධ්‍යාපන කටයුතුවල නිරතවන කාල සීමාවන් ජාත්‍යන්තර වශයෙන්ම විද්‍යාත්මකව පිලිගෙන ඇති උපමානයන් යටතේ නිර්නිත ඒවාය. අධ්‍යාපන කටයුතු වල නිරතවීමේදී මානසිකව ආතතියක් ඇති නොවන පරිදි ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද ප්‍රමානවත් විවේකයක් ලබාදීම සඳහා එම කාල සීමාවන් සම්මත කෙරී ඇත. විභාග මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයකට මූලිකත්වය දෙමින් වැඩිපුර කාලයක් පාසල් පැවත්වීමට ආන්ඩුව ගත් තීරනය එම විද්‍යාත්මක උපමානයන්ද උල්ලංඝනය කර ඇත.   

පාසල් ආරම්භ කිරීමට පෙර දිනයේ අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින්  පවසා තිබුනේ, “සුවපත් රටක නිරෝගී සිසු පරපුරක් උදෙසා හෙට අරඹන දැයේ අධ්‍යාපන වීර චාරිකාව” වෙනුවෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මන්ඩල වලට තමන් සුබපතන බවයි. මෙවැනි ප්‍රකාශයක් හරහා ඔහු ව්‍යංගයෙන් පැවසුවේ සෞඛ්‍ය අනාරක්ෂිතභාවටත්, වැඩ වේගවත් කිරීමටත් මුහුන දෙමින් සේවයේ යෙදීමට ගුරුවරු සූදානම් විය යුතු බවයි.       

සිසුන්ට ඉගැන්වීමට අමතරව වසංගතයට පෙර සිටම ගුරුවරුන්ට පවරා තිබූ පාසල් පාදක ඇගයීම්, සංවර්ධන සමිතියට අදාල මුදල් අය කිරීම්, විවිධ ව්‍යාපෘති සහ කාර්යාලීය ලේඛන කටයුතු පාසල් පැවත්වූ සතිය තුල වැඩි වැඩියෙන් ගුරුවරුන් මත පටවනු ලැබුනි. 

වසංගත තත්වය හමුවේ ආන්ඩුව පාසල්වලට වෙන් කර ඇති සොච්චම් මුදල් ප්‍රමානවත් නොවන නිසා පන්ති කාමර ආශ්‍රිතව ජල කරාම සවි කිරීම, සබන් මිල දී ගැනීම වැනි කටයුතු සඳහා මුදල් සිසුන්ගෙන් අය කිරීමට සහ එම කටයුතු සැලසුම් කිරීමට ඇතැම් පන්තිභාර ගුරුවරුන්ට බල කෙරී තිබේ. 

අනුප්‍රාප්තික ආන්ඩු දිගින් දිගටම රජයේ පාසල් පද්ධතිය දියුනු කිරීම ඇතහැර දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඒවායේ පන්ති කාමර තුල පවතින්නේ අධික තදබදයකි. ඒ හේතුවෙන් සිසුන්ගේ දුරස්ථභාවය පවත්වාගැනීම සඳහා ඔවුන්ව කාන්ඩ කිහිපයකට බෙදා ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට ගුරුවරුන්ට සිදුවී ඇත. එහිදී එකම විෂයක් යලි යලිත් ඉගැන්වීම සඳහා වැඩිපුර  කාලය වැයකිරීම ගුරුවරුන්ට සිදුව ඇත.  

මෙම තත්වය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක් වූ පුත්තලම දිස්ත්‍රිකයේ පාසලක සිංහල භාෂාව උගන්වන ගුරුවරියක් පැවසුවේ මීටරයක දුර පවත්වා ගැනීම සඳහා පන්තියේ ලමුන් දුරස්ථ කිරීමේදී ඇයට පන්තිය දෙකට බෙදීමට සිදුවූ බවයි. “පාසල් වලට සියලු සිසුන් කැඳෙව්වොත් දුරස්ථභාවය පවත්වා ගැනීම කරන්න බැරි වෙනවා. එතකොට ගුරුවරු මතට තව තවත් බර පැටවෙයි. පසල් වල ඉඩකඩ අඩුවීමෙත්, ගුරු හිඟයත් නිසා තමයි මේ තත්වය ඇති වෙන්නේ” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.

පාසල් තුල ඉඩකඩ අවම වීම නිසා ගුරුවරු මුහුන දෙන දුෂ්කරතා සන්ඩේ ටයිම්ස් පුවත් පතට පැහැදිලි කල කඩුවෙල පිලිප් තිලකවර්ධන විද්‍යාලයේ විදුහල්පති චමින්ද ලියනගේ පවසන්නේ තම පාසලේ 6 සිට 11 දක්වා පන්ති පැවැත්වුවත් පන්ති කාමර පවතින්නේ 9 ක් පමනක් බවයි. රංග ශාලාව පන්ති කාමරවලට බෙදූ පසුවත් 380 ක් වන තම පාසලේ ශිෂ්‍යන්ට එම පන්ති කාමර ප්‍රමානවත් නොවන බව ලියනගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක ඉතිහාසය උගන්වන ගුරුවරියක්, සිසුන් සංඛ්‍යාව අඩු වුවහොත් ඉගැන්වීමේ කාර්යය ඵලදායී වන අන්දම තමන් අත්විඳි අයුරු පැහැදිලි කලාය: “අනික් වසරවල ලමයි තාම ආවේ නැති නිසාත් ඉතිහාසය විෂයට ගුරුවරු 5 ක් පාසලේ හිටපු නිසාත් අපි පන්තිය දෙකට බෙදා ගෙන ඉගැන්නුවා. කලින් ලමයි 50 ට උගන්වලා දැන් 25 ට උගන්වද්දි කලින් අපි කෙතරම් වෙහෙසක් දරාගෙන හිටියද කියල පැහැදිලි වුනා. එතකොට අපිට මානසික ඒකාග්‍රතාවයක් සහිතව උගන්නන්න පුලුවන්. ලමයින්ටත් හොඳින් පාඩමට සම්බන්ධ වෙන්න පුලුවන්. ගුරු සිසු අනුපාතය 1: 20 ට වගේ අඩු කල යුතුයි.” 

කොලඹ දිස්ත්‍රික්කයේ පාසලක 11 වසර පන්තිභාර ගුරුවරියක් අමතර ගෙවීමක් නොමැතිව දිනක වැඩකාලය දිගුකිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය පලකලාය. “වසංගතය ගුරුවරුන්ගේ වරදක් නෙවෙයි. ගුරුවරු ඒකට වන්දිය ගෙවිය යුතු නැහැ. බඩුමිල ඇතුලු සමස්ත ජීවන වියදම ඉහලයාමේ ගැටලුවට අපි මුහුන දීල ඉන්නවා. සොච්චම් ගුරු වැටුපෙන් ඒ වියදම් දරන්න බැහැ. වැඩ වැඩි කරනවා නම් පඩි වැඩිකල යුතුයි.  ඉගැන්වීම් වැඩ වලට අමතරව පාසලේ කාර්යාල වල අතපසුවුනු වැඩත් ගුරුවරුන්ට කරන්න වෙලා” යැයි පැවසූ ඇය අවධාරනය කලේ කම්කරුවන් විරෝධය පල නොකලොත් ආන්ඩුව තව තවත් ඔවුන් මත බර පටවනු ඇති බවයි. 

ගුරුවරුන් මත පටවන කප්පාදුව වඩා ඉහල තලයකට නංවමින් ඇතැම් පලාත්වල ගුරුවරුන්ගේ නිවාඩු ගැනීම්වලට පවා වාරන පනවා තිබේ. බස්නාහිර පලාත් අධ්‍යාපන අමත්‍යංශය විසින් විදුහල්පතිවරුන් වෙත එවූ ලිපියක සඳහන් කෙරී තිබුනේ “අධ්‍යාපනයට බාධාවන නිවාඩු” ලබා ගන්නා ගුරුවරුන් පිලිබඳව කලාප කාර්යාල වෙත දැනුම් දිය යුතු බවයි. කම්කරු පන්තිය සටන්කොට දිනාගත් අසනීප නිවාඩු සහ අනියම් නිවාඩු අයිතිය පවා අහිමිකිරීමට ආන්ඩුවේ සූදානම මෙමගින් ප්‍රකාශයට පත් වෙයි. 

පාසල් තුල ගුරුවරුන් මුහුනදී සිටින කප්පාදුව සහ වැඩ වේගවත් කිරීමවූ කලී කොරෝනා වසංගතය මධ්‍යයේ ලොව පුරා ධනපති ආන්ඩු තීව්‍ර කර ඇති සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයේ කොටසකි. වසංගතයේ බලපෑම මධ්‍යයේ මහ ධනපතියන්ගේ ලාභ අරක්ෂාකර දීම සඳහා දැවන්ත මුදල් සම්භාරයන් වෙන්කිරීමට කැපවී සිටින රාජපක්ෂ ආන්ඩුවද තම ගෝලීය සගයන් මෙන්ම කම්කරුවන් මත සූරාකෑම තියුනු කරමින් සහ සමාජ සුභසාධන තව තවත් කප්පාදු කරමින් සිටියි. ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සෑම ආන්ඩුවක්ම ඉහල නංවා ඇති ප්‍රහාරයන් වඩාත් තියුනු වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ගුරු වෘත්තීය සමිති එම සත්‍යය වසං කරමින් සිටින්නේ ධනපති ආන්ඩුවට එරෙහිව ගුරුවරුන් අතර වර්ධනය වන කෝපය වෙනත් දිශාවන්ට හරවමිනි.

ගුරුවරුන් මුහුන දී සිටිම මෙම දුෂ්කර කොන්දේසි පිලිබඳ ආන්ඩුව සෘජුව විවේචන කිරීමෙන් පවා වැලකී සිටින ගුරු සංගම් අනෙකුත් ක්ෂේත්‍රවල මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ධනපති ආන්ඩුවේ කප්පාදුවේ නියෝජිතයන් බවට පත්වී සිටිති. ආන්ඩුවේ වගකීම යට ගසන අතරේ විදුහල්පතිවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන් ඇතුලු අධ්‍යාපන ක්ෂේතයේ සේවකයන් මත දඩයමක් දියත් කිරීම සඳහා ආන්ඩුවට පාර කපාදෙන උද්ඝෝෂනයක් ඔවුන් විසින් අරඹා තිබේ. ලංකා ගුරු සංගමය විසින් ජූලි 12 වනදා නිකුත්කල නිවේදනයක සඳහන් වූයේ “විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති” බවයි.     

ආන්ඩුවට එරෙහිව එකදු චෝදනාවක් හෝ අන්තර්ගත නොවන එම නිවේදනයේ වංචනිකව සඳහන් වන්නේ කොවිඩ්-19 වසංගත තත්වය යලි පැතිරීමේ තත්වය තුල පාසල් පද්ධතිය දැඩි අවදානමකට ලක්ව ඇත්තේ විදුහල්පතිවරුන් සහ නිලධාරීන් කටයුතු කරන ආකාරය නිසාය යනුවෙනි. 

මෙම චෝදනා ගොනු කිරීම සඳහා රාජංගනය ඇතුලු පාසල් කිහිපයක ගුරුවරුන් සහ සිසුන් පාසලට කැඳවීමේදී විදුහල්පතිවරුන් සෞඛ්‍ය නිර්දේශ වලට පිටින් ක්‍රියාකර ඇතැයි පැවසෙන අවස්ථා කිහිපයක් අල්ලාගෙන සිටින ගුරු සංගම් උත්සාහ කරන්නේ අර්බුදයේ සැබෑ මූලයෙන් ගුරුවරුන්ගේ ඇස් ඉවත හැරවීමටයි.

මෙවැනි අවමංගත කිරීම් හි යෙදෙමින් තම රැකියා කොන්දේසි වලට එල්ල වන ප්‍රහාරයට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල වියදම් කප්පාදුවට එරෙහිව ගුරුවරුන් අතරින් මතුවූ අරගල එක දිගටම පාවාදී ඇති මෙම වෘත්තීය සමිති ධනපති ආන්ඩුවල කප්පාදුව නිර්බාධිතව ඉදිරියට ගෙනයාමට සහයෝගය දී ඇත. එහෙයින් ඔවුහු වසංගතය මධ්‍යයේ ගුරුවරුන් සහ සිසුන් මුහුනදී සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් සෘජුවම චෝදනා ලබති.

තමන් මත එල්ල වන ප්‍රහාරයට එරෙහිව සැබෑ සටනක් දියත් කිරීමට ගුරුවරුන්ට  හැකිවනු ඇත්තේ මේ හා සමාන කොන්දේසි වලට මුහුන දී සිටින අනෙකුත් ක්ෂේත්‍රවල කම්කරුවන් හා ඒකාබද්ධ වෙමින් ජාත්‍යන්තර සමාජවාදී ප්‍රතිපත්ති යටතේ අරගලයකට ප්‍රවිෂ්ටවීම හරහා පමනි. එහිදී පලමු කාර්යය ලෙස ගුරුවරුන් ද්‍රෝහී වෘත්තීය සමිතිවලින් බිඳී වෙන්වී ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම කරා පෙරට පැමිනිය යුතුය.  

Loading