පොලීසිය‍ අඟුලාන ප්‍රදේශයේ ධීවරයෙකු වෙඩිතබා ඝාතනය කරයි

පසුගිය සෙනසුරාදා අලුයම අඟුලාන  පොලිසියේ නිලධාරියෙකු කල වෙඩි තැබීමකින්  ලුනාව හත්වන පටුමග ආසන්න වෙරල අසබඩ ජීවත්වූ කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න නමැති ධීවරයෙකු මියගියේය. මිය යනවිට ඔහු තිස්නම වන වියේ පසුවූ සිවූ දරු පියෙකි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ, කරුනාරත්න සිය වැඩිමහල් පුතා, හා තවත් තිදෙනෙකු සමග ලුනාව කලපුවේ මසුන් මැරීම සඳහා යමින් සිටියදී, ලුනාව-අඟුලාන මෝයකට අසලදී, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔවුන් ගමන්කල ත්‍රිරෝද රථය නවත්වා පරික්ෂා කරන අතරතුරය.

පොලිස් වෙඩි තැබීමෙන් මියගිය අමිත් කරුනාරත්න

 ඔවුන් මත්ද්‍ර‍ව්‍ය ප්‍රවාහන‍ කරන්නේයයි චෝදනා කරමින් ප්‍රකෝපකාරීව හැසුරුන පොලිසිය කරුනාරත්නට පහරදීමෙන් පසුව වෙඩි තබා ඇති අතර, සෙසු පිරිස දිවි බේරාගෙන ඇත්තේ  දිවයාමෙනි. වෙඩි වැදුනු කරුනාරත්න, එම ස්ථානයට පැමිනි හිතවතුන් විසින් කලුබෝවිල  රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගියේය.

සිද්ධිය ආරංචි වීමෙන් කෝප වූ ප්‍රදේශයේ මහජනතාව අඟුලාන පොලිසිය ඉදිරිපිට එදින අලුයම උද්ඝෝෂනයක නිරතවූ අතර එය විසුරුවා හැරීමට ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ සියලුම පොලිස් නිලධාරීන් සහ කැරලි මර්දන ඒකකයද අඟුලාන පොලිසිය වෙත කැඳවා තිබිනි.  මහජන නොසන්සුන්තාව සමහන් කිරීම සඳහා බස්නාහිර පලාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු ඉහල පොලිස් නිලධාරිහු එම ස්ථානයට පැමිනියහ. 

ධීවර නිවාස

මියගිය අයගේ නිවසට ගිය පොලිසිය හා ආන්ඩුවේ දේශපාලනඥයන්, පවුලේ උදවියට විවිධ බොරු පොරොන්දු දෙමින් සහ සැඟවූ තර්ජනයන්  එල්ල කරමින් සිද්ධිය යටගැසීමට උත්සාහ ගත් බව ප්‍රදේශ වාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලොසවෙඅ) ප්‍රකාශ කලහ. '

ශ්‍රී ලංකාව තුල දිනෙන් දින වැඩෙන පොලිස් හිංසන රැල්ල, ප‍්‍රජාතන්ත්‍ර විරෝධී, ආඥාදායක පාලනයක් ස්ථාපිත කරගැනීමට රාජපක්ෂ ආන්ඩුව දරන උත්සාහයේ ඍජු ප්‍රතිඵලයකි. මත්ද්‍ර‍ව්‍ය ජාවාරම හා පාතාල ක්‍රියා මර්දනය, හා ත්‍රස්තවාදය මර්දනය ආදී නොයෙකුත් හේතු දක්වමින්, පොලිසිය විසින් කොලඹ නාගරික දුගීන් හිතුමතේ අත්අඩංගුවට ගැනීම, හිංසා පැමිනවීම පමනක් නොව ඝාතනය කිරීමද වේගයෙන් වර්ධනය වන ප්‍රවනතාවක් බවට පත්වී තිබේ. කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමට යයි කියමින්, පසුගිය මාස කීපය තුල ආන්ඩුව මේ අත්තනෝමතික ක්‍රියා තවත් දිරිමත් කලේ, පොලීසිය පමනක් නොව හමුදාවේද මැදිහත් වීම් වලට ඉඩ සලසමිනි.

සිද්ධිය පිලිබඳව අපක්ෂපාතී පරීක්ෂනයක් පවත්වන බවට පොලිසිය ප්‍රෝඩාකාරී ලෙස ප්‍ර‍කාශ කලද, මේ අපරාධය වසන් කිරීමට හා එය සිදුකල නිලධාරින් ආරක්ෂා කිරීමට ආන්ඩුව සැරසෙන බව පැහැදිලිය. චුදිත පොලිස් නිලධාරීන් තිදෙනා අපරාධය සිදුවන අවස්ථාවේ බීමතින් සිටි බවට පවසන සාක්ෂි පවතිද්දී ඒබව අනාවරනය කිරීමට පරීක්ෂනයක් නොකල බව පිලිගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්නට සිදුවිය. නිලධාරින් තුන් දෙනෙකුගේ ක්‍රියාවට  මුලු පොලිසියටම වරද පැටවීමට නොහැක යැයි කියමින් පොලිසිය ඉදිරිපත් කරන නිදහසට කරුනු, චුදිතයන් ආරක්ෂාකිරීමට පොලිසිය ගන්නා පියවර මගින්ම නිශේධනය වේ.

අඟුලාන ප්‍රදේශයේදී මෙවැනි පොලිස් ඝාතන ගනනාවක් මින් පෙරත් සිදුවී තිබේ.  මේ අතරින් 2009 අගෝස්තු මස, පොලිසිය විසින් පුරුෂයන් දෙදෙනෙකු  පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රදේශයේ පමනක් නොව රටේම මහජන කෝපය ඇවිලවීය. ඒ  සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිවු දෙනෙකුට 2011දී මරන දඬුවම  නියම විය.

ප්‍රදේශයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට දැනගන්නට ලැබුනේ, මියගිය අමිත් සිය පවුල සමග  අතිශය ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වූයේ දුම්රියමාර්ගය අසල “අනවසර” යයි නම්කර ඇති බිම් කඩක තනාගත් ඉතා කුඩා නිවසක බවයි. අමිත්ගේ මව ගල්කිස්ස පොලේ මාලු වෙලඳාම් කරන්නියකි. 

වැඩිමහල් පුතා අසිත තිලකරත්න

පොලිස් ඝාතනය සිදුවන මොහොතේ අමිත් අසල සිටි ඔහුගේ වැඩිමහල් පුතු වන අසිත තිලකරත්න ලෝසවෙඅ ට පැවසුවේ, ඔවුන් ගමන්කල ත්‍රිරෝද රථය නතරකල පොලිසිය, පරික්ෂා කිරීම් අතරතුර අමිත්ට පහර දීමට පටන් ගත් බවයි. “වැරැද්දක් නොකර පහරදීම ගැන  තාත්තා පොලිසියට චෝදනා කලා, එයාව වාහනේට  නග්ග ගන්ඩ අපි උත්සාහ කරනකොට,  පොලිසියෙන් පිටිපස්සෙන් තිබ්බ වෙඩිල්ලක් තමයි ඔලුවට වැදුනේ, අපි හැමෝම දිවුවා” ඔහු පැවසීය. “අපි වාහනයේ තිබුනු මාලු දැල් පොලිසියට පෙන්නුවා. ඒත් පොලිසිය අපට චෝදනා කලේ අප මත්ද්‍ර‍ව්‍ය  ප්‍රවාහන කරනවා කියලයි. අපි බීල හිටියේ නැහැ, නමුත් එතන සිටි පොලිස් නිලධාරීන් හොඳටම බීල හිටියේ.” 

අමිත්ගේ බිරිඳ නිලන්ති ෆොන්සේකා

අමිත්ගේ බිරිඳ වන නිලන්ති ෆොන්සේකා මෙසේ සඳහන් කලාය “මම විවාහ වෙලා අවුරුදු 22 ක් වෙනවා දරුවෝ හතර දෙනෙක් ඉන්නවා, පුත්තු දෙන්නෙකුත්, දුවත් තවම ඉස්කෝලේ යනවා. එයා එදා පිටත්ව ගියේ ලුනාව කලපුවේ බරු දැල් ගහන්න. මේ දවස් වල මුහුදු යන්න බැහැ වාරකන් කාලේ. ඒකයි අනික් අයත් එක්ක ලුනාව කලපුවේ මාලු අල්ලන්න ගියේ. දැන් ධීවර රස්සාවෙන් ගෙදර වියදමට හරි යන ආදායමක් නැහැ, සමහර දවස් වල මොකුත්ම ආදායමක් නැතුව හැරිලා එන වෙලාවල් තිබෙනවා. රෑ  දොලහට මාලු අල්ලන්න ගියොත් උදේ පහ විතර වෙනකන් ගතකරනවා.”

පොලිසිය විසින් තමන් නිහඬ කිරීමට නොයෙකුත් පොරොන්දු ලබාදුන් බවද ඇය සඳහන් කලාය. “නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ඇතුලු උසස් නිලධාරීන් කන්ඩායමක් ඇවිත් මෙතන බ්ලොක් ගලින් ගෙයක් හදලා දෙන්න යෝජනා කලා. අපි කිවුවා මෙතන ගෙවල් හදන්න රජය ඉඩදෙන්නේ නැහැ කියල. බොරුවට මිනිස්සු රවට්ටන්න හදනවා , මේවා කරන්නේ මිනිස්සු උද්ඝෝෂනය කිරීම නතර කිරීමට. මීට පෙර සුනාමියට මේ ගෙවල් කැඩුන. අපේ ගෙදර භාගෙට කැඩුනා කාටවත් ආන්ඩුවෙන් ගෙවල් වත් වෙන ආධාරයක් වත් ලැබුනේ නැහැ.”

මියගිය පවුලේ හිතවතෙකු වන චාමර මධුශංක කියාසිටියේ. “මේ දවස්වල මුහුදු යන්න බැහැ. ඒකයි ධීවරයෝ බරු දැල් ගහන්නේ. ලුනාව කලපුව විතරක් නොවේ දියවන්නාව බොල්ගොඩ වැනි ගොඩබිමෙහි පිහිටි ජලාශවලත් මම ඇතුලු ධීවරයෝ මෙහෙම මාලු අල්ලනවා. සමහර තැන්වල මාලු අල්ලන්න බැහැ කියලා පොලිසිය අපිව ඉවත් කරනවා, පගාවක් අරගෙන ඉඩ දෙන වෙලාවලුත් තිබෙනවා. පොලිසිය කරත්තේ එලවලු විකුනන දුප්පතාගෙන් පවා එලවලු මල්ලක් හරි ගන්නවා.”

ලොව පුරාම ධනපති රටවල තීව්‍ර වෙමින් ඇති පොලිස් හිංසනය ගැන තමා දනුවත් බවද චාමර කියා සිටියේය. “ඇමෙරිකා‍නු පොලිසිය කම්කරුවෙකු ඝාතනය කිරීමත් ඒ සමගම ඇතිවුනු උද්ඝෝෂන රැල්ලත් පිලිබඳව මා දන්නවා. දැන් පොලිසිය බොරුමුහුනක් දමාගෙන එනවා නමුත් මේගොල්ලෝ බයවෙලා ඉන්නේ අපි මිනිය අරගෙන පොලිසිය ඉස්සරහට යාවි කියල.” මේ අපරාධය සිදුවුනු දිනයේම මහජනතාව, මිනීමැරුමට සම්බන්ධ නිලධාරින් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස උද්ඝෝෂනය කල බවත්, එහෙත් තවමත් වැඩ තහනම් කර ඇත්තේ  දෙදෙනෙකුගේ පමනක් බවත් ඔහු පැවසුවේය. 

“පොලීසිය වගේම  ආන්ඩුවේ දේශපාලනඥයින් වන තිලංග සුමතිපාල, අමල්  සිල්වා වැනි අයත් අවසන් කටයුතු කරන්න ඉදිරිපත් උනා, අපි කිවුවේ මිනියෙ කටයුතු නොවේ ජීවත් වන අයට  සාධාරනයක් කරන්න කියල.” පොලිසිය මේ ප්‍රදේශයේ දුප්පතුන්ට සලකන්නේ ඉතාම කෘර සහ අමානුෂික විදිහට බවත්, පහුගිය නිරෝධායන ඇඳිරිනීතිය කාලේ මෙහි සිය ගනනක් අත් අඩංගුවට ගෙන සෞඛ්‍ය නීති කඩ කල බවට නඩු පවරා ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කලේය. 

අඟුලාන ධීවර සමිතියේ සභාපති සුගත් පීරිස් පවසා සිටියේ මියගිය අමිත්, අත්දැකීමෙන් මසුන් සිටින තැන සොයාගත හැකි ශූර ධීවරයෙකු බවත්, ඔහුගේ මිය යාම ප්‍රදේශයේ ධීවර කටයුතු වලට විශාල පාඩුවක් බවත්ය. “මේ ගමේ අය ජීවත්වුනේ ධීවර කර්මාන්තය, වඩුවැඩ,  කුඩා වෙලඳාම් කිරීමෙන් කාටවත් ස්ථිර රැකියා නැහැ. හරි හමන් ගෙයක් දොරක් නැතිව, මුහුදු හුලං කකා මේ අය ගෙවන්නෙ ඉතාම අසීරු ජීවිතයක්”  ඔහු  ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය විස්තර කරමින් පැවසීය. 

ඔහු තවදුරටත් කියා සිටියේ මේ මරනය, ආන්ඩුව ධීවරයන්ට සිදුකල බරපතල අපරාධයක් බවයි. “මිනිහෙක් අඩපන කරන්න ඕනෙනම් දනිස්සෙන් පහලට වෙඩි තියන්න තිබුන. මෙයාට වෙඩි තියල තිබෙන්නේ ඔලුවට. වෙඩි පහක් විතර තියල තිබෙනවා, එයින් එක උන්ඩයක් තමයි පිටුපසින් ඔලුවට වැදිලා තියෙන්නේ. ආන්ඩුවේ මෙහෙයවීමෙන් පොලිසිය යොදවනකොට රජය මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔවුන්ගේ මානසික තත්වය රජය තේරුම් ගන්න ඕනේ.”

ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ අරමුන කුමක් වූවත්, රාජපක්ෂ ආන්ඩුව සිද්ධිය වසන් කරමින් ඔවුන් ආරක්ෂා කරන්නට උත්සාහ ගන්නේ, කම්කරුවන් හා පීඩිතයන්ට එරෙහිව පිහිටුවා ගන්නට උත්සාහ කරන ආඥාදායක පාලනයට, ආරක්ෂක අංශ වල මෙවැනි දාමරික කම් අත්‍යවශ්‍ය අංගයක් වන බැවිනි. 

මෙය ලොව පුරා ධනපති ආන්ඩු විසින් තීව්‍ර කරමින් ඇති රාජ්‍ය ත්‍රස්තවාදයේ ප්‍රකාශනයකි. පසුගිය වසරේ, ඇමරිකාවේ පමනක්, පොලිස් වෙඩි තැබීම් වලින් සාමාන්‍ය වැසියන්  999 දෙනෙක් ඝාතනය වී තිබේ. පසුගිය මැයි මාසයේදී, ඇමෙරිකාවේ මිනසෝටාවේ මිනියාපොලිස් හිදී, පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කලු ජාතිකයා ඝාතනයට එරෙහිව දැවැන්ත මහජන විරෝධතාවක් පැන නැගී, සති කීපයක් තුල එය ලොවපුරා ව්‍යාප්ත විය. 

ලංකාවේ ආන්ඩුව මුහුනපා සිටින දරුනු ආර්ථික හා දේශපාලන අර්බුදය, ගෝලීය කොවිඩ් වසංගතය නිසා තවත් ගැඹුරු කෙරී ඇත. එහි බර සම්පූර්නයෙන් කම්කරු පන්තිය ඇතුලු මහජනතාව මත පැටවීමට රාජපක්ෂ ආන්ඩුව පෙර නොවූ විරූ වියරුවකින් වැඩකරමින් සිටි. 

ආන්ඩුවේ ගනන් බැලීම කම්කරුවන් පීඩිතයන් ගෙන් එල්ලවන කවර ආකාර හෝ විරුද්ධත්වයක් තලා දැමීම සඳහා, සියලු විපක්ෂ කන්ඩායම් වලද සහයෝගය ඇතිව, මිලිටරිය හා පොලිසිය මත පදනම්වූ ජනාධිපති ආඥාදාකත්වයක්  වර්ධනය කරගැනීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “නීතියේ ආධිපත්‍ය සහිත ගුන ගරුක සමාජයක් ඇති කිරීමට” යයි කියමින්, සිවිල් පාලනය අධීක්ෂනය කිරීමට මිලිටරි කාර්යසාධක බලකායක්ද  ජුනි මස මුලදී පිහිටුවන ලද්දේ මේ ක්‍රියාවලියේ කොටසක් ලෙසය. මෙමගින් කම්කරුවන්, පීඩිතයන් හා තරුනයින්ගේ ජීවිත වලට එල්ල කෙරී ඇත්තේ බරපතල අනතුරකි.

Loading