ජවිපෙ නායකයා රාජපක්ෂ ආන්ඩුව සමග ඒකාබද්ධතාවයකට කැසකවයි

පසුගිය ජූලි 5 දින ස්වාධීන රූපවාහිනියේ “තීරනය” වැඩසටහනේ පෙනී සිටිමින් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක, ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවලට එලඹීමට සූදානම් බව ප්‍රකාශ කලේ ය. 

දිසානායක එම ප්‍රකාශය සිදු කලේ, ජවිපෙ “වාම කඳවුරේ සිට ඡන්දය ඉල්ලා දක්ෂිනාංශක කඳවුරට සහායදීම‍” පිලිබඳව වැඩසටහන මෙහෙයවන්නා ඇසු ප්‍රශ්නයට පිලිතුරුදීමේ දී ය. 2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒම, එහි දින 100 වැඩපිලිවෙලට ජවිපෙ සහාය දැක්වීම “ජයග්‍රහන” සඳහා මගපෑදු බව කියු දිසානයක “හෙට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වොත් එම්සීසී ගිවිසුම අහෝසි කරනවා. එන්න සාකච්ඡාවට කියලා අපි යන්න ලෑස්තියි” යනුවෙන් පිලිතුරු දුන්නේ ය. 

දිසානායකගේ “ජයග්‍රහනවලට”, 19 ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන පොලිස් කොමිසම, තොරතුරු දැන ගැනීමේ පනත වැනි ධනපති රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී යයි මවාපෑමට ගෙනා ඇස්බැන්දුම් කිහිපයක් ඇතුලත් වේ.  

රැඩිකල් සුලු ධනේශ්වර සංවිධානයක සිට ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්තනය වී ඇති ජවිපෙ ට, මාක්ස්වාදය හා සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැත. ධනපති මාධ්‍ය විසින් මෙම පක්ෂය “මාක්ස්වාදී, සමාජවාදී හා වාම” පක්ෂයකැයි තවමත් පුම්බා තබන්නේ ධනපතිවාදයට එරෙහිව විකල්පයක් සොයන කම්කරුවන් හා තරුනයන් අවමංගත කිරීම සඳහා ය. 

එම්සීසී ගිවිසුමට එරෙහිව ව්‍යාජ අධිරාජ්‍යවාද විරෝධයකට මුවා වී, දිසානායක රාජපක්ෂ සමග සාකච්ඡාවකට සූදානම් වන්නේ, ධනේශ්වර පාලක පන්තිය 2015 ටත් එහා ගිය අර්බූදයකට මුහුන දෙන තත්වය තුල ය. කොරෝනා වසංගත ව්‍යාප්තිය මගින් ලෝක ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බූදය වේගවත් කොට ඇත. ලෝකය පුරා සහචර ආන්ඩු මෙන්ම රාජපක්ෂ ආන්ඩුවත් අර්බූදයේ බර කම්කරු පන්තිය හා දුගී ජනතාව මත පැටවීමට එරෙහිව පන්ති අරගල පුපුරා යමින් තිබේ. මෙම තතු තුල කම්කරු පන්තියට එරෙහි නව වටයක ප්‍රහාර එල්ල කිරීමට රාජපක්ෂ දැනටමත් මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් දිශාවට බරපතල හැරී ගැනීමක් කර තිබේ. 

මහ මැතිවරනයේ දී ඔහු “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීමේ නමින් එම වැඩපිලිවෙල තවත් ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ඒකාධිපති බලතල සම්පූර්නයෙන් අතට ගැනීමට සීමිත බාධාවක් ලෙස පවතින 19 වන ව්‍යවස්ථා සංශෝධනය හකුලා දැමීමට තුනෙන් දෙකක බලයක් දිනා ගැනීමට වලිකමින් සිටී. ජවිපෙ අවස්ථාවාදී දේශපාලනයේ වාර්තාව ගැන සලකා බැලීමේ දී රාජපක්ෂට ඒ සඳහා සහායදීම කරා වූවත් එය ගමන් කරනු ඇත.   

1971 හා 1989-90 කාලපරිච්ඡේදවල දී ජවිපෙ සමාජිකයන් ද ඇතුලු දහස් ගනනක් ගම්බද තරුන ජනයා ඝාතනය කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) ප්‍රමුඛ ආන්ඩු හා එම ධනපති පක්ෂ සමග, ජවිපෙ පසුකාලීනව විවෘතව ඒකාබද්ධ වීම මගින් ඝාතනයට ලක් වූ එහි සමාජිකයන්ට “අසාධාරනයක් වී තිබේ දැයි”‍ අසමින් දිසානායකට තවත් ප්‍රශ්නයක් යොමු විය. 

ජවිපෙ ප්‍රතිගාමී දේශපාලනය ආවරනය කිරිමට උත්සාහයක නියැලෙමින්‍, “අපි ඒ කවර තීන්දුවක් ගත්තත් ඒ ගත්තේ රට හා ජනතාවත් ඒ ඒ අවස්ථාවල මුහුන දීලා තිබුනු අන්තරායන් ගැන හිතලා” යයි දිසානායක පිලිතුරු දුන්නේ ය.  

දිසානායක ප්‍රකාශ කරන‍ මේ “රට” කුමන පන්තිය විසින් පාලනය කරන කුමන ආකාරයේ රටක් ද?  ඔහුට මේ කිසිවක් අදාල නැත. එය වනාහි, සිංහල හා දෙමල කම්කරු-පීඩිත මහජනයාට එරෙහි වසර 72 ක රුදුරු පාලනයකට හිමිකම් කියන, ප්‍ර‍තිගාමී ධනපති පාලක පන්තියක් විසින් මෙහෙයවන පසුගාමී ධනේශ්වර “රට” කි. එම පාලක පන්තිය, මහජනයාගේ සමාජ හා ප්‍රජාතන්ත්‍ර අයිතීන් තහවුරු කිරීමට පමනක් නොව‍, අධිරාජ්‍යවාදයට විරුද්ධව කවර හෝ සටනක් කිරීමට ඓතිහාසික වශයෙන් අසමත් වූවකි.  

“රට”හා “ජනතාව” ගැන කියාපාමින්, ධනපති ආන්ඩු තුලට රිංගා ගැනීම හා සිංහල, දෙමල කම්කරු පන්තිය භේද කිරීමට කොලඹ පාලක පන්තිය දියත් කල වර්ගවාදී යුද්ධයට සහයෝගය දීම ආදියෙන් සංලක්ෂිත ජවිපෙ ප්‍රතිගාමී දේශපාලනයේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ ලංකාවේ ධනපති පන්ති පාලනය රැකදීමයි. එමගින් කම්කරු පන්තිය ධනේශ්වර ප්‍රහාර‍න්ට යටත් කර දීමයි. 

පසුගිය දශක කීපයේ ජවිපෙ දේශපාලන භාවිතය විමසා බැලීමෙන් එය ගැඹුරින්ම සනාථ වෙයි. 2003 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින්, එජාප ආන්ඩුවේ අමාත්‍යංශ තුනක් ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී ලෙස අත්පත් කර ගැනීමටත්, පසුව ආන්ඩුව විසුරුවා හැරීමටත් ජවිපෙ සහයෝගය දැක්වී ය. දෙමල පීඩිත ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් පාගා දමමින් ගෙනගිය 26 අවුරුදු කුරිරු යුද්ධයට  එක දිගට උද්ඝෝෂනය කල ජවිපෙ, 2005 ජනාධිපතිවරනයේදී  මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දුන්නේය. රාජපක්ෂ වඩාත් ප්‍රචන්ඩ ලෙස යුද්ධය ඉදිරියට ගෙන ගියේය. එහිදී දෙමල සිවිල් ජනතාව දහස් ගනනින් මරා දැමුනි. ඔහු, දකුනු ප්‍රදේශවල කම්කරුවන්ගේ හා තරුනයන්ගේ අරගල මුර්ග ලෙස තලා දැමුවේ ද යුද්ධයේම ක්‍රමෝපායන්ගෙනි. 

2015 දී මහින්ද රාජපක්ෂ පලවා හැරීමට ජවිපෙ මැදිහත් වූ බවත් ඒ සඳහා විශේෂ හේතු පැවති බවත් දිසානායක කියා සිටියේ ය. රාජපක්ෂගේ දූෂන, රට නය කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට අමතරව ඔහු සඳහන් කලේ “එක් පවුලක් විසින් රටක් දීර්ඝ කාලයක් පාලනය කරපු හැම වෙලාවේම අවසන් වෙලා තියෙන්නේ දැවැන්ත ලේ ගංගාවකින්. උදාහරනයක් ලෙස ලිබියාවේ. එවැනි විනාශයක් වීම වැලැක්වීමට අපි මැදිහත් වුනා” යයි ඔහු සඳහන් කලේ ය. 

ලිබියාව උදාහරනයට ගැනීම අර්ථභාරීය. ලිබියාවේ නායකයා වූ මොහොමඩ් ගඩාෆි ඝාතනය කොට එහි තන්ත්‍ර මාරු වෙනසක් සිදු කෙරුනේ ද රාජපක්ෂ පලවා හැරුනේ ද ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ මූලෝපායික අවශ්‍යතා මත උසිගැන්වුනු කුමන්ත්‍රනයකිනි. 2015 දී ඇමරිකානු අධිරාජ්‍යවාදීන් තිරයට පිටුපසින් සිට එහි කලාපීය සගයා වන ඉන්දියානු පාලක පන්තිය ද, ලංකාවේ එහි වඩා විශ්වාස කටයුතු නියෝජිතයන් වන කුමාරතුංග සහ රනිල් වික්‍රමසිංහ ද යොදා ගනිමින් රාජපක්ෂ එලවා දැමීම සඳහා තන්ත්‍ර මාරු මෙහෙයුමක් දියත් කලේ ය. 

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ උත්සුකය වූයේ රාජපක්ෂගේ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාර, ප්‍රජාතන්ත්‍ර අයිතීන් උල්ලංඝනය කිරීම් හෝ යුද අපරාධ ද නොවේ. ඒ සියල්ලට ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මෙන්ම ලංකාවේ පාලක පන්තියේ සියලු කොටස් වගකීම දරයි. “එක පවුලක් දීර්ඝ කාලයක්” පාලනය ගෙන යෑම ද නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික හා යුද මුලෝපායික “සතුරෙකු” ලෙස නම් කොට ගෙන සිටින චීනයත් සමග මහින්ද රාජපක්ෂ ආන්ඩුව වර්ධනය කරමින් පැවති ආර්ථික  හා දේශපාලන සබඳතාවන් ය. ඒවා බිඳ දමා ලංකාව යලි චීනයට එරෙහි යුද මුලෝපායික කක්ෂයේ පිහිටුවාලීම ඇමරිකාවේ උත්සුකය විය.    

ජවිපෙ හා දැන් ජාතික ජන බලවේගය වටා රොක් වී සිටින නිර්මාල් රංජිත් දේවසිරි වැනි ඊනියා බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් සියල්ල එදා පෙලගැසුනේ මෙම තන්ත්‍රමාරු වෙනසත් සමගයි. 

ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලයන්ට සේවය කිරීම සම්බන්ධව ලංකාවේ පාලක පන්තියට ඇත්තේ දුරදිග ගිය වාර්තාවකි. මෑතම වර්ධනයන් පිලිබඳව පමනක් සඳහන් කලහොත් එම්සීසී ගිවිසුම පිලිබඳ මූලික එකඟතාව ඇති වුයේ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි 2006 වසරේ අග භාගයේදී ය. පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව අත්සන් කිරීමට ගිය එම්සීසී ගිවිසුම, පසුගිය ජනාධිපතිවරනයේ දී “රට පාවාදීමක්” යයි රාජපක්ෂ ඇතුලු කල්ලිය ව්‍යාජ ලෙස විවේචනය කල අතර උග්‍රවන නය අර්බූදයක් මධ්‍යයේ දැන් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට රාජපක්ෂ හොරගල් අහුලමින් සිටී. “ඇක්සා” නම් මිලිටරි ගිවිසුම අත්සන් කිරීමට මෙම පක්ෂ දෙකම සම්බන්ධ වී ඇත. කියවන්න: එම්සීසී ගිවිසුම පමා කිරීම ගැන අනතුරු ඇඟවීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්, ශ්‍රී ලංකා විදේශ ඇමති අමතයි.

ජවිපෙ එම්සීසී ගිවිසුමට දක්වන විරෝධතාවය ද මුලුමනින්ම ප්‍රෝඩාවකි. එම්සීසී ගිවිසුම ප්‍රතික්ෂේප කල යුතුයයි හඬ තලන ජවිපෙ, එල්ටීටීඊ යුදමය වශයෙන් පරාජය කිරීමට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සහාය පතමින් 2004 දී ජෝජ් ඩබ්ලිව් බුෂ් දෙවන වර බලයට පත්වීමට යැවූ සුභ පැතුම් ලිපියක දී, ඔවුනගේ  “ත්‍ර‍ස්තවාදයට එරෙහි යුද්ධය” ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කරන්නක් යයි ආවැඩී ය.   

ජවිපෙ, 1970 ගනන්වල මුලභාගයේ වර්ධනය වූයේ කස්ත්‍රෝවාදය, මාඕවාදය වැනි ප්‍රති-මාක්ස්වාදී දෘෂ්ටිවාදයන් සමග සිංහල ස්වොත්මවාදය කලතා  ගත් ව්‍යාපාරයක් ලෙසයි. කම්කරු පන්තිය විප්ලවවාදී පන්තිය යන මාක්ස්වාදයේ විද්‍යාත්මක පදනමට පටහැනිව, එම යුගයේ විලාසිතාවක්ව පැවති ගම්බද ගොවියන්ගේ හා තරුනයන්ගේ ආයුධ සන්නද්ධ අරගලය මත ජවිපෙ පාදක විය. 1971 සභාග ආන්ඩුවට එරෙහිව ජවිපෙ මෙහෙයවූ අතිධාවනකාරී කැරැල්ල තුල දී, 15,000 ක් එහි සමාජිකයන් මිලිටරිය හා පොලිසිය විසින් ඝාතනය කෙරුනි.   

1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිවත් “රට” ඉදිරියට දැමූ ජවිපෙ වර්ධනය කලේ කම්කරු පන්තියට එරෙහි ෆැසිස්ට් ව්‍යාපාරයකි. “මව්බිම නැත්නම් මරනය” හා “පලමුව මව්බිම දෙවනුව වැඩබිම” එම මිනීමරු ව්‍යාපාරය පෙරට ගත් මූලික සටන් පාඨ විය. ජවිපෙ තුවක්කුකරුවන් බලහත්කාරයෙන් කම්කරුවන් වර්ජනවලට කැඳවීය. එහි අනසකට විරුද්ධවූ කම්කරුවන්, කලාකරුවන් හා දේශපාලන විරුද්ධවාදීන් සිය ගනනක් ඝාතනය කෙරුනි. කෙසේ නමුත්, එවකදී එජාපයේ ප්‍රේමදාස තන්ත්‍රය ජවිපෙ සමග තිබූ නොනිල සන්ධානය කෙලවර කෙරුනේ 60,000 ට අධික ගම්බද තරුනයන් මුර්ග ලෙස ඝාතනය කරමිනි. 

ජවිපෙ හි දේශපාලන මදාවිකම් හේතුවෙන් ධනේශ්වර රාජ්‍ය මර්දනයට ගොදුරු වූ එම තරුනයන් පිලිබඳව දිසානායක තවත් නරුම ප්‍රකාශයක් කලේ ය. “අපේ සහෝදරවරුන්ගේ අරමුනු ඔවුන්ගේ පරිත්‍යාගයන් අපේ පක්ෂයේ දීර්ඝකාලීන අරමුනු එක්ක බැඳිලා තියෙනවා. එම අරමුනු, අපි ගත්තු මේ එක එක මැතිවරන තීන්දු මගින් කෑලි කඩන්න බෑ”. 

ජවිපෙ ආරම්භය හා පරිහානි ගත විකාශනය එහි නායකත්වයේ පෞද්ගලික දුර්ගුනයක ප්‍රතිඵලයක් නොව, එහි පන්ති ස්වභාවය හා දේශපාලනයේ ආවෘත අන්තයයි. නිෂ්පාදනයේ භූගෝලීයකරන සන්තතිය තුල ජාතිකව පාදක ආර්ථික ව්‍යාපෘති කරපින්නාගත් සුලු ධනේශ්වර ජාතිකවාදී සංවිධාන, අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයේ හා මිලිටරිවාදයේ තුරුලට ගමන් කිරීම ජාත්‍යන්තර සන්තතියකි.  

කොරෝනා වසංගතය හමුවේ කම්කරුවන්ගේ වැටුප් කප්පාදුව, රැකියාවලින් දොට්ට දැමීම ඇතුලු ප්‍රහාර හේතුවෙන් පැනනැග ඇති කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ අරගල සම්බන්ධව වචනයක් හෝ  ප්‍රකාශ නො කිරීමට දිසානායක වගබලා ගත්තේ ය. වසංගත මර්දන කටයුතුවල ප්‍ර‍ධානත්වයට මිලිටරිය පත්කරමින් රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාවට දමන මිලිටරීකරන සැලසුම්වලට ජවිපෙ දැනටමත් සහාය දී තිබේ. 

අවසාන වශයෙන්, ජාතික ජන බලවේගය යටතේ ජවිපෙ දැන් ඉදිරිපත් කර ඇත්තේ ද ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඉදිරියට දමා ඇති ආකාරයේම ජාතිකවාදී, ධනපති ආර්ථික වැඩපිලිවෙලකි. සමාජවාදය යනු කුමක්ද යන ප්‍රශ්නයට දිසානායක දුන් පිලිතුර මගින් එම ජාතිකවාදි ධනපති වැඩපිලිවෙල සමාජවාදය සමග අනන්‍ය කිරීමට උත්සාහ දැරීය. නමුත් යලිත් පැහැදිලි වූයේ ජවිපෙ ට මාක්ස්වාදය, සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නො මැති බවයි. "සමාජවාදය යනු අච්චුවක් නොව ජාතික ආර්ථිකයේ හා සංස්කෘතියේ මට්ටමට අනුව ප්‍රතිපත්තියක් සකසා ගැනීම” යි යනුවෙන්‍, මාක්ස්වාදී ව්‍යාපාරය ලෝක ධනේශ්වර පද්ධතියේ ඓතිහාසික පරස්පරවිරෝධයන් හඳුනා ගනිමින්, එම පරස්පර විරෝධයන් ඉවත් කිරීමේ පදනම මත ලෝක සමාජවාදය තහවුරු කිරීම සඳහා විද්‍යාත්මකව වර්ධනය කරන ඉදිරිදර්ශනයට හතුරුව ඔහු පිලිතුරු දුන්නේ ය. 

එතනින් නොනැවතුනු දිසානායක, “චීනයේ සපත්තු අපට කුඩා වැඩියි, රුසියාවේ සපත්තු අපට ලොකු වැඩියි අපි අපටම සරිලන සපත්තු සදා ගතයුතු” යයි ජවිපෙ ආරම්භක නායක රෝහන විජේවීර සමාජවාදය සම්බන්ධව ඉදිරිපත් කල තවත් එවන් මාක්ස්වාද-විරෝධී අදහසකට යලි පන පෙවී ය. විජේවීර මෙම ප්‍රකාශයන් කරන විටත් රුසියාව හා චීනය ස්ටැ‍ලින්වාදී හා මාඕවාදී නිලධාරී තන්ත්‍රයන් විසින් තනිරටක සමාජවාදය නැමැති ප්‍රති-මාක්ස්වාදී ජාතිකවාදී වැඩපිලිවෙල මගින් පරිහානිගත කොට පැවතුනි. 

නිශ්පාදනය භූගෝලීයකරනයවී ඇති වත්මන් ලෝක ආර්ථිකය තුල, අතලොස්සකගේ ලාභය මත පදනම්ව, යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල්බැසගත් ධනේශ්වර නිශ්පාදන ක්‍රමය තුලින් ‍මනුෂ්‍ය වර්ගයාගේ එකදු මූලික ප්‍රශ්නයකට හෝ විසඳුම් සෙවිය නොහැකිය. 

ලෝක ආර්ථිකය මත ආධිපත්‍යය උසුලන අධිරාජ්‍යවාදී බැංකුකරුවන්ගේ ග්‍රහනයෙන් ලංකාව වැනි රටවලට මිදිය හැක්කේ, විශාල විදේශීය හා දේශීය සමාගම් ද විශාල වතු හා බැංකු ද කම්කරුවන්ගේ පාලනය යටතේ ජනසතු කරන, විදේශ නය ගෙවීම ප්‍රතික්ෂේප කරමින්, නිෂ්පාදනය හා බෙදාහැරීම ජාත්‍යන්තර සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. එම වැඩපිලිවෙලට සටන් වදින්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. කියවන්න: යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු! ශ්‍රී ලංකාවේ මහ මැතිවරනයේ දී සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න

වසංගතයේ ව්‍යාප්තියට ඉඩහැර මනුෂ්‍ය ජීවිතවලට ඉහලින් මහ සංගතවල හා බැංකුකරුවන්ගේ ලාභ තර කිරීම තබා ඇති ලොව පුරා ධනේශ්වර ආන්ඩුවල පිලිවෙත් වලට එරෙහිව ලොවපුරා පැන නංවා ඇති කම්කරුවන්ගේ හා තරුනයන්ගේ සටන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා වන කම්කරු පන්තියේ ගෝලීයව එක්සත් අරගලයක් වර්ධනය කිරීමට කොන්දේසි සැක‍සෙමින් තිබේ. 

එහි කොටසක් ලෙස ලංකාවේ විවිධ ක්ෂේත්‍ර‍යන්හි කම්කරුවන්ගේ සහ පීඩිත මහජනයාගේ අරගල පැන නගිමින් තිබේ. මෙම වැඩෙන පන්ති සටන් කෙරෙහි භීතියට පත්ව සිටින ජවිපෙ, ජනාධිපති ආඥාදායකත්වයක් තහවුරු කිරීමට ගමන් කරමින් සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව සමග ඒකාබද්ධවීමට කැස කවන්නේ, පෙර මෙන්ම කම්කරුවන්ගේ, තරුනයන්ගේ, සහ ගම්බද දුගීන්ගේ අරගල තලා දැමීමටයි. 

Loading